නිජර් අර්බුදය ආගමික ගැටුමක් කරා යයිද?
ජූලි මාසයේ අවසන් සතියේ සිට ලෝකයේ අවධානය යොමුවූ අර්බුදයක් වුණේ නිජර් රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණය සහ ඒ පිළිබඳ ඇතිවූ මතභේදයයි.
ජූලි 26 වනදා නිජර් හි ජනාධිපති මොහොමඩ් බසූම් ඔහුගේ ජනාධිපති ආරක්ෂක ඒකකය විසින් රඳවාගෙන ඇති බවට පුවතක් වාර්තා වූ අතර පසුව එය යුධ හමුදාව විසින් බලය අල්ලාගැනීමක් බව පැහැදිලි වුණා. දින කිහිපයක් තුළ ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියාව සිටි අබ්දුරහමන් චියානි නව හමුදා පාලනයේ ප්‍රධානියා ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
බසූම් රඳවාගැනීමෙන් දිනක් යන්නට මත්තෙන් බටහිර රටවලින් එම ක්‍රියාව හෙළාදකින ප්‍රකාශයන් පැමිණි අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද බසූම් වෙත සිය සහය පළකර සිටියා. බටහිර අප්‍රිකාවේ සහ සහේල් හලාපයේ බටහිරට සිටි වැදගත්ම මිතුරකු ලෙස නිජර් හි බසූම් පාලනය සලකන ලද බව එහිදී තවත් පැහැදිලි වුණා.
බසූම් නැවත ධුරයෙහි පිහිටුවීමට හමුදා පාලනය ක්‍රියා නොකළහොත් ඊට එරෙහිව ගත හැකි ඕනෑම පියවරක් ගන්නට සූදානම් බව බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව (ECOWAS) විසින් ප්‍රකාශ කිරීමට යෙදුණේ මේ අතරවාරයේ යි. එම ආයතනයේ වත්මන් සභාපතිත්වය දරන නයිජීරියාවේ ජනාධිපතිවරයා මේ බව පැහැදිලි ලෙස ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් නිජර් හමුදා පාලනය එම අනතුරු ඇඟවීම ගණනකට ගන්නා බවක් පෙනුණේ ද නැහැ. ඔවුන් වෙත යාබද මාලි සහ බුර්කිනා ෆාසෝ හි සහය ලැබීමත් මෙහිදී වැදගත් සිදුවීමක් වුණා. එම රාජ්‍යයන් දෙක ද මේ වනවිට පාලනය කරනු ලබන්නේ හමුදා පාලකයන් විසින්. ECOWAS සංවිධානය නිජර් පාලනයට එරෙහිව හමුදාමය ක්‍රියාදාමයක් ගතහොත් එය තමන්ට එරෙහිව කරන යුධ ප්‍රකාශ කිරීමක් සේ සලකන බව මාලි හා බුර්කිනා ෆාසෝ රාජ්‍යයන් සඳහන් කළා.
ECOWAS සංවිධානය නිජර් රාජ්‍යයට එරෙහිව සම්බාධක පැනවීමට ක්‍රියා කළා. එමගින් එරටට නයිජීරියාව හරහා සැපයෙන විදුලිය ද කපාහරිනු ලැබුණු අතර එරටට ඇතුල්වන මාර්ග ද වසාදැමුණා. නිජර් හි වෙළෙඳාමේ සැලකියයුතු පංගුවක් නයිජීරියාව හරහා සිදුවන බැවින් මෙම සම්බාධක නිසාවෙන් නිජර් හි බඩුමිල ඉහළ ගොස් ජනතාව අපහසුතාවට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් නව හමුදා පාලනයට රටේ සැලකියයුතු සහයක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ගතවූ සති අන්ත කිහිපයකම හමුදා පාලනයට සහය දෙන විශාල රැලි නියාමේ අගනුවරදී පවත්වනු ලැබුණා.
මේ අතර යුධ හමුදාව ද ECOWAS හි හමුදාමය මැදිහත්වීමකට මුහුණදීමට තමන් සූදානම් බව පවසා සිටිනවා.
හමුදාමය මැදිහත්වීමක් කරන බවට අනතුරු ඇඟවූව ද ECOWAS සංවිධානයට ඒ සඳහා එකවර ක්‍රියාත්මක වීමේ අවකාශ තිබුණේ නැහැ. එක් අතකින් එවන් කඩිනම් පියවරකට අවශ්‍ය හමුදා ඒකරාශි කරගැනීමේ දුෂ්කරතා මතුව තිබුණා. අනෙක් අතට නයිජීරියාව තුළින් මතුවූ විරෝධය ද ඔවුන් මුහුණදුන් ගැටළුවක් වුණා.
