නැන්දම්මා – ලේලි ගැටුම

? මා නිතර ‘නකුල මාතා- පිතා පුවත ඇතුළත් “පඨම සංවාස“ සුත්‍රයෙන් බණ කියනා බව මා හඳුනන බොහො දෙනෙක් දන්නා කරුණකි. මේ සිදුවීම සිදු වී දැනට වසර එකහමාරකට වඩා වැඩිය. පොහොය දිනක ධර්මදේශනාවක් අවසානයේ එක්තරා පාට ඇදුම් ඇදගත් (සිල්සමාදන් නොවූ) මහත්මියක් මා පිටත් වීමට සුදානම් වූ විට කතා කිරීමට අවශ්‍ය බව දැන්වීය. ඇය මා දන්නා එක් විහාරස්ථානය ප්‍රමුඛ පෙළේ දායිකාවකගේ ලේලියක් බව මා දැන සිටියෙමි. නමුත් කතා බහ කර තිබුනේ නැත. තවත් ධර්ම දේශනාවකට යාමට ඇති හෙයින් මා ඇයට දුරකථන අංකය දී සමුගත්තෙමි. ඊට දින දෙකකට පසු ඇය කාර්යාලීය වේලාවේ මට මානසික සහනය අපේක්ෂාවෙන් පැවසු පුවතයි මේ. ?

? ඇය විවාහ වී වසර 3ක් පමණක් ගෙවී ඇත. නමුත් තවමත් දරුවන් නැත. ඇය ස්වාමීපුරුෂයා සමග ඇය වාසය කරනුයේ ඔවුන්ගේ මහගෙදරය. එනම් නැන්දම්මා හා මාමණ්ඩී සමගය. ඉතාම සද්ධාවන්ත පොහොය දවසට නිතර පෙනෙන ඇයගේ නැන්දම්මා මම හොදින් හදුනමි. මහදෙපළට සිටියේ මේ පුතා පමණි. ඒ නිසා, නැන්දම්මා විසින් ඇය සහ සැමියා වෙනත් ගෙයට පදිංචියට යාමට අකමැති වී ඇත. මුලින් ඉතා සමීපව ලෙන්ගතුව කටයුතු කළ නිසා ඇය ද සිතා ඇත්තේ තවත් මවක් ලැබුණා කියාය.

“අනේ මට දුවලා නෑනේ දරුවො… ඔයා මට දුවෙක් වාගේ“ යැයි මුලින් නිතර නිතර නැන්දම්මා පැවසුවාලු. එහෙයින් ඇයත් සැමියාගේ නිවසේ නතර වීමට අකමැති වී නැත. වයස 60 අධික ඒ මහ දෙපළ නිවසේ යට තට්ටුවේ සිටි අතර නව යුවළට උඩ තට්ටුව සුදානම් කොට දී ඇත. නව යුවළ යෝජිත විවාහකින් මුණ ගැසී ඇත.

? ඇය ඔෆිස් යන කෙනෙකු හෙයින් නැන්දම්මා ඇයටත් සමග බත්මාළු උයන නිසාවෙන්, ඇයත් ඊට උදව් උපකාර කරන්නට විය. ටික දවසකින් ලේලියකගේ ඉවුම් පිහුම් ගැන අඩුපාඩු කියවීම ඇයට වදයක් වූ හෙයින් ඇය උයන් උදව් කිරීම නතරකොට ඇත. පළමු ගැටුම එයයි.

@elearninglk

? එක් දිනක් නැන්දම්මා හොදටම නිදා සිටි අතර ඒ බව දැනගත්තේ දෙපළ වැඩට යාමට සුදානම් වී පැමිණ පසුවය. පුතුට නැන්දම්මා පවසා ඇත්තේ “මට අද ටිකක් සනීප නෑ පුතේ“ කියාය. ලේලිය ගෙදර නතර වීමට සුදානම් වූවත් ඇය ඊට විරුද්ධව පවසා ඇත්තේ “ටිකකින් ඇරිලා යයි ඔයාලා යන්න“ කියාය. දෙවැනි දින උදෑසනද එසේම වී ඇති අතර, “ඇයි අර ලේකම් නෝනාට බැරිද උඹට උයලා කන්න දෙන්න“ යනුවෙන් පුතුට පවසනවා ලේලියට ඇසී ඇත. දෙවන ගැටුම එයයි.

