ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය – තෙවන කොටස

ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය – දෙවන කොටස

අනුරාධපුර රාජධානියේ පරිහානිය සිදු වෙන්නේ 1017දී සිදු වුනු දකුණු ඉන්දියාවෙන් පැමිණි රාජේන්ද්‍ර කියන චෝළ රජුගේ දැවැන්ත චෝළ ආක්‍රමණයත් එක්කයි. 1070 වෙනකොට ආක්‍රමණිකයන් විනාශයට පත් කරලා, අනුරපුරය අතහැර, පොළොන්නරුව රාජධානිය ලෙස තෝරාගෙන, 1 වන විජයබාහු රජු රජකමට පත් වෙනවා. මේ වෙනකොට අවුරුදු ගානක් තිස්සෙ අපේ රටේ තිබ්බ ද්‍රවිඩ පාලනය නිසා අපේ රටේ බුදු දහම නැත්තටම නැති වෙලා ගිහින්.

රටේ යුද්ධයක් තියෙන කොට, රටේ මිනිස්සු යුද්ධෙ දිහාවට ඇහැ ගහගෙන ඉන්න කොට, සමහරක් පන්සල්වල වෙන වෙන දේවල් වෙලා. ඉතින් සාංඝික දානයකට සිල්වත් හාමුදුරුවරු පස් නමක්වත් හොයා ගන්න බැරි තත්වයක් උදා වෙලා. උපසම්පදාව නැති වෙලා ගිහින්. වෙහෙර විහාර කඩා ගෙන වැටිලා. සමහරක් එව්වා චෝළ හමුදාව කඩලා දාලා.

මේ නිසා රජතුමා රාමඤ්ඤ දේශයෙන් (බුරුමයෙන්) ආයිත් අපේ රටට උපසම්පදාව ගේනවා. බෞද්ධ පොත්පත් ආනයනය කරනවා. උගත් බුද්ධිමත් හාමුදුරුවරුන්ව අපේ රටට වඩම්වනවා. රාමාඤ්ඤ දේශයට කරන ප්‍රති උපකාරයක් විදිහට රජතුමා අපේ රටේ ලියවුණු බෞද්ධ පොත්පත්, බුදු පිළිම වහන්සේ නමක්, දළදා වහන්සේගේ අනුරුවක් රාමඤ්ඤ දේශයට පරිත්‍යාග කරනවා.

ඒ වගේම සොළීන් කඩලා බිදලා දාපු පන්සල් ඔක්කොම ටික ප්‍රතිසංස්කරණය කරනවා. හුග කාලයක් තිස්සෙ නැවතිලා ගිහින් තිබ්බ බෞද්ධ පිංකම් ආයිත් පටන් ගන්න අනුග්‍රහය දෙනවා. ශ්‍රී පාදස්ථානය නඩත්තු කරලා, රාජ්‍ය අනුග්‍රහය දෙනවා. පොළොන්නරුවේ අටදාගෙයක් නිර්මාණය කරලා දළදා වහන්සේව තැන්පත් කරනවා. අටදාගේ කියන්නෙ පොළොන්නරුවේ පළවෙනි දළදා මන්දිරයටයි.

මොකක් හරි දෙයක් නිර්මාණය කරන එක ලේසියි. ඒත් ඒ නිර්මාණය කරපු දේ ප්‍රතිසංස්කරණය කරන එක, නඩත්තු කරන එක ගොඩක් අමාරු කටයුත්තක්. රජතුමා රටේ අලුතින් වෙහෙර විහාර නිර්මාණය කළා වගේම, තිබ්බ වෙහෙර විහාර ටික ප්‍රතිසංස්කරණය කළා. අන්න ඒ කර්තව්‍යන් ටිකම විජයබාහු රජතුමාගේ කාර්යය සාඵල්‍ය අගය කරන්න තරම් වටිනවා. මොකද රජතුමා ඒ ටික ප්‍රතිසංස්කරණය කරන්නෙ නැතුව ඒ විදිහටම තියෙන්න ඇරියා නම්, ඊට පස්සෙ එන පාලකයන්ට ඒ ටික ප්‍රතිසංස්කරණය කර කර ඉන්න වෙනවා මිසක්, අලුතින් යමක් නිර්මාණය කරන්න තරම් කාලයක් නැතුව යනවා. ඒත් පස්සෙ එන පාලකයන්ට ඒ ටික ප්‍රතිසංස්කරණය කරන්න ඉඩ තියන්නෙ නැතුව, රජතුමා ඔක්කොම ටික ප්‍රතිසංස්කරණය කරලා දැම්මා. ඒ නිසා පස්සෙ ආපු පාලකයන්ට අලුත් අලුත් දේවල් නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබෙනවා.

