අපරාධ නීතිය :: අපරාධ නඩුවක් ඔප්පු කරන්නේ කෙසේද?

නස්රුදීන් යනු දහතුන්වන සියවසේදී තුර්කියේ ජීවත් වූ මුල්ලා කෙනෙකි.(ඉස්ලාම් සූෆි පූජකයෙක්) ඔහු කලක් නඩුකාරයෙක් වී සිටියේය.

වරක් නස්රුදීන් ඉදිරිපිට නඩුවක් විභාග විය. නඩුවේ පැමිණිල්ල ඉතා ඒත්තු ගැන්වෙන සුළු අයුරින් කරුණු දැක්වූවෝය. එය අසා සිටි නස්රුදීන් නඩුකාරතුමා මෙසේ පැවසුවේය.

“ඔවු මට පේනවා තමුන් කියන්නේ ඇත්ත කියලා.”

එවිට “එහෙම නෙවෙයි ස්වාමීනි. මේකයි වෙලා තියෙන්නේ.” කියා විත්තිය කරුණු දැක්වීම ඇරඹුවෝය.

එය අසා සිටි නස්රුදීන් නඩුකාරතුමා මෙසේ පැවසුවේය.

“ඔවු මට පේනවා තමුන් කියන්නේත් ඇත්ත කියලා.”

මෙයින් පුදුමයට පත් උසාවියේ තෝල්කයා “ඉතින් ස්වාමීනි මේ දෙගොල්ලොම ඇත්ත කියනවා වෙන්න බැහැනේ” යයි පැවසුවේය.

නස්රුදීන් නඩුකාරතුමා එයට මෙසේ පිළිතුරු දුන්නේය.

“ඔවු මට පේනවා තමුන් කියන්නේත් ඇත්ත කියලා.”

මේ කතාවෙන් හෙළිදරව් වන කාරණය වන්නේ නඩුවක් විභාග කරන විනිශ්චයකාරවරයෙකුට අධිකරණයේ ඉදිරිපත්වන කරුණු අනුව තීන්දුවකට එළඹීම සමහර අවස්තාවලදී කෙතරම් අසීරු වන්නේද යන්නයි. මන්දයත් එකිනෙකට හාත්පසින් ප්‍රතිවිරුද්ධ කරුණු හා සාක්ෂි ඉදිරිපත් කිරීම් නඩුවේ දෙපාර්ශ්වය මගින් සිදුවන හෙයිනි.

එහෙයින් වර්තමාන හරයාත්මක හා කාර්යපටිපාටික නීතිය මගින් අපරාධ නඩුවක චෝදනාවන් ඔප්පු කිරීම සම්බන්ධව යම් යම් නිශ්චිත මාර්ගෝපදේශ සපයා ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ හා අනෙකුත් පනත් වල යම් යම් අපරාධ වැරදි නිශ්චිතව අර්ථ නිරූපණය කර ඇති අතර එම වරදක් පූර්ණය වීමට තිබිය යුතු සංඝටක(Ingredients) පැහැදිලිව දක්වා තිබේ. තවද අපරාධ නඩු විධාන සංග්‍රහයේ අපරාධ නඩුවක් විභාගයට ගැනීමේදී අනුගමනය කළ යුතු නෛතික කාර්යපටිපාටිය ඇතුළුව පුළුල් ක්ෂේත්‍රයක් විග්‍රහ කොට තිබේ. එමෙන්ම අපරාධ නඩු කටයුත්තක ආවේශ්‍ය(admissible) කරගත යුතු සාක්ෂි තෝරා බේරා ගැනීම සම්බන්ධව නිශ්චිත උපමානයන්(Criteria’s ) සාක්ෂි ආඥාපනත මගින් පනවා තිබේ. (උදාහරණයක් ලෙසට පොලිසියට සිදු කර ඇති වරද කියා පෑමක් (පාපොච්චාරණයක්) අධිකරණයේදී ආවේශ්‍ය කරගත නොහැක.)

සාක්ෂි ආඥාපනතේ “ඔප්පු කිරීම” යන්න 3 වන වගන්තියේ මෙසේ විග්‍රහ කෙරේ.

A fact is said to be proved when, after considering the matters before it, the Court either believes it to exist, or considers its existence so probable that a prudent man ought, under the circumstances of the particular case, to act upon the supposition that it exists.

මේ අනුව පැහැදිලි වන්නේ “සාධාරණ විචක්ෂණ මිනිසාගේ උපමානය” භාවිතා කරමින් අදාළ සන්දර්භයට සාපේක්ෂව සාක්ෂි සාධක මගින් යම් ඉසව්ගත කරුණක් (Fact in issue ) හෝ අනුකූල කරුණක් (Relevant fact ) ඔප්පු වී ඇත්ද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම විනිසුරු සතු වන බවයි.

