වැග්නර් සමාගමට දැන් මොකක් වෙයිද?
වැග්නර් මිලිටරි සමාගමේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින්ගේ මරණයෙන් අනතුරුව එම සමාගමේ අනාගතය කුමක් වේදැයි මේ වනවිට බරපතල අවිනිශ්චිතතාවයක් නිර්මාණය වී තිබෙනවා.
විශේෂයෙන්ම ප්‍රිගෝෂින් යටතේ වැග්නර් සමාගම සැලකියයුතු තරමේ විශාල ආයතනයක් බවට පත් වූ හෙයින් අනාගතයේ එහි කටයුතු කවරාකාරයෙන් සිදුවනු ඇතිද යන්න වැදගත් ප්‍රශ්නයක්.
එමෙන්ම වැග්නර් සමාගම යටතේ සේවය කරන යුධ පුහුණුව ලැබූ සැලකියයුතු පිරිසක් ද වුණා. සංඛ්‍යාත්මක වශයෙන් ඔවුන්ගේ පිරිස් ශක්තිය පිළිබඳ විවිධ ඇස්තමේන්තු තිබුණ අතර දළ වශයෙන් එය 25,000 ක් පමණ වේ යැයි සැලකෙනවා.
ඔවුන් අතුරින් සමහරුන් හිටපු හමුදා සාමාජිකයන් වන අතර අතීතයේදී විවිධ යුද්ධවල සටන් කර පළපුරුදු පිරිස් ද ඒ අතර වනවා. එහෙයින් මෙවන් පිරිසක් විසිර යාමට ඉඩ දීම එක්තරා අතකට අපතේ යැවීමක් මෙන්ම අනෙක් අතින් ආරක්ෂාවට එතරම් සුදුසු තත්ත්වයක් ද නොවෙයි.
බෙලරූස් සම්බන්ධය
පසුගිය ජූනි මාසයේදී වැග්නර් සාමාජිකයන් විසින් දියත් කළ කැරැල්ලෙන් අනතුරුව එම සාමාජිකයන්ට බෙලරූස් වෙත පැමිණීම සඳහා එරට ජනාධිපති අලෙක්සන්දර් ලුකශෙන්කෝ අවසර දුන්නා. මෙසේ විශාල වැග්නර් සාමාජික පිරිසක් එහි පැමිණියා. ලුකශෙන්කෝ සඳහන් කරන්නේ වැග්නර් සාමාජියකයන්ට දිගටම බෙලරූස් හි රැඳී සිටිය හැකි බවයි.
සම්පූර්ණ පිරිසම කෙසේ වෙතත් වැග්නර් සාමාජිකයන් කොටසකට බෙලරූස් හි රැඳී සිටීමේ අවස්ථාවක් ලැබෙන්නට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. වැග්නර් සාමාජිකයන්ගේ පක්ෂපාතීත්වය දිනාගැනීමට ලුකශෙන්කෝ උත්සාහ කරන්නේ ද යන සැකය මේ ඔස්සේ ඇතිවනවා. එමගින් ඔහුට ද අනාගතයේ ප්‍රයෝජනවත් කුලී හමුදා කණ්ඩායමක සහය ලබාගත හැකි වේ යයි ඔහු බලාපොරොත්තු වනවා වන්නට පුළුවන්.
වැග්නර් සමාගම පසුගිය සමයේ දී විශේෂයෙන්ම අප්‍රිකානු රටවල සහ මැද පෙරදිග කලාපයේ ද විවිධ කාර්යයන් හි නිරත වුණා. අප්‍රිකානු රටවල් කිහිපයකම ආරක්ෂක උපදේශකයන්, පුහුණුකරුවන් සහ ආරක්ෂාව සපයන්නන් ලෙස ඔවුන් කටයුතු කළා. ඒ අතරම එහි ව්‍යාපාරික ජාලයක් ගොඩනගාගන්නට ද වැග්නර් සමාගමට හැකි වූ බව කියවෙනවා. කලාපයේ රුසියානු බලපෑම පුළුල් කිරීමට ද ඔවුන්ගේ කටයුතු හේතු වුණා.
ජූනි මාසයේ කැරැල්ලෙන් අනතුරුව වැග්නර් සාමාජිකයන් යුක්‍රේන පෙරමුණේ සටන් නොකළ ද අප්‍රිකාවේ සහ අනෙකුත් ප්‍රදේශයන් හි ඔවුන්ගේ කටයුතු දිගටම සිදුවුණා.
ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම කටයුතු දිගටම පවත්වාගැනීමට රුසියාවට අවශ්‍ය හෙයින් එම දැන් පවතින ආකාරයෙන්ම හෝ ඊට වෙනස් ආකාරයකින් අප්‍රිකාව තුළ වැග්නර් කණ්ඩායම ක්‍රියාත්මක වනු ඇති බවයි.
පසුගිය දිනවල පළ වූ මාධ්‍ය වාර්තා අනුව වැග්නර් කණ්ඩායමෙහි කටයුතු අප්‍රිකානු රටවලදී ඒ අයුරින්ම පවත්වාගෙන යන බවට රුසියානු නිලධාරීන් විසින් අදාල රටවල ඔවුන් හා ගනුදෙනු කරන පාර්ශව වෙත දන්වා ඇති බව කියැවුණා.
@elearninglk
කෙසේ වෙතත් වැග්නර් සටන්කාමීන් විශාල ප්‍රමාණයක් සිටින්නේ බෙලරූස් හි සහ රුසියාවේ බවයි සලකනු ලබන්නේ.
මේ අනුව ඔවුන් දිගටම රඳවා තබාගැනීමත්, ඔවුන්ගේ පක්ෂපාතීත්වය රැකගැනීමත් රුසියාවට වැදගත් වේ යයි සිතිය හැකියි. මෙම පිරිස් අතර ප්‍රිගෝෂින්ට පුද්ගලිකව පක්ෂපාතී අය ද සිටිය හැකියි.
මෙවන් සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන් රුසියාව වෙත පක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රතිඥා දියයුතු යයි රුසියානු රජය විසින් නිවේදනය කරන ලද්දේ එම පසුබිමේයි.
මේ අතරතුර වැග්නර් හි සටන්කාමීන් වෙනත් මිලිටරි සමාගම් වෙත ඇදගැනීමේ උත්සාහයන් ද ක්‍රියාත්මකව ඇතැයි වාර්තා වනවා.
තරගකාරී සමාගම්
රුසියාවේ වැග්නර් මෙන් පුද්ගලික මිලිටරි සමාගම් කිහිපයක්ම වන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ප්‍රිගෝෂින් යටතේ ව්‍යාප්ත වූ අයුරින් මෙම සමාගම් ව්‍යාප්ත වූයේ නැහැ. මෙම බොහොමයක් කණ්ඩායම් නිර්මාණය වූයේ කිසියම් ධනවතකුගේ හෝ සමාගමක අවශ්‍යතාවය අනුවයි. එම ධනවතුන් සතු හෝ ආයතනයක් සතු දේපළ ආරක්ෂා කිරීම වැනි අවශ්‍යතා සඳහා මේවා නිර්මාණය කෙරුණා.
රෙදූත්, කොන්වෝයි යනාදී නම්වලින් හැඳින්වෙන සමාගම් මෙයින් ප්‍රමුඛ වන අතර ගෑස්ප්‍රොම් සමාගම යටතේ ද පුද්ගලික මිලිටරි සමාගම් ක්‍රියාත්මක වන බව කියැවෙනවා.
යුක්‍රේන යුධ මෙහෙයුම් ඇරඹීමෙන් අනතුරුව මෙවන් ඇතැම් කණ්ඩායම්වල පිරිස් බලය වර්ධනය වුණා. සමහර කණ්ඩායම් යුක්‍රේන පෙරමුණේ සටන් සඳහා ද සහභාගී වූ බව විශ්වාස කෙරෙනවා.
එහෙත් වර්තමානයේදී ද එම කණ්ඩායම්වලට වැග්නර් සමාගමට තරම් විශාල පිරිස් ශක්තියක් නැහැ. මෙම සමාගම් හිටපු වැග්නර් සටන්කාමීන් ආකර්ශනය කරගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි වාර්තා වනවා.
කෙසේ වෙතත් වැග්නර් හි කටයුතුවලින් යම් ප්‍රමාණයක් හෝ දිගටම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය රුසියානුවන්ට ද නැතැයි කිව නොහැකියි.
එහෙයින් බුද්ධි අංශයන් හි හෝ වෙනත් කිසියම් අධීක්ෂණයක්, පාලනයක් යටතේ එම කටයුතු ප්‍රතිසංවිධානය වනු ඇතැයි ද මතයක් පළ වී තිබෙනවා.