මහා විජයබාහුගෙන් පසුව පොළොන්නරුවේ රජවුණු ශ්‍රේෂ්ඨතම සහ ප්‍රබලතමයා වුණේ මහා පරාක්‍රමබාහු රජතුමා. ප්‍රාදේශීය පාලකයෙක් ලෙස හිටපු එතුමාට නීත්‍යානුකූලව රජකම ලබා ගැනීමට යුද්ධ වැදීමට සිදු වුණා. ඒ 2 වන මානාභරන කියලා කෙනෙක් පොළොන්නරුවේ සිංහාසනයේ වාඩි වුණු නිසයි. මානාභරනව පරාජය කළත් රටවැසියන් පැරකුම්බාවන්ව රටේ රජු ලෙස පිළිගත්තේ නෑ. ඒ දන්ත ධාතුන් වහන්සේ රජතුමා ළග නොතිබුණු නිසයි. මේ වෙනකොට දන්ත ධාතුන් වහන්සේ තිබුණේ සුගලා බිසව ළග (2 වන මානාභරනගේ මව). තම රාජ්‍යත්වය තහවුරු කිරීමට සුගලා බිසව සමග යුද්ධ වැදුනු රජතුමා, බිසවව පරාජය කරමින් දන්ත ධාතුන් වහන්සේගේ අයිතිය ලබාගෙන රාජ්‍යත්වයට පත් වුණා.

මෙතුමාගේ කාලයේ සිදු වුණු සිදුවීම් අතර ත්‍රෛ නිකාය සමගි කරවීම විශේෂ සිදුවීමක්. එනම් ථේරවාදී (මහා විහාරය), මහායාන (අභයගිරිය), සාගලික (ජේතවන) ආදී වශයෙන් නිකායන් 3කට බෙදී සිටි භික්ෂූන් සමගි කරවා, නිකායන් 3ම එකට එකතු කර එක් නිකායක් බවට පත් කිරීමයි. පොළොන්නරු රාජධානියේ වැඩිම ආගමික සිද්ධස්ථාන ප්‍රමාණයක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ මෙතුමාටයි. ඒ අතර ගල් විහාරය, බද්ධ සීමා මාලකය, වටදාගෙය, පොත්ගුල් වෙහෙර, කොට වෙහෙර, යුදගනාව, දෙමළ මහා සෑය, කිරි වෙහෙර, තිවංක පිළිමගෙය, ලංකාතිලක පිළිමගෙය, ථූපාරාම පිළිමගෙය ආදී ස්ථාන ප්‍රධාන වේ.

පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව, එතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස රටේ බලය හිමි වෙන්නේ නිශ්ශංකමල්ල රජතුමාටයි. නිශ්ශංකමල්ල රජතුමා ලංකාවේ වැඩිම අභියෝග ගණනකට මුහුණ දීපු පාලකයා විදිහට ඉතිහාස පොතට එකතු වෙනවා. ඒ අතරින් ප්‍රධානම අභියෝගය නම් බෞද්ධයෙක් නොවීම යන්නයි. එතුමා ඉන්දියාවේ කාලිංග වංශිකයෙක්. අපේ රටේ සිංහාසනේ ගන්න නිශ්ශංකමල්ල රජතුමා බුදු දහම වැළද ගන්නවා. ඒ රටේ මිනිස්සුන්ගෙ හිත් දිනා ගන්න. බුදු දහම වැළද ගත්ත රජතුමා, ඒ පාර කාලිංග වංශිකයන් බෞද්ධයෝ කියලා පෙන්නන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවේ අපේ රටේ පාලකයා “අනිවාර්යෙන්ම බෞද්ධයෙක්” වෙන්න ඕන කියලත් නීතියක් ගේනවා.