තවද අපරාධ අධිකරණයක විනිශ්චයකාරවරයෙකු සාක්ෂිකරුවන් සාක්ෂි දෙන විලාසය මනාව නිරීක්ෂණය කරමින් ඔවුන් පවසන දේවල්වල සත්‍ය අසත්‍යතාවන් පිළිබඳව තෝරාබේරාගනිමින් තම විචක්ෂණ බුද්ධියද විනිශ්චය උදෙසා යොදා ගත යුතුය. සාක්ෂිවල පිළිගතහැකි භාවය සලකා බැලීමේදී, අප්‍රමාදීත්වයේ පරීක්ෂණය, එකාකාරීභාවයේ පරීක්ෂණය, වියහැකිභාවයේ පරීක්ෂණය වැනි උපමානයන් යොදාගත යුතුය.

අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පවත්වන තරග විභාගයකට මුහුණ දී, ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දී මහේස්ත්‍රාත්වරුන් ලෙස තේරීපත්ව දිවුරුම් දෙන්නේ, වසර හතරකට වඩා අධිකරණයේ පෙනීසිටිමින් කටයුතු කර ඇති පළපුරුදු නීතීඥවරුන්ය. මහේස්ත්‍රාත්වරයෙකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත්වීම් ලබන්නේ වසර දහයකට වඩා අත්දැකීම් ලබා පරිනත වීමෙන් අනතුරුවය.

අපරාධ නඩුවක චූදිත විත්තිකරුවෙකුට එරෙහිව චෝදනාවක් අධිකරණයක් වෙත ඉදිරිපත්ව ඇති විට, ඊට අදාළ නඩු විභාගය ඇරඹෙන්නේ අහිංසකභාවයේ පූර්ව නිගමනය(Presumption of innocence) සමඟය. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම සහතික කර ඇති අයිතියකි. චූදිතයෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා “සාධාරණ සැකයෙන් ඔබ්බට” ඔප්පු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී තිබෙන්නේ අභිචෝදක පාර්ශ්වය එනම් පැමිණිල්ල වෙතය. එනම් අදාළ නිශ්චිත වරද, එම විත්තිකරු විසින්ම සිදුකර ඇති බවට, ඇසින් දුටු සාක්ෂි වැනි ඍජු සාක්ෂි හා පරිවේශනීය සාක්ෂි මගින්, අධිකරණ මනැසේ (නඩුව විනිශ්චය කරන විනිශ්චයකාරතුමන්ගේ සිතේ) මනාව සනාථ කළ යුතුය. එනම් චූදිතගේ වරදකාරීත්වය පිළිබඳව කිසිඳු සාධාරණ සැකයක්, සාධාරණ මිනිසෙකුගේ මනැසෙහි තවදුරටත් ජනිත විය නොහැකි තරම් දුරට, සාක්ෂි සාධක මගින් අදාළ චෝදනාව සනාථ විය යුතුය.

අහිංසකභාවයේ පූර්ව නිගමනයේ පදනම වන්නේ, අපරාධකරුවන් සියයක් නීතියේ රැහැනින් ගැලවී ගියද අහිංසකයෙකු නොකළ වරදකට දඬුවම් නොවිඳිය යුතුය යන සිද්ධාන්තයයි.

එ නිසා අපරාධ නඩුවක පළමු ඉනිම වනාහි පැමිණිල්ලේ නඩුවය.

අපරාධ නඩුවක ආරම්භයේදී විත්තියට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට කිසිඳු වගකීමක් පැවරී ඇත්තා සේ සැලකෙන්නේ නැත. මූලිකවම පැමිණිල්ල විසින් චෝදනාව සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් විත්තිවාචකය සැලකීමකින් තොරව වුවද විත්තිකරු නිදොස් කොට නිදහස් කළ යුතුය. එසේ හෙයින් එකී නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සාක්ෂිසාධක මගින් බිඳ හෙලීමේ වගකීම ඇත්තේ පැමිණිල්ලටය.

