යුක්‍රේන පළාතක ජනමත විචාරණයක්

June 19, 2022

යුක්‍රේනයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි කර්සොන් ඕබ්ලස්තය හෙවත් කර්සොන් පළාත රුසියාව සමග ඒකාබද්ධ වීම පිළිබඳ ජනමත විචාරණයක් 2022 වසර තුළදී පැවැත්වීමේ සූදානමක් පවතිනවා.

මේ බව එම ප්‍රදේශය පරිපාලනය සඳහා ස්ථාපිත කරනු ලැබ ඇති මිලිටරි-සිවිල් පරිපාලන සභාවේ සාමාජිකයකු විසින් රුසියානු මාධ්‍ය වෙත මෑතකදී තහවුරු කරනු ලැබ තිබුණා. එමෙන්ම රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද මේ බව ප්‍රකාශ කළේ යයි වාර්තා වුණා.

මෙම පුවත 2014 දී ක්‍රිමියාව රුසියාව සමග ඒකාබද්ධ කිරීම පිළිබඳ පැවති ජනමත විචාරණය මතකයට නැගීමට සමත් වුණා.


කර්සොන් ඕබ්ලස්තය (පළාත​)

ක්‍රිමියාව රුසියාව සමග ඒකාබද්ධ වූයේ 2014 දී යුක්‍රේනයේ සිදුවූ ආණ්ඩු පෙරළියෙන් අනතුරුව රටේ ඇතිවූ ව්‍යාකූල පරිසරය තුළයි. කර්සොන් හි පවත්වන්නට යන ජනමත විචාරණය සිදුවන්නේ ඊට වෙනස් පසුබිමකයි.

මේ අතර යුක්‍රේනයේ සපොරෝෂියා ඕබ්ලස්තයේ ද මෙවන් ජනමත විචාරණයක් පැවැත්වීම පිළිබඳ රාවයන් මතුව තිබෙනවා. එහෙත් එහි භූමියෙන් සැලකියයුතු කොටසක් ඇත්තේ යුක්‍රේන පාලනය යටතේයි. එහෙයින් දැනට එවැනි පියවරක් ගැනීමේ සූදානමක් හෝ හැකියාවක් හෝ නොමැති බවයි පෙනී යන්නේ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

කර්සොන් ගැන තොරතුරු
ක්‍රිමියාවට උතුරින් පිහිටි කර්සොන් පළාත වර්ග කිලෝමීටර් 28,461 ක භූමි ප්‍රදේශයකින් යුක්ත වන අතර 2021 දී මිලියනයක පමණ ජනගහනයක් එහි වාසය කළා. එමෙන්ම යුද්ධයට පෙර එහි වූ ජනගහනයෙන් සියයට 83 ක් පමණ යුක්‍රේනියානුවන් ද සියයට 14 ක් පමණ රුසියානුවන් ද වුණා. යුක්‍රේනියානුවන් අතුරින් ද කොටසක් දෙනා ව්‍යවහාර කරන්නේ රුසියන් භාෂාවයි.

ප්‍රදේශයේ ප්‍රධාන නගරයේ නම ද කර්සොන් වන අතර එහි 330,000 ක පමණ ජනගහනයක් යුද්ධයට පෙර ජීවත් වුණා. කර්සොන් ප්‍රදේශය කෘෂිකර්මාන්‍තය උදෙසා ප්‍රකටයි.


Click on the Image

රුසියාවට කර්සොන් වටින හේතුව
රුසියාවට කර්සොන් පළාත ඉතාම වැදගත් වන කරුණු කිහිපයක් තිබෙනවා. එයින් එකක් වන්නේ ක්‍රිමියාවේ ජල ප්‍රශ්නයයි. ක්‍රිමියාවට ජලය සැපයීම සඳහා ද්නීපර් නදියෙහි සිට ඉදිකළ උතුරු ක්‍රිමියානු ඇළ මාර්ගය පටන් ගැනෙන්නේ කර්සොන් පළාතෙන්. 2014 දී ක්‍රිමියාව රුසියාව විසින් ඈඳාගන්නා ලද පසු මෙම ඇළ මාර්ගය යුක්‍රේනියානුවන් විසින් වසාදැමීම හේතුවෙන් ක්‍රිමියාවට ජලය සැපයීම රුසියානුවන්ට අභියෝගයක්ව තිබුණා.

