බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ

2014 වසරේ නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන් විසින් #loudbangs, #omgwereallgoingtodie වැනි හෑෂ්ටැග්ස් සමග පළකරන ලද ට්වීට් සටහන් වලිනි.

ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ, බටහිර සසෙක්ස්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, උතුරු ඩෙවොන් වැනි ප්‍රදේශ දක්වා වූ විශාල වපසරියකට ශ්‍රවණය වූ මේ පිපිරුම් හඬ හේතුවෙන් සමහර ස්ථානයන්හි වීදුරු ජනේල, දොරවල් දෙදරා ගිය බවද, සුරතල් සුනඛයින් භීතියෙන් වියරු වැටුණු බවද වාර්තා විය. රාත්‍රී 10 – 10.30 පමණ වද්දී මෙම සිදුවීම් පෙළ වාර්තා වුණි. සැබැවින්ම සිදුවූයේ කුමක්ද? ස්වභාවික සංසිද්ධියක්ද? රජයේ රහස් මෙහෙයුමක්ද? එසේත් නැතිනම් සමහරුන් කියනා ආකාරයට මිනිසා එලෙස අත්දුටුවේ යම් පිටසක්වළ යානයක ආගමනයද?

මෙම සිදුවීම සිදුවී වසර ගණනාවක් ගත වූවද, එම සිදුවීම පිළිබඳව මෙවැනි ලිපියක් ලිවීමට අදහස් කළේ, එම සිදුවීම සිදු වූ සැණින්, එම සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව මගින් ඉදිරිපත් වූ විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහ ඊට පරිබාහිර මත කිහිපයක් අපක්ෂපාතීව විශ්ලේෂණය කිරීමටයි. එමෙන්ම එයින් සමහරක් මතයන් සිත්ගන්නා සුළුය.

ජෙට් යානයක උත්ස්වනික ගිගිරුම – Sonic Boom of a Jet

ට්විටර් සමාජ ජාලය හරහා මෙම සිද්ධියට පුළුල් ප්‍රචාරයක් ලැබීමත් සමග බොහෝදෙනෙක් මෙම පිපිරුම් මාලාව ප්‍රහාරක යානයක් හෝ යානා කිහිපයක් අහසේ අධික වේගයකින් ගමන් කිරීමේදී ඇති වූ උත්ස්වනික ගිගුරුම් (sonic booms) විය හැකි බව අනුමාන කළහ.

මන්ද යත්, ඊට සති කිහිපයකට පෙර කෙන්ට් ප්‍රාන්තයේ වැසියන්ද මෙවැනිම පිපිරුම් හඬක් ශ්‍රවණය කළ අතර පසුව හෙළිදරව් වූයේ බ්‍රිතාන්‍ය ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළු වූ ලැට්වියානු සිවිල් ගුවන් යානයක් හඹා යාමට අහසට නැගුණු රාජකීය ගුවන් හමුදාවේ (Royal Air Force – RAF) ටයිෆූන් ප්‍රහාරක යානා දෙකක උත්ස්වනික ගිගුරුම් මගින් එම හඬ නිකුත් වූ බවයි.

අධිවේගී ගුවන් යානාවක් ශබ්දයේ වේගය (332 msˉ¹) ඉක්මවා ගමන් කරන අවස්ථාවකදී එම ගුවන් යානය වටා කේතුවක හැඩයට පීඩන තරංගයක් ගොඩනැගෙයි. යානය තමන්ගේම ශබ්දයට වඩා වැඩි වේගයකින් ගමන් කරමින් සිටින නිසා පොළොව මත සිටින්නෙකු මුලදී කිසිදු ශබ්දයකින් තොරව යානය දකින අතර යානය වටා ඇති කේතු ආකාර පීඩන තරංගය ඔහු පසුකර යද්දී පිපිරීම් හඬක් ඇසේ. යානයේ වේගය අනුව පිපිරුම් ශබ්දයේ ප්‍රබලතාවද, කේතුවේ හැඩයද වෙනස් වෙයි.

