අනුරාධපුරයේ ඔබ නොදුටු තවත් පුරාවිද්‍යා නටබුන්
eLearning.lk බ්ලොග් අඩවිය හරහා අපි පසුගිය දින කිහිපයේම අපේ පාඨකයන්ට අනුරාධපුරයේ ආරාම සංකීර්ණ ගැන ලිපි මාලාවක් ගෙන ආවා. ඒ අතර අපි අභයගිරිය, ජේතවනාරාමය, මිහින්තලය, ඇතුළු නුවර, ථූපාරාමය, ඉසින්බැස්සගල වගේ ස්ථාන ගැන සාකච්ඡා කළා. ඒ ලිපි මාලාවට, හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා අපි හිතුවා අනුරාධපුර පූජා නගරයේ තැන් තැන් වල සහ නගරයෙන් පිටත විසිරිලා තියෙන තවත් පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයක් ගැන තොරතුරු ගෙන එන්න. හැබැයි මේවා ආරාම සංකීර්ණ නම් නෙවේ. ගොඩක් වෙලාවට හුදෙකලාව හෝ වෙන් වෙන් වශයෙන් පවතින ස්ථාන…
01. මයුර පිරිවෙන
මහා විහාරයට අයිති වුණු මේ පිරිවෙන නිර්මාණය කරලා තියෙන්නෙ බුද්ධදාස රජ්ජුරුවො. මේ පිරිවෙන පිහිටලා තියෙන්නෙ ශ්‍රී මහා බෝධියට නිරිත දෙසින්. ඒ කියන්නෙ ශ්‍රී මහා බෝධියේ බටහිර දොරටුව ආසන්නයේ. මහා වංශයේ තියෙන විදිහට පිරිවෙනේ නඩත්තුවට, රජ්ජුරුවො ගම්වර හිටං පූජා කරලා තියෙනවලු. පස්සෙ කාලෙක මේක ධාතුසේන සහ මහානාග රජවරුන් විසිනුත් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා.
මෙතන අද වෙනකොට නම් ඉතුරුවෙලා තියෙන්නෙ ගොඩනැගිලි තුනක නටබුන් විතරයි. ප්‍රධාන ගොඩනැගිල්ලේ ලස්සන කැටයම් තියෙන කුළුණු ගොඩක් ඉතුරුවෙලා තියෙනවා. ඒ වගේම කොරවක්ගල්, පඩිපෙල්, සදකඩ පහණ් කිහිපයකුත් තියෙනවා. 2011 අවුරුද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරපු කැණීම්වලින් පෙති උළු, ගොඩල්, වළං කටු, ඇණ සහ පබළු හොයාගෙන තියෙනවා.
02. ගල් පාලම
අනුරාධපුරයේ පෙරිමියන්කුලම හරහා යන පාරේ දකුණු පැත්තෙන් හමුවෙන වෙල් යාය දිගේ ගියාම ගල් පාලම පිහිටලා තියෙන ස්ථානයට පිවිසෙන්න පුලුවන්. මේ ගල් පාලම නිර්මාණය වෙලා තියෙන්නෙ මල්වතු ඔය හරහා. අවුරුදු දෙදහස් ගාණක් ගිහිල්ලත් මල්වතු ඔය හරහා හිටවලා තියෙන ගල් කණු තාමත් ඒ විදිහටම තිබීම පුදුම හිතෙන කාරණාවක්.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දඹකොළ පටුනට වඩම්මවපු ශ්‍රී මහා බෝධිය එතන ඉදලා මහමෙව්නා උයනට යනකන්ම වඩම්මවලා තියෙන්නෙ චතුරංගනී සේනාවෙන් සැරසුනු පෙරහැරකින්. මේ පෙරහැර මහමෙව්නා උයනට ගිහින් තියෙන්නෙ මේ ගල් පාලම මතින්. ඒ කියන්නෙ මේ ගල් පාලම සංඝමිත්තා මහරහත් තෙරණියගේ පාද ස්පර්ශය ලබලා තියෙනවා.
