බොරතෙල් සංචිත එළියට

November 26, 2021

පසුගිය දිනයක බොරතෙල් සහ පෙට්‍රෝලියම් ගැනුම්කාර රටවල් කිහිපයක් සිය බොරතෙල් සංචිතවලින් කොටසක් නිකුත් කිරීමට කටයුතු කළා. ඇමරිකාව සහ චීනය යන දෙරටම මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළා. ඊට අමතරව ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව සහ බ්‍රිතාන්‍යය ද ඊට එක්ව තිබුණා.

මේ ක්‍රියාමාර්ගයට හේතු වී තිබුණේ බොරතෙල් සහ පෙට්‍රෝලියම් නිපදවන ඔපෙක් සංවිධානයේ (Organization of Petroleum Exporting Countries) රටවල් සහ අනෙකුත් රටවල් (OPEC +) තෙල් මිල පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන්නේය යන චෝදනාවයි.

පසුගිය දිනවල ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක වටිනාකම ඇමරිකන් ඩොලර් 86 පමණ දක්වා ඉහළ ගිය අතර තෙල් මිල පාලනය කිරීම උදෙසා තෙල් නිෂ්පාදනය ඉහළ නංවන ලෙස ඔපෙක් රටවලින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රමාණවත් ප්‍රතිචාර ලැබුණේ නැහැ. මේ අනුව ප්‍රධාන තෙල් ගැනුම්කරුවන් වන රටවල් කිහිපයක් මෙසේ සිය සංචිතවලින් තෙල් නිදහස් කර තිබුණා.

සංචිතවල අවශ්‍යතාව
ඛනිජ තෙල් යනු වර්තමානයේ අත්‍යවශ්‍යම බලශක්ති ප්‍රභවයක් බැවින් විශේෂයෙන්ම සිය අවශ්‍යතාවලට සරිලන තරම් නිෂ්පාදනය කළ නොහැකි රටවල් බොරතෙල් සංචිත ළඟ තබා ගන්නවා. දීර්ඝ කාලයක් තෙල් සැපයුම ඇණහිටින යම් හේතුවක් මතු වුවහොත් මෙම සංචිත එතරම් ඵලක් වන්නේ නැහැ. උදාහරණයක් ලෙස ඉන්දියාවේ මධ්‍යම ගබඩාවල ඇත්තේ දින දහසයක පමණ ආනයන අවශ්‍යතා සපයාගත හැකි සංචිත පමණයි. කෙසේ වෙතත් ඉන්දියාව සිය සංචිත වැඩි කිරීමට කටයුතු කරමින් සිටිනවා. එරට ඉදි කරමින් හෝ ඉදිකිරීමට සූදානමින් හෝ සිටින තෙල් ගබඩා සංකීර්ණ තුනක් වනවා. මීට අමතරව පිරිපහදු ආශ්‍රිතව ද තෙල් සංචිත තිබෙනවා.


ඉන්දියාව සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 16 ක් දේශීයව නිපදවනවා

කෙසේ වෙතත්, යුධ තත්ත්වයක් හෝ ස්වාභාවික උවදුරු හෝ හේතුවෙන් ඛනිජ තෙල් සැපයුම අඩාල වන අවස්ථාවකදී මෙවන් සංචිත වැදගත් වනවා. ඇමරිකා එක්සත් ජනපදය ස්වාභාවික උවදුරුවලින් සැපයුම් දාමයන්ට වන බලපෑම පාලනය කිරීමට සිය සංචිත යොදාගන්නා රටක්. ඇමරිකාවේ තෙල් ළිංවලින් සැලකියයුතු ප්‍රමාණයක් තිබෙන්නේ මෙක්සිකෝ බොක්ක ආශ්‍රිතවයි. එහෙයින් විශාල කුණාටුවක් අවස්ථාවක එහි කටයුතුවලට බාධා එල්ල වුවහොත් ජාතික සංචිතවලින් යම් ප්‍රමාණයක් නිදහස් කළ හැකියි. පසුගිය දශක දෙකේදී කිහිප වරක් එය සිදුව තිබෙනවා.

