නීතියේ දර්ශනයෙන් (Jurisprudence) බිඳක් – 01 වන කොටස
01. අපරාධ වලට දඬුවම් පැනවීමෙන් අපේක්ෂා කෙරෙන්නේ කුමක්ද?
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සුදුසුද නැද්ද යන්න සම්බන්ධව විශාල සමාජ සංවාදයක් මෑත කාලීනව ජනිත විය. මරණ දණ්ඩනයේ යහපත් අයහපත්භාවය පිළිබඳව වටහා ගන්නට නම්, අපරාධ වලට දඬුවම් පැනවීමෙන් රාජ්‍යයක් අපේක්ෂා කෙරෙන්නේ කුමක්ද? යන්න පැහැදිලි කරගැනීම වැදගත්ය.
සමාජයේ අපරාධකරුවන් බිහිවන්නේ බොහෝ විට සමාජ අසාධාරණය, සමාජ සුභසාධනය අවම වීම, ධනය නිසි ලෙස බෙදී නොගොස් ඉහළ සමාජ පංතියකට පමණක් ධනය සංකේන්ද්‍රණය වීම, දුප්පත්කම, නූගත්කම, සමාජ පසුබිම, දේශපාලනික සමාජ ධූරාවලියේ ඉහළ බලාධිකාරීන්ගේ බලපෑම ආදී හේතුන් රාශියක් නිසාය. එනමුත් මේ සියලු අර්බුද විසඳා අවසානයේදී පමණක් අපරාධකරුවන්ට දඬුවම් කිරීම සිදුකළ හැකි දෙයක් නොවේ. ඒ අනුව රාජ්‍යය තුළ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ එක් ක්‍රමවේදයක් ලෙස දඬුවම ක්‍රියාත්මක වීම ඇරඹුණි.
ඒ අනුව අපරාධ විද්‍යාවේ —”දඬුවම” (punishment) හා එහි ස්වභාවය / අරමුණ පිළිබඳව දාර්ශනික න්‍යායාත්මක තත්වය විග්‍රහ කර ගැනීම ප්‍රයෝජනවත්ය.
දඬුවම කොටස් දෙකකි.
පළමුවැන්න සදාචාරමය වරදක් හේතුවෙන් ජනිතවන සමාජයීය අවිධිමත් දඬුවම වන සමාජ ගර්හාවයි. (Social scorn)
දෙවැන්න නෛතික දඬුවම් වේ. එනම් ජනතා නියෝජිත පාර්ලිමේන්තුව තුළින් පනත් පැනවී, ජනිතවන නීතිය හා ඒ නීතිය අධිකරණමය අර්ථනිරූපණයන් තුළින් සකස් වී රාජ්‍ය ආයතනගතව පුරවැසියන්ගේ හැසිරීම් / නොකර හැරීම් පාලනයට කටයුතු කිරීම හා එම නෛතික සීමාවන් උල්ලංඝණය කළ විට දඬුවම් පැමිණවීමට අධිකරණය කටයුතු කිරීමයි. එනම් නෛතික දඬුවම් වනාහි සමාජය පාලනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා නීතිය තහනම් කළ මිනිස් හැසිරීම් උදෙසා රාජ්‍යයයේ මැදිහත් වීමෙන් දැක්වෙන ප්‍රතිචාරයයි.
සිවිල් නීතියේදී පුද්ගලයන් අතර ඇතිවන ආරවුල් (conflicting interests) සම්බන්ධව සාකච්ඡා වුවද අපරාධ නීතියේදී අපරාධ පිළිබඳ සාකච්ඡා කෙරේ.
“අපරාධයක්˜ වනාහි එහි බරපතළ ස්වභාවය හේතුවෙන්, පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකුට එරෙහිව පමණක් නොව සමස්ත සමාජයටම එරෙහිව සිදුවන්නක් ලෙස සැලකේ. එනම් සමාජයේ සදාචාරාත්මක, සාරධාර්මික පසුබිමට එමෙන්ම සමාජ යහපැවැත්මට (Social order) අපරාධයක් තුළින් පහර වදී. (It violates the moral fabric of the society )
උදා : මිනිමැරීම, ස්ත්‍රී දූෂණය
ලංකා නීතියේ විශේෂත්වය වන්නේ දඬුවමේ විධික්‍රම පනතක පැහැදිලිව සඳහන් කර තිබීමයි. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 52 වගන්තිය තුළ මූලික දඬුවම් ක්‍රම පැහැදිලිව දක්වා තිබේ.
