රටවල් 19ක් BRICS සංවිධානයට​?

April 29, 2023

පසුගිය දිනෙක දකුණු අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රිකයකු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් BRICS සංවිධානය කලින් සිතූ තරමටත් වඩා වැඩි වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව පිළිබඳ කතාබහක් ඇතිව තිබෙනවා.

BRICS හි දකුණු අප්‍රිකානු තානාපති අනිල් සූක්ලාල් පසුගියදා සඳහන් කළේ මේ වනවිට රටවල් 19 ක් සමග එක්වීමට අවධානය යොමුකර ඇති බවයි. එයින් රටවල් 13 ක් මේ වනවිට ද නිල වශයෙන් ඉල්ලීම් කර ඇති බවත් අනෙක් රටවල් ඒ සඳහා උනන්දුවක් පෙන්නුම් කර ඇති බවත් සූක්ලාල් පවසා තිබුණා.

@elearninglk

සූක්ලාල් තව දුරටත් කියා සිටියේ BRICS සංවිධානය විශාල කිරීම පිළිබඳ ජූනි මාසයේ දී එම සංවිධානයේ නියෝජිතයන් දකුණු අප්‍රිකාවේදී හමුවී සාකච්ඡා කරනු ඇති බවයි. මීළඟ රාජ්‍ය නායක හමුව අගෝස්තුවේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙනු ඇති.

BRICS සංවිධානය
බ්‍රසීලය​, රුසියාව​, ඉන්දියාව සහ චීනය ඇතුලත්ව ලෝකයේ නැගී එන ආර්ථිකයන් පිළිබඳ BRIC යන නම මුලින්ම හඳුන්වා දෙන ලද්දේ ගෝල්ඩ්මන් සැක්ස් ආයතනයේ ආර්ථික විශේෂඥයකු වූ ජිම් ඔ’නීල් විසින් බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත්, මෙම රටවල් අතර රාජ්‍ය නායක මට්ටමේ සමුළුවක් මුලින්ම පවත්වන ලද්දේ 2009 වර්ෂයේ යි.

2010 දී දකුණු අප්‍රිකාව ද මෙම රටවල් අතරට එක් වූ පසු මෙම එකමුතුව BRICS යයි හඳුන්වා දෙනු ලැබුණා.


බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ නව සංවර්ධන බැංකු ප්‍රධානී ඩිල්මා රූසෙෆ්

මෙම සංවිධානය විසින් 2014 දී අන්තර්ජාතික බැංකුවක් ද ස්ථාපිත කරන ලද අතර එය හැඳින්වෙන්නේ නව සංවර්ධන බැංකුව යන නමින්. නැගී එන ආර්ථිකයන් හි සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ තිරසර සංවර්ධනය සඳහා දායකත්වය සැපයීම එහි අරමුණ ලෙස සඳහන් වනවා.

සංවිධානය විසින් නව මුදල් ඒකකයක් හඳුන්වාදීම පිළිබඳ ද සංවාදයක් කරලියට පැමිණ ඇත්තේ මේ අතරවාරයේ යි. කෙසේ වෙතත් එය කඩිනමින් සිදුවේ යයි සිතන්නට අපහසුයි.

BRICS හි වැදගත්කම​
ලෝක දේශපාලනයෙහි සංවිධානයෙහි වැදගත්කම මෑත කාලීනව ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ ලෝකය බහු ධ්‍රැවීය ස්වභාවයක් කරා ගමන් කිරීමත් සමග කලාපීය සංවිධාන සමහරක් සවිමත් වීම දකින්නට ලැබුණා.

කෙසේ වෙතත් ගෝලීය මට්ටමේ දැනට පවතින සංවිධාන සියල්ලක්ම පාහේ බටහිර රටවල පාලනය යටතේ පවතිනවා යනු ඊට විකල්පයක්. මේ හේතුව නිසාම බටහිර ලැදි පුද්ගලයන් සහ රටවල් මෙම සංවිධානයෙහි වැදගත්කම හෑල්ලුවට ලක් කරනු දකින්නට පුළුවන්. නමුත් එය ලෝක දේශපාලනයේදී ස්වාභාවික තත්ත්වයක්.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඕනෑම ආකාරයක විකල්ප බලවේගයක් නැගී එනවිට දැනට ලෝකයේ අධිපතිත්වය පවත්වාගෙන යන පාර්ශව කලබල වීම සාමාන්‍ය දෙයක්. නමුත් විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධය අරභයා සිදුවූ සිදුවීම් මාලාවෙන් පසු, ඇමරිකානු ඩොලර් ආධිපත්‍යයට දිගටම එකඟ වී සිටීමේ අයහපත් ප්‍රතිඵල පිළිබඳ ඇතැම් රටවල් විශාල අවධානයක් යොමු කරන බවක් පෙනී යනවා. විකල්ප දේශපාලන සංවිධානයන් කරා යොමු වන්නේ ද එම පසුබිමේ යි.