කෙසේ වෙතත් මෙම මතයේ තර්කානුකූල බව හා ප්‍රායෝගික බව අඩුය. ඊට හේතු කිහිපයක් තිබේ. සිදුවීමට පසුදින මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළ බ්‍රිතාන්‍ය රාජ්‍යාරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සෙනසුරාදා දින රාත්‍රියේ රාජකීය ගුවන් හමුදාවට අයත් කිසිදු ප්‍රහාරක යානාවක් අහස්ගත නොවූ බවත්, වෙනත් ගුවන් යානයක් බ්‍රිතාන්‍ය ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළු වීමක්ද වාර්තා නොවූ බවත් ය. අනෙක් අතට උත්ස්වනික ගිගිරුමක් පැය භාගයක පමණ කාලයක් තිස්සේ වරින්වර ඇසෙන්නේ කෙසේද යන්න ගැටළුවකි.

ප්‍රහාරක යානාවක් කුඩා වන නිසා එය ශබ්දයේ වේගය ඉක්මවා යන අවස්ථාවකදී ඇසිය යුත්තේ එක් ගිගිරුම් හඬකි. ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි මගී ගුවන් යානයක් වූ කොන්කෝඩ් යානාවකින් නම් එහි විශාලත්වය නිසා යානයේ ඉදිරිපසින් (nose) හා පසුපසින් (tail) උත්ස්වනික ගිගුරුම් දෙකක් ඇසිය හැකිය. එහෙත් පරිසර දූෂණය නිසාවෙන් මීට වසර ගණනකට පෙර කොන්කෝඩ් යානා භාවිතයෙන් ඉවත් කෙරිණ.

ගිනිකෙළි සංදර්ශන – Fireworks
උක්ත සිද්ධියෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් මෙට්‍රොපොලිටන් පොලීසිය පැවසූයේ සෙනසුරාදා රාත්‍රියේ ක්‍රොයිඩන්හි පැවති ගිනිකෙළි සංදර්ශනයකින් මෙම පිපිරීම් හඬ නිකුත් වූ බවයි.

පිපිරුම් හඬ පිළිබඳව වාර්තා කළ අයගෙන් සාපේක්‍ෂව බහුතරයක් දකුණුදිග ලන්ඩනයේ ක්‍රොයිඩන් ආශ්‍රිතව වෙසෙන්නන් වීම මෙම මතය යම් පමණකට තහවුරු කළද ඊට වඩා බොහෝ ඈත ප්‍රදේශ වලටද ගිගිරුම් හඬ ඇසුණේ කෙසේද යන්නෙහි ගැටළුවක් තිබේ.

මහා පරිමාණ බියගැනීම් – Mass Panic
සමාජ ජාල වෙබ් අඩවි මිනිස් ජීවිතයේ ප්‍රධාන අංගයන් වී ඇති වර්තමානයේ මහා පරිමාණ බියගැනීම් බොහෝ සේ සාමාන්‍යකරණය වී තිබේ. Mass Hysteria ලෙසද හැඳින්වෙන මෙම මානසික ක්‍රියාවලිය හේතුවෙන් එක් අයෙකු තමා සැබැවින්ම අත්විඳි දෙයක් වාර්තා කළ විට තවත් බොහෝදෙනෙකු එය මනසේ මවාගනිමින් තමාද එය අත්විඳි බව පවසයි.

තවත් සමහරෙක් මෙම ‘අභිරහස් ප්‍රවෘත්තිය’ තව තවත් වැඩිදියුණු කිරීම සඳහා ඕනෑකමින්ම තමනුත් එහි කොටස්කරුවෙකු වෙමින් එය රසවිඳියි. මෙම මතය සහ ගිනිකෙළි සංදර්ශන මතය යන දෙකම මගින් නම් වඩාත් ප්‍රබල හා තාර්කික මතයක් ගොඩනැගිය හැකි බව ඔබට පෙනෙනු ඇත.

උල්කාපාත කඩා වැටීම් – Meteors
බොහෝ අවස්ථාවන්හිදී අභ්‍යවකාශයේ ගමන් ගන්නා උල්කාවන් පෘථිවි ගුරුත්වය නිසා පෘථිවිය මතට කඩා වැටෙන අතර ඉන් බහුතරයක් ඉහළ වායුගෝලයේදීම දැවී විනාශ වී යයි.

එහෙත් ප්‍රමාණයෙන් විශාල උල්කාපාත සම්පූර්ණයෙන් නොදැවී පෘථිවියට කඩා වැටීම හෝ ඉහළ අහසේදී පුපුරා යාම සිදුවේ.

