හිටපු ගරිල්ලා නායකයෙක් කොළොම්බියාවේ ජනාධිපති ධුරයට​

June 19, 2022

කොළොම්බියාවේ ජනාධිපති ධුරය සඳහා හිටපු ගරිල්ලා සංවිධානයක ප්‍රබලයකු ද පසු කලෙක බොගොටා අගනුවර නගරාධිපති සහ කොළොම්බියාවේ සෙනට් සභිකයකු ද වූ ගුස්තාවෝ පෙත්‍රෝ තේරී පත්වුණා. මෙය කොළොම්බියාව වාමාංශික ජනාධිපතිවරයකු පත්කරගත් පළමු අවස්ථාව ලෙස සැලකිය හැකියි. එමෙන්ම උප ජනාධිපති ධුරයට තේරීපත් ව සිටින්නේ අප්‍රිකානු-කොළොම්බියානු කාන්තාවක වීම ද සුවිශේෂී අවස්ථාවක් වනවා.

හැට දෙහැවිරිදි ගුස්තාවෝ පෙත්‍රෝ වයස අවුරුදු 17 දී M-19 ව්‍යාපාරය නම් වූ වාමාංශික කැරලි සංවිධානය සමග සම්බන්ධ වුණා. එය කොළොම්බියාවේ ක්‍රියාත්මක වූ ප්‍රධාන වාමාංශික සන්නද්ධ කැරලිකාරී සංවිධාන තුනෙන් වඩාත් මධ්‍යස්ථ වූ සංවිධානය ලෙසයි සැලකුණේ. 1990 දී එම සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ වූ අතර එකල එය හඳුන්වන ලද්දේ M-19 ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙසයි.


Click on the Image

ගුස්තාවෝ පෙත්‍රෝ ද 1991 දී කොළොම්බියානු කොන්ග්‍රස් සභාවට තේරී පත්වුණා. ඔහු 2012 දී කොළොම්බියානු අගනුවර බොගොටා නගරයෙහි නගරාධිපති ලෙස ද තෝරාගනු ලැබුණා.

පෙත්‍රෝ බෙහෙවින් ප්‍රකටව සිටින්නේ ඔහු විසින් සිදුකළ එක් ප්‍රකට ප්‍රකාශයක් නිසයි. “සංවර්ධිත රටක් යනු දුප්පතුන් සියල්ලන්ට පුද්ගලික රථවාහන තිබෙන රටක් නොව පොහොසතුන් ද පොදු ප්‍රවාහනය භාවිතා කරන රටක්” බව ඔහු වරෙක ප්‍රකාශ කළා. පොදු ප්‍රවාහනය දියුණු කිරීම ඔහුගේ දේශපාලන වැඩපිළිවෙලෙහි එක් ප්‍රධාන අංගයක් වුණා.


ෆ්‍රැන්සියා මාර්කේස් (AFP)

අප්‍රිකානු-කොළොම්බියානු නීතීඥවරියක​, මානව හිමිකම් ක්‍රියාකාරිණියක සහ පරිසර ක්‍රියාකාරිණියක වන ෆ්‍රැන්සියා මාර්කේස් පෙත්‍රෝගේ උප ජනාධිපති තරග සගයා වුණා. හතළිස් හැවිරිදි මාර්කේස් තනිකඩ මවක (single mother) වන අතර ඇයට දරුවන් දෙදෙනකු සිටිනවා. කොළොම්බියානු දේශපාලනයේ කාන්තා සහභාගීත්වය පිළිබඳව මෙන්ම ඊටත් වඩා එරට අප්‍රිකානු සම්භවයක් ඇති ජනතාවගේ අයිතීන් පිළිබඳව මාර්කේස් හඬ නැගුවා. ඇය මුලින්ම සමාජ ක්‍රියාකාරිණියක ලෙස මතු වූයේ ද වයස අවුරුදු පහළවක්ව සිටියදී අප්‍රිකානු-කොළොම්බියානු ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ අරගලයකට සහභාගී වීමෙනුයි. ලතින් ඇමරිකාවේ බොහෝ රටවල මෙන්ම කොළොම්බියාවේ ද පවතින වර්ගවාදී වෙනස්කොට සැලකීමේ පසුබිම හේතුවෙන් අප්‍රිකානු සම් භවයක් ඇති ජනතාව පෙළීමට ලක්වන අතර එම තත්ත්වය වෙනස් කිරීමෙහි ලා මාර්කේස්ගේ ජයග්‍රහණය වැදගත් සන්ධිස්ථානයක් වේ යයි අපේක්ෂා කෙරෙනවා.