03. දක්ඛින ස්තූපය
දක්ඛින ස්තූපය පිහිටලා තියෙන්නේ අනුරාධපුරයේ මිහිදු මාවතේ. ඒ කියන්නේ වර්තමානයේ නිර්මාණය වෙමින් තියෙන සදහිරු සෑය එහා පැත්තේ. නගරයේ දකුණු දිශාවෙන් පිහිටලා තියෙන නිසා තමයි මේකට “දක්ඛින ස්තූපය” කියලා කියන්නෙ. ඒ වගේම “දකුණු දාගැබ” කියලත් කියනවා. මේ චෛත්‍යය වළගම්බා රජතුමාගේ අමාත්‍යවරයෙක් විසින් ඉදි කළා කියලා තමයි දැනට පවතින මතය. තාමත් හරියාකාරව අවධානයකට ලක් වෙලා නැති, ගරා වැටුනු මේ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නේ සුවිශේෂී භූමියක.
වංශ කතාවලට අනුව තමන්ගේ ආදාහනය මේ ස්ථානයේ සිද්ධ කරන්න ඕන කියලා මිහිදු හාමුදුරුවො, දේවානම්පියතිස්ස රජතුමාට දන්වලා තියෙනවා. ඒ වගේම ඉතිහාසය අනුව දුටුගැමුණු මහ රජතුමාගේ ආදාහනය සිද්ධ කරලා තියෙන්නෙත් මේ ස්ථානයේදීමයි. දුටුගැමුණු රජතුමාගේ ආදාහනය සිදු කරපු ස්ථානය මත නිර්මාණය වුණු මෙ දැවැන්ත ස්තූපයෙන් දුටුගැමුණු මහ රජතුමාගේ භෂ්මාවශේෂ හොයා ගත්තා. මේවා මහ රජතුමාගෙම භෂ්මාවශේෂ බව සෙනරත් පරණවිතාන ශූරීනුත් තහවුරු කළා. අද වෙනකොට ඒවා ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව තියෙනවා.
දක්ඛින ස්තූපය වටේටම ඉපැරණි නටබුන් රැසක්ම නිරීක්ෂණය කරන්න පුලුවන්. ඒ අතර කුඩා ප්‍රමාණයේ ඇතෙකුගේ කැටයමකුත් දකින්න පුලුවන්. චෛත්‍යයේ පැති දෙකක ශිලා ස්ථම්භ දෙකක් තියෙනවා. මේ දෙකේම දෙපැත්තේ ලස්සන කැටයම් තියෙනවා. එක ස්ථම්භයක මානව රූපයක් සහ පුන්කලස් සහිත ලියවැලකුත්, අනිත් ස්ථම්භයේ සත්ව රූප සහිත ලියවැලකුත් කැටයම් කරලා තියෙනවා.
04. බටහිරාරාමය – A කලාපය
පධනාගර, පශ්චිමාරාම, පතනගල, පියංගල වගේ නම්වලින් හදුන්වන බටහිරාරාම විහාර සංකීර්ණය පිහිටලා තියෙන්නෙ අනුරාධපුරයේ ලෝලුගස් වැව ආසන්නයේ. මේ ස්ථානයේ වැදගත්කම, ප්රාග් බෞද්ධ යුගය දක්වාම යනවා. පණ්ඩුකාභය රාජ්‍ය සමයේ මේ ස්ථානය සුසාන භූමියක් වෙනුවෙන් වෙන් කළා කියලා මතයක් තියෙනවා. ක්‍රිස්තු පූර්ව යුගයේ නිර්මාණය කරපු බටහිරාරාම විහාර සංකීර්ණයේ භාවනායෝගී භික්ෂූන් වහන්සේලා වැඩ ඉදලා තියෙනවා. මේ විහාර සංකීර්ණය නිර්මාණය කරලා තියෙන්නෙ අනුරාධපුරයේ ප්‍රධාන විහාර සංකීර්ණ සහ ජනාවාසවලින් ඈතට වෙන්නයි.
