මාතලේ අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය

අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් . පත්තිනි දේවිය වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා .

මාතලේ පුරවරයේ දෙමළ ජනතාව වාසය කිරීම සාමාන්‍ය දෙයක් . ඉතාම පිරිසිදු දෙමළ ජනතාවක් මේ ප්‍රදේශයේ වාසය කරනවා . මේ දෙමළ ජනතාව නිසාම හින්දු ආගම මේ ප්‍රදේශයේ වඩාත් ප්‍රචලිත වෙලා තියෙනවා . මුත්තුමාරි අම්මාන් කෝවිලත් ඇතිවෙන්නේ මේ දෙමළ ජනතාවගේ වන්දනාමාන කිරීම වෙනුවෙන් .

මේ කෝවිල පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්න හේතුවුණු යම් නිමිත්තක් තියෙනවා . දැනට වසර 200කට වගේ කලින් . ඒ කියන්නේ කෝවිල නිර්මාණය කරන්න කලින් මේ කෝවිල තියෙන ප්‍රදේශයේ දවසක් ඉතාම ලස්සන ඇඳුමෙන් සැරසුණු පුංචි ගැහැණු ළමයෙක් ඉඳලා තියෙනවා.

පහුවෙනිදා උදේ බලනකොට මේ ළමයාගේ ඇඳුන් එහෙමත් හොඳටම පරණ වෙලා නිකං හිඟන ගැහැණු දරුවෙක් වගේ පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ . මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා නල්ලමුත්තු කියලා ඉතාමත් භක්තිවන්ත දෙමළ කෙනෙක් . මේ කෙනා මේ ගැහැණු දරුවාව ඔය කියන ලස්සනට සහ වැරහැලි ඇඳගෙන ඉන්න දවස් දෙකේම දැකලා තියෙනවා .

දවසක් නල්ලමුත්තු හීනෙන් පත්තිනි දේවියව දකිනවා . පත්තිනි දේවිය නල්ලමුත්තුට කියනවා එදා ඒ කෝවිල තියෙන භූමියේ ඉන්නවා දැක්ක ගැහැණු ළමයා තමන්ම තමයි . ඒ භූමිය ශුද්ද භූමියක් . ඒ නිසා එතන පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිලක් හදවන්න කියලා .

මේ කාලේ වෙනකොට මේ ප්‍රදේශයේ හිටපු දෙමළ ජනතාව සහ වෙළඳාම් කරන්න ආව දකුණු ඉන්දීය දෙමළ ජනතාව මේ කෝවිල හදන්න දායක වෙලා තියෙනවා මේ කතාව ප්‍රසිද්ධ වුණාට පස්සේ .

කලින් මේ ස්ථානය වෙල් යායක් විදියට තමයි පැවතිලා තියෙන්නේ . ඒත් ඊට පස්සේ 1852 වසරේ තමයි මේ ඉඩම හිමි අය මේ කෝවිලට මේ ඉඩම පවරලා දීලා තියෙන්නේ . කෝවිල ඉදිකරලා තියෙන්නේ 1874 වසරේ .


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

කෝවිල හදන්න ධන පරිත්‍යාග කරලා තියෙනෙන් නාට්ටුකෝට්ටෙයි චෙට්ටියාර් කියල කෙනෙක් . කලින් ගහක් යට කුඩා පිළිමයක් තියලා වන්දනාමාන කරපු ස්ථානයේ තමයි මෙහෙම කෝවිලක් හදලා වන්දනාකිරීම ආරම්භ වෙලා තියෙන්නේ .

ටිකෙන් ටික මේ ප්‍රදේශයේ ජනතාවගේ මුදල්මය පරිත්‍යාග මේ කෝවිල අද පවතින තත්වයට සංවර්ධනය කරන්න දායක වෙලා තියෙනවා .

83 කළු ජූලිය කාලයේ මේ කෝවිලට හානි වීම් කීප වතාවක්ම සිදුවෙලා තියෙනවා . ඒත් නැවතත් කෝවිල යතා තත්වයට පත් කරලා සංවර්ධනය කරලා තියෙනවා . අද වෙනකොට කෝවිලේ පෙනුම ගැන බලනකොට විශේෂයෙන්ම කැපිලා පෙන්නේ කෝවිලේ තියෙන සුවිශාල ගෝ පුරය .

මේ ගෝපුරය අඩි 108 ක් උස වෙනවා . ඒවගේම තමයි කුඩා කුඩා පිළිම 1008 ක් මේ ගෝපුරයේ අන්තර්ගත වෙනවා . දැනට ලංකාවේ තියෙන උසම ගෝපුර වලින් එකක් කියලා තමයි මේ කෝවිලේ ගෝ පුරය හඳුන්වන්නේ .

මේ ගෝපුරය නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නේ දකුණු ඉන්දීය නිර්මාණ ශිල්පී නාගලිංගම් සහ ඔහුගේ පුත් රාමනාදන් කියන මූර්ති ශිල්පීන් දෙදෙනා . මේ දෙදෙනාට 100 ක පමණ පිරිසක් උදවු උපකාර කරලා තියෙනවා මේ කටයුත්ත සම්පූර්ණ කරන්න .

2007 වසරේ තමයි කෝවිලේ ගෝපුරයේ වැඩ කටයුතු සම්පූර්ණ කරලා අවසන් වෙලා තියෙන්නේ . ඒ වෙනකොට මේ නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 150ක් පමණ වියදම් වෙලා තියෙනවා . මේ ගෝ පුරය නිර්මාණය කරලා සායම් වලින් පින්තාරු කිරීමට කේරලීය ශිල්පීන් සහ ශ්‍රී ලාංකික ශිල්පීන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා .

අද වෙනකොට කෝවිලේ දෛනික පූජා කටයුතු වලට අමතරව වාර්ෂික උත්සවත් පැවැත්වෙනවා . මාතලේ ප්‍රදේශයේ තියෙන විශාලම ආගමික උත්සවය විදියට මේ කෝවිලේ තේරු පෙරහැර හඳුන්වන්න පුළුවන් .

පහළ තියෙන වීඩියෝ දෙකේ තියෙනවා පෙරහැර ආරම්භවෙන්න කලින් තේරු කරත්ත වලට දේව ප්‍රතිමා තැම්පත් කිරීමේ විශේෂ අවස්ථා සහ සුභ මොහොතින් තේරු කරත්ත කෝවිලෙන් පිටත්වන අවස්ථා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

තවත් ලිපි සඳහා : හස්ථිනාපුර

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.