අපේ රටේ පාලකයෝ රාජ්‍ය පාලනය කරන කොට, බෞද්ධ සංකල්ප වලටත් අවධානය යොමු කළා. ඒ නිසා එක එක යුගවලදී එක එක බෞද්ධ සංකල්ප වලට අනුව දේශපාලනය කරන්න ගත්තා. කාලයක් රජතුමා බෝසත්වරයෙක් වගේ වෙන්න ඕන කියලා සංකල්පයක් ආවා. ඒ කියන්නෙ බෝධිසත්වයෙක් සතු උතුම් ගුණාංග වලින් යුක්ත වෙන්න ඕන කියන එක. තවත් කාලයක සංකල්පයක් තිබුණා, රටේ රජතුමා අනිවාර්යෙන්ම බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්න ඕන කියලත්. මේ ඒකෙ එක තෝතැන්නක්. මහ නුවර යුගයේ අන්තිම කාලයේ රජ වුණු නායක්කාර් වංශික රජවරු හිටන් මේ නීතියට අවනත වුණා. එයාලා හින්දු අය වුණත් බුදු දහම වැළදගෙන, බුදු දහම වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරනවා.

රජතුමාගේ විනෝදාංශය තමයි බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කර ගන්න යන එක. මේ නිසා ගොඩක් බෞද්ධ වෙහෙර විහාර රජතුමා ප්‍රතිසංස්කරණය කරනවා. දඹුල්ල රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා 72කට රන් ආලේප කළා කියලා සෙල්ලිපිවල තියෙනවා. ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරන්න යන අයට මාර්ග පහසුකම් නිර්මාණය කරනවා. නිශ්ශංකමල්ල රජතුමාගේ අනුග්‍රහය ඇතිව නිර්මාණය වුණු විශාලම ඉදි කිරීම තමයි රන්කොත් වෙහෙර. මේක පොළොන්නරුවේ තියෙන ලොකුම චෛත්‍යයි. ලංකාවේ තියෙන විශාල චෛත්‍යන් අතරින් හතර වෙනි ස්ථානය ගන්නවා. චෛත්‍යයේ උස අඩි 180ක් වෙනවා.

හැටදාගෙයත් නිශ්ශංකමල්ල රජතුමාගේම වැඩක්. හැටදාගේ කියන්නේ දළදා වහන්සේ තැන්පත් කරන්න ඉදි වුණු ගොඩනැගිල්ලට. හැටදාගේ නිර්මාණය කරන්න කලින් දළදා වහන්සේ තැන්පත් කළේ මහා විජයබාහු රජතුමා නිර්මාණය කරපු අටදාගේ. හැටදාගේ දෙවෙනි දළදා මන්දිරය. සත්මහල් ප්‍රාසාදයත් නිශ්ශංකමල්ල රජතුමා නිර්මාණය කළා කියලා තමයි දැනට තියෙන පිළිගැනීම. මේක ගොඩනැගිල්ලකට සමාන චෛත්‍යයක්. මේ වගේ චෛත්‍යයක් ලංකාවේ වෙන කිසිම තැනකින් අපිට හම්බ වෙන්නෙ නෑ. පොළොන්නරුවේ තියෙන නටබුන් අතරින් නිශ්ශංක ලතා මණ්ඩපය හැමෝගෙම අවධානයට ලක් වෙන නිර්මාණයක්. මේ ගොඩනැගිල්ලෙ ඉදගෙන නිශ්ශංකමල්ල රජතුමා පිරිත් සහ ධර්මය ශ්‍රවණය කළා කියලා සදහන් වෙනවා.

