මැදපෙරදිග පෙරළිය​: ඊශ්‍රායල – සෞදි ගිවිසුමක්

October 1, 2023

පසුගිය දිනවල ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රය තුළ බෙහෙවින් කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර සබඳතා පුළුල්වීම සහ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිවීමේ හැකියාවයි.

මේ පිළිබඳව සෞදි කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මෙන්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද පසුගිය දින කිහිපය තුළ තම අදහස් දක්වා සිටි අතර එම ප්‍රකාශයන් ද පෙන්නුම් කළේ දෙරට අතර සබඳතා වර්ධනය වන සලකුණුයි.

ඇතැම් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මෙම දෙරට අතර සබඳතා ඇතිවීම යනු මැදපෙරදිග දේශපාලනයම උඩු යටිකුරු කරන කරුණක් වනු ඇති බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ තීරණය කරනු ඇත්තේ අනාගතයයි.

@elearninglk

MBS සහ නෙතන්යාහු
2020 දී එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ඇතිකරගත් “ඒබ්‍රහම් ගිවිසුම්” මගින් ඊශ්‍රායලය සහ අරාබි රටවල් කිහිපයක් අතර (එක්සත් අරාබි එමීර්, බහරේන්, මොරොක්කෝ) රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවාගනු ලැබුණා. සෞදි අරාබිය සමග ද සබඳතා පුළුල් වීමේ ඉඩකඩ පිළිබඳ සාකච්ඡා පැවතිය ද එය සම්පූර්ණ වූයේ නැහැ.

මෑතකදී ඇමරිකාවේ Fox News සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමාරයා සඳහන් කළේ ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර සබඳතා ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා දිගටම සිදුවන බවයි. ගතවන සෑම දිනයක් පාසාම දෙරට අතර සබඳතා වඩ වඩා ගොඩනැගෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. දැනටත්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැතිව වුවද වෙනත් ආකාරයෙන් දෙරට අතර සබඳතා ගොඩනැගෙමින් පවතින බව ද මෙහිදී අමතක නොකළ හැකි කරුණක්. ඉතාම මෑතකදී වූ උදාහරණයක් වූයේ ඉන්දියාව​-මැද පෙරදිග​-යුරෝපය සම්බන්ධ කෙරෙන ආර්ථික කොරිඩෝව පිළිබඳ වූ අලුත් වැඩපිළිවෙලයි. එම මාර්ගයට සෞදි අරාබිය සහ ඊශ්‍රායලය යන දෙරටම ඇතුලත් වනවා.


මොහොමඩ් බින් සල්මාන් Fox News සමග සාකච්ඡාව

තෙල් සම්පතින් ඔබ්බට ආර්ථික විවිධාංගීකරණය සමග සංවර්ධනය කරා එළඹීමේ සෞදි අරාබියානු අපේක්ෂාවන්ට කලාපීය සාමය වැදගත් සාධකයක් වනවා. සෞදි අරාබිය සහ ඉරානය අතර පවා සබඳතා පුළුල් වනු දකින්නට ලැබෙන්නේ එම පසුබිමේ යි.

එහෙයින් ඊශ්‍රායලය සමග සම්බන්ධතාව ස්ථිර කරගැනීම සෞදි අරාබියට වැදගත් වනවා.


Click on the Image

කෙසේ වෙතත් පවතින දේශපාලන තත්ත්වය හමුවේ පලස්තීන ගැටළුව සම්පූර්ණයෙන් අමතක කර ඊශ්‍රායලය සමග සබඳතා පුළුල් කිරීමට සෞදි අරාබියට හැකියාවක් නැහැ.

පලස්තීන ජනතාවගේ ගැටළුව තමන්ට වැදගත් කරුණක් යයි සෞදි අරාබිය පවසන්නේ ද එහෙයින්. මේ අනුව රාජ්‍ය දෙකේ විසඳුම මත සිට​ එම ගැටළුව විසඳීම කෙරෙහි ඊශ්‍රායලය පෙළඹීමට සෞදි අරාබිය බලාපොරොත්තු වනු ඇති.


Click on the Image

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද මෑතකදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවූ අවස්ථාවේ බයිඩන්ගේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගීමේ ඇති වැදගත්කම ප්‍රකාශ කළා.

නෙතන්යාහු පවසන පරිදි එමගින් ප්‍රධාන කරුණු තුනක් ඉටු කරගැනීමට ඊශ්‍රායලය බලාපොරොත්තු වනවා. එනම් මැදපෙරදිග අර්බුදයට කල් පවතින විසඳුමක් ලබාගැනීම​, ඉස්ලාමීය ලෝකය සහ යුදෙව් රාජ්‍යය අතර සංහිඳියාව ඇති කරගැනීම​ සහ ඊශ්‍රායල-පලස්තීන ගැටුම නිරාකරණය කරගැනීමයි.


බයිඩන් හමුවූ නෙතන්යාහු

නමුත් නෙතන්යාහුගේ වත්මන් ආණ්ඩුව තුළ වඩා බලවත්ව සිටින්නේ අන්තවාදී යුදෙව් පක්ෂ වන බැවින් ඊශ්‍රායල​-පලස්තීන ප්‍රශ්නයට දෙපාර්ශවයටම එකඟ විය හැකි විසඳුමක් ලබාදීමට ඔහුට හැකිවේද යන්න පැහැදිලි ගැටළුවක් වනවා. ඊශ්‍රායලයේ වත්මන් අභ්‍යන්තර දේශපාලන තත්ත්වය එවැන්නක් සඳහා ඉඩ ප්‍රස්තාවක් ලබාදෙන්නේ නැහැ.

ඊශ්‍රායල විරෝධී කණ්ඩායම්
මේ අතර ඉරානය පවසන්නේ කිසියම් අයුරකින් ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිවීම පලස්තීන ජනතාවට පසුපසින් පැමිණ පිහි පහරක් එල්ල කිරීමට සමාන වනු ඇති බවයි.

කිසිසේත්ම ඊශ්‍රායලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ඉරානය සහ මැදපෙරදිග කලාපයේ ඉරාන සහය ලබන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායල – සෞදි සබඳතා කඩාකප්පල් කිරීමට උත්සාහ දරන්නට ඉඩ තිබෙනවා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

වසර අටකට පමණ පසු මෑතකදී ඉරානය සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ඇතිවුණා. ඊට මැදිහත් වූයේ චීනයයි. එම එකඟතාවෙන් අනතුරුව වසර අටක් මුළුල්ලේ යේමනයේ පැටලී සිටින යුද්ධය නිමා කිරීම සඳහා එහි හූති කැරලිකරුවන් සමග සාකච්ඡා ඇරඹීමට ද සෞදි අරාබිය කටයුතු කළා.

එමගින් සෞදි අරාබියට වැදගත් වන කලාපීය සාමය තහවුරු කිරීම සඳහා කරුණු සිදුවෙමින් පවතිනවා. නමුත් කරුණු තමන්ට සතුටුදායක ලෙස සිදු නොවන්නේ නම් එම සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමට ඉරානය හෝ එරට සමග සබඳතා ඇති සන්නද්ධ කණ්ඩායම් කටයුතු කළ හැකියි. එවැනි තත්ත්වයකදී ඊශ්‍රායල​-සෞදි ගිවිසුමක් මගින් බලාපොරොත්තු වන සාමය සහ සංහිඳියාව ළඟා කරගැනීම අසීරු වනු ඇති.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.