දඬුවමේ අරමුණු
නීති දර්ශනය තුළ “දඬුවම˜ එහි ස්වභාවය හා අරමුණු අනුව මූලික වශයෙන් න්‍යායන් හතරක් වේ.
1. Retribution(විපාක විඳවීමට සැලැස්වීම)
2. Deterrence (නිවාරණය)
3. Incapcitation (අශක්නූකරණය)
4. Rehabilitation(පුනරුත්ථාපනයයි)
අපරාධ විද්‍යාවේ එන පැරණිතම හා බරපතලම දඬුවම් න්‍යාය “Retribution” නොහොත් විපාක විඳවීමට සැලැස්වීමයි. ඒ අනුව මේ න්‍යායෙන් දැක්වෙන්නේ වරදේ බරපතළ ස්වභාවය හේතුවෙන් එය සමාජයට ඇතිකරන බලපෑම සළකා බැලූ විට, වරදකරුවා විඳවීමට ලක්කිරීම, ස්වාභාවික නීතියට හා යුක්ති ධර්මයට එකඟවන බවත්, එහෙයින් එය තවදුරටත් සාධාරණීකරනය කිරීම අනවශ්‍ය බවත් ය . “The punishment should be proportionate to the harm done” යැයි මේ න්‍යාය තුළ ඇතැම් විට කියැවේ. එනම් වරදකරුවාට ලබාදෙන දඬුවම හා ඉන් අත්වන විඳවීම(suffering) ඔහු කළ වරදට ප්‍රමාණානුකූල විය යුතු බවයි.
අතීතයේදී සමාජයේ Blood revenge concept / Lex talionis / retaliation theory – නොඑසේනම් ලෙයට ලෙය පළිගැනීමේ න්‍යාය ක්‍රියාත්මක විය. එනම් ඇසට ඇසක්, නාසයට නාසයක්, කනට කනක්, දතට දතක්, ලෙස (an eye for an eye) ලෙස එය විග්‍රහ කෙරුණි. මේ අනුව අතීතයේදී මෝසෙස්ගේ දසපනත මගින් ඇති වූ නීති( Mosic laws), හමුරාබි නීති සංග්‍රහය, ලංකාවේ සිංහල නීතිය, ආදිය තුළ වරදකරුවන්ට ඉතා දැඩි ශාරීරික වදහිංසා පැමිණ වුණි. (Severe Corporal punishments) අද පවා ඉස්ලාම් ශරියා නීතිය යටතේ අරාබිකරයේ මුස්ලිම් රටවල ඉතා කෲර දඬුවම් පැමිණවේ. උදා : සොරකම් කළ විට අත් කැපීම
කෙසේ වුවද, මෙබදු මිලේච්ඡ දඬුවම් ක්‍රම ශිෂ්ටාචාරවත් සමාජයකට උචිත නොවන බැව් පරිනාමය වූ මිනිසුන් වටහා ගත්හ. සමාජය හික්මවීම සඳහා දැඩි දඬුවම් අවශ්‍ය යැයි කියමින් මෙය සාධාරණීකරණය කළ නොහැක. මන්ද යත් මිනිසුන් මගින් ක්‍රියාත්මක අධිකරණමය ක්‍රියාවලීන් සර්ව සම්පූර්ණයැයි කිසිවෙකුටත් සහතික කළ නොහැකි හෙයිනි. ලාංකික රිසානා නම් මුස්ලිම් තරුණ ගෘහ සේවිකාවකට ළදරුවෙකුගේ ගෙල කිරි සිරගතවීමෙන් වූ මරණයකට අරාබිකරයේදී මරණ දණ්ඩනය නියමවීම පිළිබඳව ඇති වූ සමාජ සංවාදය මෙහිලා මතකයට නැඟේ.
දැඩි දඬුවම් සම්බන්ධව නස්රුදීන්ගේ කතාවක් උපුටා දැක්වීමට සිතේ.
නස්රුදීන් යනු දහතුන්වන සියවසේදී තුර්කියේ ජීවත් වූ මුල්ලා කෙනෙකි.(ඉස්ලාම් සූෆි පූජකයෙක්) ඔහු කලක් රජතුමාගේ (සුල්තාන්වරයාගේ) පුරෝහිතයාව සිටියේය.