මෙතුමාගෙන් පස්සේ රාජධානිය, ලංකාවේ රාජ්‍යත්වයේ තිබුණු අභ්‍යන්තරික දේශපාලනික අරගල සහ අවුල් භාවයන් නිසා 1215 සිදු වුණු කාලිංගයේ සිට පැමිණි මාඝ නම් තැනැත්තා විසින් දියත් කළ කෲරතම කෲර ආක්‍රමණය නිසා බිමට සමතලා වෙනවා. මේත් එක්කම සිංහල රාජධානිය දඹදෙනියට විතැන් වෙනවා.

මේ අතර කාලයේ දඹදෙනියේ 3 වන විජයබාහු රජතුමා ආරක්ෂාව වෙනුවෙන් කොත්මලේ හංගලා තිබ්බ දළදා වහන්සේව බෙලිගලට වඩම්වලා, බෙලිගල දළදා මන්දිරයක් නිර්මාණය කරනවා. ඒ වගේම කැළණිය වගේ ජරාවාස වෙලා තිබුණ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වගේම “විජේසුන්දරාරාමය” නිර්මාණය කිරීමේ ගෞරවයත් හිමි වෙන්නෙ 3 වන විජයබාහු රජතුමාට. වත්තල විජයබා විහාරයත්, 3 වන විජයබාහු රජතුමාගෙම නිර්මාණයක්.

ඊට පස්සේ රාජ්‍යත්වයට පත් වෙන එතුමාගේ පුතනුවන් වුණු 2 වන පරාක්‍රමබාහු රජතුමා කාලිංග මාඝගේ කුරිරු පාලනයෙන් රට මුදවා ගන්නවා. අවුරුදු 40කට පස්සෙ අපේ රටට සාමය උදා වෙන්න ගන්නවා. මේ අවුරුදු 40 ඇතුළත අපේ ශාසනය ගොඩක් පිරිහිලා තිබ්බා. දුස්සීල හාමුදුරුවරු වැහි වැහැලා. ඉතින් යුද්ධය ජයග්‍රහණය කරලා, 2 වෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො මුලින්ම කළේ අපේ රටේ ඔක්කොම භික්ෂූන් වහන්සේලා (ග්‍රාමවාසී සහ අරණ්‍යවාසී) දඹදෙනියේ විජේසුන්දරාරාමයට රැස් කරපු එකයි. ඊට පස්සෙ සංඝ සම්මේලනයක් තියලා, දුස්සීල හාමුදුරුවරු ශාසනයෙන් එළවලා දාලා ශාසනය ශුද්ධ කළා. ඊට පස්සෙ සංඝ සම්මුතියෙන් “දඹදෙනි කතිකාවත” කියලා අලුත් කතිකාවතක් ගේනවා.

භික්ෂූන් වහන්සේලාට ක්‍රමවත් පුහුණුවක් සහ අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා පලාබත්ගල භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කරනවා. සතියක් දළදා වහන්සේට පූජා පවත්වනවා. මාඝගේ පාලන කාලයේ අපේ රටේ කඩාගෙන වැටුනු වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරන්න පියවර ගන්න අතරෙම සිරිපා වන්දනාවේ යන අයට පහසුකම් ලබා දෙන්න අනුග්‍රහය දක්වනවා. දෙවුන්දර, බෙන්තොට, කැළණිය, අත්තනගල්ල, යාපහුව, කුරුණෑගල වගේ ප්‍රදේශවලත් වෙහෙර විහාර නිර්මාණය කරනවා. කුරුණෑගල මහේන්ද්‍රභානු විහාරය මේකට හොද නිදසුනක්.