අපරාධ නඩුවක විත්තිකරුට නිහඬව සිටීමට අයිතියක් ඇත. විත්තිකරුවෙකු නිහඬව සිටීම යන කරුණ ඔහුට එරෙහිව අගතිදායී අනුමතියකට (Adverse inference ) පැමිණීම සඳහා හේතුවක් නොවිය යුතු අතර පැමිණිල්ලේ දුර්වල නඩුවක් තහවුරු කිරීමට එම නිශ්ශබ්දව සිටීම යොදාගැනීමට හැකියාවක් නොමැත. එනමුත් “ආත්මාරක්ෂාව”, උමතුභාවය (Insanity), අවශ්‍යතාව (Necessity ) වැනි සාමාන්‍ය ව්‍යතිරේඛයක් (General exception) විත්තිවාචකයක් ලෙස ඉදිරිපත් කරන්නේ නම්, එම විත්තිවාචකය සාක්ෂිසාධක මගින් ඔප්පු කිරීමේ වගකීම විත්තියට පැවරේ. එමෙන්ම විත්තියට සාක්ෂිසාධක මගින් අන්‍යස්තානිකභාවය(Alibi) තහවුරු කිරීමෙන් අදාළ සාවද්‍ය ක්‍රියාව කිරීමේ හැකියාව විත්තිකරුට නොතිබූ බව අධිකරණය ඉදිරියේ තහවුරු කළ හැක.

ලංකා අධිකරණ අදාළ කරගනු ලබන එලින්බරෝ සිද්ධාන්තය අනුව අධිකරණය ඉදිරියේ පැමිණිල්ල “පැමිණිල්ලේ නඩුව” අවසානයේදී , සාක්ෂිසාධක මගින් ප්‍රබල බැලූ බැල්මට පෙනෙන නඩුවක් (Strong Prima Facie Case) ගොඩනඟා ඇති අවස්ථාවකදී තමන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති කරුණු පැහැදිලි කිරීමේ වගකීමක් විත්තිය වෙත පැවරෙන බව සැළකේ. එසේ නොකර නිශ්ශබ්දව සිටිය හොත්, එසේ නිශ්ශබ්දව සිටින්නේ, ඔවුන් කෙරෙහි වරදකාරීත්වය පවතින නිසා බවට අධිකරණයට නිගමනයකට එළඹීමට හැකිය.

මේ අනුව මෙවැනි අවස්ථාවක නුවණට හුරු වන්නේ නිශ්ශබ්දව සිටීම හෝ විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදු කිරීම නොව, විත්තිකරුවන් සාක්ෂි දීමට ඉදිරිපත් වෙමින්, තමන් වෙනුවෙන්ද සාක්ෂි දීමට සාක්ෂිකරුවන් කැඳවීමය. එනම් විත්තියේ නඩුව වූ දෙවෙනි ඉනිම ඇරඹීමය. එසේ කටයුතු කරමින් පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති සාක්ෂිවලින් චූදිතගේ වරදකාරීත්වය සනාථ වීම පිළිබඳව සාධාරණ සැකයක් අධිකරණ මනැසේ ජනිත කරලීමට උත්සාහ කළ යුතුය. විත්තිකරුවන් සාක්ෂි දීමට ඉදිරිපත් වෙමින්, හරස් ප්‍රශ්න වලට භාජනය වෙමින් තමන් වෙනුවෙන්ද සාක්ෂි දීමට සාක්ෂිකරුවන් කැඳවමින්, සක්‍රීයව විත්තියේ නඩුව ඉදිරිපත් කරමින් කටයුතු කරන බොහෝ අවස්ථාවලදී විත්තිය නිදොස් වී නිදහස් වන බව අපරාධ නීතිඥවරයෙකු ලෙස අත්දැකීමෙන් කිව හැකිය.

විත්තිකරු සාක්ෂි දී ඇතිනම් හා විත්තිකරුගේ හා විත්තියේ සාක්ෂි මගින් පැමිණිල්ලේ නඩුව මත සාධාරණ සැකයක් ජනිත කරන්නේ නම්, විත්තිකරුගේ සාක්ෂිය ප්‍රතික්ෂේප කළ නොහැකි නම්, විත්තිවාචකය පිළිගත හැකිනම්, විත්තිවාචකය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති නම්, එහි වාසිය විත්තියට ලබා දිය යුතුය. මේ අනුව නඩු විභාගය අවසානයේදී අධිකරණය ඉදිරියේ ඇති සියලු සාක්ෂිසාධක කිරා මැන බැලීමෙන් අනතුරුව එම චෝදනාව හෝ චෝදනාවන් සාක්ෂිසාධක මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇද්ද? යන්න පිළිබඳ යම් හෝ සැකයක් ජනිත වී ඇතිනම් එහි සැකයේ වාසිය චූදිතයා වෙත ලබා දී ඔහු චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ යුතුය.

