ගිනියාවේ හමුදා කුමන්ත්‍රණය

September 7, 2021

2021 සැප්තැම්බර් 5 වන දා බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනියාවේ කොනක්‍රි අගනුවර ජනාධිපති මන්දිරය අසළට හමුදා රථ ඒකරාශී වනු දක්නට ලැබුණා. එයින් ස්වල්ප වෙලාවකට පසු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන්නට වුණේ ගිනියාවේ හමුදා කුමන්ත්‍රණයක් සිදුව ඇති බවයි. ජනාධිපති ඇල්ෆා කොන්ඩේ කැරලිකාර හමුදා කණ්ඩායමේ අත්අඩංගුවට පත්ව ඇති බවට වාර්තා පළවුණා.

එමෙන්ම මෙම කුමන්ත්‍රණය ලුතිනන් කර්නල් මමදි දුම්බූයා යටතේ වන විශේෂ බලකා විසින් දියත් කරන ලද බව ද වාර්තා වුණා. එමෙන්ම එම වාර්තා පළවීමෙන් පැය කිහිපයකට පසුව බලය අල්ලාගත් කණ්ඩායම සංහිඳියාව සහ සංවර්ධනය පිළිබඳ ජාතික කමිටුව යන නමින් තමන්ව හඳුන්වාදෙන බව ප්‍රකාශ කළා.


විශේෂ හමුදා භටයන් භාරයට පත් වූ ඇල්ෆා කොන්ඩේ

සන්නද්ධ සෙබළුන් අට දෙනෙකු පිරිවරා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් දුම්බූයා ප්‍රකාශ කළේ රටේ දරිද්‍රතාවය සහ දූෂණය හේතුවෙන් තමන්ට බලය අල්ලාගන්නට සිදුවූ බවයි. රටේ දේශපාලනය තනි පුද්ගලයකු වටා කේන්ද්‍රගත වීම නවත්වා දමන බව පැවසූ ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා නව් ව්‍යවස්ථාවක් පිළියෙල කරන බවත් අන්තර්වාර රජයක් නුදුරේදීම ප්‍රකාශයට පත් කෙරෙන බවත් රටේ බලය ජනතාව වෙත ලබාදෙනු ලබන බවත් කියා සිටියා.

තවද නැවත දැනුම් දෙනතුරු රටපුරා ඇඳිරි නීතිය පනවන බව ද රටේ දේශසීමා වසාදමන බවද ඔහු කියා සිටියා.

හමුදා කුමන්ත්‍රණය ජාත්‍යන්තර වශයෙන් හෙළාදකිනු ලැබුණ අතර ජනාධිපති කොන්ඩේ නිදහස් කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නැවත ස්ථාපනය කරන ලෙසත් එක්සත් ජාතීන් ආදී ජාත්‍යන්තර පාර්ශව ඉල්ලා සිටියා.

දේශීය සාධක ඉස්මතු වීම
කෙසේ නමුත් ගිනියාවේ මෑත කාලීන දේශපාලනය පිළිබඳ අවධානය යොමු කරනවිට කොන්ඩේට එරෙහිව මෙවන් කුමන්ත්‍රණයක් සිදුවීම පුදුමයක් ද නොවන බව පෙනී යනවා.

ගිනියාවේ ජනගහනයෙන් ආසන්න වශයෙන් සියයට 40 ක් වයස අවුරුදු 14 හෝ ඊට අඩු අයයි. එමෙන්ම තවත් සියයට 20 ක් වයස අවුරුදු 15-24 අතර පිරිසයි. දරිද්‍රතාවය සහ විරැකියාව වැනි ප්‍රශ්නවලින් ද දේශපාලන සහභාගීත්වයට අවසර නොමැතිකමින් ද මෙම ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. ජනාධිපති ඇල්ෆා කොන්ඩේ 83 හැවිරිදි අයෙක්.

