දහදුරා වැඩ

මම ඉස්සර ඉස්කෝලේ වයලීන් ගැහුවට මොකද ඉස්කෝලේ වේලාවෙන් පස්සේ හවස නවතින්න හරිම අකමැතියි . මියුසික් නෙවේ මොනවා උනත් කෝටියක් දෙනවා කිව්වත් හවස නවතින්න කැමති නෑ .

ඔහොම කාලයක් යනකොට දවසක් මට සංගීත මිස්ලගේ ගෙදර නවතින්න යන්න උනා . නැවතුනේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා එන උත්සවේකට සංගීතය සපයන්න පුහුණුවීම් කරන්න . ඒවත් කරලා ඔන්න පහුවෙනිදා දවල් ගෙදර ආවා . ආවට මොකද ඉතින් ගෙදර කවුරුවත් කතා කරේ නෑ . සද්ද නැතුව ඉන්නවා . මම ඉතින් මොන වැඩේ කරත් අන්තිමට විරිත්තන එකේ අපේ ආච්චි අම්මා ගාවට ගිහිල්ලා පොඩ්ඩක් විරිත්තුවා . හම්මටඋඩු ආච්චි අම්මා බනින්න ගත්තා කලිසම ඔලුවෙන් ගැලවෙන්න . එදා ආච්චිඅම්මා බැන්නේ ඇයි කියලා මට තේරෙන්නේ දැන් තමයි .

කොහොම හරි ආච්චි අම්මා බනින්න පටන් ගත්තේ ” හ්ම්හ් ආවද ඉලන්දාරියා රටේම තියෙන දහදුරා වැඩ ඔක්කොම කරලා ” කියලා . අනිත් බැනපු ටික ඕන නෑ

මම කල්පනා කරා ආච්චි අම්මා බනින්නේ දහදුරා වැඩ කරා කියලා . ඇයි හත්තිලවුවේ මම වයලීන් ගහන්න ගිහින් ආවේ . මෙහෙ බනින්නේ දහදුරා වැඩ කරා කියලා . මම ඒකාලේ හිතන් හිටියේ දහදුරා වැඩ කියන්නේ නිකන් මේ පාරේ මුට්ට කරගහනවා වගේ වැඩක් කියලා .

ඔයාලා දන්නවා ඇතිනේ ලංකාවේ වංශ බෙදීමක් තියෙනවා කියලා . ඔය පත්තරේ මංගල කිංකිනි කොලේ තියෙන්නේ බොදු ගොවි , බොදු කරා , බොදු දුරාව කියලා . මම ගජමන් නෝනාගේ වරිගේ සනුහරේ ගැන හොයනකොට තමා මේ දහදුරා වැඩ ගැන දැනගත්තේ .

ගජමන් නෝනත් දුරාව කියන වංශයට අයත් කෙනෙක් . දුරාව වංශයට ඒ කාලේ අයිති පිරිස් රජවාසලට ඉටු කරපු සේවාවල් දහයක් තිබුණා . ඉතින් ඒ සේවාවල් දහය තමා දහදුරා වැඩ කියලා කියන්නේ . ඔන්න බලන්න දහදුරා වැඩ .

01. අන්නානි
02. බන්නානි
03. ඒනාදී
04. මගුල්
05. සිද්දත්තු
06. විද්දත්තු
07. අලිබද්දු
08. බලිබද්දු
09. පට්ටී
10. පොරවකාර

අන්නානි
දණ්ඩනායක සහ අධිකරණ නායක කියන තනතුරු තමයි මේ පෙළපතේ අයට තිබිලා තියෙන්නේ .

බන්නානි
අලි ඇතුන් පාලනය කරන ගජනායක නිළමේ තනතුරු හෙබෙව්වේ මේ පෙළපතේ අය .

ඒනානි
නැවු හා නාවික කටයුතු ගැන පරිපාලනය කරේ මේ පෙළපතට අයත් අය .

මගුල්
රාජ්‍ය සේවයට ඒ කියන්නේ රජමාලිගාවේ නොයෙක් සේවාවල් ඉටුකළේ මේ පෙළපතේ අය .

සිද්දත්තු
වෙදකම් කරන වෙදදුරන් අයත් උනේ මේ පෙළපතට .

වීද්දත්තු
ඉගැන්වීම් කටයුතු කරපු ඒ කියන්නේ ගුරු වෘත්තීය ඉටු කලේ මේ පෙළපතේ අය .

අලිබද්දු
ග්‍රාමසේවක වගේ ඉස්සර තිබ්බ නිලයේ කටයුතු කලේ මේ නිළයේ අය . ඒ වගේම අලින් ඇල්ලීම හා ගාල් කිරීමටත් මේ අය ඉදිරිපත් උනා .

බලිබද්දු
දේවාලවල දෙවියන්ට ආවතේව කරන අය අයත් වෙන්නේ මේ පෙළපතට .


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

පට්ටි
ගොපළු රැකියාව කරේ මේ පෙළපතට අයත් පිරිස . හරක් අයිති අයත් ඉඳලා තියෙනවා මේ පෙළපතේ .

පොරවකාර
රජතුමාගේ රාජකීය හමුදාවේ පොරව අරගෙන සටන් කරේ මේ පෙළපතේ අය .

ඔන්න ඔහොමයි දහදුරා වැඩ සිද්ද උනේ . අපේ ආච්චි අම්මා අදටත් හිටියනම් ආච්චිඅම්මා එක්ක විවාදයක් දාන්න තිබ්බා මට කිව්ව කතාව ගැන .

එහෙනම් තව මොනවා හරි ලට්ට ලොට්ට ටිකක් අරගෙන එන්නම් . කරාව වංශය ගැන දීර්ඝව ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා . බලමු ඉස්සරහට ලියන්න පුළුවන් වෙයිද කියලා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

තවත් ලිපි සඳහා : හස්ථිනාපුර

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.