විශාලත්වය අතින් අක්කර ගණනාවක් ඈතට විහිදුනු භූමි ප්‍රමාණයක් වුණත්, අද වෙනකොට විවිධ ඉදිකිරීම් සහ මහා මාර්ග නිසා මේ පූජා භූමිය කෑලි කෑලිවලට බෙදිලා ගිහින් තියෙනවා. ඒ නිසා අධ්‍යනයේ පහසුවට මේ කොටස් ඉංග්‍රීසි හෝඩියේ A අකුරෙ ඉදලා H අකුර වෙනකං කලාපවලට බෙදලා තියෙනවා. අද වෙනකොට මේ හැම කලාපයක්ම, මහා ඝන වනාන්තරවලින් වැහිලා ගිහිල්ලා. බටහිරාරාම විහාර සංකීර්ණයට අයිති කලාප අතරින් ප්‍රධානතම කලාපය තමයි, A කලාපය. Google සිතියමේ “බටහිරාරාමය” කියලා හෙව්වම, අපිට පෙන්නන්නෙ මේ කලාපයයි.
ගොඩනැගිලි ගණනාවකම නටබුන් මේ කලාපයේ විසිරිලා පැතිරිලා තියෙනවා. ඒවා අතරින් පිවිසුම් දොරටු, ගල් කණු, පඩිපෙල්, කොරවක්ගල් අදටත් දෘෂ්යමානයි. ඒ වගේම පොකුණු කිහිපයකුත් තියෙනවා. බොහෝමයක් තියෙන්නෙ කුඩා ප්‍රමාණයේ පොකුණු. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ පොකුණකුත් නිර්මාණය කරලා තියෙනවා දැක ගන්න පුලුවන්. A කලාපයේ සැලැස්ම අනුව, ඒ කාලයේ මේ කලාපය වටේට දිය අගලකුත් නිර්මාණය කරලා තිබිලා තියෙනවා.
මේ ආරාම සංකීර්ණයේ තියෙන ගොඩනැගිලි සහ ගොඩනැගිලි අංගවල තියෙන විශේෂත්වය තමයි, ඒ කිසිම ගොඩනැගිල්ලකවත් අංගයකවත්, කිසිම කැටයමක් නිර්මාණය කරලා නොතිබීම. මේ ස්ථානයේ වැඩ වාසය කරපු භාවනායෝගී භික්ෂූන් වහන්සේලාගේ සරලත්වය, මේකෙන් පැහැදිලි වෙනවා.
හැබැයි මේ ස්ථානයේ අපිට දකින්න හම්බවෙන කැසිකිලි ගලට නම් ඒ දේ වලංගු නෑ. අනිත් කිසිම ස්ථානයක දකින්න නොලැබුණත්, මේ කැසිකිලි ගලේ විතරක් සිංහ රූප, මකර රූප, ලියවැල් ආදී වශයෙන් අලංකාර කැටයම් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මතයක් නිර්මාණය වෙලා තියෙනවා කැසිකිලි ගල්වල විතරක් කැටයම් නිර්මාණය කරලා තියෙන්නෙ, භාවනායෝගී භික්ෂූන් වහන්සේලා විසින් සියලු ලෞකික සැප සම්පත් ප්‍රතික්ෂේප කිරීම සංඛේතවත් කිරීමට කියලා.
05. බටහිරාරාමය – B කලාපය
ප්‍රධාන මාර්ගයෙන් හැරිලා බටහිරාරාම A කලාපයට එනකොට, අපිට බටහිරාරාම B කලාපය දකින්න පුලුවන්. බටහිරාරාම A කලාපය සහ B කලාපය අතර දුර මීටර් 200ක් විතර වෙනවා. බටහිරාරාම B කලාපය නිර්මාණය කරලා තියෙන්නෙ පොළොව මට්ටමෙන් ටිකක් උස් කරලා. මේ ස්ථානයෙත් නටබුන් කුඩා ප්‍රමාණයක් ආරක්ෂා වෙලා තියෙනවා.
