AUKUS සන්ධානය සහ ප්‍රංශයේ ප්‍රකෝපය

September 29, 2021

ස්වභාවික කරුණක්. විශේෂයෙන්ම ලෝකය බල කඳවුරුවලට බෙදෙන ලක්ෂණ පෙන්නුම් කෙරෙන සමයක එවැනි සිදුවීම් වඩාත් ප්‍රමුඛ විය හැකියි. වර්තමානයේ ද ඇමරිකාව සහ චීනය අතර ගොඩනැගෙමින් තිබෙන බව පෙනෙන එදිරිවාදිකම හේතුවෙන් විවිධ මිත්‍ර සන්ධානයන් ගොඩනැගෙමින් තිබෙන බව පෙනී යනවා.

මීට ස්වල්ප දිනකට පෙර ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියානු නායකයින් එක්ව ප්‍රකාශයට පත්කරන ලද AUKUS (ඕකස්) සන්ධානය ද එවැනි නව මිත්‍ර සන්ධානයක් වුණා. මෙම සන්ධානය බිහිවීමත් සමග චීනය දැඩි ලෙස කෝපයට පත්වූ බවක් පෙනීගිය අතර ප්‍රංශය ද තදබල ලෙස ඒ පිළිබඳ නොසතුට ප්‍රදර්ශනය කිරීම සුවිශේෂී සිද්ධියක් වුණා.

AUKUS හි අරමුණ
AUKUS සන්ධානය මූලික වශයෙන්ම එක් පැහැදිලි අරමුණක් ඉලක්ක කරගෙන ක්‍රියාවට නංවන ලද්දක් වනවා. එනම්, එහි මූලික පරමාර්ථය වන්නේ ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන ඉදිකිරීමට ආධාර කිරීමයි. එමගින් බලාපොරොත්තු වන්නේ අනාගතයේ චීනයේ නාවික බලය වර්ධනය වීමට එරෙහිව ක්‍රියාකළ හැකි බලවතෙකු ගොඩනැගීමයි.

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන යනු න්‍යෂ්ටික අවි ගෙනයන සබ්මැරීනම නොවේ. මෙම සබ්මැරීනවලට අවශ්‍ය බලශක්තිය නිපදවීම න්‍යෂ්ටික බලය මගින් සිදුකෙරෙනවා. එහි වැදගත්කම වන්නේ එවන් සබ්මැරීනයකට වසර ගණනාවක් ඉන්ධන අවශ්‍ය නොවීමයි. එහෙයින් අවශ්‍ය ආහාරපාන ආදිය තිබෙන තාක්කල් එම සබ්මැරීනවලට මුහුද යට සිටිය හැකියි. එමෙන්ම ඒවායේ බලශක්තිය නිපදවෙන්නේ න්‍යෂ්ටික බලයෙන් බැවින් එයින් පිටවන ශබ්දය ද ඉතා අවමයි. මෙම කරුණු හේතුවෙන් මෙම සබ්මැරීන තිබෙන ස්ථානය සොයාගැනීම, සාමාන්‍ය සබ්මැරීන සොයාගැනීම තරම් පහසු වන්නේ නැහැ.


Image – Getty Images

මෙවන් සබ්මැරීන ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිකළ අතර ඔවුන් බ්‍රිතාන්‍යයට ද ඒවා නිපදවීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදුන්නා. AUKUS මගින් අපේක්ෂා කරන්නේ එම දෙරටම එක්ව ඔස්ට්‍රේලියාවට එවන් සබ්මැරීන නිපදවීමට අවශ්‍ය සහයෝගය ලබාදීමයි.

චීනයේ නාවික බලය වැඩිදියුණු වීමත් සමගම ඊට එරෙහිව පෙළගැසීමේ අවශ්‍යතාවය බටහිර කඳවුර වෙත දැනෙන්නට පටන්ගෙන තිබෙනවා. විශේෂයෙන්ම මීළඟ දස වසරක පමණ කාලය තුල චීනය පැසිෆික් සාගරයේ තමන්ට මුහුණ ලා සිටින පළමු දූපත් දාමය වෙත සිය බලපෑම ව්‍යාප්ත කිරීමට අරමුණු කරගත් බවක් පෙනී යනවා.