? එදින සවස සැමියා සමග ටවුමට ගිය ඇය, වෙනම ඉවීම පිහීමට අවශ්‍ය කළමනා සහ බඩුමුට්ටු රැගෙන පැමිණෙන්නේ නැවත නැන්දම්මාගෙ කෑම එපා යන චේතනාවෙනි. එතැන්පටන් නැන්දම්මලා වෙනමද නවයුවළ වෙනම උයාපිහා කන්නට පුරුදු විය. එහෙත් ඊළගට ගැටලුව වූයේ කාර්යලය නිම වී ඇවිදින් උයන පිහන අතුගාන අස්කරන සියලු කාර්යයන් අයට තනිවම කරන්නට සුදුවීමය. ස්වාමීයා තේ කෝප්පය වත් නොසෝදන අතර, ඒ ගැන මතක් කළහොත් බාගෙට හොදා දමා යාම සිදුව ඇත. ඔහු හවසට රෑ 12 පමණ වනතුරු කරන එකම කටයුත්ත නම්, පරිඝණක ක්‍රීඩා (PC game) කීරීම පමණය.


Click on the Image

? ඇයට නිසිලෙස ඉවුම් පිහුම් පුරුදු නැති හෙයින් එකම වට්ටොරුවක් කෑමට සිදුවීම, ඇයගේ සැමියා හවසට මූණ ඒල්ලාගෙන සිටීම හේතුවක් විය. එක් දවසක් ඔහු කෑම නොකෑ අතර, මම අම්මාගෙන් කාලා ආවේ යැයි පැවසුවේය. ඒ තෙවන ගැටුමයි.

? පසු දින නැන්දාම්මාට ඇය පවසා ඇත්තේ “මගේ මිනිහාට කෑම දෙන්න මට පුළුවන් අම්මලා, අම්මලාගේ වැඩක්“ බලාගන්න කියාය. ඉන් දින කිහිපයකට පසුව උදේ දවල් දෙකටම සැමියා අම්මාගෙන් කෑම කන්නට පටන් ගෙන ඇති අතර, නිදාගන්නා වෙලාවට පමණක් ඉහළමාලයට යාමට පුරුදු විය.

මේ අතර තුර ඇය සති අන්තයේ කුමක් හො කියා ඇයගේ මහගෙදර යාමටද පෙළඹී ඇත. මෙලෙස වචන හුවමාරු වෙමින් වසර 3ක්ම ගෙවී ගොස් ඇති අතර, මෙම සිද්ධිය පැවසීමට සතිකීපයකට පෙර ඇතිවූ වචන හුවමාරුවකදි “තො වඳ ගෑනී“ යනුවෙන් බැන වැදී ඇත. ඇය මහත් ඉවසීමෙන් කල්ගත කරන අතර, තවත් ටික කාලයක් බලා දික්කසාද වීමට ඇයට සිදුවන බවයි පැවසූයේ. මේ එම සිද්ධිය ඉතා සංක්ෂිප්තවය.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

? (මෙතැන් පටන් කථන බසින් ලියනු ලැබේ.)

අපි මේ ගැටලු කිහිපය මනෝවිද්‍යත්මකව විමසා බලමු. මේ ඇයගෙන් හරා අවුස්සා දැනගත් කරුණුය.

?1. විවරණය. – නැන්දම්මලා මහාමයා දේවී තරම් හොද වුනත්, වෙනමම පදිංචි නොවීම මේ කාන්තාව වරද්දාගත් පළමු තැනය. බබෙක් ලැබුන පසු මහගෙවල්වල පදිංචි වූවත් මුල් අවුරුදු කිපය කුලියට හෝ වෙනත් තැනක නතර වීම සිදුකළ යුතුමය.

? 2. විවරණය – පවුලක තනිදරුවා යනු බොහෝ විට හුරතලයට හැදුනු කෙනෙකි. ජය මිසක් පරාජය ඔවුන් හදුනන්නේ නැත. රණ්ඩු වීමට දැන සිටියත් සහොදර සහොදරියන් නොසිටි හෙයන් මාන්නය බිම තබා නැවත යාලුවිමට නොදනී. විශේෂයෙන් බෙදාහදාගෙන කෑම, අනිකා ගැන වදවීම යන්න ඔවුන්ට එතරම් සමීප නැති අත්දැකීම්ය.

තනිදරුවන් ගැන කියපු එක දවසක මට එක මහත්මියක් පැවසූයේ, ඔවුන් වැසිකිළි දෙකක් භාවිතා කරන බවය. ඒ ඇයගේ මහත්තයාට, ඇය පාවිච්චි කළ වැසිකිලියට යාමට අප්පිරියයි යැයි කීම නිසාය. ? ඒ මහතාද පවුලක තනිව හැදුනු වෙනම කාමර – ටොයිලට් භාවිත කළ අයෙකි. ඒනිසා තනි දරුවන්ගේ පෞර්ෂයේ විශාල දුර්වලතා පවතී. ඔවුන් සමග කටයුතු කිරිම ලේසි නැත.

