ඉෂාලිනීගේ මරණය, ළමා මෙහෙකාර සේවය සහ රටේ නීතිය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය කළ වතුකරයේ දෙමළ දැරියක් වූ ජූඩ් කුමාර් ඉෂාලිනී මියයාමේ සිද්ධිය මේවනවිට සමාජයේ උණුසුම් මාතෘකාවක් වී තිබේ. වයස අවුරුදු 16 ක් වූ මෙම දැරිය, ඇයගේ දෙමව්පියන්ගේ ණය මුදලකට හිලව්වක් ලෙස, සේවිකාවක් ලෙස නිවසකට භාර දීමට තැනැත්තෙකුට ලබා දී තිබේ.

එම තැනැත්තා තැරැව්කරුවෙකු ලෙස කටයුතු කරමින් මෙම දැරිය මෙහෙකාරියක් ලෙස රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයට ලබා දී තිබේ. ඇය එහි සේවය කරන කාලය පුරාවටම විවිධ වධහිංසා වලට ලක්ව ඇති අතර ඒ බව ඇය තමන්ගේ මවට දුරකතනයෙන් පවසා ඇති බව වාර්තා වේ. එමෙන්ම ඇයට වාසය කිරීමට සිදුව ඇත්තේ විදුලි එළිය හෝ විදුලි පංකා නොමැති කුඩා කාමරයක බවත් රාත්‍රියේ ඇයව එයට දමා දොර වසා දමා උදෑසන මෙහෙකාර කටයුතු උදෙසා එළියට ගත් බවත් කියැවේ. තවද දෙමව්පියන්ට ඒ දරුවා බැලීමට හෝ ඒ දරුවාට ගමේ යාමට හෝ ඉඩක් නොතබා ඇයව අයුතු සිරකර තැබීමකට භාජනය කොට ඇති බව පෙනේ. අවසානයේ ඇය ශරීරයට බූමිතෙල් දමා ගිනි තැබීමක් (හෝ ගිනි තබාගැනීමක්) හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර ඉන් මියගියාය. පශ්චාත් මරණ පරීක්ෂණය මගින් සනාථ වී ඇත්තේ ඇයව නිරන්තරයෙන් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවයි.

ලංකාවේ මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. විශේෂයෙන් වතු දෙමළ දැරියන් සහ කාන්තාවන්, තැරැව්කරුවන් හරහා ගෙන්වාගෙන ගෘහ සේවිකාවන් ලෙස සේවයට යොදවා ගන්නා අවස්ථා ද ඔවුන්ව විවිධ කායික මානසික හිංසනයන්ට ලක් කරන අවස්ථාද, ලිංගික අපයෝජනයන්ට ලක් වන අවස්ථා ද වාර්තා වේ. උක්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේම මීට පෙරත් මෙහෙකාර දැරියන් මෙසේ කෲරත්වයට සහ ලිංගික අපයෝජනයන්ට ලක්වී ඇති බව දැන් හෙළිදරව් වී තිබේ. ලංකාවේ වතු දෙමළ ජනතාව තවමත් ඉතාම දුප්පත් අවවරප්‍රසාදිත මට්ටමක වෙසෙති. ඒ හේතුවෙන් ඔවුන් වතු වල ශ්‍රමය සූරාකෑමට ලක් වෙනවාක් මෙන්ම මෙසේ සේවකයන් / සේවිකාවන් ලෙස ශ්‍රම සූරා කෑමටද ලක් වෙති. තවද උක්ත දැරිය මෙන් ලිංගික අපයෝජනයන් හට සහ වෙනත් හිංසාවන් හටද භාජනය වෙති.

මේ තත්වය පැහැදිලිවම වෙනස් විය යුත්තකි. එය වෙනස් කළ හැක්කේ දේශපාලනික, සමාජයීය සහ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයක් ඔස්සේ පමණි.

මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ උක්ත දැරියගේ සිද්ධිය වැනි සිද්ධියක් හා අදාළ වන නෛතික තත්වය විමසා බැලීමටය.

