ප්‍රතික්ෂේප වීම් හමුවේ නොවැටුනු ජැක් මා

“ඔයා ගොඩක් දුකෙන් නේද ඉන්නේ?”

“ඔව්..මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ.”

“ඔව්. මට පේනවා ඒක නම්. මොකක්ද ගැටලුව?”

“මගේ ජොබ් එක නැති වුනා. මගේ ජොබ් එක නැති උනාට පස්සේ මං ආදරය කළ කෙනාත් මාව මගහරින්න ගත්තා.දැන් මං ගොඩක් දුකෙන් ඉන්නේ.”

“ඔයා මානසිකව වැටෙන්න එපා. අපි ආපසු නැගිටින්න උත්සාහ කරමු.”

“ඔයාට එහෙම කියන්න ලේසියි. ඒත් මට නැවත නැගිටින්නේ කොහොමද කියලා හිතන්න අමාරුයි. මං ජිවිතේ දැක්ක හීන එක දවසින් නැති වුනා. ඔයාට මාව තේරෙන්නේ නෑ යාලුවා.”

“ඔයා එහෙම හිතන්න එපා. අපි කාටත් මේ වගේ ප්‍රශ්න එනවා. ඔයාට මේ කතාව ඇහුවම තේරෙයි. ඔයාට ආපු ප්‍රශ්න මොනවාද කියලා.”

“මොන කතාවක් ගැනද මේ කියන්න යන්නේ?”

“පොඩ්ඩක් ඉන්නකො. මං ඔයාට කියන්න යන්නේ ඔයාට වගේම නැතිවීම්, ප්‍රතික්ෂේප වීම් හමුවේ වැටුනත් අයේ නැගිටලා ජිවිතේ දිනපු කෙනෙක් ගැන. හොදට අහන් ඉන්නකො. මට විශ්වාසයි මේ කතාව අවසානයේ ඔයා ආයිත් අතීතය තුළ දුක් නොවී අරමුණක් ඇතුව ජිවිතේට මුහුණ දෙන්න අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා කියලා.”

“එහෙනම් කියන්නකෝ. ඒ කතාව මං අහගෙන ඉන්නම්.”

ප්‍රතික්ෂේප වීම පියගැට පෙළක් ලෙස භාවිතා කර ජීවිතය ගොඩනඟා ගත් ලොව දිනූ පුද්ගලයෙකුගේ ජීවිත කතාව තමයි අද අපි කතා කරන්නේ. නම කිවූ සැණින් ඔබට ඔහු අමතක වෙන්නට පුළුවන්. නමුත් Alibaba කියන වෙළඳ නාමය නම් ඔබට අමතක නෑ. ඔව්, ඒ Alibaba සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ජැක් මා ගැනයි අපි අද කතා කරන්නේ.

ජැක් මා කියන්නේ අභියෝග තුළින් තම ජීවිතයේ බිංදුවෙන් පටන්ගෙන අද වන විට ලෝකයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙක්. ඔහු ලෝකයේ බලවත් පුද්ගලයන් විසිඑක්දෙනා අතරට එකතු වෙන චීනයේ මහා ධනපතියාය.

1964දී චීනයේ ෂැංහායි ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක උපන් ජැක් මා, කුඩා කළ සිට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ආශාවක් පැවති පුද්ගල‍ය‍ෙකි. නමුත් මොහු සාමාන්‍ය ළමුන් ඉගෙන ගන්නා ආකාරයට වෙනස් ආකාරයකින් තම අධ්‍යාපනය ලැබූවෙකි. ඒ කොහොමද කියලා දන්නවද?

උදෑසනම අවදි වූ ජැක් මා තම නිවස අසල පිහිටි ෂැංහායි හෝටලය පරිශ්‍රයට යයි. එහි එන සංචාරකයන්ට මගපෙන්වන්නෙකු ලෙස සේවාව සපයමින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මොහු කටයුතු කළේය. මගපෙන්වීම වෙනුවෙන් ඔහු කිසිදු ගාස්තුවක් අය කළේ නැත. මේ ආකාරයට අවුරුදු 9ක් ඔහු කටයුතු කළේය. නමුත් ඉගෙනීම කෙරෙහි ඔහු දක්ෂයෙකු නොවීය. ප්‍රාථමික, ද්විතීයික විභාග අසමත් වූවත් ඔහුට අවසානයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් ප්‍රවේශ විභාගය සඳහා කිහිප වරක් පෙනී සිටියද, ඒවායෙන්ද අසමත් වූ මොහු අවසානයේදී රැකියාවක් කිරීමට අවධානය යොමු කරයි.

රැකියා 30කට පමණක් ඉල්ලුම් කළත් ඒවාද ප්‍රතික්ෂේප විය. සුප්‍රකට KFC ආයතනයෙන් චීනයේ පැවති රැකියා සම්මුඛ පරීක්ෂණයකදී එයට පැමිණි විසි හතර දෙනාගෙන්, විසි තුන්දෙනෙකුටම රැකියා අවස්ථා ලැබුණු අතර එයින් ප්‍රතික්ෂේප වූ එකම පුද්ගලයා ජැක් මා විය. වරක් චීන පොලිසියට අයදුම් කළ මොහු එයින්ද ප්‍රතික්ෂේප විය. Harvard විශ්වවිද්‍යාලයට 10 වරක් ඉල්ලුම් කළත් එයින්ද ප්‍රතික්ෂේප විය. ජැක් මා, ඉල්ලුම් කරන සියල්ලෙන්ම ප්‍රතික්ෂේප වූ පසුව ඔහුගේ ප්‍රදේශයේ ගුරු විද්‍යාලයකින් උපාධිය සම්පූර්ණ කර, එහිම ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය ආරම්භ කරයි. ඒ $10 මාසික වැටුපකටය.