BRICS සංවිධානය පුළුල් වීම​
2023 වසරේදී BRICS වෙත එක් වීමට ඉඩ ඇති රටක් යයි අනුමාන කළ හැකි රට වන්නේ සෞදි අරාබියයි. එය නිල වශයෙන් සාමාජිකත්වය ඉල්ලා ඇති අතර බොහෝ විට මෙම වසර තුළ එරටට සාමාජිකත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


Click on the Image

මේ අතර ඉරානය ද සාමාජිකත්වය ඉල්ලා ඇතත් එය මෙම වසර තුළ සිදුවේ යයි දැනට අනුමාන කළ නොහැකියි. ඊට අමතරව ආර්ජන්ටිනාව​, එක්සත් අරාබි එමීර්, බහරේන්, ඇල්ජීරියාව​, ඊජිප්තුව සහ ඉන්දුනීසියාව ආදී රටවල් සංවිධානයට බැඳීම සඳහා උනන්දුවක් දක්වා තිබෙනවා.

කලක් තිස්සේ චීනය අරාබිකරය තුළ සිය බලපෑම පුළුල් කිරීමත්, කලක පටන් පැවති සෞදි අරාබිය සහ ඉරානය අතර එදිරිවාදිකම් සමනය කිරීමට මැදිහත් වීමෙන් චීනය ලද කීර්තියත් හේතුවෙන් එම කලාපයේ රටවල් වෙත BRICS ආකර්ශනය වීම වැඩිවී ඇති සෙයක් පෙනී යනවා.


චීනය මැදිහත්ව සිදුවූ සෞදි – ඉරාන එකඟතාව ලෝක බල තුලනයේ වැදගත් සාධකයක්

දැනට BRICS සංවිධානයෙහි සාමාජිකයන් සැලකීමේ දී චීනය අන් රටවල් හතරෙහිම ආර්ථිකයන්ට වඩා විශාල තනි ආර්ථිකයක් හෙබි රට ලෙස පෙනී යනවා. දැනට රටවල් පහේ සමස්ථ දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 28 ක් පමණ වෙද්දී ඉන් ඇමරිකන් ඩොලර් බිලියන 18 ක පමණ ප්‍රමාණයක් ලැබෙන්නේ චීනයෙන්.

මේ හේතුව නිසා සංවිධානය චීනයේ බලපෑමට නතු විය හැකි යයි මතයක් නිර්මාණය වෙමින් තිබෙනවා. අලුතින් එක්වන සාමාජිකයන් අතරේ ද චීන හිතවාදී රාජ්‍යයන් වැඩිපුර වුවහොත් එය චීනයට සංවිධානය තුළ සිය බලපෑම තවත් ව්‍යාප්ත කිරීමට ඉවහල් විය හැකි බවට මතයක් පවතිනවා.


Click on the Image

විශේෂයෙන්ම චීනය සහ ඉන්දියාව අතර පවතින අර්බුදය සංවිධානයේ සාර්ථකත්වය පිළිබඳ සැක පහළ කරන්නන් විසින් නිරන්තරයෙන් නිදර්ශනයට ගෙන පෙන්වා දෙන්නක්. පැහැදිලිවම මෙම අර්බුදය විසඳාගැනීමට මෙම දෙරට යොමු වීම කෙරෙහි බටහිර රටවල හිතවාදීන් අතර එතරම් ප්‍රසාදයක් තිබිය නොහැකියි.

කෙසේ වෙතත් ඊට වෙනස් මතයක් දරන විශ්ලේෂකයන් සමහරෙක් පෙන්වා දෙන කරුණ වන්නේ චීන – ඉන්දියා ගැටළුවට මූලය වී ඇත්තේ ද යටත් විජිත යුගය දක්වා දිවෙන මතභේදයක් බවයි. බටහිර රටවල් එම අර්බුදය විසඳනු දැකීමට නොකැමැති බව පෙන්වා දෙන ඔවුන් කියා සිටින්නේ නව ගෝලීය තත්ත්වයන් යටතේ චීනය හා ඉන්දියාව සිය ගැටළු නිරාකරණය කරගැනීමට කටයුතු කළ යුතු බවයි.


චීන – ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරුන් අතර හමුව

මෑතකදී චීන ආරක්ෂක ඇමතිවරයා ඉන්දියාවේ සංචාරය කරමින් එරට ආරක්ෂක ඇමතිවරයා හමුවී ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වනු ද දකින්නට ලැබුණා. දෙපාර්ශවය අතර හමුදා නිලධාරීමය මට්ටමේ සාකච්ඡා කළක පටන් පවතිනවා.

දේශසීමා අර්බුදය විසඳාගැනීම සඳහා තව බොහෝ දුර යා යුතු වුවත් මේ වනවිට තත්ත්වය පාලනය වූ මට්ටමක තිබෙනවා.

නමුත් ඉන්දියාව තවමත් චීනයේ කටයුතු පිළිබඳ දැඩි අවධානයෙන් පසුවනවා. ඇමරිකාව​, ජපානය සහ ඔස්ට්‍රේලියාව සමග ඉන්දියාව ක්වොඩ් සංවිධානයට සම් බන් ධව සිටින්නේ ද එම කරුණ නිසයි.

නමුත් අනෙක් අතින් ෂැංහයි සහයෝගීතා සංවිධානය වැනි සංවිධාන හරහා චීනය සමග ද ඉන්දියාව සම්බන්ධතා පවත්වාගෙන යනවා. මේ නිසා, විශේෂයෙන්ම සංවිධානයේ දියුණුව බලාපොරොත්තු වන්නන් අපේක්ෂා කරන්නේ වැනි සංවිධානයක් හරහා හෝ ඇතිවන සබඳතා මගින් චීන ඉන්දියා අර්බුද නිරාකරණය වනු ඇති බවයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.