සෞදි අරාබිය යුවාන්වලට මාරු වෙයිද?

March 16, 2022

සෞදි අරාබිය චීනයට සපයන තෙල්වලින් කොටසකට යුවාන් මුදලින් මිල නියම කිරීමට සූදානම් වන්නේ යයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත විසින් සහ අනෙකුත් ඇමරිකානු මාධ්‍ය විසින් 2022 මාර්තු 15 වනදා වාර්තා කරනු ලැබුණා.

මේ සමගම චීන මුදල් ඒකකයෙහි වටිනාකම ඉහළ යාමක් වාර්තා වූ අතර පෙට්‍රෝලියම් ගනුදෙනු සඳහා ඩොලර් වෙනුවට විකල්ප භාවිතා කිරීම පිළිබඳ සාකච්ඡාව නව මානයකට ගෙනයාමට ද එය හේතු වී තිබෙනවා.

සෞදි අරාබිය පසුගිය වසර කිහිපය තුළම මෙවැනි පියවරක් පිළිබඳ සලකා බලමින් සිටියේ යයි වාර්තා වනවා. කෙසේ වෙතත් යුක්‍රේනයේ යුධ ගැටුම් සහ රුසියාවට එරෙහිව පැනවී ඇති සම්බාධක හේතුවෙන් වර්තමානයේ පවතින තත්ත්වයන් නිසා මේ සාකච්ඡාව වෙනදාට වඩා වැදගත් තැනක තිබෙනවා.

සෞදි නොසතුට
සෞදි අරාබිය 1974 සිටම ඇමරිකානු ඩොලර් භාවිතයෙන් සිය තෙල් ගනුදෙනු සිදුකළා. ලෝක වෙළෙඳපොලේ ඩොලරයේ වැදගත්කම ඉහළ නැංවීමට තෙල් සඳහා ඩොලර්වලින් ගෙවීම හේතු වී තිබෙනවා. දැනටත් ලෝක වෙළඳපොලේ පෙට්‍රෝලියම් ගනුදෙනුවලින් සියයට අසූවක් පමණ සිදුවන්නේ ඩොලර්වලින් බවයි සඳහන් වන්නේ.

සෞදි අරාබිය තෙල් සඳහා ඩොලර්වලින් ගනුදෙනු කිරීමට යොමුවීමත් සමග සිය ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ඇමරිකාවෙන් සහතිකයක් ලබාගත්තා. කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළ ඇමරිකානු ක්‍රියාකලාපයන් සෞදි අරාබියේ නොසතුටට හේතු වී තිබෙන බව දැනගන්නට තිබෙනවා.


සෞදි ඇරැම්කෝ සමාගමේ තෙල් ළිඳක් (AFP)

2015 සිට සෞදි අරාබිය යේමනයේ යුද්ධයක පැටලී සිටින අතර ඒ සඳහා ඇමරිකාවෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව එරට හැඟීමයි. යේමනයේ ක්‍රියාත්මක හූති කැරලිකරුවන් සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයට එරෙහිව දිගටම සටන් වදිනවා පමණක් නොව සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභ්‍යන්තරයේ ඉලක්ක වෙත ද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරනවා.

එමෙන්ම ඉරානය සමග න්‍යෂ්ටික කටයුතු පිළිබඳ වන ගිවිසුම යළි ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීම ද සෞදි අරාබියේ නොසතුටට හේතු වී තිබෙන බව දැනගන්නට තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමය තුළ ඇමරිකාව මෙම ගිවිසුමෙන් ඉවත්වූ අතර ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පනවනු ලැබුණා. නමුත් බයිඩන් පරිපාලනය එම ගිවිසුම මෙන් වූ නව ගිවිසුමක් යළි පණගැන්වීමට සූදානම් වනවා.

ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් පාලනය පිළිබඳ සෞදි රජය එතරම් පැහැදීමකින් නොසිටින බවයි වාර්තා වන්නේ.

මේ කරුණ පැහැදිලිව පෙනුණ අවස්ථාවක් වූයේ “ද අත්ලාන්තික්” පුවත්පත සමග මෑතකදී සෞදි කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පැවැත්වූ සාකච්ඡාවයි.


මොහොමඩ් බින් සල්මාන් (Reuters)

මෙහිදී බයිඩන් පාලනය තමන්ව වටහාගෙන නැතිදැයි හැඟෙන්නේ දැයි විමසූ විට බින් සල්මාන් කුමරු සඳහන් කළේ “ඉතින් මට මොකෝ?” (I don’t care) යනුවෙන්. තමන්ට ඇමරිකාව වෙත අවවාද දීමේ අයිතියක් නැතුවා සේම ඇමරිකාවට ද තමුන්ට අවවාද දීමේ අයිතියක් නැතැයි ඔහු අවධාරණය කර තිබුණා.