එකල සුල්තාන්වරයා වරක් “දැඩි දඬුවම් දීමෙන් රටේ සියලු වැරදි මුලිනුපුටා දැමිය යුතු යැයි” තීරණය කළේය. බොරු කීමට පවා මරණ දඬුවම දීමට රජු තීරණය කළේය. ඒ අනුව නගරයට ඇතුළු වන තැන ඇති පාලම අසළ එල්ලුම් ගසක් පිහිටුවා නගරයෙන් ඇතුළුවන පිටවන සියලු දෙනා ප්‍රශ්නකිරීමට ලක් කිරීමට රජු තීරණය කළේය. යමෙකු බොරුවක් කිව්වොත් / අනන්‍යතාව සැඟවුවහොත් ඔහුට හෝ ඇයට හිමි වුණේ මරණ දඬුවමයි.
නස්රුදීන් මේ තීරණයට විරුද්ධ වුණේය. ඔහු පැවසුවේ නීතිය සුළු වැරදි නොතකා, වරදේ පරිමාණයට අනුව දඬුවම් නියම කළ යුතු බවයි. එමෙන්ම වැරදි සහමුලින් ඉවත් කළ නොහැකි බවත් පාලනය කිරීම පමණක් කළ හැකි බවයි. තවද මිනිසුන් යහපත් වීම, “සියලු දෙනාගේ යහපත උදෙසා තම ඇතැම් හැසිරීම් පාලනය හා වෙනස් කර ගැනීමේ වැදගත්කම” ගැන ඔවුන්ගේ ආකල්පමය වර්ධනයකින් හා සදාචාරාත්මක සංස්කෘතියක් ජනිත කරගෙන පවත්වා ගැනීමෙන් පමණක් කළ හැකි බවත්, නීතිය – ආගම- අධ්‍යාපනය ආදිය ඊට මග පෙන්වීම පමණක් සිදු කළ යුතු බවත්ය. තවද ඥානවන්ත ගුරුවරුන්ගේ මග පෙන්වීමෙන්, භාවනාව ආදී යම් ක්‍රියාපිළිවෙත් අනුගමනයෙන්, තම අන්තර්ඥානය අවධි කර ගැනීමෙන් සත්‍යය දකින මිනිසා ස්වභාවයෙන්ම යහපත් තත්වයට ලඟා වන බවත්, එසේ නොමැතිව යහපත මිනිසුන් මත බලෙන් පැටවීම කළ නොහැකි බව නස්රුදීන් පැවසුවේය.
රජතුමා ඔහුගේ උපදෙසට සවන් නොදී තම තීරණය ක්‍රියාත්මක කළේය. දිනක් නස්රුදීන් නගරයට ඇතුළු වෙද්දී එල්ලුම් ගස අසල රාජ පුරුෂයන් ඔහුගෙන් ප්‍රශ්න කළේය..
කොහෙද තමුන් යන්නේ?
“මම එල්ලුම් ගහට යනවා.” නස්රුදීන් උත්තර දුන්නා..
“ඒක බොරුවක්.”
“එහෙනම් මාව එල්ලපල්ලා.”
“එත් තමුන්ව එල්ලුවොත් ඒ කියපු එක ඇත්තක් වෙනවා.”
“ඔහෙලාට ඇත්ත හා බොරුව කියන දෙකේ ස්වභාවය දැන් ටිකක් වැටහෙන්න ඇති.”
ඉස්ලාම් පූජ්‍ය ග්‍රන්ථය වූ කුරාණයේ 16:126 හි මෙසේ කියැවේ. “වරදට සුදුසු සමාන මට්ටමකින් (හානියට සාපේක්ෂව) දඬුවම් කරන්න. එනමුත් ඔබට වරදට දඬුවම් නොකර ඉවසිය හැකි නම් එය දඬුවම් කිරීමට වඩා යහපත්ය.’˜
අප මතක තබාගත යුත්තේ අහිංසකලා, අංගුලිමාලා බවට පත්විය හැකි අතර අංගුලිමාලා රහත් වියද හැකි බවය. බොහෝ වරදකරුවන් එම තත්වයට තල්ලුවන සමාජ පසුබිම ගැඹුරින් සළකා බැලිය යුතුය. අපරාධකරුවෙකු වරදට පෙළඹවූ යම් සාධාරණීකරණය කළ හැකි හේතුවක් (motive) තිබේදැයි නීතිය සළකා බලන්නේ එබැවිනි.