සංචිත නිදහස් කිරීම
2021 නොවැම්බර් 23 වනදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තම ජාතික සංචිතවලින් බොරතෙල් බැරල් මිලියන 50 ක් නිකුත් කිරීමට නියම කළා. ඒ සමගම ඉන්දියාව ද සිය සංචිතවලින් බොරතෙල් බැරල් මිලියන 5 ක් නිදහස් කරන බව දන්වා සිටියා. බ්‍රිතාන්‍යය, ජපානය, දකුණු කොරියාව යන රටවල්ද බැරල් මිලියන කිහිපය බැගින් නිකුත් කිරීමට කටයුතු කළා. චීනය බොරතෙල් බැරල් මිලියන 7.5 ක් නිකුත් කරන ලද බව අනුමාන කෙරෙනවා.

යුරෝපා සංගමය මෙම ගැටළුවට අතදැමීමෙන් වැළකී සිටියා. ඔවුන් සිය සංචිත නිකුත් කළේ නැහැ.


ජනාධිපති ජෝ බයිඩන්

මෙසේ නිකුත් කරන ලද සංචිත ප්‍රමාණය විශාල නොවූයෙන් එය සංකේතාත්මක කටයුත්තක් බව කිව හැකියි. උදාහරණයක් ලෙස ගතහොත් ඉන්දියාව විසින් නිකුත් කළ ප්‍රමාණය එරට දෛනික අවශ්‍යතාවයට වඩා ස්වල්පයක් වැඩි වන ප්‍රමාණයක්. ඇමරිකාව හැරුණු විට අන් සියළු රටවල් නිකුත් කළේ ඉතා අඩු තෙල් ප්‍රමාණයක් බව පෙනී යනවා.

ප්‍රායෝගිකව බොරතෙල් සංචිතවලින් නිදහස් කළ පමණින් එය වෙළෙඳපොලට එන්නේ නැහැ. ඇමරිකාව හෝ ඉන්දියාව වැනි රටවල ඊට සති දෙකක් පමණ ගතවනවා. නමුත් මෙසේ නිකුත් කිරීමේ තීරණ ප්‍රකාශයට පත්වීමත් සමග තෙල් මිල යම් පමණකින් අඩුවුණා. එහෙයින් සංකේතාත්මක පියවරක් වුවද එය යම් බලපෑමක් ඇතිකළා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඔපෙක් සංවිධානයේ ඉදිරි පියවර
ඔපෙක් සංවිධානය පසුගිය ජූලි මාසයේදී ප්‍රකාශ කළේ ඉහළ යන තෙල් මිල පාලනය උදෙසා දිනකට බොර තෙල් බැරල් 400,000 ක සිය නිෂ්පාදනයේ වැඩිවීමක් මාසයෙන් මාසයට සිදුකරන බවයි. කෙසේ වෙතත් ඔවුන් එම ඉලක්කය සපුරාලීමට ද සමත්ව නැහැ.

නොවැම්බර් මුලදී පවත්වන ලද ඔපෙක් රැස්වීමේදී ද නිෂ්පාදනය වේගවත් කිරීමට තීරණයක් ගනු ලැබූයේ නැහැ.


ලෝක තෙල් මිල පාලනය කරන එක් බලවතෙක් වන්නේ ඔපෙක් සංවිධානයයි (Reuters)

කෙසේ වෙතත් දෙසැම්බරය මුලදී පැවැත්වීමට නියමිත අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවලදී තෙල් මිල පිළිබඳ යම් වෙනස් තීරණයක් ගැනීමට එම සංවිධානය කටයුතු කරනු ඇතැයි කසු කුසු පවතිනවා. ඔපෙක් සංවිධානය පසුගිය දශක පහකට ආසන්න කාලයක් තුළ ඒකාබද්ධ ලෙස කේවල් කිරීමේ බලය භාවිතා කළා. ඉතිහාසයේ පළමු වතාවට ගැනුම්කරුවන් කේවල් කිරීමට පටන්ගෙන තිබෙනවා.

ඒ සමගම තෙල් මිල පාලනයේ බලය නැවත සියතට ගැනීමට ඔපෙක් රටවල් කටයුතු කරනු ඇතැයි රාවයන් තිබෙනවා. එනම් දෙසැම්බර් 2 වනදා පැවැත්වෙන රැස්වීමෙන් පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල යළි ඉහළ යා හැකියි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.