මෝදි පරද්දන ක්‍රමය හොයන විපක්ෂය

September 6, 2023

ඉන්දියාවේ මීළඟ මහමැතිවරණය 2024 අප්‍රේල් පමණ වනවිට ආරම්භ වීමට නියමිතයි. මේ වනවිටත් භාරතීය ජනතා පක්ෂයට එරෙහිව තරග කිරීම සඳහා විපක්ෂ දේශපාලන පක්ෂ 26 කින් සමන්විත “INDIA” නම් සන්ධානයක් ස්ථාපිත කර තිබෙනවා.

එක්සත්ව අගමැති නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂය පරාජය කර එළඹෙන මහ මැතිවරණය ජයගැනීම ඔවුන්ගේ අරමුණයි.

කෙසේ වෙතත් මෙම සන්ධානය මුහුණදෙන එක් ප්‍රධාන අභියෝගයක් වනවා. ඒ අන් කවරකුවත් නොව අගමැති නරේන්ද්‍ර මෝදි යි.

ඉන්දියානු දේශපාලනය සම්බන්ධ සාමාන්‍ය අදහස නම් භාරතීය ජනතා පක්ෂය හින්දු අන්තවාදය පෝෂණය කිරීම තුළින් මැතිවරණ ජයග්‍රහණය කරන බවයි. හින්දුත්වවාදය එම පක්ෂයේ සාර්ථකත්වයට ප්‍රධාන සාධකයක් බව සත්‍යයක් වුණත් එමගින් සම්පූර්ණ කරුණ පැහැදිලි වන්නේ නැහැ.


අගමැති මෝදි

පසුගියදා නිකුත්වූ නවතම India Today / CVoter “Mood of the Nation” සමීක්ෂණය අනුව 2024 මහමැතිවරණය භාරතීය ජනතා පක්ෂය විසින් ජයගැනීමේ වැඩි ඉඩක් තිබෙනවා.

ආසන වශයෙන් ගතහොත් බීජේපීය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ආසන 306 ක් සහ “ඉන්දියා” සන්ධානයට ආසන 193 ක් හිමිවීමේ ඉඩකඩ තිබෙනවා.


Click on the Image

ඊටත් වඩා වැදගත් වන්නේ භාරතීය ජනතා පක්ෂයට ඡන්දය දෙන පුද්ගලයන්ගෙන් සියයට 44 ක් දෙනා ඊට මූලිකම හේතුව අගමැති නරේන්ද්‍ර මෝදි බව ප්‍රකාශ කිරීමයි. සියයට 22 ක් භාරතීය ජනතා පක්ෂය යටතේ රටේ සංවර්ධනය වැදගත්ම හේතුව ලෙස දකිනවා.

හින්දුත්වවාදය බීජේපීයට ඡන්දය දීම සඳහා වැදගත්ම හේතුව ලෙස දකින්නේ සියයට 14 ක් දෙනා පමණයි.

@elearninglk

මෙහි අදහස බීජේපීයට ඡන්දය දෙන අනෙක් පිරිස හින්දුත්වවාදය නොසලකන බව නොවෙයි. ඔවුනට ඊට වඩා නරේන්ද්‍ර මෝදි වැදගත් වන බවයි එයින් පෙනෙන්නේ.

නරේන්ද්‍ර මෝදි එක්තරා විදියකින් ඓතිහාසික චරිතයක් ලෙස සලකන්න හැකියාව තිබෙනවා. වසර දහයකට ආසන්න අගමැති ධුර කාලය තුළ දී කිසිදු අවස්ථාවක ඔහුගේ ජනප්‍රියත්වය සියයට 50 සීමාවෙන් පහළ වැටී නැති බවයි වසරකට දෙවරක් කෙරෙන Mood of the Nation සමීක්ෂණ අනුව පෙනී යන්නේ.

කෝවිඩ්-19 දෙවන රැල්ල අවස්ථාවේ හැර කිසිදු අවස්ථාවක ඔහුගේ ජනප්‍රියත්වයේ සැලකියයුතු පරිහානියක් වූයේ නැහැ.

මෙයට හේතු අතර ඉතා වැදගත් එකක් වන්නේ මෝදි කෙරේ ජනතාව විශ්වාසය තැබීමයි. එයට ඔහු ජනතාව සමග නිරන්තරයෙන් කරන සන්නිවේදනය ද වැදගත් වනවා.


INDIA සන්ධානයේ දෙවන රැස්වීමේදී

ඉන්දියාවේ වර්තමානයේ ඇති ගැටළු අතර ජීවන වියදම ඉහළ යාම, ආදායම අඩු වීම, විරැකියාව වැනි ප්‍රශ්න සැබෑ ආර්ථික අර්බුද සහ අභියෝග ලෙස ජනතාව දකිනවා. නමුත් එම අභියෝග විසඳීමට වැඩියෙන්ම හැකියාව ඇති නායකයා ලෙස ද වැඩිදෙනෙක් දකින්නේ මෝදියි.

ඔහු වසර දහයක් අගමැති ධුරයේ සිටියත් කුමක් කළේදැයි ප්‍රශ්න නැගීම එතරම් සාර්ථක නොවන්නේ ඔහු රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙහෙසෙන බව ජනතාව අතර පොදු පිළිගැනීමක් තිබෙන නිසයි.


Click on the Image

මාස කිහිපයකට පෙර සිදුකෙරුණ තවත් සමීක්ෂණයකදී හෙළි වූ වැදගත් කරුණක් තිබෙනවා.

ඉන්දියාවේ ඡන්දදායකයන් අතුරින් තුනෙන් එකකට වඩා කිසියම් පක්ෂයක අගමැති අපේක්ෂකයා කවරකුද යන්න සිය ඡන්දය ලබාදීමේදී සලකා බලනවා. එනම් ජනතාවට යම් පාර්ශවයක නායකයා කවුරුන් ද යන්න වැදගත්. එහෙයින් “ඉන්දියා” සන්ධානය ඒ ගැන ද අවධානය යොමු කළ යුතුයි.


රාහුල් ගාන්ධි

මෙහිදී ඔවුන්ට එන ප්‍රශ්නය නම් මෝදි සමග කරට කර සිටිය හැකි අපේක්ෂකයා කවරකු ද යන්නයි. රාහුල් ගාන්ධි ප්‍රකට චරිතයක් වුවද කොන්ග්‍රස් පාක්ෂිකයන් හැර අන් අයගේ ඔහු කෙරෙහි ලොකු ප්‍රසාදයක් නැහැ.

මෝදිගේ ජනප්‍රියත්වය හා ඔහුගේ කාර්යයශූරත්වය කෙරෙහි ජනතාව තුළ ඇති ගෞරවය ද සමග රාහුල්ට කරට කර සිටීම පහසු වන්නේ නැහැ.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මේ තත්ත්වය මත “ඉන්දියා” සන්ධානය විසින් වෙනත අයකු අගමැති අපේක්ෂක ලෙස පත්කරනු ඇතැයි විශ්වාසයක් පළවනවා. ඇතැම්විට ඔබ කියවන අවස්ථාව වනවිට ඔවුන් අගමැති අපේක්ෂකයා නම් කර තිබෙන්නත් පුළුවන්.

කවරකු අගමැති අපේක්ෂකයා වුණත් ඔහු හෝ ඇය මෝදිට වඩා ජනතා විශ්වාසය දිනාගත යුතුයි. මෝදිට වඩා සාර්ථක නායකයකු බව පෙන්වා දියයුතුයි. විපක්ෂ සන්ධානයේ අගමැති අපේක්ෂකයා වෙත ඇති අභියෝගය වන්නේ එයයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.