ඔහු 2020 දී ආන්දෝලනාත්මක ලෙස තමන්ට තිබුණු ධුර කාලයන් දෙකේ සීමාව ජනමත විචාරණයක් මගින් අහෝසි කරගෙන පසුව තෙවන වතාවටත් ජනාධිපති ලෙස පත්වුණා.

විපක්ෂය පවසන්නේ මැතිවරණ දූෂණ හේතුවෙන් එම ජනමත විචාරණය සහ ජනාධිපතිවරණය අරුත් සුන් ක්‍රියාවලීන් වූ බවයි. පොදුවේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ දූෂිත ක්‍රමය මගින් විපක්ෂය දේශපාලනිකව අක්‍රිය කරනු ලැබ තිබුණා.


ගිනියාව​

එමෙන්ම ගිනියාවේ ජනවාර්ගික සංයුතිය ද පුපුරා යන කාල බෝම්බයක් වැනි ගැටුමක් නිර්මාණය කළා. එයට එක් මූලික හේතුවක් වන්නේ අප්‍රිකාවේ බොහොමයක් රටවල්වල දේශසීමා යුරෝපීය යටත් විජිත සමයෙන් උරුම වූ ඒවා වීමයි. යුරෝපීයයන් අප්‍රිකාව බෙදාගනිද්දී තම තම අවශ්‍යතා සහ හැකියාවන් අනුව ප්‍රදේශ අල්ලාගත්තා විනා ස්වදේශ ජනතාවගේ වාසස්ථාන සහ ජීවන රටා සැලකූයේ නැහැ.

එමනිසා වර්තමානයේ බොහොමයක් අප්‍රිකානු රටවල් අභ්‍යන්තරික හෝ අසල්වාසී රටවල් සමග හෝ වන ජනවාර්ගික හා වෙනත් අර්බුදවලින් බැටකනවා. මෙය බටහිර මාධ්‍යවල එතරම් අවධානයට ලක් නොවන කරුණක් බවත් සිහිපත් කළ යුතුයි.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ගිනියාවේ තත්‍ත්වය සැලකුවහොත් එහි ජනවර්ග ගණනාවක පුද්ගලයන් ජීවත් වන අතර ප්‍රධාන ජනවර්ග වන්නේ ෆුලානි සහ මන්ඩින්කා යන ජන කණ්ඩායම් දෙකයි. ෆුලානි ජනගහනය සමස්ථ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වනවා. එමෙන්ම මන්ඩින්කා ජනතාවගේ ප්‍රතිශතය ද සියයට 30 කට ආසන්නයි.

ගිනියාවේ පාලනයට පැමිණෙන්නන් තම ජනවර්ගයට වඩා වැඩි සැලකිලි දක්වන ප්‍රවණතාවයක් තිබුණු අතර ඇල්ෆා කොන්ඩේ විශේෂයෙන්ම එවැනි පාලනයක් ගෙනගියා. ඔහු මන්ඩින්කා ගෝත්‍රයේ අයෙක්. එහෙයින් අනෙක් ජනවර්ග මෙම පාලනය කෙරේ යහපත් මතයක් දැරුවේ නැහැ.

ඉස්ලාමීය අන්තවාදය
ගිනියාවේ ජනගහනය සියයට 85 ක් පමණ මුස්ලිම්වරුන් වුවද ආගම විසින් ඔවුන් එක්සත් කිරීමක් ද සිදුව නැහැ. අප්‍රිකාවේ බොහෝ රටවල ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ස්වදේශීය ඇදහිලි හා විශ්වාසයන් හා බද්ධ වෙමින් එම රටවල පැතිර ඇති බැවින් එම බොහෝ රටවල ආගම යන සාධකයට වඩා ජනවර්ගය වැදගත් වනවා. ගිනියාව පිළිබඳ ද එම කරුණ සත්‍යයක්.

