හින්දු දහම, ලෝක නිර්මාණය සහ පරිනාමය

හින්දු දහමේ ලෝක නිර්මාණය සහ පරිණාමය පිළිබඳ පාරිසරික වශයෙන් වැදගත් මතයක් දේශනා වී තිබේ. මහා භාරතයෙහි මාර්කදෙයිය වෘත්තාන්තය නම් පරිච්ඡෙදයට තුළ එය අන්තර්ගතය. (මාර්කන්දෙයිය පුරාණය නම් වෙනම කෘතියක්ද තිබේ)

එම පරිච්ඡෙදයට අනුව කම්‍යක වනයේ ජීවත් වන සිය ඥාති සොහොයුරන් බැලීමට විෂ්ණු දෙවියන්ගේ පුනරාවතාරයක් වු කෘෂ්ණ පැමිණේ. කෘෂ්ණ තම ඥාති සොහොයුරන් සමග කම්‍යක වනයේ සති කිහිපයක් නැවතී සිටි අතර එය ඔහුට සතුටු සහගත කාලයක් විය . වන අසපුවට වන සතුන් පැමිණ කාල වර්‍ණ කෘෂ්ණයන් දෙස බලා සිටින්නට විය. එම සතුන් කෘෂ්ණ වෙත පැමිණුනි. ඔහු ඔවුන් අත ගා සුරතල් කර මිනිස් දරුවන් සේ සලකා ඔවුන්ට කතා කළේය.

මේ අතර පුරාණ කතන්දර කීමෙහිලා සුප‍්‍රකට මාර්කන්දෙයිය නම් සෘෂීවරයා ඔවුන්ගේ වන අසපුවට පැමිණියේය. එසේ පැමිණ ඔහු කෘෂ්ණට හා පාණ්ඩවයන්ට ලෝක නිර්මාණය පිළිබඳ කතන්දරයක් කීවේය.

ඒ අනුව විෂ්ණු දෙවි එනම් නාරායන් ගේ නාභියෙන් පැන නැගුණු පුරාණ ශුද්ධ වු නෙළුම් මලින් ලෝක නිර්මාපක මහා බ‍්‍රහ්මයා පැන නැංගේය. ඔහුට මුහුණු සතරක් විය. නෙළුමින් උපන් මහබඹු ලෝක නිර්මාණය ඇරඹීය. මුලින්ම ඔහු ජලය වාතය ගින්දර ආකාශය, සුළඟ හා පෘථිවිය මවාලූවේය. පෘථිවිය මත සමුද්‍රය, ගංගාවන්, කඳු සහ වෘක්‍ෂලතා මැවීය. ඔහු කුරුල්ලන් වන සතුන්, ඖෂධීය ශාඛ ආදියද මැවීය.

ලෝක නිර්මාණය පිළිබඳව මෙන්ම එහි ක‍්‍රමික පරිනාමය යුග කිහිපයකට බෙදා මෙහිදී දක්වයි. මිනිස් ආධ්‍යාත්මය සහ පරිසරය අතර ඇති අවියෝජනීය සම්බන්ධය මෙම යුග බෙදීම තුළ විග‍්‍රහයට බඳුන් වෙයි. පළමු ලෝක යුගය ”කී‍්‍රට” නම් විය. එම යුගය ආරම්භයේදී මහවැසි ඇද වැටි පොළෝ තලය ජලයෙන් වැසී ගියේය. ඉනික්බිතිව මහ පොළොවෙන් සුන්දර වෘක්‍ෂලතා වැඞී ගියේය.

මෙම ගස් ”නිවාසයන්” ලෙස හැඳින්වුණ අතර මිනිසුන් ආහාර සපයා ගත්තේ මෙම ගස් වලිනි. මෙම පුදුම සහගත ගස්වලට මිනිසුන්ට මෙන්ම ප‍්‍රාණය තිබු අතර එම ගස් අසල වෙසෙන ප‍්‍රාණීන්ට මනමෝහනය කරන සුන්දර දර්ශන එම ගස් විසින් මවා පෙන්වනු ලැබීය. එමෙන්ම මිනිසුන් ප‍්‍රාර්ථනා කරන දේ මෙම ගස් විසින් ලබා දුනි. එම ගස් ද මිනිසුන් මෙන් සතුටින් වාසය කළහ.