06. බටහිරාරාමය – H කලාපය
මේ කලාපය පිහිටලා තියෙන්නෙ ප්‍රධාන කලාපයට ටිකක් දුරින්. මේ කලාපයෙත් ඈතට ඈතට විසිරිලා ගියපු ගොඩනැගිලි අත්තිවාරම්, ගල්කණු, මුරගල්, කොරවක්ගල් තියෙනවා. පිවිසුම් ස්ථානය අදටත් දෘශ්යමානයි. මේ ස්ථානයෙ මධ්‍යම ප්‍රමාණයේ පොකුණක් දැක ගන්න පුලුවන්.
07. තොලුවිල නටබුන්
තොලුවිල තියෙන්නෙ අනුරාධපුරයේ යාපනය හංදිය කිට්ටුව. අක්කර ගණනාවක භූමි භාගයක් පුරාවටම විසිරිලා පැතිරිලා තියෙන ගොඩනැගිලිවල අත්තිවාරම් කොටස්, පොකුණු, ගල් කණු, මුරගල්, සදකඩ පහණ්, කොරවක්ගල්, කණු රැදවුම්, වතුර පීලී, ප්‍රතිමා කොටස් ගැනලා ඉවර කරන්න බැරි තරමටම දකින්න පුලුවන්. මේ විහාරයේ දැනට ශේෂ වෙලා තියෙන්නෙ 10 වන සියවසේ නිර්මාණය කරපු ඉදි කිරීම්. තොලුවිල පබ්බතාරාමය කියලා හදුනාගෙන තියෙන මේ විහාරයේ දෙකෙලවරේ විශාල හතරැස් වේදිකා දෙකක් දකින්න පුලුවන්.
එක වේදිකාවක් උඩ ආසනඝරයක් තියෙනවා. ඒ නිසා ඒ වේදිකාව ප්‍රතිමා ගෘහයක් විදිහට භාවිතා වුණා කියලා හිතන්න පුලුවන්. අනිත් වේදිකාවේ ධාතු ගර්භය දක්වා නිර්මාණය කරපු චෛත්‍යයක් දකින්න තියෙනවා. ධාතු ගර්භය සහිත වේදිකාවට නගින්න පියගැට පෙළවල් දෙකක් නිර්මාණය කරලා තියෙනවා. නටබුන් අතර තියෙන මුරගල්වල පුන්කලස් රූප දකින්න පුලුවන්.
දිය අගලකින් වට කරලා තිබුණු මේ පූජා භූමියේ දැනට ඉතුරුවෙලා තියෙන්නෙ 7-9 සියවස්වල කරපු ඉදිකිරීම්. මේ විහාරයට වතුර ගෙනල්ලා තියෙන්නෙ නුවර වැවෙන්. මේ විහාරයෙන් හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් සහ ඉදි බුද්ධ ප්‍රතිමාවක් හොයාගෙන තියෙනවා.
ඉදි බුද්ධ ප්‍රතිමාව තමයි “තොලුවිල බුද්ධ ප්‍රතිමාව” නමින් සුප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ (ජාතික කෞතුකාගාරයේ පිවිසුම් දොරටුව ඉදිරිපිට තැන්පත් කර ඇති ප්‍රතිමාව). ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ මිහිදු මහ රහතන් වහන්සේ චේතිය පබ්බතයේ ඉදලා මහා විහාරයට වැඩම කරනකොට, මේ ස්ථානයේ නවාතැන් ගත්තා කියලත් කියනවා.
08. වෙස්සගිරිය
අනුරාධපුර ඉසුරුමුණිය රජමහා විහාරයට දකුණු පැත්තෙ ඉදන් හැතැප්ම 1/2ක් විතර ගියාම වෙස්සගිරිය දැක ගන්න පුලුවන්. වෙස්සගිරිය කියලා කියන්නෙ ලංකාවේ පළවෙනි භික්ෂු ආරාම වලින් එකක්. මිහිදු හිමියන්ගෙන් පැවිදි බව ලැබූ, වෛශ්‍යය කුලයට අයත් භික්ෂූන් 500ක් මෙහි වාසය කළ නිසා මේ ආරාමය වෙස්සගිරිය (වෛශ්‍යය+ගිරි) බවට පත් වෙනවා.
