උතුරු කොරියාව නැවතත් මිසයිල අත්හදාබලයි

March 25, 2021

උතුරු කොරියාව අද උදෑසන බැලිස්ටික් මිසයිල දෙකක් අත්හදාබලා ඇතැයි වාර්තා වුණා.

උතුරු කොරියාවේ නැගෙනගිර වෙරළබඩ ප්‍රදේශයෙන් විදින ලද මෙම මිසයිල ජපානයේ අනන්‍ය ආර්ථක කලාපයට මදක් ඔබ්බෙන් සාගරයට පතිත වූ බව ජපන් රජය ප්‍රකාශ කළා.

මෙම ක්‍රියාව එක්සත් ජාතීන්ගේ යෝජනා උල්ලංඝනය කිරීමක් ලෙස ජපන් අගමැති යොෂිහිදේ සුගා විසින් හඳුන්වනු ලැබුණා. එමෙන්ම මේ සමගම ජපානය සිය ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් ද කැඳවූවා. දකුණු කොරියාව ද ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවූවා.

වැදගත් සන්ධිස්ථානයක්
ජපන් අගමැතිවරයා පෙන්වා දුන්නේ මෙම අත්හදාබැලීම වසරකට පසුව උතුරු කොරියාව විසින් කළ පළමු බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම බවයි. එමෙන්ම ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වූ පසු උතුරු කොරියාව විසින් සිදුකරන ලද පළමු බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම බවට මෙය පත්වනවා. තවද, ජපන් අගමැති සුගා එම ධුරයට පත්වූ පසු ද උතුරු කොරියාව විසින් සිදුකළ පළමු බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම මෙය වනවා.

කෙසේ නමුත් පසුගිය සමය පුරා යොෂිහිදේ සුගා ජපන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රබලයකුව සිටි බැවින් මෙවන් අවස්ථා පිළිබඳ ඔහුට අත්දැකීම් රැසක් තිබෙනවා. 2017 සැප්තැම්බරයේදී උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදාබැලීමක් සිදුකළ අවස්ථාවේ ජපන් කැබිනට් ප්‍රකාශකයා වූයේ ද සුගා යි.


යොෂිහිදේ සුගා (Getty Images)

නවතම උතුරු කොරියානු අත්හදාබැලීම් සිදුවූයේ වැදගත් සන්ධිස්ථානයක් අබියසයි. ඇමරිකා එක්සත් ජනපදය සිය උතුරු කොරියානු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය අවසන් කරමින් සිටින බව වාර්තා වූයේ මින් දිනකට හෝ දෙකකට පෙරයි. තව දින කිහිපයකින් එරට සංචාරය කිරීමට නියමිතව සිටි ජපාන සහ දකුණු කොරියානු ජාතික ආරක්ෂක උපදේශකයින් වෙත ඒ පිළිබඳ මුලින්ම දැනුවත් කිරීමට ඇමරිකාව සූදානමින් සිටියා.

මෙම දෙරටෙහි ආරක්ෂක උපදේශකයන් ඇමරිකාවේදී සිය සම තනතුරු දරන්නා වන ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් හමුවීමට නියමිතව තිබුණා. අලුත් තත්ත්වය යටතේ මෙම ඇමරිකානු ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කිරීමට වුවද ඉඩ තිබෙනවා.

උතුරු කොරියාව සහ ඇමරිකාව අතර තත්ත්වය පසුගිය සමයේ කෙමෙන් කෙමෙන් උණුසුම් අතට හැරෙමින් පැවතුණා. පසුගිය සති අන්තයේ ද උතුරු කොරියාව කෙටිදුර මිසයිල අත්හදාබැලීම් සිදුකළ බව ඇමරිකානු නිලධාරීන් දන්වා සිටියා. එසේ වෙතත් එය සාමාන්‍ය අත්හදාබැලීමක් විනා එක්සත් ජාතීන්ගේ යෝජනා කඩ කරන ආකාරයේ ක්‍රියාවන් නොවන බවයි ඇමරිකාව පැවසූයේ.


2020 ඔක්තෝබර් 10 වනදා හමුදා පෙළපාලියක ගෙනගිය නවතම මිසයිලයක් (KCNA)

මේ අතර, පසුගිය දිනෙක උතුරු කිරියානු නායකයාගේ සහෝදරිය වන කිම් යෝ-ජොංග් ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදයට සුවබර නින්දක් අවශ්‍ය නම් අනවශ්‍ය බලපෑම් නැවැත්විය යුතු බවයි. දකුණු කොරියාව සමග කෙරෙන යුධ අභ්‍යාස දිගටම පවත්වාගෙන යන්නේ නම් තමන් වෙතින් ඊට ප්‍රතිචාර ද බලාපොරොත්තු වියයුතු බව ඇය එයින් අඟවා තිබුණා.