කෙමෙන් මිනිසුන් ආධ්‍යාත්මිකව පිරීහී අධර්මකාමී විය. අනතුරුව ”තේත‍්‍රා” යුගය එළැඹුණි. එම යුගයේදී මිනිස්සු පෙර මෙන් නොව රාගික හා ලෝභී වුහ. එහි ප‍්‍රතිඵලය වුයේ උක්ත ”ප‍්‍රාර්ථනා නිවාස” වෘක්‍ෂයන් අතුරුදහන් වීමයි. ඉන් මිනිසුන් මහත් සේ කනගාටුවට පත්වු අතර නැවතත් ධර්මමාර්ගයට ඔවුහු පැමිණියහ. එබැවින් නැවතත් ප‍්‍රාර්ථනා නිවාස වෘක්‍ෂයන් පොළව මත ඉස්මතු විය.

නැවතත් ඇඳුම් පැළඳුම් ආභරණ හා ආහාර එම වෘක්‍ෂ මගින් මිනිසා වෙත සැපයුණි. එම වෘක්‍ෂයන්හි පිටපොත්ත දිව්‍යමය පැණි වර්ගයකින් සමන්විත වී තිබු අතර ඉන් මින්සුන් මෙන්ම මීමැස්සන්, කුරුල්ලන් ආදීහු ද යැපුනහ. මෙසේ වසර ගණනාවක් ඔවුහු සතුටින් පසුවුහ. එනමුත් නැවතත් මිනිසා තුළ යටපත්ව තිබු අධාර්මික හැගීම් සිතුවිලි මතුවිය. ඔවුහු තණ්හාවෙන් හා ප‍්‍රචණ්ඩත්වයෙන් යුතුව කටයුතු කළහ. ”ප‍්‍රාර්ථනා නිවාස” වෘක්‍ෂයන්ට එක් එක් පුද්ගලයන් අයිතිවාසිකම් කියමින් ගහමරා ගන්නට විය. ප‍්‍රතිඵලය වුයේ එම වෘක්‍ෂ නැවතත් අතුරුදහන් වීමයි.

ඉන් පසු තේත‍්‍රා යුගයේ දුෂ්කර කාලයක් මිනිසුන්ට උදාවිය. ස්වභාව ධර්මය ඔවුනට එරෙහිව ගිය අතර දැඩි උණුසුමින් සහ දැඩි සීතලෙන් ඔවුහු පීඩාවට පත්වුහ. අව් වැසි සුළං වලින් ආරක්‍ෂාවීමට ඔවුහු නිවාස ගොඩනගා ගත්හ. එහෙත් සොබා දහමේ දණ්ඩනයෙන් බේරීමට එය ප‍්‍රමාණවත් නොවීය. බොහෝ දෙනා මෙකී ස්වාභාවික දණ්ඩනයන් නිසා ජීවිතය අහිමි කර ගත්හ. ජීවිතය බේරා ගත් ජනයා කම්පනයට පත්ව නැවතත් ධර්ම මාර්ගයට පිළිපන් අතර ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා භාවනානුයෝගී වුහ. එබැවින් ඔවුන් වෙත යළි සාමය උදාවිය. වර්ෂාවෙහි සැඩබව කෙමෙන් පහව ගියේය.

වර්ෂා ජලය කඳු නිම්න ඔස්සේ මහ මුහුද බලා මුල් ගංගාවන් ලෙස ගලායාම ඇරඹිණ. වැසි හා පසේ මිශ‍්‍රණයෙන් සෑදුනු ආදි රසායනයෙන් ඖෂධ පැලෑටි හටගැනුණි. මිනිසුන්ගේ යාච්ඤාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස නැවතත් මල් පල සහිත ප‍්‍රාර්ථනා නිවාස වෘක්‍ෂයන් දාහතරක් පමණක් ඉස්මතු විය. කෙටි කාලීන සාමයක් පමණක් මහපොලව මත උදාවිය.

