ජෛන දැක්ම බෞද්ධ දැක්මෙන් වෙනස් වන්නේ කෙසේද?
1. ගෞතම බුදුන්වහන්සේ ජෛන මහාවීරට වඩා බාල එනමුත් සමකාලීන ශාස්තෘවරයෙකි. උපාලි, සීහසේනාධිපති වැනි ජෛන ශ්‍රාවකයන් බුදු දහම වැළඳගත් අවස්ථා රාශියක් බෞද්ධ සූත්‍ර වල සඳහන්ය.
2. බුද්ධ චරිතය ගැන අද ප්‍රසිද්ධ බොහෝ විස්තර සඳහන් වන්නේ මහායාන ලලිත විස්තරය කෘතියේය. එම චරිත විස්තර හා ජෛන මහා වීරගේ චරිතය ගැන ඇති විස්තර අතර යම් යම් සමානකම් තිබේ. එනමුත් ඔවුන් දෙදෙනා එක පුද්ගලයෙකු ලෙස සැලකීම මුග්ධය. උදාහරණයක් ලෙස ජේසුස් වහන්සේගේ චරිතය ගැන හා ක්‍රිෂ්ණා ගේ චරිතය ගැන කියවෙන සමහර විස්තර සමාන මුත්, ඔවුන් පුද්ගල චරිත දෙකකි.
3. ජෛන දැක්ම පරම අවිහිංසාවාදීය. බුදු දහම අවිහිංසාවාදී වුවද පරම අවිහිංසාවාදී නැත. උදාහරණයක් ලෙස ජෛනයන් මෙන් vegetarian විය යුතුම යැයි බුදුන්වහන්සේ උගන්වන්නේ නැත. තවද චුල්ලවග්ගපාලියේ තලසත්තක ශික්ෂාපදය අනුව ආත්මාරක්ෂාවට බෞද්ධ භික්ෂුවකට ආයුදයක් වුවද අතට ගෙන පෙරළා තර්ජනය කළ හැකිය.(විනයානුකූලව කැපය). පහාර ශික්ෂාපදය අනුව ආත්මාරක්ෂාවේ චේතනාවෙන් පෙරළා කරන පහරදීමක් නිසා යමෙකු මියගියහොත් ඉන් කිසිඳු විනය ශික්ෂා පදයක් උල්ලංඝනය නොවේ. ජාතක පාලියේ දීපි ජාතකයේදී “දුෂ්ටයාට පරාක්‍රමයම යෙදිය යුතු බැව්” බුදුන්වහන්සේ වදාළ සේක.
Ref: https://www.facebook.com/yalithwasantha.wijesurendra/posts/10155020137540699
(කකචූපම අවවාදය {කැලයේ යද්දී හොරු පැමිණ ශරීරය කඩ කඩ කොට ඉරද්දීත් සොරු කෙරෙහි මෛත්‍රිය පැතිරවීම} පිළිපැදීමට හැකි මට්ටම දක්වා සිත දියුණු කිරීම අපේක්ෂා කරන මුත්, එය විනයානුකූලව අනිවාර්ය නැත)
4. බුදු දහමට අනුව කර්ම රැස්වන්නේ චේතනාවට සාපේක්ෂවය. සිත සියල්ලට වඩා බලවත්ය. එනමුත් ජෛනයෝ කය(කාය දණ්ඩ) සිතට වඩා බලවත් බැව් විශ්වාස කරති. එහෙයින් චේතනාවක් නොමැතිව වුවද කයට පාගෙන කුඩා සතුන් නිසා පාප කර්ම රැස් වේ. එනිසා ජෛන සාධූවරුන් මුස්නක් ගෙන මාර්ගය පිහිදමින් ගමන් කරති. බෞද්ධ භික්ෂූන් එසේ කරන්නේ නැත.
5. ජෛනාගමේ ආත්මයට වධ දීමේ යෝග ක්‍රමය අනුගමනයෙන්, ආත්මයට ඇලී ඇති කර්ම අංශු දවා හළු කිරීමෙන් කේවල ඥානය ලබා සත්‍යය අවබෝධ කළ හැකියයි විශ්වාස කෙරේ. බුදුන් මෙම අත්තකිලමතානුයෝගය හෙළා දුටුවේය. උන්වහන්සේ පවු දිරවන චේතනාවෙන් කයට වධ දෙන ජෛනයන්ගෙන්, “පෙර පවු කළා කියා දන්නවාද? තව කොච්චර පවු දිරවන්න තියෙනවාද කියා දන්නවාද? ” වැනි ප්‍රශ්න අසා, ඔවුන් පෙර ආත්ම වල අනිවාර්යයෙන් මහා පවුකාරයන් වන්නට ඇතැයි දක්වා, ඔවුන්ගේ පිළිවෙත සමච්චලයට ලක් කළ සේක.
