තමන්ගෙම නැන්දනියව විවාහ කර ගත්ත රජ කෙනෙක්

අද අපි කියන්න යන්නෙ රජකම ලැබුණට පස්සෙ තමන්ගෙම නැන්දනියව විවාහ කර ගත්ත රජ කෙනෙක් ගැනයි. මේ රජ්ජුරුවො ගැන කතා කරන්න කලින් අපිට යන්න වෙනවා ඊටත් කලින් හිටපු රජ කෙනෙක් වුණු යසලාලකතිස්ස රජතුමාගේ රාජ්‍ය පාලන කාලයට. ඒ කියන්නෙ ක්‍රි.ව 52 – 60 අතර කාල සීමාවට.

සුභ සහ යස කතාව
​යසලාලකතිස්ස රජතුමාව අපේ අය දන්නෙ “යස” හැටියට. යසලාලකතිස්ස රජතුමා ප්‍රසිද්ධ වුණෙත් මේ “සුභ සහ යස” කතන්දරය නිසා. මේක ගැන නම් පොඩි දරුවනුත් දන්නවා. මේ සිද්ධිය අපේ රටේ ඇත්තටම වුණු සිද්ධියක්. තමන්ගෙ වගේම හැඩහුරුකම් තියෙන තව හත් දෙනෙක් මේ ලෝකයේ ජීවත් වෙන්න පුලුවන් කියනවනෙ. යසලාලකතිස්ස රජ්ජුරුවන්ටත් හිටියා මේ වගේ එක්කෙනෙක්. ඒ තමයි රජ්ජුරුවන්ගෙ ​රජ මාළිගාවෙ දොරටු පාලක වෙච්ච සුභ. සුභයි රජ්ජුරුවොයි දෙන්නම එක කුස උපන් නිවුන් සහෝදරයො වගෙයි. ඒ කියන්නෙ දෙන්නම එක වගෙයි. දෙන්නගෙම එකම මූණ. එකම උස මහත. මාළිගාවට යන එන අය මේ දෙන්නව වෙන් කරලා අදුර ගන්නෙ, දෙන්නගෙ ඇදුම් පැලදුම්වලින්.

@elearninglk

දවසක් යසලාලකතිස්ස රජ්ජුරුවන්ට හිතෙනවා තමන්ගෙ චරිතය සුභට දීලා, සුභගෙ චරිතය ගන්න. ඉතින් දවසක් රජ්ජුරුවො ගිහින් සුභට ඕක ගැන කියනවා. සුභත් ඉතින් රාජ ආඥාව අහක දාන්නත් බැරි නිසා දවසකට හරි රජ වෙන්න කැමති වෙනවා. පහු වෙනිදා රජ්ජුරුවො දොරටුපාල වගේ වෙස් වළාගෙන ඉන්නකොට, සුභ රජ්ජුරුවො වගේ සිංහාසනේ ඉන්නවා.

රජ්ජුරුවො හොදට විවේකයෙන් ඉන්නකොට සුභට හොදටම දාඩිය දාන්න ගන්නවා. මොකද මිනිස්සු ඇවිත් තම තමන්ගෙ දුක් ගැනවිලි කිය කියා සුභට වදිනවා රජ්ජුරුවො කියලා හිතාගෙන. මැති ඇමතිවරු එක එක ලියකියවිලි අරන් ඇවිත් සුභට ඉදිරිපත් කරනවා. එක එක උත්සවවලට ආරාධනා කරන්න ලොකු ලොකු උදවිය එනවා. සුභ අන්දුන්කුන්දුන් වෙලා ඉන්නකොට, දොරටුපාල විදිහට ඉන්න රජ්ජුරුවො හොදටම හිනා වෙනවා බක බක ගාලා. රජ්ජුරුවොන් මේකෙන් ලොකු විනෝදයක් ලබනවා.