විශාල භූමි භාගයක් පුරාවටම වෙස්සගිරි ආරාමය දිව යනවා. වෙස්සගිරි ආරාමයට ඇතුල් වෙන කොටම අපිට හමු වෙන්නෙ නටබුන් වුණු ගොඩනැගිලි සංකීර්ණයක්. ගල් කණු පමණක් ශේෂ වෙලා තියෙන මේ ගොඩනැගිලි අනුරපුර යුගයේ පසු භාගයේ නිර්මාණය වුණු ඒවා විදිහට හදුනාගෙන තියෙනවා.
භූමියට පිවිසෙන තැනම තියෙන නටබුන් වුණු ගොඩනැගිලි සංකීර්ණය පහු කරගෙන ආරාමය ඇතුළට යන කොට සාමාන්‍ය ප්‍රමාණයේ ගිරි ලිපියක් දකින්න පුලුවන්. මේ ලිපිය වෝහාරිකතිස්ස රජුගේ පුත්‍රයෙක් වුණු දෙවන සිරිනාග රජුගේ දෙවන රාජ්‍ය වර්ෂයේදී, බක් මස තුන්වන දින ලියන ලද ලිපියක්. පැරණි සිංහල භාෂාවෙන්, අපර බ්රාහ්මීය අක්ෂර වලින් ලියලා තියෙන මේ ලිපියේ තියෙන විශේෂත්වය තමයි වෙස්සගිරි ආරාමය ගැන කිසිවක් සටහන් කරලා නොමැති වීම සහ රජු විසින් අවට ගම්බිම් වල කරන ලද සංවර්ධන කටයුතු ගැන පමණක් සදහන් වීම.
ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසට අයිති මේ ලිපියට වම් පැත්තෙන් ගල් පඩි පෙළක් දකින්න පුලුවන්. ගල් පඩි පෙළ ඔස්සේ ආරාමයේ ගල උඩ පිහිටලා තියෙන කොටසට පිවිසෙන්න පුලුවන්. කුඩා ප්‍රමාණයේ පොකුණු සහ භික්ෂූන් වහන්සේලා වැඩ විසූ ගල් ගුහා 23කින් සමන්විත ඉහළ කොටසට පිවිසියාම අනුරාධපුරයේ පූජා භූමියත් හොදින් දිස් වෙනවා.
ගල් ලෙන්වල කටාරමට ඉහළින් කොටලා තියෙන සෙල්ලිපි ලංකාවේ පැරණිතම සෙල්ලිපි කියලා හදුනාගෙන තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉපැරණිම චිත්‍රත් අපිට වෙස්සගිරි විහාරයේ ගල් ලෙන් වලින් හමු වෙනවා. විහාරයේ ගල් තලාව පුරාවටම පූර්ව බ්රාහ්මීය අක්ෂර වලින් යුක්ත, ලංකාවේ පැරණිම සෙල්ලිපි දැක ගන්න පුලුවන්.
ගල් තලාව උඩත් නටබුන් වුණු ආරාමයක කොටසක් දැක ගන්න පුලුවන්. ගල් කණු අතර අපිට ආරාමයේ ඉපැරණි ප්‍රාථමික මට්ටමේ සදකඩ පහණක් සහ කොරවක්ගලක් දැක ගන්න පුලුවන්. බැලූ බැල්මට මේවා හුණු ගල් වලින් තමයි නෙළලා තියෙන්නෙ. ඊට අමතරව කාල හෝරා චක්‍රයක්, වජ්රාසනයක් සහ සිරිපතුල් ගලකුත් භූමියේ දකින්න පුලුවන්.
09. අශෝකාරාමය
අනුරාධපුරයේ පංකුලිය අශෝකාරාමය ගැන බොහෝ දෙනෙක් අහලා තිබුණට, මේ විහාරය බලන්න කවුරුත් නොයන්නෙ, විහාරයට පිවිසෙන්න තියෙන මාර්ගය දුෂ්කර නිසයි. ඒ වගේම ජන ශූන්‍ය කලාපයක පිහිටලා තියෙන නිසයි. ථූපාරාම චෛත්‍යය ළග තියෙන කුඩා හංදියෙන් ගල් පාලම දිහාවට යන කොට, අතරමගදි අශෝකාරාමය ගැන නාම පුවරුවක් හම්බ වෙනවා.