එනමුත් විත්තිකරු සාක්ෂි දීමේදී සිතාමතාම දැන දැනම අසත්‍ය ප්‍රකාශයක් කර ඇතැයි පෙනී ගියහොත් එය ඔහුගේ වරදකාරීත්වය හඟවන්නක් ලෙස සැලකීමට විනිසුරුට හැකිය. මෙය ලූකස් සිද්ධාන්තය නම් වේ. (බලන්න: R v. Burge and Pegg, 1 Cr App Rep 163 (1996): බ්‍රිතාන්‍ය නඩු තීන්දුවකි.)

අපරාධ නඩුවකදී විත්තියේ හා පැමිණිල්ලේ නීතීඥවරුන් දෙපාර්ශවයෙන්ම ඉදිරිපත්වන සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න අසමින්, දෙපාර්ශ්වය වෙතින් ඉදිරිපත් වන සාක්ෂිවල විශ්වසනීයත්වයට පහර දීමට උත්සාහ කරති. ඒ උදෙසා සාක්ෂිකරුවන්ගේ සාක්ෂි, ඔවුන් පොලිසියට දුන් ප්‍රකාශ හා සංසන්දනය කරමින් පරස්පරතාවන් හා ඌනතාවන් ලකුණු කරති. මෙවැනි පරස්පරතාවන් හා ඌනතාවන් වෙන්වෙන්ව සලකාබලා එමගින් පැමිණිල්ලේ නඩුවේ අරටුවට යම් හානියක් සිදුවන්නේද යන්න විනිශ්චයකාරතුමා විසින් සුපරික්ෂාකාරීව සලකා බැලිය යුතුය. යම් හෙයකින් පැමිණිල්ලේ නඩුවේ හරයටම කිඳා බහින ආකාරයේ පරස්පරතාවක් හෝ ඌනතාවක් ඇති අවස්ථාවකදී එහි වාසිය විත්තියට ලබා දිය යුතුය. එනමුත් යම් යම් පරස්පරතා හා ඌනතා පැමිණිල්ලේ නඩුවේ හරයට බලපාන්නේ නැති බවට විනිශ්චයකාරතුමන් සෑහීමකට පත් වන්නේ නම් එකී පරස්පරතා හෝ ඌනතා නොසළකා හැරීමටද හැකිය.

Bharwada Bhogi, bhai Hirjibhai vs State Of Gujarat on 24 May, 1983 (Equivalent citations: 1983 AIR 753, 1983 SCR (3) 280) නම් සුප්‍රකට ඉන්දීය නඩු තීන්දුවේ විස්තරාත්මකව ප්‍රකාශ වූ ආකාරයට සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී අධිකරණය මතකයේ තබා ගත යුතු කාරණයක් වන්නේ මෙම සාක්ෂිකරුවන් සාමාන්‍ය මනුෂ්‍යයන් වන බැවින් ඔවුන් ඔවුන්ගේ සාක්ෂි දීමේදී යාන්ත්‍රිකව පටිගත කරන ලද සිද්ධි මාලාවක් නැවත විකාශය කරන්නාක් මෙන් සාක්ෂිදීම බලාපොරොත්තු විය නොහැකි බවයි. තවද සාමාන්‍ය මනුෂ්‍යයන්ට අමතකවීම්, අතපසුවීම් සිදුවිය හැකිවාක් මෙන්ම මෙන්ම යම් යම් සිද්ධි, තොරතුරු සිතේ ධාරණය කරගැනීමේ ශක්තිය සහ මතකයේ තබාගැනීමේ හැකියාව, එවැනි සාක්ෂිකරුවෙකුගේ වයස, සෞඛ්‍ය තත්වය, ආධ්‍යාපනික, සාමාජීය පසුබිම ආදියට සාපෙක්ෂයය. තවද අධිකරණයේදී හරස් ප්‍රශ්න වලට ලක්වන විට ඇති වන තැතිගැනීම නිසා අවංක සාක්ෂිකරුවෙකුට වුවද සාක්ෂියේ යම් යම් අඩුපාඩුකම් සිදුවිය හැකිය. එහෙයින් සාක්ෂි ඇගැයීමේදී ඒ බැව් මතකයේ රඳවා ගත යුතුය.

මෙලෙස අපරාධ නඩුවක සාක්ෂි ඇගයීම හා ඔප්පු කිරීම තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණයට පහලින් ඇති ඕනෑම අධිකරණයක තීන්දුවකින් හෝ තීරණයකින් අතෘප්තියට පත්වන පාර්ශ්වයකට ඉහළ අධිකරණයකට අභියාචනා හා ප්‍රතිශෝධන ඉදිරිපත් කළ හැකිය. එසේ අභියාචනා කිරීමෙන් පහළ අධිකරණ වල තීන්දු ඉහළ අධිකරණ මගින් වෙනස් කරන ලද අවස්ථාවන්ද බොහෝය.

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.