දැන් රජ්ජුරුවොන්ට මේ වැඩේ අල්ලලා ගිහින්. දෙවෙනි දවසෙත් මේ විදිහටම කරන්න ඕන කියලා රජ්ජුරුවෝ සුභට කියනවා. දෙවෙනි දවසෙත් මේ දේවල්මයි. හැබැයි සුභ දෙවෙනි දවසෙ එච්චරම බය වුණේ නෑ. මොකද පළවෙනි දවසෙම ඔක්කොම වැඩ ටික අල්ල ගත්තා. සුභත් ඉතින් රජ්ජුරුවො වගේ රගපාන්න ගන්නවා. දොරටුපාල විදිහට ඉන්න ඇත්ත රජ්ජුරුවො බඩත් අල්ලගෙන හිනා වෙනවා. ඇත්ත රජ්ජුරුවො මේකෙන් ලොකු විනෝදයක් ගන්නවා. ඉතින් තුන් වෙනි දවසෙත් මේ විදිහටම දෙන්නා චරිත දෙක මාරු කර ගෙන රගපානවා. හතරවෙනි, පස්වෙනි, හයවෙනි දවස් වලත් මේ වැඩේම වෙනවා. රජ්ජුරුවො මේ වැඩේ දිගටම කර ගෙන යනවා. හැබැයි මේ දෙන්නා විතරයි දන්නෙ. මිනිස්සු දන්නෙ නෑ.

සුභ රජ වීම
කාලයක් ගියාට පස්සෙ රජ්ජුරුවො විදිහට රගපාන දොරටුපාලකයට, එහෙමත් නැත්නම් සුභට හිතෙනවා සදාකාලිකවම රජ වෙන්න. ඉතින් දවසක් යසලාලකතිස්ස රජ්ජුරුවො කියලා හිතාගෙන මිනිස්සු සුභට ප්‍රශ්න ඉදිරිපත් කරනකොටත්, දොරටුපාලකයෙක් විදිහට වෙස් වළාගෙන ඉන්න ඇත්ත රජතුමා වෙන්දා වගේම හිනා වෙන්න ගන්නවා. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන සුභ සිංහාසනයෙන් නැගිටලා, “තා මොකටද මට මේ විදිහට අපහාසයට හිනා වෙන්නෙ. මොහුගේ හිස ගසා දාන්න” කියලා අනිත් දොරටුපාලකයින්ට කියනවා.

ඔන්න යසලාලකතිස්ස රජ්ජුරුවන්ගෙ සෙල්ලම ලෙල්ලම වෙනවා. ඉතින් යසලාලකතිස්ස රජ්ජුරුවො තමන් ඇත්ත රජ්ජුරුවො කියලා මහ හයියෙන් කෑ ගැහුවත්, වැඩක් වුණේ නෑ. කොහොම ඔප්පු කරන්නද? දෙන්නම එක වගෙනෙ. යසලාලකතිස්ස රජ්ජුරුවො විදිහට සුභ දොරටුපාලකයා බලා ගෙන ඉන්දැද්දි, සුභ දොරටු පාලකවරයා විදිහට හිටපු ඇත්ත යසලාලකතිස්ස රජ්ජුරුවන්ගෙ හිස ගසා දානවා. දැන් සුභ තමයි අපේ රටේ රජ්ජුරුවෝ.

සුභගේ කේන්දරය
කාලයක් ඔහොම යනවා. ​දවසක් සුභ රජතුමා නිකන් ඉන්න බැරිකමට දෛවඥයෙක් ලව්වා තමන්ගේ කේන්දරය පරීක්ෂා කරනවා. කේන්දරය අතට ගත්තු දෛවඥයගෙ ප්‍රකාශය අහපු රජතුමා ​හොදටම බය වෙනවා. දෛවඥයා කිව්වේ අනාගතයේ “වසභ” කියලා නම තියෙන කෙනෙක්, රජ්ජුරුවන්ව මරලා රජකම ගන්නවා කියලා.