1994දී ඇමරිකානු සංචාරයකට එක් වූ ඔහුට එහිදී පළමු වරට පරිගණකයක් සමග වැඩ කිරීමට අවස්ථාව හිමි විය. එහිදී ඔහුගේ පළමු සෙවුම වූයේ බියර් යන වචනයයි. ඒ සඳහා අන්තර්ජාලය විසින් විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා දී තිබුණි. ඊළඟට ඔහු සොයන්නට වූයේ චීනය නම් වචනයයි. නමුත් එහිදී ඔහුට කිසිදු තොරතුරක් අන්තර්ජාලය මගින් දිස් නොවීය.

මෙය ව්‍යාපාර අදහසක් කරගෙන නැවත මව් රටට පැමිණි ජැක් මා, තම මිතුරන්ට එම අදහස දැන්වූ විට මිතුරන්ගෙන් උසුළු විසුළු වලට ලක්වීමට සිදුවිය. කිසිම දවසක එය යාතාර්ථයක් නොවන බව මිතුරන්ගේ අදහස විය. ඉන්පසුව තම අරමුණට යාමට මගක් ලෙස බැංකුවකින් $3000ක මුදලක් ලබා ගැනීමට මාස තුනක් පමණ උත්සාහ ගත්තද එයද අසාර්ථක විය. පසුව ආයෝජකයින් රැසක් සමඟ සාකච්ඡා කළද එයින්ද ප්‍රතිඵලයක් ලැබුණේ නැත. කිසිම කමකට නැති මෝඩ අදහසක් ලෙස ඔවුන්ගේ මතය විය. නමුත් ජැක් මා තමන්ව තදින් විශ්වාස කරගෙන සිටි පුද්ගලයෙකි. 1999 ආයෝජකයන් 18 දෙනෙකුගෙන් එක්ව $50000ක් යොදා Alibaba ව්‍යාපාරය ආරම්භ කළේය.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

නමුත් මුල් අවුරුදු 3 කිසිම ආදායමක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. 2004දී අන්තර්ජාතික ගෙවුම් වෙබ් අඩවියක් වන Alipayද, 2005දී Yahoo සමඟ සහයෝගීතා ගිවිසුමක් මගින් මුළු චීනයේම Yahoo පරිපාලන බලය Alibaba සතු විය. චීන දේශීය පාරිභෝගිකයන් හා අන්තර්ජාතික ව්‍යාපාර කටයුතු සඳහා TMALL නම් චීන භාෂිත වෙබ්අඩවිය නිර්මාණය කළේය. චීන අපනයනකරුවන්ට අපනයනය සඳහා Aliexpress නම් වාණිජ වෙබ් අඩවියක් නිර්මාණය කරමින් තම රට තුළට ආදායම ගෙන ඒමට කටයුතු කළේය.

2013දී ඔහු තම නායකත්වය, තාරුණ්‍ය වෙනුවෙන් පවරා ප්‍රධාන විධායක නිලධාරී ධූරයෙන් ඉවත් වී කටයුතු කළේය. 2019දී ඔහුගේ පනස් පස්වන උපන් දිනය දා Alibaba සමූහයේ සියලූම කටයුතු වලින් ඉවත් වූ ඔහු, සාමාජිකත්වය පමණක් දරමින් දැනට කටයුතු කරයි.

එදා ප්‍රතික්ෂේප වීම් අතර තමන්ගේ අභියෝග, ඉලක්ක ඔහු අතහැරියා නම් අද චීනයට මෙපමණ විශාල දියුණුවක් කරා යාමට නම් සිදු වන්නේ නැත. එදා ඔහු තමන්ගේ දෛවයට හෝ කරුමයට සාප කරමින් සිටියා නම් අද ඔහු ගැන ලෝකයක් කතා කරන්නේ නැහැ. එහෙනම් ඔහුත් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ෂැංහායි වලට සීමා වෙලා ඉන්න තිබුණා.

“මේ කතාව අදයි මම ඇහුවේ. අපි Alibaba සමූහය ගැන දැනන් හිටියට, ඒ පිටුපස සිටි මේ යුග පුරුෂයා ගැන දැනන් හිටියේ නෑ. ස්තූතියි මිත්‍රයා ඔයාගේ දැනුවත් කිරීම වෙනුවෙන්.”

“මට ස්තූතිය නම් වැඩක් නෑ. ඔයාට දැන් පේනවා නේද ඔයාට තියෙන ප්‍රශ්න මොනවාද, ජැක් මාට ආපු ප්‍රශ්න එක්ක බැලුවම කියලා?”

“ඔව් මිත්‍රයා. මං නිකම් දුක් වේවී හිටිය කාලේ අපරාදේ කියලා දැන් මට තේරෙනවා. මං ආයිත් නැගිටිනවා අනිවාර්යයෙන්ම.”

“ඒක හොදයි. අද සමාජයේ ගොඩක් අය කරන්නේ කතාව හොදයි, නියමයි කියලා රසවිඳින එක විතරයි. එයින් පාඩමක් ජීවිතයට ආදේශ කර ගන්නේ කිහිපදෙනායි.”

“ඔව්. ඔයාගේ කතාව හරි. මේ වෙලාවේ ඔයා මට දීපූ අභිප්‍රේරණයට ගොඩක් පිං.”

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....