මෙහිලා බුදුන් වදාළ ධම්මපද ගාථා දෙකක් සිහිපත් වේ.
ධර්මයේ පිහිටීම ගැන වදාළ ගාථා (ධම්මට්ඨ වග්ගය)
256. න තේන හෝති ධම්මට්ඨෝ – යේනත්ථං සහසා නයේ
යෝ ච අත්ථං අනත්ථං ච – උභෝ නිච්ඡෙයහ පණ්ඩිතෝ
යම් විනිශ්චයකරුවෙක් අසාධාරණ විදියට නඩු තීන්දු දෙනව නම්, ඔහුගේ විනිශ්චය තියෙන්නේ ධර්මයේ පිහිටලා නෙවෙයි. නමුත් නුවණැති කෙනා සාධාරණ පැත්ත අසාධාරණ පැත්ත හොඳ හැටි හඳුනාගෙනයි විනිශ්චයක් දෙන්නේ.
257. අසාහසේන ධම්මේන – සමේන නයතී පරේ
ධම්මස්ස ගුත්තෝ මේධාවි – ධම්මට්ඨෝති පචුචති
සාධාරණ විදිහට ධර්මානුකූලව නඩු හබවලදී තීන්දු ගන්නවා නම්, ධර්මයෙන් සුරැකෙන ඒ ප්‍රඥාවන්ත කෙනා, විනිශ්චයේදී ද ධර්මයේ පිහිටන බවයි කියන්ට තියෙන්නේ
(ඡේතවන අසපුවේදී විනිශ්චයකරුවෙකු අරභයා වදාළ දෙසුමකි)
අතීතයේදී එංගලන්තයේ පවා පණ පිටින් පුළුස්සා මැරීම වැනි දඬුවම් ක්‍රියාත්මක වුවද, වර්තමානයේදී තත්වය ඊට හාත්පසින් වෙනස්ය. විශේෂයෙන් 1950 අත්සන් කෙරුණු මානව හිමිකම් පිළිබඳ යුරෝපියානු සම්මුතිය තුළින් අමානුෂික දඬුවම් පැමිණවීමට එරෙහිව ජාත්‍යන්තර සම්මුතියක් ඇති වුණි. එය වර්තමානයේ බ්‍රිතාන්‍ය නීතියේ කොටසකි.
බයිබලයේ අලුත් තෙස්තමේන්තුවේ ඇති කතාවක කියැවෙන්නේ අනාචාරයේ හැසිරුණු තරුණියකට ප්‍රසිද්ධියේ ගල්ගසා මැරීමට (මෝසෙස්ගේ නීතිය අනුව) යුදෙව්වන් සැරසුණු විට කිසිඳු පවක් නොකළ තැනැත්තෙකු පළමු ගල ගසන්නැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැවසූ බවයි. සියල්ලන් රහසේ හෝ පව් කළ අය බැවින් ගල් අතහැර දැමීමට ඔවුන්ට සිදුවිය. —තමාම විනිශ්චය වන පරිදී විනිශ්චය නොකරන්නැයි˜ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කර ඇත. (යොහාන් 8:1-11)
ඉහත දැක්වූ ලෙස අමානුෂික දඬුවම් පමුණුවන පහත් මට්ටමට නීතිය ඇද වැටුණ හොත් චාල්ස් ඩිකන්ස් කී ලෙසම නීතිය බූරුවෙකු වේ. (Law is an ass) එහෙයින් අපරාධ නඩුවකදී නීතිය චූදිතයා වෙත අහිංසක භාවයේ පූර්ව නිගමනය (Presumption of innocence ) යොමු කරන අතර, පැමිණිලිකාර චෝදකයන් වෙත, සාධාරණ සැකයෙන් ඔබ්බට එනම් 100% ක ඔප්පු කිරීමේ භාරයක් පවරයි. මෙහි හරය වන්නේ වැරදිකාරයෙකු නිදහස් වුවද අහිංසකයෙකු එල්ලුම්ගස් යැවීමට නීතිය ඉඩ නොතබන බවයි.
