වෙරළට ගොඩ ගසන භාණ්ඩ ඇල්ලුවොත් වෙන දේ

May 26, 2021

දැන් තත්වය
දින කිහිපයකට පෙර ගිනි ගැනීමකට ලක් වුණු MV X-Press Pearl නෞකාවේ ගින්න පාලනය කළත්, දෙවන වරටත් MV X-Press Pearl නෞකාවේ විශාල ගිනි ගැනීමක් ඊයේ දින (2021.05.25) වාර්තා වුණා.

දෙවන වර ඇති වුණු මේ විශාල ගින්න තවමත් මුලුමනින්ම නිවා දැමීමට අපොහොසත් වෙලා තිබෙනවා. මේ වන විට ගින්න පාලනය කිරීමේ මෙහෙයුමට නෙදර්ලන්තය, බෙල්ජියම සහ ඉන්දියාවෙන් සහාය ලැබෙමින් පවතින බව වාර්තා වෙනවා. ඒ වගේම දැනට නෞකාව තිබෙන ස්ථානයේ සිට, තවත් කිලෝ මීටර 2ක් ඈතට මේ නෞකාව එපිටට ඇදගෙන යෑමටත් තීරණය වෙලා තිබෙනවා.

MV X-Press Pearl
සිංගප්පූරුවේ සිට පැමිණි බහාලුම් නෞකාවක් (Container Ship) වන MV X-Press Pearl නෞකාව මේ විදිහට ගිනි ගැනීමකට ලක් වුණේ, කොළඹ වරායට පැමිණෙමින් තිබියදියි. ඒ කොළඹ වරායට කිලෝ මීටර 18ක දුරක් තිබියදියි. පිලිපීනය, චීනය, ඉන්දියාව සහ රුසියාව ඇතුළු රටවල් කිහිපයක ජාතීන් වලින් යුතු 25ක කාර්යය මණ්ඩලයේ අය මේ අනතුරෙන් දිවි ගලවා ගැනීමට සමත් වුණා.

කන්ටේනර් 1486ක් සහිතව මේ නෞකාව කොළඹ වරායට සේන්දු වෙමින් තියෙන්නෙ ටොන් 25ක පමණ නයිට්‍රික් ඇසිඩ් ඇතුළු තවත් රසායනික ද්‍රව්‍ය බහාලුම් විශාල ප්‍රමාණයක් සමගයි.

ගින්නට හේතුව
මේ හදිසි ගින්න ගැන විධිමත් පරීක්ෂණ ආරම්භ කරලා නැතත්, නැවේ තිබුණු රසායනික ද්‍රව්‍යන් නිසා ගින්න ඇති වුණු බවයි දැනට තියෙන මතය.

ගොඩ ගසන භාණ්ඩ ඇල්ලුවොත් වෙන දේ !!!
දැනට ලැබෙන වාර්තා අනුව නෞකාවේ ගබඩා කරලා තිබුණු බහාලුම්, ඒ කියන්නෙ Container පෙට්ටි අටක් මුහුදට වැටිලා තිබෙනවා. ඒ බහාලුම් සහ ඒවායේ ගබඩා කර තිබුණු ද්‍රව්‍යයන් මේ වෙනකොටත් මීගමුව වගේ මුහුදු වෙරළ තීරයන් වලට ගොඩ ගැසෙමින් තිබෙනවා.

මේ එන ද්‍රව්‍යයන් කිසිවක් ඇල්ලීමෙන් වළකින්න කියලා තමයි බලධාරීන් අපේ රටේ ජනතාවට ලබා දෙන පණිවිඩය. ඒ විතරක් නෙවේ, ඒවා ආසන්නයටවත් යන්න එපා කියලා තමයි බලධාරීන් ප්‍රකාශ කරන්නෙ.

බලධාරීන් ඒ විදිහට දැනුවත් කිරීම් කළත්, අද දින (2021.05.26) රටේ පවතින සංචරණ සීමාද නොතකමින්, සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස්ද නොතකමින් ඒ අවට ප්‍රදේශ වල ජනතාව, අද පාන්දර 4.00 සිටම මහා පරිමාණයෙන් මේ වෙරළ තීරයන් වලට පැමිණෙමින් තිබෙනවා.

ඒ, වෙරළට ගොඩ ගසන භාණ්ඩ (විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය) තම තමන්ගේ නිවාස වලට රැගෙන යෑමටයි.

නෞකාවෙන් ගොඩ ගසන භාණ්ඩ අසලට යෑමෙන් වළකින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නෞකාවේ තිබුණු විෂ රසායනික ද්‍රව්‍ය සහ මුහුදු වතුර සමග මෙම බහාලුම් මිශ්‍ර වී තිබෙන නිසයි.

මේ නිසා මෙම භාණ්ඩ අසලට යෑමෙන් සහ මේවා ඇල්ලීමෙන් ශ්වසන අපහසුතා, සම පිච්චීම්, තුවාල වීම් වගේම විකිරණ සහිත ද්‍රව්‍යයන් ඔස්සේ පසු කාලීනව පිළිකා තත්වයන් පවා ඇති වීමේ විශාල අවධානමක් පවතිනවා. භාණ්ඩ ඇල්ලීමෙන් වැළකුණත් භාණ්ඩ අසලට යෑමෙන් ඇසට නොපෙනෙන අහිතකර විෂ ද්‍රව්‍යයන් සුළග සහ වාතය මගින් ව්‍යාප්ත වීමේ අවදානමකුත් පවතිනවා.

බහාලුම් වල තිබෙන ආහාර ද්‍රව්‍යයන් පරිභෝජනය කිරීමෙන් වගේම ශරීරයේ තියෙන තුවාල හරහාත් ඒ විෂ ද්‍රව්‍යයන්, ශරීර තුළට ඇතුළත් වෙන්න පුලුවන්. මීට අමතරව විෂ රසායන ද්‍රව්‍ය මුහුදට සහ මුහුදු වෙරළ තීරයන් වලට මිශ්‍ර වීම හේතුවෙන්, ඒ ආශ්‍රිත ප්‍රදේශයන් වල ධීවර කටයුතු සිදු කිරීමත් ඉදිරියේදී විශාල අවදානමක්.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...