විකල්පයක් සඳහා අවකාශය
ලතින් ඇමරිකාවේ බොහොමයක් රටවල් විටින්විට වාමාංශික නායකයින් පත්කරගෙන තිබෙනවා. එමෙන්ම බොහොමයක් ලතින් ඇමරිකානු රටවල ඒකාධිපති පාලනයන්, ඇතැම්විට හමුදා පාලනයන් පැවතියා. නමුත් පසුගිය වසර හැත්තෑවක පමණ කාලය තුළ කොළොම්බියාව මෙම දෙයාකාරයෙන්ම අපගමනය වූ රටක්. 1948-58 සමයේ එරට ප්‍රධාන දේශපාලන පක්ෂ වූ ලිබරල් සහ කන්සර්වේටිව් පක්ෂ අතර සිවිල් යුද්ධයක් පැවති නමුත් 1958 දී එය නිමා වූයේ දෙපිළ අතර ඒකාබද්ධ ආණ්ඩුවක් නිර්මාණය කරන එකඟතාවය සහිතවයි. මෙය 1970 දශකය තෙක් පැවතියා. කෙසේ වෙතත් මෙමගින් සිදුවූයේ විකල්ප බලවේග පසෙකට තල්ලු වීමයි. ඒ සමගම පැවති ඉඩම් ප්‍රශ්නය ද හේතුවෙන් එරට වාමාංශික කැරලිකාර කණ්ඩායම් කිහිපයක්ම මතුවුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට එරට පත්වීමත් සමග ඔවුන් ද රටේ දේශපාලනය සමග ගැටගැසුණා.


පාබ්ලෝ එස්කොබාර්

1990 දශකය වනවිට ඇතැම් වාමාංශික කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණියා. පාබ්ලෝ එස්කොබාර් වැනි පැරණි මත්ද්‍රව්‍ය කල්ලි නායකයන් සහ ඔවුන්ගේ ජාලයන් විනාශයට පත්වුණා. ඒ සමගම කුඩා කණ්ඩායම් එම ජාවාරම අතට ගත්තා. කෙසේ වෙතත් කොළොම්බියාව ලතින් ඇමරිකාවේ බොහොමයක් රටවලට සාපේක්ෂව හොඳ ආර්ථික තත්ත්වයක් පවත්වාගෙන යාමට සමත් වුණා.

එමෙන්ම ලතින් ඇමරිකාවේ වාමාංශික රැල්ල උච්චතම අවධියට පැමිණි 1990 දශකයේ අගභාගයේ සහ 2000 ගණන්වල මුල් කාලයේ ද කොළොම්බියාව ඊට හසුවූයේ නැහැ.

නමුත් කොළොම්බියාවේ පැවති යහපත් ආර්ථික තත්ත්වයෙහි ප්‍රතිලාභ බෙහෙවින්ම භුක්ති වින්ඳේ එරට ධනවත් පැළැන්තියයි. ඉඩම් පිළිබඳ ගැටළුව අද තෙක්ම දිවෙන්නක්. පහළ පන්තීන් හි ජනතාවට සමාජ ප්‍රගමනය ද ඉතා අවම මට්ටමක පැවතියා. 2018 දී එරට ජනාධිපතිවරයා ලෙස ඉවාන් ඩූක් පත්කරගන්නා ලද්දේ විශාල අපේක්ෂාවන් සහිතව වුණත් ඔහු රටේ විශාල පිරිසක් අමනාප කරගන්නට සමත් වුණා.

2021 දී කොරෝනා වසංගතයෙන් බැටකමින් සිටින අතරතුරම බදු ඉහළ නැංවීමේ යෝජනාව ද සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කිරීමේ යෝජනා ද ආදිය හේතුවෙන් විශාල උද්ඝෝෂණ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව හටගත්තා.

කොරෝනා වසංගතය තරමක් දුරට පාලනය වූ පසු කොළොම්බියාවේ ආර්ථිකය සැලකියයුතු මට්ටමකින් පෙර පැවති තත්ත්වය කරා කඩිනමින් පැමිණිය ද ජනාධිපතිවරයා වෙත වූ විවේචන දිගටම පැවතුණා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

2022 ජනාධිපතිවරණය කැඳවන ලද්දේ රටේ පැරණි දේශපාලන සම්ප්‍රදායයන් සහ බලවේග ප්‍රශ්න කෙරෙන මෙවන් පසුබිමකයි. ජනාධිපතිවරණයට මාස ගණනක සිටම ජනමත සමීක්ෂණ අනුව පෙනීගියේ ගුස්තාවෝ පෙත්‍රෝ අන් අපේක්ෂකයන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි. මෙය කොළොම්බියාවේ වෙනසක් අපේක්ෂා කරන ජනතාවගේ මතය හුවාදැක්වීමක් ලෙස පෙන්නුම් කෙරුණා.