Click on the Image

විහාරස්ථානවලට ගම්වර පූජා කරලා, බෙලිගල දළදා මාළිගාවේ තැන්පත් කරලා තිබ්බ දළදා වහන්සේව, දඹදෙනියට වඩම්වලා දඹදෙනියෙ දළදා මාළිගාවක් නිර්මාණය කරනවා. වැඩිහිටි මහා සංඝ පීතෘවරුන්ට අධ්‍යාපනය භාර දෙනවා. දඹදිවින්, අනිත් බෞද්ධ රටවල් වලින් වටිනා බෞද්ධ පොත්පත් ආනයනය කරනවා. මාඝගේ කාලයෙ නැවතිලා තිබුණු වාර්ෂික උපසම්පදා උත්සව ආයිත් ආරම්භ කරනවා. ත්‍රිපිටකය පාලියට පරිවර්තනය කරන්න උපදෙස් දෙනවා. වාර්ෂික කටින පිංකම් පවත්වනවා. බෙලිගල පිරිවෙනක් නිර්මාණය කරනවා වගේම, අපේ රටේ හැම පිරිවෙනකටම උදව් කරනවා.

මේ විදිහට බුද්ධ ශාසනය වෙනුවෙන්, 2 වෙනි පරාක්‍රමබාහු රජතුමා ගොඩක් වැඩ කරනවා. රත්නපුරේ තියෙන සුමන සමන් මහා දේවාලයත්, පරාක්‍රමබාහු රජතුමාගේ මූලිකත්වය සහ අනුග්‍රහය ඇතිව නිර්මාණය වුණ දේවාලයක්. එතුමා පිරිවෙන් වලට අනුග්‍රහය දක්වලා අධ්‍යාපනය නගා සිටු වන්න කටයුතු කළා වගේම, අපේ රටේ බෞද්ධ සාහිත්‍ය නගා සිටුවන්නත් අනුග්‍රහය දක්වනවා. මේ නිසා මේ කාලයේ හිසේ කෙස් ගාණට අපේ රටේ බෞද්ධ ගද්‍ය සහ පද්‍ය කෘති නිර්මාණය වෙන්න ගන්නවා.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය – සිව් වන කොටසින් හමුවෙමු !

————————
අමතර කරුණක් දෙකක් :: අනෙකුත් රටවල ථේරවාදි බුදු දහමේ ව්‍යාප්තිය සහ ලංකාව සමඟ පැවති බෞද්ධාගමික සම්බන්ධතා ::

ඉන්දියාව කොටස් වලට බෙදිලා ගිහින්, ඒ හරහා පකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය ආදී වශයෙන් නව රටවල් බිහිවීමත් එක්කම, ඒ රටවල් වලට ස්වයංක්‍රීයවම බෞද්ධ ශිෂ්ටාචාරයකුත්, බුදු සසුනත් උරුම වුණා. අතීතයේ මාලදිවයිනේ හිටියේ සිංහල මිනිසුන්. ඒ නිසා ශ්‍රී ලංකාව හරහා මාලදිවයින වෙත බුදු දහම ව්‍යාප්ත වුණා කියලා විශ්වාසයක් තියෙනවා. දැනට පවතින මතය අනුව අවම වශයෙන් 12 වන සියවස වන තෙක්වත් මාලදිවයිනේ ප්‍රධානතම ආගම විදිහට බුදු දහම තිබිලා තියෙනවා. ඒත් පස්සේ ඇති වුණු මුස්ලිම් සංක්‍රමණ සහ ආක්‍රමණ හේතුවෙන් මාලදිවයිනෙන් මුළුමනින්ම බුදු දහම යටපත් වෙලා ගියා.