6. උන්වහන්සේගේ දැක්ම ජෛන ආත්මවාදය මෙන් නොව අනාත්මවාදී එකකි. සත්වයෙකුගේ අනන්‍යතාව තීරණය වන නිත්‍ය සාරයක් ඇතැයි උන්වහන්සේ උගන්වන්නේ නැත. සමථයෙන් සිත සමාධිමත් කර අනිත්‍ය-දුක්ඛ-අනත්ත යතාර්ථය විදර්ශනාවට නැංවීමෙන්, තන්හා උපාදාන ක්ෂය කොට, මමංකාරය විසංයෝජනය කර දැමීමෙන් ,සිතේ කර්ම සංඛාර රැස් වීම නවතා දැමීමෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කර නිවන් දැකිය හැකි යැයි බුදුන්වහන්සේ දේශනා කළේය. මමංකාරය සපුරා විසංයෝජනය කළ රහතන්වහන්සේ මරණින් මතු නැවත ඉපදීමකින් තොරව, පහන් සීල නිවෙන සේ පිරිනිවී යති.
ජෛන නිවන වනාහි දැඩි තපස් මගින් ආත්මය අපිරිසිදු කර තිබෙන කර්ම පුළුස්සා ආත්මය එහි මුල් ස්වරූපයට පත් කිරීමයි. එවිට “සිද්ධ” තත්වයට ලඟා වන අතර මරණින් මතු ඔවුහු සිද්ධාශීල නම් වූ විශ්වයේ ඉහළම තලයේ අනන්ත වූ සමාධි සුව විඳිමින් සදාකාලිකව වෙසෙති.
7. ජෛන (දිගම්බර)සාධුවරුන් නිරුවතින් සිටිති. බුදුන්වහන්සේ ඔවුන්ට විලි ලැජ්ජාවක් නැතැයි ගරහා තිබේ.
8. ජෛන ගිහියෝ ගොවිතැනින් පවා සතුන් මැරෙන බැව් සලකා, බොහෝදුරට වෙළෙඳාමේ නියුක්ත වෙති. බෞද්ධ ගිහි ප්‍රතිපදාව ඉගැන්වෙන ව්‍යග්ගපජ්ජ සූත්‍රය අනුව හමුදා සේවය පවා ගිහි බෞද්ධයන්ට කැපය. වානිජ්ජ සූත්‍රයේ වස-විස-වහල්-ආයුධ-මාංශ-මත් ද්‍රව්‍ය වෙළෙඳ කටයුතු ගිහි බෞද්ධයන්ට නොසුදුසු බව දක්වා තිබේ.
මේ අනුව පෙනී යන්නේ බුදු දහම ජෛනාගම මෙන් අන්තවාදයක් නොව මධ්‍යම ප්‍රතිපදාවක් බවය. කෙසේ වුවද ඉන්දියාවේ බිහි වූ ජෛන- බෞද්ධ- සික්- හින්දු (වේදාන්ත – යෝග- න්‍යාය – වෛශේෂික- සාංඛ්‍ය හා මීමන්සා ) ආදී ආධ්‍යාත්මික ආගමික සම්ප්රදායන්හි ඉගැන්වීම් වල විවිධ සමානකම් තිබේ. වෙනස්කම් ද තිබේ.
ජෛන-බෞද්ධ ඉගැන්වීම් වල සමානකම් උපුටා දක්වන ඇතැමුන් බුදු දහම ජෛන ආගමින් කොපි කළා යැයි කියති. එහි අනිත් පැත්ත එනම් ජෛන ආගම බුද්ධාගමෙන් කොපි කළා යැයිද අපට කිව හැකිය.
එනමුත් සැබෑව වනාහි එකම අර්ධද්වීපයක එකම කාලයක බිහි වී සියවස් ගණනාවක් තිස්සේ පරිනාමය වූ දර්ශන සම්ප්රදායයන් දෙකක සමාන ඉගැන්වීම් තිබීම පුදුමයක් නොවීමයි. සමානකම් තිබුණද ඉහත දක්වා ඇති වෙනස්කම් හේතුවෙන් මේවා වෙන වෙනම දර්ශන දෙකක් ලෙස හඳුනාගැනීම අපහසු නැත.
eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.