එනමුත් මිනිස් හදවතේ තණ්හාව රාගය ආදී දුර්ගුණයන් නැවතත් මතුවිය. ඔවුහු ඉඩකඩම් හා ගස්වලට අයිතිවාසිකම් කියුහ. තමන් උදෙසා පුද්ගලික නිවාස ද ගම්මානද ගොඩනගා ගත්හ. භෞතික වස්තුන්ට ඇති ආශාව ඔවුන්ගේ මනස අතික‍්‍රමණය කළේය. එහි ප‍්‍රතිඵලය ලෙස නැවතත් ඉතිරිව තිබු ප‍්‍රාර්ථනා නිවාස වෘක්‍ෂයන් සහ ප‍්‍රබල ජවය ලබාදෙන ඖෂධ ශාඛ මහපොළවෙන් අතුරුදහන් විය.

මේ යුගයේදී බලවත් වු අධර්මය සහ අවනීතිය මැඩ පවත්වා සමාජ විනය ස්ථාපිත කිරීම උදෙසා මහා බ‍්‍රහ්මයා ක්‍ෂත‍්‍රීයන් නොහොත් රජවරුන් මවන ලදී. එමෙන්ම බ‍්‍රාහ්මණ ක්‍ෂත‍්‍රිය, වෛශ්‍ය ශුද්‍ර ලෙස මිනිසුන් සමාජ පංතීන් නොහොත් කුල වලට බෙදා ඔවුන් වෙත අනන්‍ය වු වගකීම් පවරන ලද්දේ ද මෙම යුගයේදීය.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මින් පසුව එළඹෙන්නේ ද්වාපර යුගයයි. ද්වාපර යුගය තුළදී අධර්මය වඩා පැතිර ව්‍යාප්තව ගිය අතර එය ගැටුම් බහුල සමයක් විය. මෙලෙස මිනිසා අධාර්මික වෙද්දි මුල්වරට ලෙඩ රෝග මහ පොළව මත පැතිරයන්නට විය. වසංගත ද පැතිර ගියේය. ඒ අතර නියං සායන්ද පැතිර ගිය බැවින් තේත‍්‍රා යුගයෙන් උරුම වු උතුම් අධ්‍යාත්මික ගූණයන් ඇතැම් පුද්ගලයන් විසින් ආරක්‍ෂා කර ගැනීමෙන් යහපත් ජීවිත ගෙවනු ලැබීය. ඔවුහු ලෝකයේ ඇති දුක හා කාමරාග ආදියේ නිස්සාරත්වය තේරුම් ගෙන මෝක්‍ෂය අවබෝධ කර ගැනීම උදෙසා භාවනාවෙහි යෙදුනහ.

එනමුත් මීළඟට එළඹි කලි යුගය සම්පුර්ණයෙන්ම අධර්මයෙන් වැසී ගිය යුගයක් විය. ක්‍රිෂ්ණා මෙලොවින් නික්ම යාමත් සමඟ කලි යුගය ආරම්භ විය. කලියුගයේ ස්වභාවය එහි මෙසේ විස්තර වේ.

”මිනිසුන් නිරන්තර බියෙන් හා සැකයෙන් ජීවත් වනු ඇති අතර ඔවුන් පාපයේම නිමග්න වනු ඇත. රජවරුන් අධාර්මික වනු ඇති අතර ඔවුන් ජනතාව පෙළනු ඇත. කෙනෙකුගේ ධාර්මික භාවයන් නොව ඔහුට ඇති මිළ මුදලින්ම ඔහුගේ වැදගත් කම මැනෙනු ඇත. යුක්තිය වැළලී අධර්මය රජ කරනු ඇත. මනුස්සකම් දුප්පතුන් අතර පමණක් පවතිනු ඇත. දරුණු යුද්ධ, වසංගත, දරුණු සාගත පැතිර යනු ඇත. දරුණු සීතලෙන්, දැඩි උෂ්ණත්වයෙන් හා නියං සායන් හා දැවැන්ත ගංවතුර තත්වයන් ඇති වනු ඇති අතර ඉන් කලියුගයේ මිනිසුන් බරපතල ලෙස පීඩාවට ලක් වෙයි.”