නැගෙනහිර ආසියාවේ ථේරවාදී බෞද්ධ රටවල් ගැන සාකච්ඡා කරන කොට මියන්මාරය සහ තායිලන්තය ප්‍රධන පෙළේ ලා සළකන්න පුලුවන්. බුදුන් දහම් පමණක් සරණ ගිය ප්‍රථමදේවාචික උපාසකයින් වූ තපස්සු භල්ලුක දෙදෙනා, උන්වහන්සේගෙන් කේශ ධාතු මිටක් ලබාගෙන ලංකාවට පැමිණ ගිරිහඩු සෑයේ නිධන් කළ බව ලංකා ඉතිහාසයේ දැක්වෙනවා. ඒත් බුරුම ඉතිහාසයේ සදහන් වෙන්නේ ඒ අය බුරුමයට ආවා කියලයි.

ස්වර්ණ භූමිය, මරම්ම දේශය, බ්‍රහ්ම දේශය, රාමඤ්ඤ දේශය වගේ නම් වලින් හදුන්වන බුරුමයට දහම් පණිවිඩය රැගෙන එන්නේ සෝන සහ උත්තර හිමිවරුන්. ඒ 3 වන ධර්ම සංගායනාවේ නව රට සසුන්ගත කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් විදිහට. ශ්‍රී ලංකාව සහ බුරුමය අතර බෞද්ධ සබදතා කටයුතු ක්‍රි.ව 3 වන සියවසේ සිට ආරම්භ වූ බවත්, ලංකාවෙන් එරටට වැඩම කළ බොහෝ භික්ෂූන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේ යෙදුනු බවත් ශිලා ලේඛනවල සදහන් වෙනවා. ලංකාවේ “පාලි අට්ඨකථා” ලියූ බුද්ධඝෝෂ හිමියන්ද බුරුම ජාතික භික්ෂුවක්. ඉපැරණි දේශාටන වාර්තා අනුව ක්‍රි.ව 7 වන සියවස වන විට බුරුමයෙ ථේරවාදි බුදු දහම මෙන්ම මහායාන දහමත් බුරුමයේ තිබිලා තියෙනවා.

බුරුමයේ බුදු සසුනේ ව්‍යාප්තියේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ අනෞරථ රජතුමාගේ කාලයයි. “අරහන්” කියලා භික්ෂුවකගෙන් දහම් අසා බෞද්ධයෙක් වුණු එතුමා, බෞද්ධ පොතපත කියවමින්, රට පුරා දාගැබ් සහ ආරාම ගොඩ නැගුවා. ථේරවාදී බුදු දහම ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් විදිහට, රටවැසියන් බුදු දහම සීග්‍රයෙන් වැළදගත්තා. කෙටි කාලයක් ඇතුළත බුරුමයේ රාජ්‍ය ආගම බවට පත් වුණා. සුප්‍රසිද්ධ ස්වේදගෝන් චෛත්‍යය අනෞරථගේ කලාකෘතියක්. මේ රජතුමාගේ කාලයේ, ශ්‍රී ලංකාවේ පාලකයා වුණේ මහා විජයබාහු රජතුමා. මේ කාලයේ බුරුමය සහ ශ්‍රී ලංකාව අතර ඇති වුණු ශක්තිමත් බෞද්ධ සබදතා ගැන අපි මුලදී සාකච්ඡා කළා.

ඒ රජතුමාගේ පුත්‍රයෙක් වුණු කියැංසිත්ථ රජතුමාත් බුදු දහම වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් සිදු කළ කෙනෙක් විදිහට ප්‍රකට වෙනවා. කියැංසිත්ථ රජතුමා ආනන්ද විහාරය කරවලා, බෞද්ධ පොතපත සම්පාදනය කරලා, ඉන්දියාවේ බුද්ධගයා විහාරය ප්‍රතිසංස්කරණය සදහා කටයුතු කළ බව සදහන් වෙනවා. 12 වන සියවසේදී ලංකාව සහ බුරුමය අතර ඇති වුණු යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට බුරුමයෙන් ලංකාවට අධික බදු මුදලක් ගෙවන්න සිද්ධ වුණා. මේ සම්බන්ධව එවකට ලංකාවේ පාලක මහා පරාක්‍රමබාහු රජු සමග සාකච්ඡා කරලා බුරුමයට නිදහස ලබා ගන්න බුරුමයේ මහා සංඝරත්නය කැපවීමෙන් කටයුතු කළා.