ලංකාවේ නීතියේ පදනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් විග්‍රහ වන තුන්වන පරිච්ඡේදයේ 12 වන ව්‍යවස්ථාවේ මෙසේ කියැවේ.

“11. කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුතුය.

12 (2) කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය:”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ විධායක හෝ පරිපාලනමය ක්‍රියාවකින් ඒ අයිතිවාසිකමක් උල්ලංඝනය වන අවස්ථාවක පමණි. එනමුත් වෙනත් පුද්ගලයන්ගේ ක්‍රියා හේතුවෙන් එබඳු තත්වයන් ජනිත වී ඇති අවස්ථා වලදී බලාත්මක කළ හැකි වෙනත් අපරාධ නීති තිබේ.

ප්‍රවෘත්ති වාර්තා වල පලවන පරිදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රී නිවසේ මෙහෙකාර සේවය කළ ජූඩ් කුමාර් ඉෂාලිනී මියයාමේ සිද්ධිය සම්බන්ධ චූදිතයන්ට එල්ල වී ඇති චෝදනා වන්නේ
– බාලවයස්කාර දැරියක මෙහෙකාර සේවයේ යෙදවීම
– බාලවයස්කාර දැරියක වෙළෙඳාම් කිරීම
– දැරිය කෲරත්වයට පත් කිරීම

යන ඒවාය.

බාලවයස්කාර දරුවන් ගෘහ සේවයේ යෙදවීම
බාලවයස්කාර දරුවන් ගෘහ සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ලංකාවේ නෛතික තත්වය ස්ථාපනය කෙරී ඇත්තේ 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත මගිනි. මෙම පනතේ 34 වගන්තියේ අර්ථනිරූපන අනුව වයස අවුරුදු 14ට අඩු අය ළමයින් වශයෙන් සැලකුණි. එනමුත් මෙම පනතට 2021 අංක 2 දරණ සංශෝධනය 2021-01-18 දින පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර එයින් එම වයස් මට්ටම 16 දක්වා ඉහළ දැමුණි. පසුගියදා 2021-07-27 කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ එම වයස් මට්ටම 18 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය නීති කෙටුම්පත් කටයුතු අරඹා ඇති බවයි.

1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත මගින් ළමයෙකු කුමන ආකාරයකින් හෝ (ගෘහ සේවකයෙකු වශයෙන් ඇතුලුව) සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. (වගන්ති 13(1) / 7(1) )

13 (2) (1) උපවගන්තියේ සහ 7(3) උපවගන්තියේ එම තහනම කඩ කිරීමට නියම වන දඬුවම් දක්වා තිබේ. එනම් රුපියල් දසදහසක දඩයක් සහ වසරක සිර දඬුවමකි.

එමෙන්ම එම පනතේ 17(1) වගන්තියේ මෙසේ කියැවේ.

කිසිම තැනැත්තෙකු විසින්

(අ) යම් ලිඛිත නීතියක විධිවිධාන අනුව පාසලට යාමෙන් ළමයෙකු වලක්වන අන්දමින් ඒ ළමයා සේවයෙහි නොදිය යුතුය.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

බාලවයස්කාර දැරියක වෙළෙඳාම් කිරීම
උක්ත සිද්ධියේදී වයස අවුරුදු 16 ක් වූ මෙම දැරිය, ඇයගේ දෙමව්පියන්ගේ ණය මුදලකට හිලව්වක් ලෙස, සේවිකාවක් ලෙස නිවසකට භාර දීමට තැනැත්තෙකුට ලබා දී තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයට 2006 සිදු කළ අංක 16 දරන සංශෝධනයේ 7 වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියේ 358 වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් වගන්තිය ඇතුළත් කොට තිබේ.