එතනින් දකුණට හැරිලා ටිකක් දුෂ්කර ගුරු පාරක් දිගේ, විශාල වනාන්තරයක් මැද්දේ කිලෝ මීටර් කිහිපයක් යන්න ඕන. මේ පාර කෙලවර වෙන්නෙ විශාල වෙල් යායක් ළගින්. වෙල් යායෙ නියර දිගේ එගොඩට ඇවිදගෙන ගියාම අශෝකාරාමයට පිවිසෙන්න පුලුවන්.
මේ ආරාමයේ නටබුන් අතරින් වීරාසන ඉරියව්වෙන් වැඩ ඉන්න “අශෝකාරාමය බුද්ධ ප්‍රතිමාව” විශේෂ ස්ථානයක් ගන්නවා. මේ ප්‍රතිමාවේ දෙඅත් නිර්මාණය කරලා තියෙන්නෙ විශේෂ විදිහකටයි. ඒ නිසා මේ වගේ තවත් බුද්ධ ප්‍රතිමාවක් ලංකාවේ වෙනත් ස්ථානයකින් අපිට දකින්න ලැබෙන්නෙ නෑ. ඉතිහාසඥයන්ගේ මතය අනුව මේ ප්‍රතිමාවෙන් මුද්‍රා දෙකක් නිරූපණය වෙනවා.
ඒ තමයි විතර්ක සහ කටක මුද්‍රාවන්. ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසට අයත් වෙන මේ ප්‍රතිමාවේ උස අඩි 6යි අගල් 6ක් වෙනවා. මේ ප්‍රතිමාවට අමතරව තවත් ප්‍රතිමා තිබුණු බවට, ප්‍රතිමාවට වම් පසින් තියෙන කැඩී ගිය කුඩා බුද්ධ ප්‍රතිමාවෙන් තහවුරු වෙනවා.
ඒ වගේම මේ ප්‍රතිමා වලට ඉදිරියෙන් හතරැස් වේදිකාවක් මත නිර්මාණය කරපු ස්තූපයක අත්තිවාරමක් දකින්නත් පුලුවන්. ස්තූපය වටේට වටදාගෙයක් තිබුණු බවට, ස්තූපය වටේ තියෙන නෙළුම් මල් හැඩැති කුඩා කුළුණු කොටස් සාක්ෂි සපයනවා. ඒ වගේම සලපතල මළුවේ ඉදන් පොළොවට ජලය බැස යන විදිහට කාණු පද්ධතියකුත් සකස් කරලා තියෙනවා.
ඊට අමතරව මේ ප්‍රදේශය වටේට ඉපැරණි ගොඩනැගිලි රාශියක අත්තිවාරම් කොටස් සහ නටබුන් දකින්න පුලුවන්. මේ ගොඩනැගිලිවල කොරවක්ගල්, සදකඩ පහන්, ගල් කණු, මුරගල් සියල්ලක්ම අදටත් සුරක්ෂිතව තිබීම වාසනාවට කරුණක්.
මේ විහාරයේ සදකඩ පහණ් එක්තරා ආකාරයකට විශේෂත්වයක් ගන්නවා. මේ සදකඩ පහණ්වල කැටයම් කරලා තියෙන්නෙ සත්ව වර්ග දෙකක් විතරයි. ඒ තමයි ඇතා සහ අශ්වයා. ඇතෙක්, අශ්වයෙක්, ඇතෙක් ආදී වශයෙන් මාරුවෙන් මාරුවට මේ සතුන්ව කැටයම් කරලා තිබුණත්, සදකඩ පහණේ මැද කොටසේ විතරක් එක ළග සිටින ඇතුන් දෙදෙනෙක්ව දකින්න පුලුවන්.