ත්‍රෛ නිකාය සමගි කරවමින් ලංකාවේ පරාක්‍රමබාහු රජතුමා සිදු කරපු සංඝ සංශෝදනයෙන් ලංකාවේ බුදු දහම දීප්තිමත්ව බැබලුණා. මේ නිසා බුරුමයෙන් උත්තරජීව සහ ඡප්පට කියලා සාමනේර හිමිවරු දෙනමක් මහා විහාරයේ නේවාසිකව හිදිමින් බුදු දහම ඉගෙන ගත්තා. උත්තරජීව හිමියන් කෙටි කලකින් බුරුමයට පිටත් වුණත්, ඡප්පට හිමියන් අවුරුදු 10ක් ලංකාවේ නැවතිලා බුදු දහම ඉගෙනගෙන “සද්ධම්ම ජෝතිපාල” කියලා උපාධියකුත් ලබලා ලංකාවේ භික්ෂූන් කිහිප නමක් සමග බුරුමයට වැඩම කරලා, “සීහලසංඝ” නමින් නිකායක් ආරම්භ කළා. රාජ්‍ය අනුග්‍රහය හරහා ලංකාවෙන් බුරුමයට ලැබුනු මෙම නිකාය සීග්‍රයෙන් ප්‍රචලිත වෙන්න ගත්තා.

15 වන සියවස වෙනකොට මොංගෝලියාවේ කුබ්ලායිඛාන්ගේ ආක්‍රමණත් සමගම බුදු දහම සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. භික්ෂූන් භේද වෙලා, දුරාචාරයේ හැසිරෙන්න ගත්තා. මේ කාලයේ ලංකාවේ පාලකයා වුණු 6 වන බුවනෙකබාහු රජ්ජුරුවන්ව දැනුවත් කරමින්, බුරුමයේ රජතුමා වුණු ධම්මචේතිය රජු, බුරුමයේ හිමිවරු 46ක් ලංකාවට වඩම්මවා, කැළණියේ උපසම්පදාව ලබා දීමට කටයුතු කරනවා.

ලංකාවෙන් පැවිදි උපසම්පදා ලබපු උන්වහන්සේලා ආයිත් බුරුමයට වැඩම කරලා උපසම්පදා කටයුතු ආරම්භ කළ බවත්, භික්ෂූන් 15 666ක් උපසම්පදා ලැබූ බවත්, ඒ හරහා සීහල සංඝ නිකාය සහ බුරුමයේ මුල් නිකායක් වූ මරම්ම සංඝ නිකාය අතර තිබූ භේදය නිමා වී, එකම නිකායක් බවට පත් වූ බවත් සෙල්ලිපිවල සදහන් වෙනවා. වරින් වර ලංකාවේ භික්ෂූන් වහන්සේලාත් බුරුම දේශයට වැඩම කරලා උපසම්පදාව රැගෙනවිත් ලංකාවෙත් නව නිකායන් ආරම්භ කළ අතර ඒවා අදටත් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා (අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය).

බුරුම වැසියාගේ ජීවිතය පුරාවටම කා වැදී ඇත්තේ බෞද්ධ ඉගැන්වීම්. මෙන්ඩුන් කියන රජුගේ කාලයේ ගුණ ධර්ම සහ සදාචාරය අතින් බුරුම වැසියන් අතර මහා තරගකාරී ස්වභාවයක් පෙන්නුම් කරලා තියෙනවා. මෙන්ඩුන් රජතුමා කිරිගරුඩ ගල්ලෑලි 729ක, ත්‍රිපිටකය කොටවා සුරක්ෂිත කළ අතර, 1945දී බුරුමයේ පැවැත්වුණු 6 වන ධර්ම සංගායනාවේදී ඒ ත්‍රිපිටක ශෛලී පුවරුව ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.

