අප්‍රිකාවේ විශාලම ආර්ථිකය විකල්පයකට යයිද​?

February 24, 2023

අප්‍රිකාවේ විශාලම ජනගහනයකින් යුක්ත රාජ්‍යය මෙන්ම විශාලම ආර්ථිකය වන නයිජීරියාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පෙබරවාරි 25 වනදා පැවැත්වෙනවා. 1999 දී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නැවත ස්ථාපිත කිරීමෙන් අනතුරුව ගතවූ වසර 24 ක කාලය තුළ පළමු වරට එරට ප්‍රධාන පක්ෂ දෙකෙන් පරිබාහිර අයකු ජනාධිපතිවරණ සටනෙහි ඉදිරියට පැමිණ තිබීම මෙවර එම මැතිවරණවල සුවිශේෂී තත්ත්වයක් ලෙස සැලකිය හැකියි.

අප්‍රිකාවේ විශාලම ආර්ථිකය වුවද නයිජීරියාව සිටින්නේ ඉතාම තීරණාත්මක අවධියකයි. රටේ උතුරුදිග ප්‍රදේශවල ක්‍රියාත්මක වන ඉස්ලාමීය ත්‍රස්තවාදය මෙන්ම කප්පම් සඳහා පුද්ගල පැහැරගැනීම් කරන කල්ලි හේතුවෙන් එම ප්‍රදේශ තිබෙන්නේ අස්ථාවර තත්ත්වයකයි.

රටේ ගිණිකොණදිග ප්‍රදේශයේ බෙදුම්වාදී කණ්ඩායම් යළි හිස එසවීමට පටන් ගෙන තිබෙන අතර උතුරුදිග සහ දකුණුදිග ප්‍රදේශ අතර මායිම් ප්‍රදේශයන් හි සත්ත්ව පාලනය කරන්නන් සහ ගොවීන් අතර ඉඩම් අරභයා ගැටුම් පවතිනවා. විශේෂයෙන් උතුරුදිග ප්‍රදේශයන් හි කාන්‍තාරීකරණය වීම වේගවත් වනවිට එහි එඬේරුන් දකුණු දෙසට පැමිණීම ඊට හේතුවයි.

මේ අතර​, තෙල් නිෂ්පාදනය කරන රටක් වුවත්, තෙල් පෝලිම් ද එහි දුලබ දසුනක් නොවේ. එමෙන්ම තෙල් සොරකම් කිරීම ද දැඩි ප්‍රශ්නයක් වී තිබෙනවා. තෙල්වලින් උපයන ධනය රටේ යහපත උදෙසා ද හරියාකාරව යෙදී නැහැ. මිලියන 213 ක් විශාල ජනගහනයෙන් සියයට 40 ක් දරිද්‍රතා මට්ටමෙන් අඩු බවයි සඳහන් වන්නේ. එමෙන්ම ජනගහනයෙන් අඩක් අවුරුදු 19 ට අඩු පිරිසයි.

@elearninglk

සම්ප්‍රදායික අපේක්ෂකයෝ
1999 සිට නයිජීරියාව පාලනය කර තිබෙන්නේ සමස්ථ ප්‍රගතිශීලී කොන්ග්‍රසය (APC) සහ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන පක්ෂ දෙක විසිනුයි. 2015 සිට ජනාධිපති ධුරය දරන්නේ APC පක්ෂයේ මුහමදු බුහාරි විසින්.

කෙසේ වෙතත් ඔහුගේ පාලන සමය ද දැඩි බලාපොරොත්තු කඩවීමක් ලෙස සැලකිය හැකියි. ප්‍රධාන පක්ෂ දෙකට පිටතින් එන අපේක්ෂකයකුට අවස්ථාවක් සැලසී ඇත්තේ මෙම බලාපොරොත්තු කඩවීම තුළයි.


බුහාරි

ප්‍රධාන පක්ෂ දෙකෙන් ම මෙවර තරගයට ඉදිරිපත්ව ඇත්තේ වයෝවෘද්ධ නායකයින් බවයි පෙනී යන්නේ. පාලක APC පක්ෂයෙන් 70 හැවිරිදි බෝලා ටිනුබු ද PDP පක්ෂයෙන් 75 හැවිරිදි අටිකු අබුබකර් ද තරගයට ඉදිරිපත්ව තිබෙනවා.

අබුබකර් මේ තරග කරන්නේ ඔහුගේ තුන්වන ජනාධිපතිවරණයටයි. ඔහු හිටපු උප ජනාධිපතිවරයකු ද වන අතර ටිනුබු ලාගෝස් පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙක්.


වමේ සිට – ටිනුබු, ඕබි සහ අබුබකර්

මෙම අපේක්ෂකයන් දෙදෙනාම මුස්ලිම්වරුන් වීම ද තරමක් විවාදසම්පන්න වූ කරුණක් බවට පත්ව තිබුණා. සාමාන්‍යයෙන් නයිජීරියානු ජනගහනයෙන් සියයට 50 ක් යන්තම් ඉක්මවූ ප්‍රමාණයක් මුස්ලිම්වරුන් වන අතර ඉතිරි සියයට 50 ක්‍රිස්තියානින්.