? 3. විවරණය – තනිදරුවා වීම නිසා ඔහුගේ අම්මා, සියලු වැඩ අතට පය කර දී ඇති අතර කසාද බන්දන තුරුම හවසට බත් කෑවීම ද සිදු කොට ඇත. අම්මලා සහ පුතාලා අතර පුදුමාකාර බැදීමක් පවතී. එය දුවලා ගැන තියෙනවාට වඩා වැඩි සෙනෙහසකි. තේ බීපු කෝපයවත් නොසෝදන ඔහු එක්තරා ආකාරයක අබ්බාගතයෙකි. දරුවන්ට දිය හැකි ලොකුම සම්පත යනු, අධ්‍යාපන මිළ මුදල් ගෙ දොර නොව, ලේ ඥාතිකම් බව සමහර මෝඩ අම්මලා නොදනී. දරුවා ලොකුවුනාම ඔහුට අවශ්‍ය නම් ගෙවල් දොරවල් උපයනු ඇත. එහෙත් ඔහුට මහදෙපළ මියගිය පසු තනියට කවුරුත් නැත. ඔහුගේ දරුවන්ට නැන්දලා බාප්පලා පුංචිලා මාමලා ද නැත. දක්ෂ අම්මා කෙනෙකු යනු සියලුම දේ අතට පයට කර දීම නොවේ, ස්වාධීනව තමන්ටම සියල්ල කරගතහැකි දරුවෙක් හැදීමය. හදිස්සියට පරිප්පුවක් බතක් හො හැදීමටවත් පිරිමි දරුවන් හුරුකළ යුතුය. නැතිනම් හැමදාම කසාද ගෑනිගෙන් බැනුම් ඇසීමට සිදුවේ ?

? 4. විවරණය – ලේලිගේ ඉවීම පිහීම හොද නැති වීමට කාරණා දෙකක් බලපා ඇත. පළවෙනි කරණ, හවසට තේ බිබි, අම්මාගේ තුරුලේ හුරතල් වෙන පුතාගේ ආදරය දැන් හවසට නොලැබී යාමය. නව යුවල හැන්දෑවට වෙනම තේ බිබි කුටු කුටු ගාමින් සිටීම අම්මාට වේදනාවක් වී ඇත. කාන්තාවන්ට පොදු ඊර්ෂ්‍යාව නිසා අම්මාගේ හිතට එන්නේ “මේකී මගේ ආදරය උදුරාගත්තා “ හැගීමකි. තනි දරුවෙක් හැදු ඇයට දැන් කරන්නට වැඩක් නැතිවීම ද ගැටලුවකි.

දෙවැනි කරණ නම්, ලේලිය උයන විට, ඈ ඇයගේ නියපොතු ගැන සැලකිලිමත් විය. ඇය නිතරම අලුත් පැෂන් වලට අනුව ඇදුම් අදියි. කොණ්ඩය කොට කර පාට කර ඇත. අඳින ගවුම් කොටට අඳී. මේ අලුත් ලෝකය නැන්දම්මාට ඔරොත්තු දුන්නේ නැත. ඇය පරණ ගැහැනියකි. ඇයට අනුව සැමිය එක්ක සාලයේ හුරතල් වීම හොද නැත. ලැජ්ජානැති වැඩකි. කොටට අඳින්නට හොද නැත. ලැජ්ජා නැති වැඩකි. නියපොතු වලට කරන විකාර, මූණට කරන විකාර ඇයට අනුව නිශ්ඵලය. සියල්ල අනිත්‍යය? . – කළුසුදු ටීවි එකෙන් කෝපිකඩය බැලූ අය සහ colors flat Tv වලින් දෙවැනි ඉනිම බලන අයගේ ලෝක දෙකකි. පැහැදිලිවම ලෝක දෙකකි. නවීන දේට වැඩිහිටියො ඔරොත්තු දෙනවා අඩුය. “දිරච්ච අතු නවන්නට බැරිය“. නවන්නට හොද නැත. කැඩිබීඳී යයි. ☑️