බුරුමයට දහම් පණිවිඩය රැගෙන ගිය සෝන සහ උත්තර හිමිවරුන්ම තායිලන්තයටත් බුදු දහම රැගෙන ගිය බව එරට ජනප්‍රවාදයේ සදහන් වෙනවා. ඒ නිසා තායිලන්තයට බුදු දහම පැමිණි යුගය ලෙස සැළකෙන්නේ ක්‍රි.පූ 3 වන සියවසයි. ක්‍රි.ව 700දී තායිලන්තයට මහායාන බුදු දහම පැමිණි බවත්, ක්‍රි.ව.1000 බුරුමයේ අනෞරථ රජුගේ කාලයේදී තායිලන්තයේද ආගමික ප්‍රබෝධයක් ඇති වූ බවත්, ලීදයිය රජුගේ කාලයේ තායි ලංකා බෞද්ධ සබදතා ශක්තිමත් මට්ටමක පැවති බවත් සදහන් වෙනවා. ලංකාවේ පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී සියමයෙනුත් මහා විහාරයට භික්ෂූන් වැඩම කර රටවල් දෙක අතර බෞද්ධ දැනුම හුවමාරු කරගෙන තියෙනවා.

ලීදයිය රජතුමා ලංකාවෙන් සංඝරාජ හිමි නමක් තායිලන්තයට වඩම්වා මහත් වූ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළා. එහි අවසානතම ප්‍රතිඵලය නම් ලීදයිය රජු සියල්ල අතහැර පැවිදි දිවියට එළඹීමයි. මේ කාලය තුළ ලංකාවෙන් ශ්‍රී මහා බෝධි අංකුරයක් සියමට රැගෙන ගියා. පසුකාලයේ ඇති වන ආක්‍රමණ හේතුවෙන් මහජනයාගේ ඉල්ලීම මත උපැවිදි වන ලීදයිය රජු නැවතත් රාජ්‍ය භාර ගනිමින් කටයුතු කරන අතරේ බුදු දහමටත් සේවය කළා.

ලංකාවේ 6 වන පරාක්‍රමබාහු රජ දවස (1412) ලංකාවෙන් උපසම්පදාව ලැබූ තායි හිමි නමක්, තායිලන්තයට වැඩම කරලා, සීහලසංඝ නමින් නිකායක් තායිලන්තයේදී ආරම්භ කළා. ඉන්දියාවෙන් බුදු දහම අභාවයට යෑම, ලක්දිවට බුදුන් තෙවරක් වැඩම කර තිබීම, මිහිදු හිමියන්ගෙන් ඇරඹූ අඛන්ඩ සඝ පරපුරක් සිටීම යන කාරණා හේතුවෙන් තායි වැසියන් ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ බව මූලාශ්‍රවල සදහන් වෙනවා.

1753දී තායිලන්තයෙන් උපාලි කියලා හිමි නමක් ප්‍රධාන කොට ගත් භික්ෂූන් 20 නමක් ශ්‍රී ලංකාවට වැඩැම්වීමට කටයුතු කරන කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලංකාවේ සාමණේරයන් කිහිප දෙනෙක් උපසම්පදා කරනවා. ඒ අතර පසුකලෙක ලංකාවේ සංඝරාජ පදවියට පත් වුණු වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ද සිටි අතර ඒ වර්තමානයේ ලංකාවේ පවතින සියම් නිකායේ (ශ්‍යාමෝපාලි) ආරම්භයයි.

තායිලන්තයේ ඉපැරණි නීති ක්‍රම අනුව රජතුමා බෞද්ධයෙක් විය යුතු අතර බෞද්ධ විහාර ආරාම රජයෙන් පාලනය කෙරෙනවා. රටේ රාජ්‍ය ආගම බුද්ධාගම වන අතර සියලු බෞද්ධ උත්සව සදහා රජයෙන් අනුග්‍රහය සැපයිය යුතුයි.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.