ECOWAS හි ප්‍රධාන සාමාජිකයා වන නයිජීරියාව මෙහිදී අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වීමට කරුණු කිහිපයක් බලපානවා. එක් අතකින් නයිජීරියාව සතු හමුදා ශක්තිය අනෙකුත් සියළු රාජ්‍යයකටම වඩා විශාලයි.
එමෙන්ම නිජර් වෙත හමුදාමය මැදිහත්වීමක් කරන්නේ නම් එය නයිජීරියාව ඔස්සේ ම විය යුතුයි.
නිජර් අවට පිහිටි මාලි සහ බුර්කිනා ෆාසෝ රාජ්‍යයන් එරටට සහය පළ කිරීමත්, චැඩ් සහ ඇල්ජීරියාව එවැනි හමුදාමය පියවරකට මැදිහත් නොවන බව ප්‍රකාශ කිරීමත් (ඒ රටවල් ECOWAS සාමාජිකයන් ද නොවේ) ඊට හේතුවයි.
නමුත් නයිජීරියාවේ මෙන්ම තවත් ඇතැම් රටවල ද මෙම යුධමය විසඳුම කෙරේ විශාල විවේචන මතුව තිබෙනවා. තම රටවල් විවිධ ප්‍රශ්නවල ගිලී සිටියදී තවත් හමුදාමය ක්‍රියාදාමයක් කරා යොමුවීම කෙතරම් නුවණැති ක්‍රියාවක්දැයි මෙම විවේචකයන් ප්‍රශ්න කරනවා.
විශේෂයෙන්ම නයිජීරියාව සැලකූවද, උතුරුදිග නයිජීරියාවේ මුස්ලිම්වරුන් හා දකුණුදිග නයිජීරියාවේ ක්‍රිස්තියානින් අතර මතභේද, ඉඩම් පිළිබඳ ගැටුම්, ඉස්ලාමීය කැරලිකාර කණ්ඩායම්, ආර්ථික අර්බුදය වැනි ප්‍රශ්නවල එරට ගැලී සිටිනවා. එවන් පසුබිමක යුද්ධයක් කරා යොමුවීම එරටට කවරාකාරයේ බලපෑමක් කරයිද යන ප්‍රශ්නය පැන නැගෙනවා.
මේ අතර කලාපයේ ඇතැම් විචාරකයින් බිය පළකරන තවත් කරුණක් වන්නේ නිජර් වෙත පහර දීමෙන් ආගමික සහ වාර්ගික ගැටුමකට පාර කැපීමේ අවදානමයි. නිජර් හි බහුතර ජනවර්ගය හවුසාවරුන් වන අතර නයිජීරියාවේ ද උතුරුදිග පෙදෙස්වල ජීවත් වන්නේ එම ජනවර්ගයයි. ඔවුන් මුස්ලිම්වරුන් වනවා.
නිජර් වෙත මිලිටරි ක්‍රියාදාමයක් ගන්නේ නම් එයට මග වැටී ඇත්තේ ද නයිජීරියාව හරහායි. එවිට නයිජීරියාවේ හවුසාවරුන් කවර ප්‍රතිචාරයක් දක්වනු ඇතිද යන්න අවිනිශ්චිත බවයි ඇතැම් විචාරකයන්ගේ මතය වන්නේ. මෙය කිසියම් හෙයකින් ආගමික, වාර්ගික ගැටුමක් කරා යොමුවිය හැකි යයි බියක් පැන නැගී තිබෙනවා.
@elearninglk
මෙවන් අවිනිශ්චිතතා මැද කිසියම් හමුදාමය ක්‍රියාදාමයක් ගෙන, එය දිගින් දිගට ඇදෙන තත්ත්වයක් මතු වුවහොත් ඊට සම්බන්ධ වන රටවලට එය ද අනවශ්‍ය ප්‍රශ්නයක් බවට පත්වීමට හැකියාවක් තිබෙනවා. මෙම කරුණ ද බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාවේ අවධානයට යොමුවන බව නිසැකයි.
මුලින් කළ අනතුරු ඇඟවීම හේතුවෙන් මිලිටරි මැදිහත්වීමක් සඳහා වන විකල්පය අතැර දැමීමට එම රටවලට නොහැකියි. එහෙයින් එම අනතුරු ඇඟවීම දිගටම පවත්වා ගනිමින් ඔවුන් දේශපාලනික වශයෙන් ගැටළුව විසඳාගන්නට උත්සාහ කරනවා. මේ අතර විශේෂයෙන්ම ජාතිකවාදී අප්‍රිකානුවන් පෙන්වා දෙන්නේ ECOWAS හි මිලිටරි තර්ජන පිටිපස සිටින හස්තය ප්‍රංශය බවයි. ECOWAS රටවල් මෙම තර්ජන කරන්නේ ප්‍රංශයේ අවශ්‍යතාව අනුව බවයි ඔවුන් පවසා සිටින්නේ.