2013 වසරේ මාර්තු මස රුසියාවට කඩා වැටුණු විශාල උල්කාපාතයේ පිපිරුම් හඬ ඉන් සැතපුම් 9,000ක් පමණ ඈතින් පිහිටි ඇන්ටාක්ටිකාවටද ඇසීමට තරම් ප්‍රබල විය. එහෙත් නොවැම්බර් 29 දින එවැනි විශාල මට්ටමේ උල්කාපාත කඩා වැටීමක් සිදුවූ බවක් නම් වාර්තා වී නොමැත.

අභ්‍යවකාශ සුන්බුන් කඩා වැටීම් – Space Debris
ක්‍රියාවිරහිත වූ චන්ද්‍රිකා, වෙනත් අභ්‍යවකාශ යානාවන්ගෙන් ඉවත් කළ අනවශ්‍ය කොටස් ආදී අභ්‍යවකාශ සුන්බුන් පෘථිවි කක්ෂය පුරා පැතිර පවතී. බොහෝවිට මේවා එලෙස කක්ෂගතවම තිබෙන්නට ඉඩ හරින අතර සමහර අවස්ථාවන්වලදී ඒවා ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පෘථිවියට (බොහෝවිට සාගරයට) කඩා වැටීමට සලස්වයි.

එවිට එම කඩා වැටෙන සුන්බුන් මගින් උත්ස්වනික ගිගිරුම් ඇති වීම හෝ ඒවා ඉහළ අහසේදී පුපුරා යාම සිදුවිය හැකිය.

කාළගුණයේ හදිසි වෙනස් වීම් – Weather Phenomenon
මෙයද තරමක් දුරට ප්‍රබල මතයකි. 29 රාත්‍රිය වර්ෂාවෙන් හා සුළඟින් තොර, පැහැදිලි අහසක් තිබුණු රාත්‍රියක් බව සිදුවීම අත්විඳි සෑමදෙනාම පාහේ ප්‍රකාශ කළද, වර්ෂාවකින් හෝ වෙනත් කිසිදු පූර්ව ලක්ෂණයකින් තොරව එක්වරම අකුණු ඇති වීමට ඇති හැකියාව පහසුවෙන් බැහැර කළ නොහැකිය. එමෙන්ම කුඩා ප්‍රමාණයේ භූමිකම්පා (Earth Tremors) නිසාද මෙවැනි ශබ්දයන් ඇසිය හැක.


Click on the Image

හමුදා යුධ අභ්‍යාස – Military Exercises
හමුදා කඳවුරු තුළ හා සාගරයේ කෙරෙන යුධ අභ්‍යාසයන් නිසා මෙවැනි පිපිරීම් හඬ ඇති විය හැකිය. උක්ත සිදුවීමට දින කිහිපයකට පෙර යුධ අභ්‍යාසයක යෙදී සිටි රුසියානු යුධ නැව් කිහිපයක් බ්‍රිතාන්‍ය සාගර කලාපයට අනවසරයෙන් ඇතුළු වූ බවද, රාජකීය නාවුක හමුදාව විසින් ඒවා හරවා යවන ලද බවද වාර්තා විය.

ත්‍රස්තවාදී ප්‍රහාර – Terrorist Attacks
ISIS සංවිධානයේ නැගී සිටීමත් සමග බ්‍රිතාන්‍යය අන් කවරදාකටත් වඩා ත්‍රස්තවාදී තර්ජනවලට ලක් වී තිබේ. එහෙත් මෙම පිපිරීම් හඬ ත්‍රස්ත ප්‍රහාරයක් නම් ආරක්ෂක අංශ අනිවාර්යයෙන්ම පසුව හෝ ඒ පිළිබඳව දැනුවත් වී තිබිය යුතුය.

මෙම පිපිරීම් මාලාව සම්බන්ධයෙන් ඉහත සඳහන් මතවලට අමතරව කුමන්ත්‍රණවාදී මත (Conspiracy Theories) කිහිපයක්ද ඉදිරිපත් කෙරී තිබේ.

රහස් ගුවන් යානාවක මෙහෙයුමක් – A Secret Spy Plane
මෙම සිද්ධියෙන් දින කිහිපයකට පසු එන්ගලන්තයේ වෙසෙන ඉන්ජිනේරු පර්යේෂක ආචාර්ය භූපේන්ද්‍රා කන්දෙවාල් පැවසූයේ අදාළ පිපිරුම් හඬ ඔවුන් මේ දිනවල පර්යේෂණ කරමින් සිටින ස්පන්දන පිපිරුම් එන්ජිමේ (Pulse Detonation Engine) හඬට බොහෝසෙයින් සමාන බවයි.