කිම් යෝ-ජොංග් විසින් මෙම ප්‍රකාශය කරන ලද්දේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ආසියාවේ කරනලද සංචාරයන් හා සමගාමීව වීම ද විශේෂයක්.


උතුරු කොරියාව සහ දකුණු කොරියාව​ (VoA)

එමෙන්ම උතුරු කොරියාව සමග පවතින අර්බුද සමථයකට පත්කරගැනීම සඳහා විවිධ මාර්ගවලින් එම පාලනය සමග සම්බන්ධතා ගොඩනගාගැනීමට තමන් උත්සාහ කළ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මෑතකදී ප්‍රකාශ කළා. ඊට උතුරු කොරියාව පාර්ශවයෙන් ප්‍රතිචාරයක් නොලැබුණ බවයි බ්ලින්කන් කියා සිටියේ.

සාමාන්‍යයෙන් උතුරු කොරියාව කිසියම් ප්‍රකාශයක් හෝ මිසයිල අත්හදාබැලීමක් සිදුකරන්නේ යම් වැදගත් සිදුවීමක් සමග සමගාමීවයි. ඇමරිකානු, ජපන් සහ දකුණු කොරියානු ජාතික ආරක්ෂක උපදේශකයන් අතර හමුවීම් පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම ඊට හොඳ උදාහරණයක්.

එමෙන්ම මෙම අත්හදාබැලීම් සිදුවූයේ ජපානයේදී ඔලිම්පික් පන්දම ධාවනය ආරම්භ වීමට නියමිතව තිබූ දිනයේමයි. කෙසේ වෙතත් එම කටයුතු බාධාවකින් තොරව ක්‍රියාවට නගනු ලැබුණා.

ට්‍රම්ප් සමයේ ප්‍රතිපත්ති
උතුරු කොරියාව සම්බන්ධයෙන් පසුගිය ට්‍රම්ප් පාලනය විවිධ අවස්ථාවන් හි විවිධ ප්‍රතිපත්ති අනුගමනය කළා. බලයට පත්වූ විගසම පාහේ උතුරු කොරියාව සමග ගැටෙන ප්‍රතිපත්තියක් ට්‍රම්ප් ගෙනගිය අතර 2017 දී සිදුවූ උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදාබැලීම් සමග එම තත්ත්වය තවත් උණුසුම් අතට හැරුණා.

කෙසේ වෙතත් 2018 මුලදී තත්ත්වය වෙනස් වීමට පටන් ගැනුණා. එම වසරේ ජූනි 12 වනදා සිංගප්පූරුවේදී සිදුවූ ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අතර ඓතිහාසික හමුව ඊට පැහැදිලි සාක්ෂියක් වුණා.


කිම් සහ ට්‍රම්ප් සිංගප්පූරුවේදී (The Straits Times)

කෙසේ වෙතත් දෙරට අතර මෙසේ මතුවූ එකඟතාවය කල් පැවතුණේ නැහැ. ට්‍රම්ප් සහ කිම් අතර දෙවන හමුව 2019 මුල දී වියට්නාමයේ හැනෝයි නගරයේ සිදුවූ අතර එම සාකච්ඡා අතරමග ඇණහිටියා. ඉන් අනතුරුව එම වසරේම ජූනි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවේදී කිම් ජොංග්-උන් හමුවුණා. කෙසේ වෙතත් එය ඉතා කෙටි හමුවක් වූ අතර එයින් පසු නැවත ඔවුන් දෙදෙනා අතර හමුවක් සිදුවූයේ නැහැ.

දෙපාර්ශවය අතර සාකච්ඡා බිඳවැටීමට හේතු වූයේ කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටිකහරණය සහ උතුරු කොරියාවට එරෙහි සම්බාධක පිළිබඳ එකඟතාවයකට පැමිණීමට නොහැකි වීමයි.

සම්බාධක සියල්ල එකවර ඉවත් කිරීමට ඇමරිකාව සූදානම් වූයේ නැහැ. එහෙයින් උතුරු කොරියාව ද න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අතැර දමන්නට සූදානම් වූයේ නැහැ. එහෙයින් එම සාකච්ඡා එකඟතාවයකින් තොරව ඇණ සිටියා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.