තෝරාගැනීමේ නිදහස සහ මුදල් මැවීම (Freedom of Choice & Creation of Money)
මුලින්ම කියන්ඩ ඕනෙ මේක ඉතාම සරල සටහනක්. ආර්ථික විද්‍යා හෝ මූල්‍ය පසුබිමක් නැති කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්ඩ පුළුවන් විදිහට ලියන්ඩයි උත්සාහ කලේ.
‘මුදල් මැවීම’ කියන්නෙ ආර්ථික විද්‍යාව විශේෂයෙන් මූල්‍ය පැත්තෙන් සිද්ධවෙන මූලිකම සංසිද්ධියක්. ඒකට ‘තෝරාගැනීමේ නිදහස’ කියන සංකල්පය අදාල කරගෙන පැහැදිලි කිරීමක් කරන්ඩ තමා මේ බලාපොරොත්තුව. මේ කියන කාරණා දෙකම විශේෂඥයින් ඉතාම ගැඹුරට දාර්ශනික මට්ටමෙන් කතා කරන කාරණා. මෙතනදි මං කරන්නෙ මගේ අල්ප දැනුමෙන් පොඩි පැහැදිලි කිරීමක්. හරි අපි යමු වැඩේට.
අපි මෙහෙම සරල උදාහරණයකින් පටන්ගමු.
‘සිරිසේන’ කියල එක්කෙනෙක් ඉන්නව. එයා ගාව තියෙනව රුපියල් සීයක්. ඒ රුපියල් සීයෙන් එයාට එක එක දේවල් ගොඩක් කරන්ඩ පුළුවන්. අපි අහඹු උදාහරණ කීපයක් ගනිමු.
1.) බීම බෝතලයක් බොන්ඩ පුළුවන්.
2.) කැටයම් කරපු සිප්පි කටුවක් ගන්ඩ පුළුවන්.
3.) තමන්ගෙ ලාච්චුවේ දාල තියාගෙන ඉන්ඩ පුළුවන්.
4.) බැංකු ගිණුමට දාගන්ඩ පුළුවන්.
5.) හිඟන මනුස්සයෙක්ට දෙන්ඩ පුළුවන්.
6.) දවස් පොළියට ණයට දෙන්ඩ පුළුවන්.
ඔය වගේ ‘සිරිසේන’ට තමන් තෝරාගත් ඕනෙම දෙයක් රුපියල් සීයට කරන්ඩ පුළුවන්. දැන් අපි එකින් එක අරගෙන බලමු ඔය අවස්ථා හයේදි මූලිකවම සිද්ධවෙන්නෙ මොකක්ද කියල.
1.) රුපියල් සීය කඩේට ලැබෙනව. මුදලාලි තමන්ගෙ ලාභ කොටස අරගෙන ඉතිරිය බීම කොම්පැණියට දෙනව.
2.) රුපියල් සීය කඩේට ලැබෙනව. මුදලාලි තමන්ගෙ ලාභ කොටස අරගෙන ඉතිරිය කැටයම් නිර්මාණකරුට දෙනව.
3.) සිරිසේන රුපියල් සීය තමන්ගෙ ලාච්චුවට දානව. කාවො කන්නෙ නෑ, මොකද ලාච්චුවට කපුරු බෝල දාල තියෙන්නෙ.
4.) රුපියල් සීය බැංකුවට ලැබෙනව. හැබැයි බැංකුව ඒක ආපහු සිරිසේනට දෙන්ඩ ඕනෙ.
5.) රුපියල් සීය හිඟන මනුස්සයට ලැබෙනව. එයා ඒකෙන් තමන් කැමති දෙයක් කරනව. හරියටම සිරිසේන කලා වගේ.
6.) අපි කිව්වොත් සිරිසේනගෙන් රුපියල් සීය ගත්තු කෙනා ‘නන්දසේන’ කියල. එතකොට දැන් නන්දසේනගෙ අතට රුපියල් සීයක් ලැබෙනව අනාගතයේ යම් දවසක ආපහු ගෙවීමේ පොරොන්දුව පිට.
ඔන්න ඔය විදිහට බැලුවහම අපිට පේනව ඉහත තුන්වෙනි සහ හතරවෙනි අවස්ථාවලදි හැර අර කියපු රුපියල් සීය එක එක්කෙනාගෙ අතට යනව. ඒ කියන්නෙ ආර්ථිකය ඇතුලෙ සංසරණය වෙනව. කෙටියෙන් කිව්වොත් ඒ ඒ පාර්ශ්වයන් ඒ රුපියල් සීයෙන් තමන් කැමති දේවල් කරගන්නව. තුන්වෙනි අවස්ථාවෙදි මොකුත්ම වෙන්නෙ නෑ. හැබැයි හතරවෙනි අවස්ථාව ටිකක් විතර සංකීර්ණයි. ඒ ගැන අපි පස්සෙ ටිකක් දිගට කතාකරමු.