10. ඉසුරුමුණි රංමසු උයන
අනුරාධපුර ඉසුරුමුණි රංමසු උයන ගොඩක්ම සුප්‍රසිද්ධ වුණේ ඊයෙ පෙරේදා. ඒ අපේ අය ආයිත් රාවණා ශිෂ්ටාචාරය ගැන තොරතුරු ගවේෂණය කරන්න පටන් ගන්නවත් එක්ක. රංමසු උයන ගැන පත්තරවල, සගරාවල කොච්චර ලිපි පල වුණත් තාමත් මේ ප්‍රදේශය ජනතාවගේ “සෘජු” අවධානයට ලක් වෙලා නෑ. ඒකට ප්‍රධාන හේතුව වශයෙන් ප්‍රදේශයට ළගා වෙන්න පුලුවන් ගමන් මාර්ගය පෙන්නුම් කරන නාම පුවරු එකක්වත් ස්ථානගත කරලා නොමැති වීම ගැන දක්වන්න පුලුවන්.
රංමසු උයනට පිවිසෙන ගමන් මාර්ගය ගැන සදහනක් කළොත්, ඉසුරුමුණි රජමහා විහාරයට වම් පැත්තෙන් තියෙන පුංචි ගුරු පාර දිගේ ඉස්සරහට ගිහින්, තිසා වැවේ බැම්ම උඩට නැගලා, වම් පැත්තට හැරිලා සැළකිය යුතු දුරක් ගමන් කළාම, වම් අත පැත්තෙ පහළට වෙන්න හමු වෙනවා.
දුටුගැමුණු රජතුමාගේ පුත් කුමාරයා වුණු සාලියට, අශෝකමාලාව මුණ ගැහුණු රංමසු උයන නොහොත් මේ මගුල් උයන නිර්මාණය වෙන්නෙ දේවානම්පියතිස්ස රජ දවසේ. එදා ඉදලා මේ උයන රජවරුන්ගේ රාජකීය උද්‍යානය විදිහට පරිහරනය වෙනවා. දේවානම්පියතිස්ස රජ දවස ඉදලා අනුරපුර යුගයේ පසු භාගය වෙනකන් විවිධ රජවරු අතින් විවිධ ඉදි කිරීම් මේ උයනේ නිර්මාණය වෙලා තියෙනවා. සීගිරි උද්‍යානයට විතරක් දෙවෙනි වෙන මේ උද්‍යානයේ, උද්‍යානයක තියෙන්න ඕන සෑම සියලු දෙයක්ම දකින්න පුලුවන්. හැබැයි අද වෙන කොට නම් මේ ඔක්කොම නටබුන් බවට පත් වෙලා.
රංමසු උයනට ඇතුල් වුණායින් පස්සෙ විශාල නටබුන් ගොඩක් මැද්දෙන් අපිට පල්ලෙහට බහින්න වෙනවා. මෙහෙම පල්ලෙහට බහින කොට හමුවෙන ප්‍රධානතම සංධිස්ථානය විදිහට ශෛලමය පොකුණ හදුන්වන්න පුලුවන්. මේ පොකුණේ උඩ කොටසේ කුඩා ප්‍රමාණයේ කුටියක් තියෙනවා. පොකුණෙන් ජලස්නානය කරන්න කලින්, වස්ත්‍ර මාරු කරපු ස්ථානය විදිහට මේ කුටිය හදුනාගෙන තියෙනවා.
කුටිය දෙපැත්තෙ ගලෙ “දිය කෙළින ඇතුන්ගේ රූප” කැටයම් කරලා තියෙනවා. මේවා බොහෝ දුරට ඉසුරුමුණි රජමහා විහාරයේ පොකුණ ළග කැටයම් කරලා තියෙන ඇතුන්ගේ රූපවලට සමානයි. හැබැයි ඊට වඩා ගල ඇතුළට වෙන්න කැටයම් කරලා තියෙනවා.