යුක්‍රේන යුද්ධය සහ රුසියාව මත පැනවූ සම්බාධක හේතුවෙන් තෙල් මිල ඉහළ ගිය අවස්ථාවේ තෙල් නිෂ්පාදනය වැඩි කරන ලෙස ඔපෙක් සංවිධානයේ රටවලින් ඇමරිකාව කළ ඉල්ලීමට ලැබුණේ අයහපත් පිළිතුරක් බව වාර්තා වුණා. බින් සල්මාන් සහ එක්සත් අරාබි එමීර් නායකත්වය සමග මේ පිළිබඳ දුරකථනය මගින් සාකච්ඡා කිරීමට බයිඩන් ගත් උත්සාහයට එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැහැ.

චීනය සහ සෞදි අරාබිය​
චීනය සහ සෞදි අරාබිය අතර සබඳතා පසුගිය සමයේදී කෙමෙන් කෙමෙන් වඩ වඩාත් සමීප වී තිබෙනවා. 2021 දී සෞදි අරාබිය විසින් චීනයට දිනකට බොරතෙල් බැරල් මිලියන 1.76 ක් සපයා තිබෙනවා.

එමෙන්ම චීනය ද සෞදි අරාබිය සමග මිලිටරි සහ බලශක්ති සබඳතා පුළුල් කර තිබෙන අතර සෞදි අරාබියට බැලිස්ටික් මිසයිල නිපදවීමේදී සහය ලබාදීමත් න්‍යෂ්ටික බලය පිළිබඳ උපදෙස් ලබාදීමත් චීනය වෙතින් සිදුවුණා.

මේ අතර 2020 වනවිට සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් සහයෝගීයා කවුන්සිලයේ රටවල ප්‍රධාන වෙළෙඳ පාර්ශවකරුවා බවට චීනය පත්වුණා. චීන භාණ්ඩ අරාබිය සහ අප්‍රිකාව වෙත ප්‍රති අපනයනය කිරීමේ කේන්ද්‍රයක් බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්ව තිබෙනවා. එමෙන්ම චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සමග ද ගල්ෆ් රටවල් සම්බන්ධ වී සිටිනවා.

සෞදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකම චීන ආර්ථික කටයුතු මේ සමග පුළුල් ව තිබෙනවා. තවද නවීන ලෝකයේ ඊ-ආර්ථිකය සම්බන්ධව ද චීනය සමග ආර්ථික සබඳතා පුළුල් කරගැනීමේ හැකියාව ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

යුවාන් ගනුදෙනුවේ බලපෑම​
සෞදි අරාබිය චීනයට සපයන තෙල්වලින් කොටසකට යුවාන්වලින් මිල නියම කිරීමට සැරසෙන්නේය යන පුවත යුවාන් මුදල ශක්‍තිමත් කිරීමට යම් හේතුවක් වී තිබුණ ද මෙහි සැබෑ බලපෑම මෙතෙක් පැහැදිලිව කිව නොහැකියි.

පළමුවෙන්ම සෞදි අරාබිය මෙම තීරණය නිල වශයෙන් ක්‍රියාවට නැංවිය යුතුයි. එමෙන්ම ඔවුන් සිය තෙල් සැපයුමෙන් කිනම් කොටසකට යුවාන්වලින් මිල නියම කරනු ඇතිද යන්න තවම කිව නොහැකියි.


චීන මුදල් (Nikkei)

කෙසේ වෙතත්, තමන්ට එරෙහිව පැනවී ඇති සම්බාධක හේතුවෙන් රුසියාව චීන යුවාන් සමග ගනුදෙනු පුළුල් කරන පසුබිමක සෞදි අරාබිය ද මෙවන් තීරණයක් ගතහොත් එය චීන මූල්‍ය ක්ෂේත්‍රයට විශාල ශක්තියක් වනු ඇති. එමෙන්ම ඇමරිකානු ඩොලරය කෙරේ ද එහි යම් බලපෑමක් සිදුවිය හැකියි.

විශේෂයෙන්ම අනාගතයේදී චීනයට තෙල් සපයන අනෙකුත් රටවල් ද යුවාන්වලින් ගනුදෙනු කිරීමට පටන් ගතහොත් එය ලෝක වෙළෙඳපොළ තුළ වෙනසක් සිදුවීමට හේතු වනු ඇති.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.