මේ නිසා සාමාන්‍යයෙන් ජනාධිපති ධුරය මුස්ලිම් සහ ක්‍රිය්ස්තියානි ප්‍රජාව අතරේ මාරුවෙන් මාරුවට බෙදී යන ලෙස අලිඛිත සම්ප්‍රදායක් වුණා. මෙවර මුස්ලිම් ජනාධිපතිවරයකු සිය ධුර කාලය සපුරද්දී, ඔහුගේ තැන ගන්නට ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ඉදිරිපත්ව ඇත්තේ මුස්ලිම් අපේක්ෂකයන් වීම විශේෂයක්.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

වමෙන් එන දානපතියා
නයිජීරියාවේ කුඩා වාමාංශික දේශපාලන පක්ෂයක් වන කම්කරු පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින 61 හැවිරිදි පීටර් ඕබි, අනම්බ්‍රා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයකු ද වනවා. එමෙන්ම 2019 පැවති ජනාධිපතිවරණයේදී ඔහු ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (PDP) උප ජනාධිපති අපේක්ෂකයා වුණා. මාස කිහිපයකට පෙර ඔහු එම පක්ෂයෙන් ඉවත් වුණා.

පීටර් ඕබි කෙරෙහි විශේෂයෙන්ම තරුණයින්ගේ ආකර්ශණය ඇදීගොස් තිබෙනවා. ඔහු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයකු ලෙස සැලකියයුතු සාර්ථකත්වයක් දැක්වූ අයෙක්. එමෙන්ම ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක්. එසේ වුවද ඕබි සාමාන්‍ය ජනතාව සමග සමීපව කටයුතු කරන අයකු ලෙස පෙනීගොස් තිබෙනවා. දේශපාලන රැස්වීම්වලට පවා ඔහු යන්නේ විශාල පරිවාර සෙනග නොමැතිවයි. එහෙයින්ම ජනතාවට ඔහු ආසන්නයටම පැමිණිය හැකියි. ඔහු සමාජ මාධ්‍ය ද සක්‍රිය​ ලෙස භාවිතා කරනවා.


පීටර් ඕබි

ඡන්දය පාවිච්චි කිරීම සඳහා අලුතින් ඡන්දදායකයන් මිලියන 10 ක් පමණ ලියාපදිංචි වූ බව ගණන් බලා තියෙනවා. මේ අයගෙන් වැඩිදෙනා ඕබිට සහය දක්වනු ඇතැයි අපේක්ෂා කරනවා.

ජනාධිපතිවරණයේ මුල් වටයේදීම එය ජයග්‍රහණය කිරීමට නම් අපේක්ෂකයකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ඉක්මවා ඡන්ද ලබාගත යුතුයි. එමෙන්ම නයිජීරියාවේ ප්‍රාන්ත 36 න් තුනෙන් දෙකකදීවත්, එනම් අවම වශයෙන් ප්‍රාන්ත 24 කදී සියයට 25 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතුයි. මෙවන් නීතියක් හඳුන්වා දී ඇත්තේ ජනාධිපති ලෙස පත්වන තැනැත්තා නයිජීරියාවේ විවිධ ජනවර්ග සහ කණ්ඩායම්වල සහය දිනාගත හැකි අයකු වන තහවුරු කරගැනීමටයි.


Click on the Image

නයිජීරියාවේ ප්‍රධානම අර්බුදයක් බවට පත්ව තිබෙන ඉස්ලාමීය ත්‍රස්තවාදය මැඩලීම සඳහා ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම ඉදිරිපත් කරන්නේ එක හා සමාන වැඩපිළිවෙලක්. යුධ හමුදාව ප්‍රතිසංවිධානය​, නවීන ආයුධ ලබාදීම​, වඩා හොඳ පුහුණුවක් ලබාදීම​, පොලිසිය ශක්තිමත් කිරීම ආදිය ඊට අයත් වනවා. එමෙන්ම ප්‍රධාන අපේක්ෂකයන් සියළු දෙනා ආර්ථික සමෘද්ධිය ද ළඟාකරන බව පවසනවා.

නමුත් ටිනුබු සහ අබුබකර්ගේ මෙම ප්‍රතිඥා පිළිබඳ විශේෂයෙන් තරුණ ජනතාව තුළ ඇත්තේ එතරම් ප්‍රබල විශ්වාසයක් නොවෙයි. නයිජීරියාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වියදම් අඩු කර ප්‍රතිසංස්කරණ සිදුකිරීම පිළිබඳව ඕබි අවධානය යොමු කරනවා.

මෙහිදී ඔහු වෙනත් අර්බුදයක් කරා අනාගතයේදී තල්ලු විය හැකියි. ඔහුගේ මතයන් සහ ඔහුට සහය දෙන කම්කරු පක්ෂයේ මතයන් ගැටීමට ලක්වීමේ ඉඩක් පවතිනවා.

පීටර් ඕබි ජනාධිපති ධුරයට පත්වුවත් ඔහුගේ කටයුතු සඳහා සම්ප්‍රදායික දේශපාලන බලවේගයන් හි සහය ලබාගැනීමට හැකිවේද යන ප්‍රහේලිකාව මෙන්ම කම්කරු පක්ෂය කුමන ආකාරයේ අනාගතයක් කරා ගමන් කරයිද යන කුතුහලය ද ඉතිරිව තිබෙනවා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.