358 අ (1) (අ) යම් තැනැත්තෙකු, ණය බැඳුම්කරයකට හෝ දාසභාවයට පත් කරවන හෝ එසේ පත් කරවීමට සලස්වන

(ආ) යම් තැනැත්තෙකු බලහත්කාරයෙන් හෝ අනිවාර්යයෙන් වැඩ ගැනීමට යටත් කරවන හෝ එසේ යටත් කිරීමට සලස්වන

(ඇ) යම් තැනැත්තෙකු වහල්කමට භාජනය කරවන හෝ එසේ භාජනය කිරීමට සලස්වන ; හෝ

(ඈ) සන්නද්ධ අරගලයක දී යෙදවීම සඳහා යම් ළමයෙකු යොදා ගන්නා හෝ බඳවා ගන්නා

තැනැත්තෙකු වරදකට වැරදිකරු වන්නේය.

මේ වරදකට වරදකරු වන තැනැත්තෙකු වසර විස්සක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කළ හැකි බවත්, ඒ වරදට භාජනය වන්නේ ළමයෙකු නම් අවුරුදු තිහක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කළ හැකි බවත් 138 අ (2) වගන්තියේ දැක්වේ.

එමෙන්ම ළමයා යන්නෙන් අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු අදහස් වන බව 138 අ (3) වගන්තියේ දැක්වේ.

තවද දණ්ඩ නීති සංග්‍රහයට 2006 සිදු කළ අංක 16 දරන සංශෝධනයේ 8 වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියේ 360 ඇ වගන්තිය ඉවත් කොට 360 ඇ වගන්තියක් හඳුන්වා දී තිබේ. ඉන් තැනැත්තන් වෙළෙඳාම් කිරීමට අදාළ නීති තත්වය හඳුන්වා දී තිබේ.

එහි ඇ කොටසේ මෙසේ කියැවේ

ඇ. යම් ළමයෙකුගෙන් බලහත්කාරයෙන් හෝ අනිවාර්යයෙන් වැඩ ගැනීමේ හෝ සේවය ලබා ගැනීමේ, එම ළමයා වහල්භාවයේ යෙදවීමේ පරවශතාවය හෝ ශරීර අංග ඉවත් කිරීමේ, වෛශ්‍යා වෘත්තියේ හෝ වෙනත් ආකාරයක යුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ කාර්ය සඳහා හෝ යම් නීතියක් යටතේ වරදක් සංයුක්ත වන්නා වූ වෙනත් යම් ක්‍රියාවක් සඳහා එම ළමයාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව එම ළමයා සේවයට බඳවා ගන්නා, ප්‍රවාහනය කරන, මාරු කරන එම ලමයට ආරක්ෂාව සලසා දෙන හෝ ළමයා භාර ගන්නා හෝ වෙනත් යම් ක්‍රියාවක් සිදු කරන කවර හෝ තැනැත්තෙකු, තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ වරදට වැරදිකරු වන්නේය.

මෙයට දඬුවම් ලෙස වසර 2-20 දක්වා සිර දඬුවම් පැමිණවිය හැකිය.

දැරිය කෲරත්වයට පත් කිරීම
තවද තවද දණ්ඩ නීති සංග්‍රහයට 2006 සිදු කළ අංක 16 දරන සංශෝධනයේ 3 වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියේ 308 වගන්තියට අනතුරුව 308 අ වගන්තිය පනවා ඇති අතර ඒ මගින් ළමයින් කෲරත්වයට භාජනය කිරීමට අදාළ නෛතික ප්‍රතිපාදන බලාත්මක කොට තිබේ. කෲරත්වයට භාජනය කිරීම යනු කුමක්දැයි එහි දීර්ඝව විස්තර කොට ඇති අතර ඊට දඬුවම් ලෙස වසර 2 සිට 10 දක්වා බරපතළ වැඩ ඇතිව හෝ නැතුව සිර දඬුවම්ද දඩ සහ වන්දි ද නියම කළ හැකිය.

දණ්ඩ නීති සංග්‍රහයේ 310 සිට 329 දක්වා තුවාල කිරීම හා අදාළ නීති තත්වය සවිස්තරව විස්තර කොට තිබේ. 316 වගන්තියට අනුව බරපතළ තුවාල සිදු කරන තැනැත්තෙකු වසර හතක් දක්වා බන්ධනාගාරගත කළ හැක. 317 වෙනි වගන්තියේ මෙසේ සඳහන් වේ.