මේ පොකුණ පහු කරගෙන ටික දුරක් ඉස්සරහට ගියාම හමු වෙන කුඩා පාරෙන් දකුණු පැත්තට හැරිලා යන කොට නටබුන් විශාල ප්‍රමාණයක් හමු වෙනවා. මේ නටබුන් කන්දරාවෙන් හෙළ රජ දවස මේ උයන තිබුණු විදිහ ගැන හොද රූපයක් මවා ගන්න පුලුවන්. මේ නටබුන් අතරේ කැටයම් නොකරපු කොරවක්ගල්, මුරගල්, ගල් පඩි, ආසන, ගල් කණු, සදකඩ පහණ්, කුඩා ප්‍රමාණයේ පොකුණු, අත්තිවාරම් කොටස්, පාලම්වල කොටස් විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්. රංමසු උයන කියන්නේ ආගමික නොවන ස්ථානයක්.
මේ වගේ ස්ථානයකින් සදකඩ පහණක් සොයා ගැනීමෙන් අපිට තීරණය කරන්න පුලුවන්, සදකඩ පහණ කියන්නෙ බෞද්ධ පූජනීය ස්ථාන වලට සීමා නොවී ඉන් ඔබ්බට ගියපු කලා නිර්මාණයක් කියලා.
මේ නටබුන් ගොඩ පහු කරලා තවත් ඉස්සරහට යන කොට, තවත් පොකුණක් හමු වෙනවා. මුලින්ම හමු වුණු පොකුණට වඩා මේ පොකුණේ ආකෘතිය ටිකක් වෙනස්. පොකුණේ ගල් ආසන දෙකක් තැන්පත් කරලා තියෙනවා. ඒවායේ ආරුක්කු සහිත කැටයම් දකින්න පුලුවන්. පොකුණ උඩ නිර්මාණය කරලා තියෙන කුටිය, ගොඩක් විශාලයි.
කුටියට ඇතුල්වෙන ස්ථානය ඉස්සරහින් ඇතෙකුගේ හැඩයට කැටයම් කරපු කොරවක් ගලකුත්, පුන්කලස් රූප සහිත මුරගලකුත් දකින්න පුලුවන්. වම් පැත්තෙන් තියෙන කුඩා පොකුණ, ප්‍රධාන පොකුණේ ජලය පිරිපහදු කරන්න භාවිතා කරපු එකක්. මේ උද්‍යානයේ තියෙන හැම පොකුණකටම වතුර එන්නෙ තිසා වැවෙන්. ඒ භූගත උමං මාර්ග හරහා.
මේ පොකුණත් පහු කරලා තවත් ඉස්සරහට යන කොට උද්‍යානයේ තියෙන නටබුන් ටික ඉවර වෙනවා. ඒත් එක්කම දකුණු අත පැත්තෙන් ගල් පර්වතයක් හමු වෙනවා. මේ ගල උඩට නැග්ගම, ගලට හේත්තු වෙලා තියෙන තවත් ගලක් හමු වෙනවා. මේ ගල උඩටත් නැග්ගම තමයි ආන්දෝලනාත්මක කතා බහකට භාජනය වුණු “සක්වල ගල” දකින්න පුලුවන් වෙන්නෙ. ගලේ පිටිපස්සෙ කැටයම් කරලා තියෙන නිසා මේක ඉස්සරහට පේන්නෙ නෑ. ඒ නිසා උයනට එන ගොඩක් දෙනෙක්ට මේක මග ඇරෙනවා.
මේ ස්ථානයේ ගල් තලාවක් මත වෘත්තයක් ඇදලා, ඒක ඇතුළත නොයෙක් නොයෙක් සංඛේත සටහන් කරලා තියෙනවා දකින්න පුලුවන්. මේ සංඛේත වලින් නිරූපණය වෙන්නේ විශ්වයේ තියෙන වෙනත් චක්රාවටයක ඇති, වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ජීවීන් සිටිනා ග්‍රහලෝකවලට පෘතුවියේ සිට යානයකින් ගමන් කළ යුතු සැලැස්ම කියලා තමයි ගොඩක් අය විශ්වාස කරන්නෙ.
ඒ වගේම මේ තාරකා දොරටුව හරහා අවුරුදු 6000කට කලින් මහා රාවණ රජ දවසේ වෙනත් සමකාලීන ශිෂ්ටාචාරයකට ඇතුල් වෙන්න හැකියාවක් තිබුණා කියලත් අප්‍රසිද්ධ මතයක් තියෙනවා.