Retribution නොහොත් විඳවීමට සැලැස්වීමේ න්‍යායට එරෙහි ප්‍රධානතම අභියෝගය එල්ල වන්නේ අපරාධ නීති ගුරු කුලයක් වන ජෙරමි බෙන්තම් ප්‍රමුඛ උපයෝගීතාවාදයෙනි. (Utilitarianism) උපයෝගීතාවාදය තුළ කියැවෙන්නේ දඬුවම යහපත් නොවන බවයි. (All punishment is evil) නීතිය පවතින්නේ සමාජයේ සතුට, ප්‍රයෝජනය, උපයෝගීතාව පිණිසය. දඬුවම තුළින් සිදුවන්නේ එහි ප්‍රතිවිරුද්ධතාවයි. එය මිනිසාගේ සතුටට එරෙහිව දැඩි බලපෑමක් කරයි. එනමුත් එය හුදෙක් සාධාරණිකරණය කළ හැක්කේ දඬුවම තුළින් වැළැක්වූ හානිය ඊට වඩා බරපතල වූවක් බැව් දැක්වීමෙන් පමණි. ( “Impunitas Semper ad deteriora invitat : Impunity always leads to greater crimes: අපරාධයකට දඬුවමක් නොදී මඟහැරීම ඊට වඩා බරපතල අපරාධයක් වීමට අනුබල දීමක් විය හැකියි.) නීතියේ අඳ ළඳ සිය කඩුව භාවිතයේදී (දඬුවම) කල්පනා කරන්නේ තමන් කොටා දමන්නේ කවුද ? යන්න නොව තමන් එසේ නොකළ හොත් සමාජයේ අන් අයට හානි කරමින් ජීවත් වන්නේ කෙබඳු ගති සොබා ඇති පුද්ගලයෙක්ද ? යන්නයි. එමෙන්ම ඇය නීති ධර්මය නම් කෘතිය භාවිතා කරන්නේ අයුක්තිය, අධර්මය නම් සර්පයා පාගා දමන්නටය. තවද එම කර්තව්‍යයේදී ඇය අපක්ෂපාතීව කටයුතු කළ යුතුය. ඇස් බැඳ තිබීමෙන් අපේක්ෂා කරන්නේ එයයි.
ජෙරම් බෙන්තම් (1948-1832) සිය “Principals of penal code” කෘතිය ලියමින් “Felicific Calculus” න්‍යාය හඳුන්වා දෙයි. ඉන් කියැවෙන්නේ මිනිසාගේ චර්යාව අත්දැකීම් මගින් සකස් වී (Programmed ) තිබෙන්නේ, තමා කරන ක්‍රියාවෙන් කොපමණ සතුටක් ලැබේද ? වේදනාවක් ලැබේද ? යන්න පිළිබඳව අවබෝධය තුළින් බවයි. ඒ අනුව සාධාරණ බුද්ධිමත් මිනිසා තම සතුට / දුක පිළිබඳව මෙන්ම අන්‍යයන්ගේ සතුට / දුක පිළිබඳවද සැලකිලිමත් වෙමින් සාධාරණ ලෙස සතුට වැඩිකර ගැනීමට හා දුක අඩුකර ගැනීමට සිය චර්යාවන් සකස් කර ගනී. එනමුත් සමාජයේ සාධාරණ නොවන ආත්මාර්ථකාමී මිනිස්සුද සිටිති. ඔවුන් සමාජ සාරධර්ම උල්ලංඝණය වන වැරදි ක්‍රියාවල නියුක්ත වීමෙන් සතුටක් ලබයි. නීතිය හා දඬුවම ක්‍රියාත්මක විය යුත්තේ මෙබන්දන්ට එරෙහිවය.
