මානවම්ම රජතුමා (ක්‍රි.ව 684 – 719)

මානවම්ම රජතුමා දෙවන හත්ථදාඨ රජු සටනකින් පරාජය කර රාජ්‍ය බලය ක්‍රි.ව 684 දී ලබාගත්තේය. එතුමාගේ අතීත පුවත මෙයයි.

මහා සම්මත වංශයෙහි උපන් මානවම්ම කුමරු දෙවන කාශ්‍යප රජතුමාගේ(650-659) පුත්‍රයෙකි. දෙවන කාශ්‍යප රජුගෙන් පසුව පළමුවන දප්පුල රජතුමා රජවිය (659).

දප්පුල රජු පරදා රජ වූ දාඨෝපතිස්ස රජසමයේදී (659-667) මානවම්ම කුමරු දකුණු ඉන්දියාවට පළා ගියේය. ඔහු පල්ලව රාජධානිය වෙත ගොස් නරසිංහ රජු මුණගැසී, පුරෝහිතකම් කර, කෙමෙන් මිත්‍ර වූයේය.

කෙමෙන් කෙමෙන් නරසිංහ රජුගේ ප්‍රාණසම මිත්‍රයෙකු ලෙස මානවම්ම කුමරු දකුණු ඉන්දියාවේ එම පල්ලව රාජධානියේ සැලැකුම් ලබන්නට වූයේය. නරසිංහ රජුට පසුකලෙක වල්ලභ නම් වෙනත් රාජධානියක රජකෙනෙකු හා යුද්ධ කරන්නට සිදු විය. වල්ලභ රජු පරාජය කිරීම සඳහා නරසිහ රජු හා සමාන වීර්‍යයකින් යුද්ධ කළ මානවම්ම කුමරු රජු හා වඩාත් මිත්‍ර වූයේය.

මේ නිසා පසුකලෙක යුතුකමක් (ක්ෂත්‍රීය ධර්මයක්) ලෙස සලකා මහා බලසම්පන්න සේනාවක් සමඟ වාහන ද යුද උපකරණ ද සියලු කම්කරුවන්ද දී ලක්දිවට පෙරළා පැමිණීමට සැලැස්වූයේය.

පල්ලව මහරජු සහ මානවම්ම කුමරු එකිනෙකාගෙන් වෙන්වන අවස්ථාවේදී ශෝකභරිතව කඳුලු සැලූ බව ද වංශකතාවෙහි සඳහන්ය. ඔහු සේනාසන්නද්ධව මහා නැව් වලින් පැමිණ ලංකා දීපයට ගොඩබට බව ආරංචි වූ දාඨෝපතිස්ස රජු යුද්ධයට මුහුණ නොදී පැන ගියේය. රජුගේ සිංහල සේනාවන්ද යටිබිම්ගත වූහ (ගම්වලට වී පාඩුවේ ගොවිතැන් කරමින් සිටියහ).

කාලයක් ගතවන විට ද්‍රවිඩ සේනාවන් මානවම්ම කුමරු අතහැර ගෑනු සහ වෙනත් දේ පස්සේ ගියහ. ඉන්පසුව සිංහල සේනාවන්හි ගරිල්ලා ප්‍රහාරයන් හේතුවෙන් අසරණ වූ මානවම්ම කුමරු පෙරළා ඉන්දියාවේ පල්ලව රාජධානියේ නරසිංහ රජු වෙත ගියේය.

හේ ඉන් කලෙකට පසුව දෙවන වරටද සේනා සන්නද්ධ කර, මානවම්ම කුමරු නැවතත් ලංකාව ආක්‍රමණය කිරීමට එව්වේය. යුද්ධයෙහි දක්ෂයෙකු වූ මානවම්ම කුමරු “නරසිංහ මර්මන්” රජුගෙන් විශාල ද්‍රවිඩ පල්ලව හමුදාවක් රැගෙන හෙළදිවට පැමිණියේය.

දෙමළ ජනතාව විසූ උතුරු ප්‍රදේශයේ හේ මුලින්ම ස්ථානගත වූවේය. ක්‍රමයෙන් යුද වදිමින් අනුරාධපුරය යටත් කරගෙන පොත්ථකුට්ඨ සහ හත්ථදාඨ දෙදෙනා පළවා හැර ලක්දිව රාජ්‍යත්වය ලබා ගත්තේය.


ලක්දිවට එතුමා සමඟ පැමිණි නවන්දන්න කුලයේ දක්ෂ ද්‍රවිඩ කැටයම්කරුවෝ මෙරට විහාර කර්මාන්තයන්හි කැටයම් කලාව ප්‍රචලිත කළහ. ඔවුහු පසුකාලීනව සිංහල වූහ. (Assimilation)

මාතෘ භූමියේ ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තබමින් මානවම්ම රජ පෙළපත වසර 400 ක් පැවතුණි. මෙතෙක් අරාජිකත්වය රජ කළ රටට ස්ථාවර සමෘද්ධිමත් කාලයක් උදාවිය.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.