එහිදී විශේෂයෙන්ම තායිවානය වෙත තර්ජනය කිරීමේ හැකියාවක් චීනයට තිබෙනවා. චීනය වෙතින් මතුවන අභියෝගයට මුහුණදීම සඳහා කලාපීය බලවතෙකු ශක්තිමත් කිරීම ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ අභිප්‍රාය බව පෙනී යනවා.

මේ හේතුවෙන්ම මෙම නව සන්ධානය පිළිබඳ චීනය සිටින්නේ එතරම් පැහැදීමකින් නොවෙයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක චාඕ ලිජියෑංග් කියා සිටියේ මෙමගින් කලාපය අස්ථාවර වීම සිදුවන බවයි.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඇමරිකාව ප්‍රමුඛ රටවල් න්‍යෂ්ටික තාක්ෂණය ගෝලීය දේශපාලනික අවශ්‍යතා යොදවාගන්නා බවත්, අන් අයට එසේ නොකරන ලෙස පවසමින් ඔවුන් ද එයම සිදුකරන බවත් ඔහු චෝදනා කළා.

ප්‍රංශ විරෝධය
ප්‍රංශය මෙම සන්ධානය පිළිබඳ හෙළිදරව් වීමත් සමග ඉතා දැඩි ලෙස නොසතුටු වුණා. ප්‍රංශ විදේශ අමාත්‍යවරයා මෙම සන්ධානය පිළිබඳ ප්‍රකාශ කළේ එය පිටිපසින් පැමිණ පිහියෙන් ඇනීමක් බවයි.

ප්‍රංශය AUKUS පිළිබඳ කෝප වීමට බලපෑ ප්‍රධාන හේතු දෙකක් වනවා. එයින් ඉතාම පැහැදිලිව දිස්වන හේතුව වන්නේ ඔස්ට්‍රේලියාව සමග ඔවුන් විසින් 2016 දී ඇතිකරගන්නා ලද සාමාන්‍ය සබ්මැරීන නිපදවීම සඳහා වන යූරෝ බිලියන 43 ක එකඟතාවය මේ සමගම අහෝසි වීමයි. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සඳහා ඔස්ට්‍රේලියාව යොමුවීමත් සමග ඔවුන්ට සාමාන්‍ය සබ්මැරීනවල අවශ්‍යතාවයක් තවදුරටත් පවතින්නේ නැහැ.


අලුත් සන්ධානයේ ධජ

ප්‍රංශය කෝප ගන්වන දෙවන හේතුව නම් එරට නොදැන තවත් මිත්‍ර රටවල් කිහිපයක් විසින් මෙවන් ක්‍රියාවක් වෙත එළඹීමයි. තමන් නොසලකා හරින ලදැයි යන අදහසක් ප්‍රංශය වෙත මේ හේතුවෙන් ඇතිවී තිබෙනවා.

සිය අප්‍රසාදය පළ කරමින් ප්‍රංශය විසින් ඔස්ට්‍රේලියාවේ මෙන්ම ඇමරිකාවේ සිටින සිය තානාපතිවරුන් පැරිසිය වෙත ගෙන්වාගන්නට කටයුතු කළා.

ප්‍රංශය මෙසේ විරෝධය දැක්වූව ද නේටෝ සංවිධානයේ අනෙකුත් රටවල් මෙම එකඟතාව පිළිබඳ එතරම් කලබල වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. එමෙන්ම බ්‍රිතාන්‍යය පාර්ශවයෙන් සැලකූ විට යුරෝපා සංගමයෙන් ඉවත්වූ පසු ලෝක දේශපාලනය තුළ සිය බලපෑම නැවත ස්ථාපිත කරගැනීමට ඔවුන් යුහුසුළු වනවා. AUKUS සන්ධානය සඳහා සිය දායකත්වය ඔවුන් දක්වන්නේ ද එම අදහස ද සමගයි.

කෙසේ වෙතත් AUKUS යනු දැන් නොවැළැක්විය හැකි සත්‍යයක්. එහෙයින් ප්‍රංශයට ඒ සමග ජීවත් වන්නට හුරු වෙන්නට වේවි. නමුත් වඩා වැදගත් වන්නේ චීනය ඊට දක්වන දිගු කාලීන ප්‍රතිචාරයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.