ඒ අනුව වරද කිරීමෙන් ඔවුන් ලබන සතුටට (+) වඩා, වරදේ ප්‍රතිඵලය ලෙස ලැබෙන දුක (-) සාපේක්ෂ ලෙස තරමක් වැඩි කිරීමෙන් සමාජය හික්මවිය හැක. එනමුත් දඬුවම් ලෙස කෲර වධ හිංස පැමිණවීම අනුමත කළ නොහැක. එනම් දඬුවම සමාජයේ උපයෝගීතාව ප්‍රයෝජනය (Utility) පිණිස විය යුතුය. එහිදී සළකා බැලිය යුත්තේ බහුතරයකගේ වැඩි යහපතයි
උපයෝගීතාවාදී න්‍යාය දඬුවම් න්‍යායන්හි දෙවැන්න වන Deterrence එනම් නිවාරණය උදෙසා පදනම සකසයි. එනම් දඬුවමට ඇති බිය හේතුවෙන්, එනම් වරද කිරීමෙන් ලබන සතුටට වඩා වරදේ ප්‍රතිඵලය ලෙස ලැබෙන දුක වැඩිවීම හේතුවෙන් සමාජය වරදින් වැළැකී සිටී යැයි අපේක්ෂා කෙරේ. එහිදී දඬුවම් පැමිණවීමෙන්, අදාළ වරදකරුවා එම වරදම නැවත නැවත කිරීමට ඇති ඉඩ වලකාලයි. එනම් ඒකපුද්ගල නිවාරණය (Individual deterrence ) ක්‍රියාත්මක වේ. උදාහරණ : සමහර වැරදි මුල් වරට සිදුකළ තැනැත්තාට අත්හිටවු සිර දඬුවම් පමුණුවා අවවාද කිරීමෙන් අධිකරණය මෙය බලාපොරොත්තු වේ. හේ නියමිත කාලය තුළ නැවත වරදක් සිදුකළහොත් අත්හිටවූ සිර දඬුවමද ක්‍රියාත්මක වී දඬුවම බරපතළ වේ.
තවද පොදු නිවාරණය (General deterrence ) ද ක්‍රියාත්මක වේ. ඉන් බලාපොරොත්තු වන්නේ වරදට දඬුවම් දීම තුළ එම වරද සිදු නොකිරීමට සමාජයට පණිවුඩයක් නිකුත් කිරීමෙන් සමාජය හික්මවීමයි.
වර්තමානය තුළ දැනුවත් කිරීමේ නිවාරණයද ක්‍රියාත්මක වේ. මෙයින් අපේක්ෂා කෙරෙන්නේ නීති පැනවීමේ යහපත් අරමුණු පිළිබඳව මිනිසුන් දැනුවත් කොට, සමාජ යහපත උදෙසා ස්වයං විනය ශිෂ්ට බව ඔවුන් තුළ ගොඩනැංවීමයි. එනම් නීති පැනවීමේ අරමුණ වනාහි මිනිසුන්ගේ නිදහස සීමා කිරීම නොව, සියලු දෙනාට තම තමන්ගේ නිදහස සීමාවක් තුළ මනාව භුක්ති විඳිය හැකි පසුබිම සකස් කිරීම බැව් මිනිසුන්ට අවබෝධ කර දීමයි. උදාහරණයක් ලෙස අගනගරයේ මාර්ග නීති සැකසීමේදී පාරවල් one way කිරීම පිළිබඳව පටු ලෙස හිතුවහොත් ඉන් සිදුවන්නේ අපට කැමති ලෙස පාරේ යාමට ඇති පෞද්ගලික නිදහස (Personal liberty) ඇහිරෙන බව පෙනී යයි. එනමුත් එහි අරමුණ වනාහි සමස්තයේ යහපත (betterment of the collective society) පටු පුද්ගල නිදහසට වඩා වැදගත් යැයි සිතා, පුද්ගල නිදහසට සීමා පනවා, මාර්ග රථ ධාවනය ක්‍රමවත් කිරීමයි. (regulate) ඉන් සිදුවන අයහපතට වඩා යහපත ප්‍රබලය.
කෙසේ වුවද, තම පටු ආත්මාර්ථය පමණක් නොව අන් අය ගැනද හිතන යහපත් පුරවැසියන්ට දැනුවත් කිරීමේ නිවාරණය අවශ්‍ය නැත. ඔවුන් සමාජ අත්දැකීමෙන් හා නීතිය / සදාචාරය ගැන දැනුවත්කමින් ස්වයංව තම විනය හා යහපත් හැසිරීම් රටා ගොඩනඟා ගනී. ෆිලිප් කුක් දක්වන පරිද්දෙන් නීතිය බලාත්මක කරන ආයතන අක්‍රීය වුවහොත් අපරාධ රැල්ල ශීඝ්‍රයෙන් ඉහළ යයි. අපරාධ යුක්තිය පසිඳලීමේ පැවැත්ම ප්‍රබල පොදු නිවාරණයක් ලෙස ක්‍රියාත්මක වී බොහෝ මිනිසුන් නීතිගරුක සිවිල් ශිෂ්ට තත්වයට පත්කරයි.