Click on the Image

ඉතින් සුභ තමන්ගෙ හමුදාව රැස් කරලා කියනවා “වසභ” කියලා නම තියෙන හැම එක්කෙනෙක්ම මරලා දාන්න කියලා. මේ මෙහෙයුමේ නායකයා විදිහට දැම්මෙ රජ්ජුරුවන්ට විශ්වාසවන්ත ඇමතිවරයෙක්ව. ඉතින් හමුදාවත් වසභ කියලා නම තියෙන අයව මර මරා රට ඇතුළට ගමන් කරනවා. අද කාලෙ වගේ නෙවේනෙ ඒ කාලෙ. මොකද Facebook, E – Mail, Mobile Phones තිබ්බයි… ඉතින් වසභ කියලා නම තියෙන අය හමුදාව තමන්ගෙ ළගට එනකන්ම දැනගෙන හිටියෙ නෑ, මොකාටද මේ එන්නෙ කියලා. මේ විදිහට අපේ රටේ වසභ කියලා නම තියෙන ඔක්කොම අය ඝාතනය වෙනවා. හැබැයි එක්කෙනෙක් හැර.

සුභට මාරකයක් වුණු වසභ
ඒ වසභ ජීවත් වුණේ, මෙහෙයුමට නායකත්වය දීපු රජ්ජුරුවන්ගෙ ඇමතිවරයගෙ ගෙදර. මෙයා ඇමතිවරයගෙ බෑණා කෙනෙක්. ඒත් රජ්ජුරුවන්ට තියෙන පක්ෂපාතීත්වය පෙන්නන්න ඇමතිවරයා තීරණේ කරනවා බෑණවත් රජ්ජුරුවන් ගාවට එක්ක ගිහින්, රජ්ජුරුවන්ට භාර දෙන්න. ඉතින් මේ ගැන තමන්ගෙ බිරින්දෑ එක්කත් කතා කරනවා.

ඔන්න ඇමතියා බිරිදට මේ ගැන කියලා වැඩේ අල කර ගන්නවා. මේ ඇමතියා හැමතිස්සෙම බුලත් කනවා. බැලුවොත් විට කටේ. ඉතින් පහුවෙනිදා වසභව රජ මාළිගාවට ගෙනි යන්න ලෑස්ති වෙනකොටත් විට කටේ දාගෙන තවත් විටක් ඔතලා දෙන්න කියලා කිව්වා. බිරිද මොකද කරන්නෙ, බුලත් විට ඔතනවා, හුණු දාන්නෙ නැතුව. වසභ මේ මොකුත් දන්නෙ නෑ. වසභව රජ මාළිගාවට ගෙනියනකොට, ඔතන් ආපු බුලත් විට කන්න බැලින්නම්, මළ හත්තිලව්වයි බුලත් විටට හුණු දාලා නෑ.

ඉතින් ඇමතිවරයා වසභව පිටත් කරනවා ගෙදරට හුණු ටිකක් ගෙන්න ගන්න. වසභ එනකන් බලාගෙන හිටපු නැන්දා, ඒ කියන්නෙ ඇමතිවරයගෙ බිරිඳ, මේ කුමන්ත්‍රණය ගැන වසභට කියනවා. වසභට සල්ලිත් දීලා පැනලා යන්න උදව් කරනවා.

​වසභ පැනලා යනවා. මාස ගණනාවක් තිස්සෙ ගමින් ගමට ගිහින් ලොකු හමුදාවක් හදා ගෙන, රජ මාළිගාවට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරනවා. මේ සටනෙදි වසභගෙ මාමත් මැරෙනවා. සුභ රජ්ජුරුවොත් රජ මාළිගාවෙම ඝාතනය වෙනවා. ඊට පස්සෙ වසභ අපේ රටේ රජතුමා බවට පත් වෙනවා.