යුක්‍රේනයට එරෙහිව යුධ මෙහෙයුම් ආරම්භ වූ විගසම රුසියානුවන් විසින් කර්සොන් වෙත හමුදා එවීමට කටයුතු කළේ එම ඇළ මාර්ගය විවෘත කරගැනීමටයි. ඇළ මාර්ගය හරහා යුක්‍රේනියානුවන් විසින් ඉදිකළ වේල්ල පුපුරවා හැරීමට රුසියානු හමුදා 2022 පෙබරවාරි අගදී ක්‍රියා කළා.


උතුරු ක්‍රිමියානු ඇළ මාර්ගය යුක්‍රේනියානුවන් විසින් අවහිර කළ පසු

කර්සොන්වල අනෙක් වැදගත්කම ඔඩෙස්සා වෙත වැටී ඇති මාර්ගය විවර කරගැනීමේ හැකියාවයි. යුක්‍රේනයේ වෙරළබඩ ප්‍රදේශ අත්පත් කරගෙන එරටට වරායක් අහිමිකිරීම රුසියානුවන්ගේ ඉලක්කය බව දැනට පෙනී යනවා. එමෙන්ම ඔඩෙස්සා වෙත ගමන් කළහොත් එතැනින් මොල්ඩෝවාවේ රුසියානු හිතවාදී ප්‍රීද්නිස්ත්‍රෝවියා ප්‍රදේශයට ද මාර්ගය විවර වනවා. ක්‍රිමියාව දැනටමත් රුසියානු පාලනය යටතේ පවතින හෙයින් කර්සොන් සහ මිකොලයෙව් ඕබ්ලස්තයන් ඈඳාගතහොත් ඊළඟට ඇත්තේ ඔඩෙස්සා පළාතයි.

කර්සොන් පළාතෙන් නැගෙනහිරට වන්නට පිහිටි සපොරෝෂියා පළාතේ ද ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බවට වාර්තා පළවෙමින් තිබුණත් එම ප්‍රදේශයේ සැලකියයුතු කොටසක් තවම යුක්‍රේනය අත පවතින හෙයින් ප්‍රායෝගිකව එවැන්නක් සිදුවීමේ ඉඩක් නැහැ. සපොරෝෂියා වැදගත් වන්නේ එහි පිහිටි යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරය සහ වෙරළ තීරය නිසයි.

රුසියානු රජය මෑතකදී කර්සොන් සහ සපොරෝෂියා පළාත්වල ජනතාවට ගමන් බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කළා. එමෙන්ම එම ජනතාවට රුසියානු පුරවැසිභාවය ලබාගැනීම පහසු කිරීමට ද රුසියාව පියවර ගත්තා. යුක්‍රේනය එම පියවරයන් දැඩි ලෙස විවේචනය කළා. කෙසේ වෙතත් රුසියානු මූලයන් ඇති ඇතැම් පිරිස් මෙම පියවරයන් කෙරෙහි ධනාත්මකව ප්‍රතිචාර දක්වන බව පෙනීගොස් තිබෙනවා. නැගෙනහිර යුක්‍රේනයේ මෙන්ම දකුණුදිග යුක්‍රේනයේ ද ජනතාවට රුසියාව සමග සංස්කෘතික සහ ආධ්‍යාත්මික බැඳීමක් තිබෙනවා.

දෙවන ලෝක යුධ සමයේ ද මෙම ප්‍රදේශයන් හි ජනතාව විශාල පිරිසක් සෝවියට් දේශය වෙනුවෙන් සටනේදී මියගියා. මෙම බැඳීම් හේතුවෙන් මෙම ප්‍රදේශයන් හි ජනතාවගෙන් කොටසක් හෝ රුසියාව කෙරෙහි ධනාත්මකව හෝ මධ්‍යස්ථව හෝ ක්‍රියා කරනු ඇතැයි රුසියානුවන් බලාපොරොත්තු වන බව පෙනී යනවා.