මේ කරුණ හේතුවෙන් හෝ වෙනත් කිසියම් සාධක හේතුවෙන් හෝ ගිනියාවෙහි අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් මෙතෙක් පැළපදියම් වී නැහැ. එවන් කණ්ඩායම් ක්‍රියාත්මක චැඩ් සහ මාලි වැනි රටවල සිදුවූ බලපෙරළි සහ හමුදා කුමන්ත්‍රණ පිළිබඳ ප්‍රංශය සහ වෙනත් රටවල් දැක්වූ මැදිහත්වීම මෙහිදී දක්නට නොලැබෙනු ඇතැයි ඇතැම් විචාරකයන් පවසනවා.

ස්වාභාවික සම්පත්
ගිනියාව ස්වභාවික සම්පත්වලින් අනූන රටක්. ලොව විශාලම බොක්සයිට් සංචිත එහි තිබෙන බව සැලකෙන අතර රත්‍රන්, දියමන්ති වැනි සම්පත් ද එහි වනවා. එමෙන්ම ලොව හොඳම තත්ත්වයේ යපස් නිධියක් ද එහි වනවා. කෙසේ වෙතත් රටේ පවතින යටිතල පහසුකම්වල දුර්වලතා සහ දූෂණය හේතුවෙන් මෙතෙක් කාර්යක්ෂම ලෙස අපනයනය කළ හැකිව ඇත්තේ බොස්කයිට් පමණයි. ආකර කර්මාන්තය සඳහා බලපත්‍ර ලබාදීම සහ ආයෝජන ගෙන්වාගැනීම යන කරුණුවලදී විශාල ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන බව පසුගිය කාලයේ වාර්තා වුණා.


ලුතිනන් කර්නල් දුම්බූයා

ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ගිනියාවේ කුමන්ත්‍රණය කලාපයේ පැරණි බලවතා වන ප්‍රංශය සහ නව බලවතා වන චීනය අතර තිබෙන බල අරගලයක දිගුවක් බවයි. හිටපු යටත් විජිත ස්වාමියා වන ප්‍රංශය දිගින් දිගටම අප්‍රිකාවේ මෙම කලාපයේ රටවල කටයුතු සඳහා මැදිහත්වීම ඇතැම් ස්වදේශිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් දූෂිත සහ වයෝවෘද්ධ නායකයන් දිගටම බලයේ රැඳී සිටින්නේද ප්‍රංශයේ ආශිර්වාද සහිතව බව ප්‍රකට කරුණක්. බටහිර අප්‍රිකාවේ මේ සඳහා හොඳම උදාහරණය වන්නේ කැමරූනයේ පෝල් බියා යි. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් ඇහිරූ ඇල්ෆා කොන්ඩේ වැන්නකුට ප්‍රංශය වැනි රටවල් සමීපව සිටීම ඇතැම් විචාරකයන් දකින්නේ ප්‍රංශය වැනි රටවල දෙබිඩි පිළිවෙතක් ලෙසයි.

මේ ආකාරයෙන් සලකද්දී ගිනියාවේ හමුදා කුමන්ත්‍රණයට දේශීය සාධක ඇති තරම් පවතින බව පෙනෙන්නට තිබෙනවා. කොන්ඩේගේ විරුද්ධවාදීන් කුමන්ත්‍රණය පිළිබඳ දැනගත් විට ප්‍රීතිඝෝෂා කරමින් වීදිබැස්සේ ද ඒ කාරණා හේතුවෙන් බව පැහැදිලියි.

කෙසේ වෙතත් මේ පෙරළිය අර්ථවත් වීමට නම් ගිනියාවේ සියළු ජනවර්ගවලට සහභාගීත්වය විවර කරන දේශපාලන ක්‍රමයක් නිර්මාණය කෙරෙන ක්‍රමවේදයක් සැකසීම කඩිනම් කර, සංහිඳියාව සහ සංවර්ධනය පිළිබඳ ජාතික කමිටුව අනාගතයේදී බලය අතහැරිය යුතුයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.