දැන් අපි බලමු මුදල් මැවීම පැත්තෙ මූලික කාරණා ගැන.
මුදල් අච්චු ගැසීම (Money Printing) [වෙළෙඳපොළට අළුතෙන් මුදල් එකතුවීම කියන සංසිද්ධිය සඳහා මේ වචනය භාවිතා කිරීම වැරදියි කියලයි මගේ පෞද්ගලික අදහස] කියල සාමාන්‍ය ව්‍යවහාරයේ කියන දෙයින් අදහස් වෙන්නෙ විශේෂ තීන්ත යොදාගෙන විශේෂ කඩදාසියක මුදල් නෝට්ටු මුද්‍රණය කරන එක. එහෙම නැත්නම් මොකක් හරි ලෝහයක් යොදාගෙන කාසියක් හදන එකම නෙමෙයි. ඇත්තටම කිව්වොත් එහෙම අච්චු ගහල තියෙන සල්ලි කියන්නෙ වෙළෙඳපොළ තුල සංසරණය වෙන මුදල්වලින් ඉතා සුළු ප්‍රමාණයක් විතරයි.
සාමාන්‍යයෙන් දියුණු ආර්ථිකයක මේ නෝට්ටු මුද්‍රණය/කාසි සැපයුම කියන්නෙ වෙළෙඳපොළ ඇතුලෙ සංසරණය වන සමස්ත මුදල් ප්‍රමාණයෙන් 5% – 8% අතර වගේ ප්‍රතිශතයක් විතරයි. ඉතිරිය මුළුමනින්ම වගේ සමන්විත වෙන්නෙ ඉලෙක්ට්‍රෝනික මුදල් වලින්.
දැන් අපි ආපහු අර මුලින් කියපු අවස්ථා හය දිහා බලමු. මෙතනදි අපි කතා කරන්නෙ අච්චු ගහපු රුපියල් සීයෙ නෝට්ටුවක් කියල ගත්තොත් (මොකද එතැනින් ගණුදෙනු දෙකක් ඉලෙක්ට්‍රෝනික ගණුදෙනු විදිහට කරන්ඩ අපහසුයි.), සල්ලි ලාච්චුවට දාන තුන්වෙනි අවස්ථාව හැරෙන්ඩ මේ ගණුදෙනු වෙන මුදල් සංසරණය වෙන්නෙ මූල්‍ය පද්ධතිය ඇතුලෙ. ඒ කියන්නෙ බැංකු හා මූල්‍ය පද්ධතිය ඇතුලෙ (Banking & Financial System) මේ රුපියල් සීය කැරකෙනවයි කියන එක.
රටක මුදල් නිකුත්කිරීමේ අධිකාරී බලය තියෙන්නෙ ඒ රටේ මහ බැංකුවට. සාමාන්‍යයෙන් රටක බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය වෙන්නෙත් එම රටේ මහ බැංකුව හරහා. ඒක නිසා තමයි රටක මහ බැංකුව ‘බැංකුකරුවන්ගේ බැංකුව’ (Banker to Bankers), ‘ණයදෙන්නන්ගේ අවසාන නවාතැන්පල’ (Lender of the Last Resort) වගේ නම් වලිනුත් හඳුන්වන්නෙ. මුදල් මැවීම කියන ක්‍රියාවලිය සඳහා මූලිකවම දායක වෙන්නෙ රටක මහ බැංකුව සහ වාණිජ බැංකු කියන තැනට ඇවිල්ල මේ ලිපිය හමාර කරමු.
ඇත්තටම ‘මුදල් මැවීම’ කියන්නෙ ටිකක් දීර්ඝව කතා කරන්ඩ ඕනෙයි කියල හිතෙන මාතෘකාවක්. මේ ලිපියෙන් මට කරන්ඩ ඕනෙ වුණේ මිනිස්සුන්ගෙ පරිභෝජන රටාව සහ ව්‍යාපාරික ව්‍යුහයන් ‘මුදල් මැවීම’ කියන කාරණාවේදි රටක මහ බැංකුව සහ වාණිජ බැංකු සමඟ සම්බන්ධ වෙන ආකාරය සරලම තැනකින් අල්ලන්ඩ.
මොකද මං හිතනව එහෙම කලොත් මේක හුඟදෙනෙක්ට තේරුම්ගන්ඩ ලේසි වෙයි කියල. මං කැමතියි මං දන්න ස්වල්පය තව කෙනෙක් එක්ක බෙදාගන්ඩ. බොහොම ස්තූතියි කියෙව්වට.
ජය !!