ඒ සමගම රහස්‍ය ගුවන් යානයක් පිළිබඳව සැකයක් මහජනයා අතර පැතිරිණි. මෙම මතය දරන්නන් පවසන්නේ ඇමෙරිකානු රජය අසූව දශකයේ පමණ සිට අතිශය රහසිගතව නිපදවමින් සිටින අවුරෝරා නම් වූ අධිතාක්ෂණික ඔත්තු බැලීමේ ගුවන් යානාව 2014 නොවැම්බර් 29දා රාත්‍රියේ බ්‍රිතාන්‍ය අහසේ ගමන් කළ බවයි. නමුත් ඇමෙරිකානු රජය වසර ගණනක් තිස්සේම අවුරෝරා නමින් කිසිදු ව්‍යාපෘතියක් නොමැති බව පවසමින් මෙවැනි මතයන් ප්‍රතික්ෂේප කළේය.

පිටසක්වළ යානාවක ආගමනය – An Alien Spaceship
2014 නොවැම්බර් 29 දින රාත්‍රියේ බ්‍රිතාන්‍ය අහසේ සැරිසැරූ පිටසක්වළ යානයක් මගින් මෙම අභිරහස් පිපිරීම් හඬ නිකුත් වන්නට ඇති බව සමහරුන්ගේ මතය යි. මීට පෙරද මෙවැනි හඳුනා නොගත් යානාවන් රේඩාර් පද්ධතිවලට හසු නොවී ගමන් කර ඇති බවද, බ්‍රිතාන්‍ය රජය මෙම සිදුවීම සම්බන්ධයෙන් යම්තාක් දුරකට නිහඬ පිළිවෙතක් අනුගමනය කරනුයේ සිදුවූයේ කුමක්දැයි ඔවුන් දන්නා නිසා බවද මෙවැනි මතධාරීන් පවසති.

මෙවැනි මත බොහෝ පුද්ගලයන් විසින් විවිධ අවස්ථාවන්හිදී ඉදිරිපත් කර ඇති අතර ඒවායෙහි ඇති අත්භූත හා ආකර්ෂණීය බව නිසා ඉක්මණින්ම ප්‍රසිද්ධියට පත් වෙයි. එහෙත් මේවායේ ඇති විද්‍යාත්මක ස්වභාවය ප්‍රශ්නකාරී ය.

මමද පෞද්ගලිකව මිනිසා බිහිවී සම්භවය වූවා ලෙසම විශ්වයේ විවිධ ස්ථානයන්හිදී විවිධ ජීවීන් බිහිවන්නට ඇති බව හා මිනිසාට වඩා දියුණු පිටසක්වළ ජීව විශේෂ ඕනෑතරම් සිටිය හැකි බව තරයේ විශ්වාස කරන්නෙක්මි. නමුත් පිටසක්වළයින් පෘථිවියට පැමිණෙනවා යැයිද, මෙවැනි අත්භූත සිදුවීම් පසුපස සිටින්නේ ඔවුන් යැයිද පැවසීමට තරම් අප හදිසි විය යුතුද යන්න ගැටළුවකි.

වාර්තා වන සිදුවීම් වලින් 3% – 4% පමණ සුළු ප්‍රමාණයක් සැබැවින්ම පැහැදිලි කළ නොහැකි සිද්ධීන් තිබුණද, පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණෙන බව නිශ්චිතවම ඔප්පු කිරීමට සමත් සාක්ෂි තවමත් ලැබී නොමැත. එමෙන්ම මෙවැනි මතයන් සත්‍ය බව ඔප්පු වී නැතිවාක් මෙන්ම අසත්‍ය බව ඔප්පු වී නැති බවද අප වටහාගත යුතුය.

අවසානයේ පැවසීමට ඇත්තේ මෙම පිපිරීම් හඬ මාලාවද තවත් විසඳුම් නැති අභිරහසක් වූ බව පමණි.

තවත් තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ ලිපි සඳහා : මණ්දාකිනියෙන් ඔබ්බට – www.beyond-the-galaxy.blogspot.com

2013 වසරේ සිට "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොග් අඩවිය ලියූ අශාන් ද කොස්තා මහතා, සම්මානිත තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා බ්ලොග් රචකයෙකි. වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන ඔහු චක්‍රායුධ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා සහ පද රචකයා වශයෙන්ද කටයුතු කරයි.