විකල්ප අතර සටන
කොළොම්බියානු ජනාධිපතිවරණය උපරිම වට දෙකකින් පැවැත්වෙනවා. පළමු වටයේ ඡන්ද විමසීමෙන් අපේක්ෂකයකු සියයට 50 ක් ඉක්මවා ඡන්ද ලබාගතහොත් ඔහු හෝ ඇය හෝ ජනාධිපති ධුරයට පත්වනවා. කිසියම් හෙයකින් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 සීමාව ඉක්මවා ගිය නොහැකි වූයේ නම් දෙවන වටයේ තරගයක් පැවැත්වෙන අතර ඊට සහභාගී වන්නේ පළමු වටයේදී පළමු සහ දෙවන ස්ථාන දිනාගත් අපේක්ෂකයන් දෙදෙනායි.


ෆීකෝ

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන මධ්‍ය දක්ෂිනාංශික අපේක්ෂකයා වූයේ ෆෙඩරිකෝ ගුටියරේස් නොහොත් ෆීකෝ යි. ඔහුට වර්තමාන ජනාධිපති ඩූක්ගේ මෙන්ම හිටපු ජනාධිපති අල්වාරෝ උරීබේගේ ද සහය හිමිව තිබුණා.

ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම පැවැත්වුණු මැයි 29 වනදා ආසන්න වනතෙක්ම පෙනීගොස් තිබුණේ පෙත්‍රෝ පහසුවෙන්ම පළමු ස්ථානය දිනාගන්නා බව සහ ෆීකෝ දෙවන ස්ථානයට එනු ඇති බවයි. එවිට දෙවන වටයේදී පෙත්‍රෝ පහසුවෙන්ම ෆීකෝ පරදා ජයගනු ඇතැයි අපේක්ෂා කෙරුණා.

කෙසේ වෙතත් පළමු වටයේ ඡන්ද විමසීම ආසන්න වෙද්දී වෙනත් අපේක්ෂකයකු ජනප්‍රියත්වයෙන් ඉහළට පැමිණීමට සමත් වුණා. ඔහු ද සම්ප්‍රදායික දේශපාලන පැළැන්තිය විවේචනය කරන්නකු වුණා. එමෙන්ම ඔහු පෙත්‍රෝගේ වාමාංශික මතවාදය ද විවේචනය කළා.

එමෙන්ම පෙත්‍රෝ යෝජනා කළ සුබසාධන වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමේ හැකියාව ද ඔහු ප්‍රශ්න කළා. රොඩොල්ෆෝ හර්නැන්ඩේස් නම් වූ ඔහු ඇතැමුන් විසින් හඳුන්වාදෙන ලද්දේ කොළොම්බියාවේ ට්‍රම්ප් ලෙසයි.


රොඩොල්ෆෝ හර්නැන්ඩේස්

පළමු වටයේ ඡන්ද විමසීමෙන් පෙත්‍රෝ සියයට 40.34 ක ප්‍රතිශතයක් ලබාගත් අතර හර්නැන්ඩේස්, ෆීකෝ පරයමින් දෙවන ස්ථානය ලබාගත්තා. හර්නැන්ඩේස් ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 28.17 ක් වූ අතර ෆීකෝ සියයට 23.94 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා.

මේ සමගම පෙත්‍රෝගේ මැතිවරණ සටන තරමක් සංකීර්ණ වුණා. ඊට හේතු වූයේ සම්ප්‍රදායික අපේක්ෂකයකු වෙනුවට ඔහුට තවත් විකල්ප අපේක්ෂකයකුට මුහුණදීමට සිදුවීමයි. මේ අතර දෙවන වටයේදී ෆීකෝගේ සහය ද හර්නැන්ඩේස්ට හිමිවීමෙන් ඔහු තවත් ශක්තිමත් වුණා.

@elearninglk

නමුත් දෙවන වටයේ ඡන්ද විමසීමේදී ගුස්තාවෝ පෙත්‍රෝ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඔහු සියයට 50.44 ක ඡන් ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණා.

මේ අනුව අගෝස්තු මාසයේදී පෙත්‍රෝ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි. ඔහු නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය ආදී පියවර රැගත් සුබසාධන වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය වියදම සොයාගැනීමට ඔහු අපේක්ෂා කරන්නේ ඉහළ ආදායම් සහිත පුද්ගලයන් වෙත පනවන ලද බදු ඉහළ දැමීමෙන්. කෙසේ වෙතත් ඔහු යෝජනා කරන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වියදම් සපයාගැනීම අභියෝගයක් බව ඒ පිළිබඳ ගණන් බැලීමේදී පෙනීගොස් තිබෙනවා. එහෙයින් පෙත්‍රෝ ප්‍රතිඥා දුන් සුබසාධන වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමේ හැකියාව ඉතා අවම බවයි පෙනී යන්නේ.


Click on the Image

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.