නමුත් සමාජයක වැරදි වනාහි පිරමීඩයක් ලෙස දැකිය හැකිය. ඉන් නීතියට වැළැක්විය හැක්කේ යම් සීමාවකින් ඔබ්බේ ඇති, තරමක් දැඩි වැරදි පමණි. ඒද නීතිය ඉදිරියට පැමිණිය හොත්ය. “නීතිය සුළුදෙය නොතකයි.(De Minimis Non Curat Lex)” යන්න සෙසු සදාචාර විරෝධී වැරදි සම්බන්ධව ක්‍රියාත්මක වේ. උදා : කුඩා දරුවෙකු කුරුලු කූඩුවකට ගල් ගසතොත් ඊට නීතියෙන් දඬුවමක් නැත. / අනාචාරය නීතිය ඉදිරියේ දඬුවම් දිය හැකි වරදක් නොවේ. (දික්කසාදයට පදනමක් පමණි). එහෙයින් එබඳු වැරදි වලින් පවා සමාජය පිරිසිදු කර ගැනීමට හොඳ-නරක / පව-පින පිළිබඳව සදාචාරාත්මක ආගමික හැඟීම් ඇති කිරීම වැදගත්ය. ආගමික අධ්‍යාපනය (Religious indoctrination ) මගින් දරුවෙකුගේ යටිහිතේ ඔහු වරදින් වළක්වන නිවාරණ (defences) ගොඩනැඟේ. එමෙන්ම යහපත කිරීමට ඔහු දිරිගැන්වීමද එමඟින් සිදුකෙරේ. මිනිසා තුළ ඇති ස්වභාවික මෘගයා (brute) එමගින් පාලනය කෙරේ. මිනිසාගේ ආකල්ප (attitudes) සමාජයට හිතකර ලෙස වර්ධනය වේ. සාමාජීය සාමූහික විඤ්ඤාණය (collective conscience) ගොඩනැඟේ. මිනිසා සමාජීය සත්වයෙකු වන බැවින් තමා ගැන පටු ආත්මාර්ථයෙන් නොසිතා, සමාජයේ අන්අය ගැනද සිතන හා සාමූහික ලෙස කටයුතු කළ හැකි (Ability to team work) සාමූහික විඤ්ඤාණය (Collective conscience) පුද්ගල පෞරුෂ සංවර්ධනයට (personality development ) ඉතා වැදගත්ය.
මෙහිලා ජෝන් එෆ්. කෙනඩිගේ කියමනක් අදාළ වේ.
“Man should forget his selfish ends and should follow his path of duty religiously in spite of all pressures oppositions and calamities. Religion is at the base of all human ethics.”
“සියලු පීඩනයන්, ප්‍රතිරෝධයන් හා උද්ඝෝෂණයන් මධ්‍යයෙහි මිනිසා තම ආත්මාර්ථකාමී අන්තයන් අමතක කර ආගමානුකූලව සිය යුතුකම් නැමති මාවත ඔස්සේ පියවර තැබිය යුත්තේය. ආගම සියලු මානව සදාචාරයන්හි පදනම ලෙස පවතී.˜
ඉහත දැක්වූ උපයෝගීතා න්‍යාය අශක්නූකරණය (Incapcitation ) නොහොත් තුන්වන දඬුවම් න්‍යාය සාධාරණීකරනය කිරීමටද යොදාගත හැකිය. එනම් වැරදි කරන පුද්ගලයන්ගේ විශේෂයෙන් භයානක අපරාධකරුවන්ගෙන් සමාජය ආරක්ෂා කිරීම උදෙසා ඔවුන් බන්ධනාගාරගත කොට සමාජයෙන් වෙන්කර තැබීමයි. එතුළින් සමාජය වෙත සිදුවන හානිය වළක්වා ගත හැකිය. වරදේ බරපතළභාවය වැඩිනම් ඔවුන් සමාජයෙන් සදාකාලිකව වෙන් කොට ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් දිය හැකිය. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවන්නේ නම් අදාළ අපරාධකරුවන් ජීවිතාන්තය දක්වා සිරගෙයි තබනු ලැබේ.