317. 326 වෙනි වගන්තියේ සලස්වා ඇති අවස්තාවේදී හැර, වෙඩි තැබීම, පිහියෙන් ඇනීම හෝ කැපීම සඳහා වූ උපකරණයක මාර්ගයෙන් හෝ පහර දීමේ ආයුධයක් වශයෙන් පාවිච්චි කළහොත්, මරණය සිදු කළ හැකි උපකරණයක මාර්ගයෙන් හෝ ගින්නෙන් හෝ රත් කරනු ලැබූ ද්‍රව්‍යයකින්, විෂ වර්ගයකින් හෝ (ඇසිඩ් වැනි ) කා දමන ද්‍රව්‍යයකින් හෝ පුපුරණ ද්‍රව්‍යයකින් හෝ මනුෂ්‍ය ශරීරයට ආශ්වාස කිරීමට, ගිලීමට හෝ ලේ සමඟ මිශ්‍රවීමට අන්තරාදායක ද්‍රව්‍යයකින් හෝ යම් සතෙකුගේ මාර්ගයෙන්, කැමැත්තෙන්ම බරපතළ තුවාල සිදු කරන තැනැත්තෙකුට අවුරුදු දහය දක්වා කාලයක, දෙයාකාරයෙන් එක ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකටද යටත් කළ යුතුය.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අයුතු සිර කර තැබීමේ වරද
දණ්ඩ නීති සංග්‍රහයේ 331 වගන්තියේ අයුතු සිර කර තැබීමේ වරද විග්‍රහ කොට තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 335 වගන්තියට අනුව යමෙකු යම් තැනැත්තෙකු දවස් දහයක් හෝ ඊට වැඩි දින ගණනක් යුතු ලෙස සිර කොට තබතහොත්ය, ඔහුට අවුරුදු තුන දල්වා කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැක.

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය
දණ්ඩ නීති සංග්‍රහයට 1995 සිදු කළ අංක 22 දරන සංශෝධනයේ 12 වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියේ 363 වගන්තිය සංශෝධනය කර ඇති අතර ඒ අනුව අවුරුදු 16ට අඩු ගැහැණු දරුවෙකු හා ඇයගේ කැමැත්ත ඇතිව වුව සංසර්ගයේ යෙදුණත් එය “ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය” නම් වරද සංස්ථාපනය කරයි. දඬුවම වසර 10ත් 20ත් අතර බරපතළ වැඩ ඇති සිර දඬුවම්ය.

මනුෂ්‍ය ඝාතනය
ලංකා නීතිය යටතේ මිනීමැරුම මරණීය දණ්ඩනයෙන් දඬුවම් කළ හැකි වරදක් වන අතර සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධ නීති තත්වය දණ්ඩ නීති සංග්‍රහයේ 293 – 301 දක්වා වගන්ති වල විග්‍රහ කොට තිබේ.

මේ අනුව පෙනී යන්නේ ලංකාවේ නීති පද්ධතිය, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම උදෙසා ප්‍රමාණවත් නීති වලින් සමන්විත වන බවයි. මේ නීති පද්ධතිය වඩාත් ශක්තිමත් කළ යුතු වෙනවාක් මෙන්ම පවත්නා නීති නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීම උදෙසා පියවර ගත යුත්තේය. තවද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1989 වසරේදී සම්මත කරගන්නා ලද හා 1991 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ස්ථිර(Ratify) කරන ලද “එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය” ප්‍රකාර ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා විශේෂ අණ පනත් පැනවීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තකි.

eLearning.lk නිවේදනය
මෙම ලිපිය පල කිරීමේ මූලික සහ එකම අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සහ අණ පණත් පිළිබඳව ඔබ වෙත දැනුමක් ලබා දීම පමණක් වන අතර පුද්ගල චරිත විවේචනය කිරීමක් හෝ කිසිදු දේශපාලනික පක්ෂයකට සහාය දැක්වීමක් සිදු නොවේ.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.