යුක්‍රේනයට ඇති අවකාශය
පවතින යුධ තත්ත්වයේදී යුක්‍රේනය මුලින් රුසියානු ප්‍රහාරයන්ට හොඳින් මුහුණ දුන්න ද මේ වනවිට රුසියාව කෙමෙන් කෙමෙන් වාසිය තම පැත්තට හරවාගන්නා බවක් පෙනී යනවා. ඇතැම් බටහිර මාධ්‍ය මෙන්ම බටහිර දේශපාලකයන් ද යුක්‍රේනය කඩිනමින් සටන් විරාමයක් කරා යොමුවිය යුතු යයි ඇඟවීමට පටන් ගත්තේ එම පසුබිමේයි. නමුත් මෙහිදී සිය භූමි ප්‍රදේශයන් සම්බන්ධව අඩියක් හෝ පස්සට ගැනීමට යුක්‍රේනය සූදානම් නැහැ. ඔවුන් දන්යෙත්ස්ක් සහ ලුහාන්ස්ක් පමණක් නොව ක්‍රිමියාව පවා නැවත ලබාගැනීමට බලාපොරොත්තු වනවා.


2022 මැයි 4 වනවිට යුක්‍රේනයේ සටන්බිම​

මේ වනවිට යුක්‍රේනයට සිදුවන ජීවිත හානි ප්‍රමාණය දරාගැනීම ඉතා අසීරු බවක් පෙනී යනවා. යුක්‍රේන සන්නද්ධ අංශයන් හි දහසක් පමණ දෙනා දිනකදී මරණයට පත්ව හෝ තුවාල ලබා හෝ අහිමිවන බව එරට රජයේ ප්‍රකාශකයකු මෑතකදී සඳහන් කර තිබුණා. මෙම තත්ත්වය දිගටම පැවතියහොත් යුක්‍රේනයේ පළපුරුදු හමුදා සාමාජිකයන් අහිමිවීම හේතුවෙන් රුසියාවට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා.

යුක්‍රේනය වෙත යුරෝපයෙන් නවීන අවි ලැබුණද එයින් බොහොමයක් භාවිතා කිරීම සඳහා යුක්‍රේනියානුවන් පුහුණුව ලබා නැහැ. ඒ සඳහා පුහුණු කිරීම පිණිස පළපුරුදු හමුදා සාමාජිකයන් ද විශාල ප්‍රමාණයක් පෙරමුණෙන් පිටතට ගැනීම අපහසුයි. මෙම කරුණු හේතුවෙන් නවීන අවි සඳහා පුහුණුව ලැබීම එතරම්ම වේගවත්ව කෙරෙන්නේ නැහැ. එක් යුධ විශ්ලේෂකයකු මීට ස්වල්ප කලකට පෙර සඳහන් කර තිබුණේ මේ හේතුව නිසා රුසියාවට මාස නවයක පමණ වාසියක් ලැබෙන බවයි.

@elearninglk

2022 සිසිර ඍතුව වනවිට යුක්‍රේනියානුවන් නව අවි ආයුධවලින් සටන් කිරීමට පුහුණු වී සිටිනු ඇති බවත් එයින් අනතුරුව ඔවුන්ට වාසියක් සැලසෙනු ඇතැයි ද එම විශ්ලේෂකයා කියා සිටියා. මෙම ගැටළුවට විසඳුමක් ලෙස ලෝකය පුරා විවිධ ස්ථානවලින් පැරණි සෝවියට් කඳවුරේ භාවිතා කෙරෙන අවි මිලට ගෙන යුක්‍රේනය​ වෙත ලබාදීමට ඇමරිකාව උත්සාහ කළ බව ද මෑතකදී පළවූ මාධ්‍ය වාර්තාවක් ප්‍රකාශ කර තිබුණා.

කර්සොන් පළාතේ ජනමත විචාරණයක ප්‍රතිඵලය කෙසේ වුණත් එය යුක්‍රේනය සහ බටහිර රටවල් විසින් පිළිගැනෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඊට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව රඳා පවතින්නේ යුධ ශක්තිය සහ ආර්ථික සම්බාධක මගින් රුසියාවට වන බලපෑම මතයි. සම්බාධකවල බලපෑම අඩු කිරීමට​ විකල්ප සොයාගැනීමේ අරමුණින් රුසියාව කටයුතු කරන බව පෙනී යන හෙයින් එම සම්බාධක මගින් ඔවුන්ව වැළැක්වීමට හැකි වේ යයි සිතීම අපහසුයි. කෙසේ වෙතත් යුධ පෙරමුණේ වාසිය යුක්‍රේනය වෙත ලබාගතහොත් තත්ත්වය වෙනස් වීමක් දකින්නට ලැබෙනු ඇති.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.