එනමුත් ශ‍්‍රී කෘෂ්ණ දක්වන පරිදි අනෙකුත් යුගවල ජීවත්වන අයද කලි යුගයේ ඉපදීමට ප‍්‍රාර්ථනා කරති. කලි යුගයේ ජීවත් වන මිනිසුන්ට සුවිශේෂී වාසියක් අත්වන බැවිනි. එනම් අවංක භක්තියෙන් යුතුව දෙවියන්ගේ (බ‍්‍රහ්මන්ගේ) නාමය මතුරා භක්ති යෝගය හරහා විමුක්තිය සාක්‍ෂාත් කර ගැනීමේ අවස්ථාව ඔවුන් වෙත හිමිවෙයි. යාග හෝම හෝ යෝග භාවනා ආදි දුෂ්කර ව්‍යායාමයකින් මෝක්‍ෂය සාක්‍ෂාක් කිරීම කලි යුගයේදී අවශ්‍ය නොවේ.

කලි යුගයේ අවසන් කාලයේ දි අධර්මය ඉතා බරපතල ලෙස නැගී පවතින අතර ලෝකය සම්පත් විනාශ වී ගිය කාන්තාරයක් මෙන් වේ.

කලි යුගයේ අවසානයේ විෂ්ණුගේ කල්කී අවතාරය පැමිණ අධර්මය වනසා නැවත ධර්මය ස්ථාපිත කරයි. ද්වාපර යුගයක් ඇරඹේ. යුග චක්‍රය යළි ඉහළට කැරකැවීමට ගනී.

ධර්මය ගවයෙක් බඳු නම් ක්‍රීත යුගයේදී එය සතර පයින්ද, තේත්‍රා යුගයේදී තුන් පයකින්ද, ද්වාපර යුගයේදී දෙපයකින්ද ගමන් කරන අතර කලි යුගයේදී එක් පැයකින් ගමන් කරනවාක් මෙන් වෙයි.

යුග චක්‍ර ගණනාවක් අවසානයේදී ශිව ලෝකය විනාශ කිරීම සිදු කරයි.

මෙම ඓතිහාසික යුග පරිනාමය පිළිබඳ වෘතාන්තය මඟින් පාරිසරික වශයෙන් වැදගත් කරුණු ගණනාවක් ඉස්මතු වෙයි ”ප‍්‍රාර්ථනා නිවාස වෘක්‍ෂ” ලෙස සුවිශේෂී වෘක්‍ෂ වර්ගයක් පිළිබඳව අවධාරනය කළද ඉන් ව්‍යංගයෙන් අර්ථවත් කරන්නේ ආහාර නිවාස ආදී මුලික අවශ්‍යතා වෘක්‍ෂයන් මතින් සම්පාදනය කරන බව විය යුතුය. එබැවින් වෘක්‍ෂලතාවන් රැක ගැනීමේ වැදගත් කම ඉන් අවධාරනය වෙයි. එසේම මානව ආධ්‍යාත්මය සහ පරිසරය අතර අන්‍යෙන්‍ය සම්බන්ධයක් පවතින බවද මෙමගින් කියාපායි. ස්වාභාවික සම්පත් විනාශ වී පරිසර අර්බුද නිර්මාණය වන බවත් එයම ලෝක විනාශයට මග පාදන බවත් මෙම ඓතිහාසික යුග පරිනාමය පිළිබඳ වෘත්තාන්තය මඟින් කියාපායි.

Ref: A modern rendering of Mahabharath by Ramesh Menon(Book 1: Markandeyya lore)

eLearning.lk නිවේදනය
හින්දු දහම පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දීම පිණිස මෙම ලිපිය පල කළ බවත්, මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බවත් කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.