දඬුවම පිළිබඳ අවසාන හා වැදගත්ම න්‍යාය වන්නේ පුනරුත්ථාපනයයි. (Rehabilitation) විශේෂයෙන් තරුණ වැරදිකරුවන් උදෙසා සුභාවිත මෙම චර්යා සංවර්ධන ක්‍රමවේදය වනාහි සිරකරුවා රෝගියෙකු ලෙස හා සිරගෙය රෝහලක් ලෙස සලකා කරනු ලබන ප්‍රතිකාර විධික්‍රමයකි. මෙහිදී භාවනා, උපදේශනය වැනි මනෝ විද්‍යාත්මක සුවකිරීමේ උපක්‍රම හා රැකියා හා අනෙකුත් කුසලතා වර්ධන පුහුණුව වැනි නොයෙක් ක්‍රමවේද ඔස්සේ වරදකරුවා තුළින් නැවත යහපත් පුරවැසියෙකු හා හරයාත්මක හා නිෂ්පාදන ශක්තිය ඇති අයෙකු බිහි කිරීම බලාපොරොත්තු වේ.
එනමුත් ලංකාවේ අවාසනාවකට මෙන් සිපිරි ගෙය සුපිරි අපරාධ විශ්ව විද්‍යාලයක් මෙන් ක්‍රියාත්මක වනුද දැකගත හැකිය. සුළු වරදකට දඩය ගෙවාගත නොහැකිව බන්ධනාගාර ගත කෙරෙන තැනැත්තා පවා ඉතා දැඩි තදබදයෙන් යුතු සිරගෙවල් තුළ ගාල් කිරීම ඔස්සේ විවිධ අතවර වලට ලක්වීම හා දරුණු අපරාධකරුවන් වෙත නිරාවරණය වීම දැකගත හැකිය. එවිට සිරගෙයින් පිටතට එන්නේ ඇතුළට ගිය අහිංසක වෙනුවට අංගුලිමාලයෙකි.
පුනරුත්ථාපනය සෑම වරදකරුවෙකු විෂයයෙහිම සාර්ථක නොවේ. තවද එයට විශාල මුදලක්ද වැයවෙයි. එනමුත් ධාර්මික සමාජයක් උදෙසා වරදකරුවන් පුනරුත්ථාපනය මෙන්ම වරදකරුවන් බිහිවන සමාජ තත්වයන් හඳුනාගෙන ඒ අයහපත් තත්වය වෙනස් කිරීමටද කටයුතු කිරීම වැදගත් වනු ඇත. සැරව ගලන තුවාලයකට බෙහෙත් කිරීමට නම් සැරව ඉවත් කර එය පිරිසිදු කරගත යුතුය. නොඑසේව කරන කවර බෙහෙතක් වුව ගඟට ඉනි කැපීමක් වනු ඇත. සමාජ විනය දඬුවමින් පමණක් ස්ථාපිත කළ නොහැක. එහෙයින් බුදුරදුන් කූටදත්ත සූත්‍රයේ දේශනා කළ ලෙසම මනා සුභසාධනයක් ක්‍රියාත්මක කොට ධනය බෙදී යාම විධිමත් කොට සමාජ සාධාරණත්වය ඇති කිරීමෙන් පමණක් අපරාධ රැල්ල අවම කරගත හැකිය.
මේ බැව් අද වන විට බටහිර දාර්ශනිකයන්ටද අවබෝධ වී තිබේ. පසුගියදා ලංකාවට පැමිණි‚ නොබෙල් ත්‍යාගලාභී Joseph Stiglitz සිය Globalization කෘතියේ නැවත නැවතත් අවධාරණය කරන්නේ, බුදුරදුන් එදා කූටදන්ත සූත්‍රයෙහි වදාළ අකාලික සත්‍යමය.
මෙලෙස ඥානාන්විතව කටයුතු නොකළහොත් නීතිය හා සාමය බිඳ වැටීමෙන් සමස්ත සමාජ පද්ධතියම අර්බුදයකට යෑම නොවැලැක්විය හැකිය. එහෙයින් සමාජයේ නීතිය-සාමය සුරක්ෂිත කිරීම උදෙසා අප එක් එක්කෙනා අතින් ඉටුවිය යුතු යුතුකම් ඉටුකිරීමට කැපවීමට මේ සුදුසුම කාලයයි.
උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.hipwallpaper.com
* ඡායාරූපය 02 : www.bajajdefense.com
* ඡායාරූපය 03 : www.torturemag.org
* ඡායාරූපය 04 : www.dailyartmagazine.com
* වීඩියෝව : OnStrangerTidesMovie | YouTube Channel
* ඡායාරූපය 06 : www.istockphoto.com
* ඡායාරූපය 07 : www.france24.com
* ඡායාරූපය 08 : www.mindvalley.com
* ඡායාරූපය 09 : www.lubbockonline.com
eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.