? 5. විවරණය – උදේට කෑම ඉවිම නවතා ඇත්තේ, නැන්දම්මාගේ සමවයසේ කෙනෙකු දුන් උපදෙසක් නිසාය. මේ ප්‍රශ්න නැන්දම්මා සමවයසේ වෙන කෙනකුට පවසා ඇත. ඇයගේ උපදෙස් අනුව ඇය ඉවුම් පිහුම් නතරකොට ඇත. මේ සිද්ධිය පවසනා කාලය වන විට ඇයගෙන් ස්වාමියා වෙන් කිරීමට දේවාල ගානේ යනබවද දැන ගතිමි. – සෑම දෙනෙක්ම තමන්ගේ යහළුවන්ගේ කිම් නිතර අසයි. ඒවා අනුව කටයුතු කරයි. ගෙදර කුනු නැතත් පිටතින් ඔවුන් කුණු දමයි. ගැටුම් නිර්මාණය කරයි. සමහරවිට මහත්තුරු යහළුවන් කියන දේ, තම බිරිද කියන දේට වඩා ඉස්මුදුනින් පිළිගනී.

? 6. විවරණය.- කාන්තාව වශයෙන් විවාහ වන විට යහමින් ඉවුම් පිහුම් නොදැන සිටීම ගැටලුවකි. බැන්දට පස්සේ පුරුදු වෙනවා යැයි සිතුවත් කටට රහට කන්නට හුරුවූ සැමියෙක් ලැබුනොත්, බිරිඳ ගැන අප්‍රසාදයක් ඇතිවේ. දරුවන්ට (පිරිමින්ට) කොහොමත් අම්මලාගේ කෑම රසය. එබැවින් අම්මා අතින් උයන බත් හොයාගෙන යාම අරුමයක් ද නැත. සහයෝගී ස්වාමියෙක් නොලැබුනොත් ගිහි ගෙදර ගිනිගෙදරක් වන්නට පටන් ගන්නේ කුස්සියෙනි. ඇතාගේ නිල අල්ලා ඇතා දණ ගස්සන්නාක් මෙන්, රසවත් කෑම බීම දී සමහර ඇතුන් දණ ගැස්සිය හැක. කාන්තාව ඊට දක්ෂවිය යුතුය. මහත්තරු පිටින් කෑමට හුරු වුවහොත් මුදල් නාස්තිය ද සිදුවේ. වෙනත් රසවත් කෑමට අසුවීමට ද ඉඩ ඇත.

? 7. විවරණ- සත්‍යවශයෙන්ම ස්වාමියාට ඕනෑ වුවත් ඇයට දරුවෙක් හදන්නට දැන්මම අවශ්‍යතාවක් නොමැති බව ඇය විසින් පැවසීය. එය දෙමාපියන්ට ඈ පවසා නැත. ඈට රැකියාවෙන් ඉදිරියට යාමට අවශ්‍යතාවක් ඇත. එහෙත් අන්තිමට ඇයට පවුල නොමැතිව රැකියාව ඉතිරිවෙන තත්ත්වයකුයි උදාවී ඇත්තේ. දෙකම සමබරව කරගන්නට උත්සහ කළ යුතුබවයි මගේ මතය. හැකියාවක් ඇතිනම් කාන්තාවක් රැකියාවක් කිරීම වරදක් නොවේ.


Click on the Image

?? කාන්තාවකගේ හැඟීම් කාන්තාවක් තේරුම් ගත යුතුය. බොහෝමයක් පවුල් නැන්දම්මලා නිසා විනාශ වන බව නොරහසකි. මෙය වැඩිහිටි ගැහැනු අය ද කියවනු ඇතැයි සිතමි. “කුරුල්ලන්ට නිසි කල දී පියාඹන්නට ඉඩ දෙන්න“. ධර්මයේ ඉගැන්වෙන අත්හැරීම පුරුදු කරන්න. ඔවුන්ගේ ලෝකයට අතදැමීම නතර කරන්න. බණක් භාවනාවකට හිත යොමු කරන්න. ඉල්ලීමක් කළොත් දරුමුණුපුරන්ගේ වැඩවලට සම්බන්ධවීම හා ලේලියකගේ ජිවිතය පාලනය කිරීම දෙකකි. එකක් නොවේ.

සහකම්පනයෙන් යුක්ත වෙමු. තමන් තරණ වියේදී තමන්ට මෙවැනි නැන්දම්මා කෙනෙක් ලැබුනොත් කෙසේදැයි සිතමු. ලේලියට අම්මා කෙනෙක් වෙන්නට හැකි නම්, ඇයගේ දොස් මැදිහත් සිතින් ඉවසන්නට හැකිනම් ඔබ බුදුන්වහන්සගේ සරණ ගිය මෛත්‍රී කරුණාව ප්‍රගුණ කළ වැදගත් කාන්තාවකි. තෙරුවන් සරණයි ☸️‍

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.