Click on the Image

වසභටත් අපලයක්
වසභ රජ වෙලා, තමන්ට උපකාර කරපු නැන්දව විවාහ කර ගත්තා කියලා තමයි ඉතිහාසයේ තියෙන්නෙ. ඔන්න දැන් වසභ රජතුමා අපේ රට පාලනය කරනවා හුග කාලයක් තිස්සෙ. වසභ රජතුමාටත් හිතෙනවා තමන්ගෙ කේන්දරය බලව ගත්තොත් හොදයි කියලා. වසභ රජ්ජුරුවන්ගේ කේන්දරය බලපු දෛවඥයා කියනවා තව අවුරුදු 12ක් විතරයි ජීවත් වෙන්න වාසනාව තියෙන්නෙ කියලා.

අපි පෘතග්ජන මිනිස්සු. අපි කොයි කවුරුත් අපේ ජීවිතවලට ආසයි. මැරෙන්න බයයි. අපි ඔක්කොමලා උත්සාහ කරන්නෙ වැඩිකල් ජීවත් වෙන්න. ඉතින් වසභ රජතුමාගේ ඔක්කොම බලාපොරොත්තු සුන් වෙලා යනවා. ඊට පස්සෙ මේ ඉරණමෙන් ගැලවෙන්න පුලුවන් ක්‍රමයක් ගැන දෛවඥයන් වසභ රජතුමාට කියනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඒ තමයි පුලුවන් තරම් බුද්ධ ශාසනය වෙනුවෙන් සේවය කරලා, බුද්ධ දර්ශනය අනුව කටයුතු කරලා පුලුවන් තරම් පිං රැස් කරන්න කියන අවවාදය. මේක අහන වසභ රජතුමාගේ හිතට ලොකු සහනයක් දැනෙනවා. වසභ රජතුමාත් ඒ විදිහටම වැඩ කරන්න ආරම්භ කරනවා.

වසභ රජතුමාගේ ආගමික සේවාවන්
අවුරුදු 3කට වරක් අපේ රටේ වැඩ ඉන්න හැම හාමුදුරු නමකටම තුන් සිවුරු පූජා කරනවා. හැමදාම අපේ රටේ ප්‍රදේශ 32ක කිරිබත් දාන දෙනවා. හැමදාම අපේ රටේ ප්‍රදේශ 68ක මහා දාන දෙනවා. ථූපාරාමය, රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය අභියස දස දහසක පහන් පූජාවක් හැමදාම පවත්වනවා. කකුසද, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුවරුන්ගේ ප්‍රතිමා 4ක් නිර්මාණය කරලා මහමෙව්නා උයනේ තැන්පත් කරනවා.

දුප්පත් අයට ධනය බෙදලා දෙනවා. හාමුදුරුවරුන්ට සිව්පසයෙන් උපස්ථාන කරනවා වගේම, විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලාට අනුග්‍රහය දක්වනවා. ථූපාරාමය, සිතුල්පව්ව, ඉසුරුමුණිය වගේ පූජා ස්ථාන නඩත්තු කරනවා. ඒ වගේම අනුරාරාමය, චිත්තලකුට, මුවේර විහාරය වගේ වෙහෙර විහාර කරවනවා. චිත්තල පබ්බත ප්‍රදේශයේ විතරක් ස්තූප 10ක් බන්දවනවා. හැම අවුරුද්දකම වෙසක් උත්සවය උත්සවාකාරයෙන් පවත්වනවා.

වසභ රජතුමාගේ ආර්ථික සේවාවන්
වසභ රජතුමා බුදු දහම වෙනුවෙන් මොන දේ කරත් අපිට වසභ රජතුමාව වැදගත් වෙන්නෙ වෙනත් පැත්තකින්. ඒ තමයි ආර්ථික අංශය. වසභ රජතුමාගේ කාලයේ අපේ රටේ ආර්ථිකය ගොඩක් ඉහළ මට්ටමක තිබුණා. අපේ රට සශ්‍රික රටක් වුණා.

වසභ රජ්ජුරුවො අපේ ඉතිහාසයට එකතු වෙන්නෙ “මහා පරිමාණ වැව් ඉදි කිරීමේ ආරම්භකයා” විදිහටයි. වසභ රජ්ජුරුවො එන්න කලිනුත් අපේ රටේ වැව් තිබුණා. ඒත් වසභ රජතුමා නිර්මාණය කරපු වැව් එක්ක බලනකොට ඒ ඔක්කොම සුළු පරිමාණයේ වැව්. ඉතින් වසභ රජතුමා මහා පරිමාණයේ වැව් නොහදන්න, සමහරවිට අපේ රටේ ඉතිහාසයේ මහා පරිමාණයේ වැව් නිර්මාණය වීම තවත් ප්‍රමාද වෙන්න ඉඩ තිබුණා.

ඉතින් වසභ රජතුමත් වාරි ව්‍යාපෘති පටන් ගන්නවා. මහ වැව් 11කුත්, ඇළවල් 12කුත් හදනවා. මහ වැව් අතරට මහවිලච්චිය, මානාකැටිය, නොච්චිපොතාන, හිරිවඩුන්න, කෝලව්වහාලක, ඒරුවාපි වගේ වැව් අයිති වෙනවා. ඊට අමතරව උමo මාර්ග හරහා වතුර බෙදා හරින්නත් කටයුතු කරනවා.

වසභ රජතුමාගේ අභාවය
වසභ රජතුමාගෙ බලය අපේ රටේ අස්සක් මුල්ලක් නෑර, හැම තැනකම ව්‍යාප්ත වෙලා තියෙනවා. නාගදීපයේ වගේම යාපනයෙත් ව්‍යාප්ත වෙලා ගිහින් තියෙනවා. මේක “වල්ලිපුරම් රන් සන්නසෙන්” පැහැදිලි වෙනවා. ඒ වගේම “ලම්බකර්ණ” වංශයේ ආරම්භකයා විදිහට සැළකෙන්නෙත් වසභ රජතුමයි.

වසභ රජතුමා කියන්නෙ රජ පරම්පරාවකින් පැවතගෙන ආපු කෙනෙක් නෙවෙයි. හැබැයි වසභට පුලුවන් වෙනවා රජ වෙලා, මුලු ඉතිහාසයක්ම සහ මුලු පරම්පරාවක්ම වෙනස් කරන්න. ඉතිහාසයේ තියෙන විදිහට වසභ රජතුමා මේ විදිහට අපේ රටේ අවුරුදු 44ක් රජකම් කරලා තියෙනවා.

වසභ රජතුමාගෙන් පස්සේ
වසභ රජතුමාගෙන් පස්සේ අපේ රටේ රජකමට පත් වෙන්නෙ ඔහුගේ පුත්‍රයා වුණු වංකනාසිකතිස්ස කුමාරයා. මේ කාලයේ තමයි කරිකාල කියන දකුණු ඉන්දීය ද්‍රවිඩ නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් අපේ රටට ලොකු ආක්‍රමණයක් එල්ල වෙන්නෙ. ඊට පස්සෙ අපේ සිංහල මිනිස්සු 12 000කුත්, පාත්‍රා ධාතුවත් ඉන්දියාවට අරන් යනවා.

ඊටත් පස්සෙ රාජ්‍යත්වයට පත් වුණු ඔහුගේ පුත්‍රයා නොහොත් පළවන ගජබා රජතුමා සමත් වෙනවා ඉන්දියාව ආක්‍රමණය කරලා… පාත්‍රා ධාතුවත්, සිංහල මිනිස්සු 12 000ත්, ඒකට හිලව්වක් වශයෙන් දෙමළ සිරකරුවො 24 000කුත්, පත්තිනි සලඹත් අපේ රටට අරගෙන එන්න.

විශේෂ ස්තූතිය
01. නිමල් රණසිංහ මහතා – උසස් පෙළ ඉතිහාසය විෂයභාර, හිටපු ආචාර්යය, කොළඹ ආනන්ද විද්‍යාලය

ඡායාරූප
01. Sunday Times පුවත් පතින්
02. තිවංක නිල්ලේගොඩ

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.