බුදුන් දෙසූ දහම ආගමක් නොවුනා නම් !

මුලින්ම අපි මේ වදන් දෙක අර්ථදක්වා ගත යුතුය. ඔබට මේ සඳහා නොයෙකුත් අර්ථදැක්වීම් අන්තර්ජාලයෙන් ලබා ගත හැක. එහෙත් මේ ලිපියට පදනම් වන්නේ පහත දැක්වෙන අර්ථදැක්වීම්ය.

ශිෂ්ඨාචාරය යනු තිරසාර ලෙස සමුහ ගතව පවතින්නා වූ මානව කුලකයක හැඩතලයයි. තවත් එක් සත්ව කොට්ඨාශයක් ලෙස මානවයාද මුලින් තනි තනිව හෝ පවුල් ඒකකයක් ලෙස ජීවත්වන්නට ඇත. නමුත් රාශිගතව ජීවත්වීමේ වාසි අවබෝධ වන විට ඔවුන් ක්‍රමයෙන් තම සමුහය වැඩිකරගන්නට ඇත. සත්ව ලෝකයේද තනිව ජිවත්වන දිවියන් වැනි සතුන්ද, පවුල් ඒකකයක් ලෙස ජිවත්වන සිංහයන් වැනි සතුන්ද, රැලක් ලෙස ජිවත්වන මුවන් වැනි සතුන්ද දැකිය හැක. සාමාන්‍යයෙන් තිරසාර පැවැත්මකට සත්ව රැලක සිටින සාමාජිකයන් ගණන 150 ට පමණ සිමා විය යුතු බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත (මෙය Dunbar’s Number නම් වේ). මෙය ආරම්බයේදී මානවයාටද අදාළ වන්නට ඇත.

සමුහයක ප්‍රමාණය වැඩි වන විට නොයෙකුත් ගැටළු මතුවේ. ආහාර සහ භූමිය සඳහා තරඟය; තමාට වැඩි වාසි අත්පත් කරගැනීමට ස්වභාවයෙන්ම මානවයා තුල ඇතිවන ලෝභය; කෝපය, වෛරය, ආත්ම අභිමානය වැනි මානව හැඟීම් සමග ඇතිවන අන්තර් පුද්ගල සහ අන්තර් උපකුලක ඝට්ටන මෙම ගැටළු වෙයි. මේ නිසා මානව සමුහයක තිරසාර පැවැත්මට විශාල අමතර ශක්තියක් වැය කිරීමට සිදුවෙයි. නායකත්වයක අවශ්‍යතාවය ඇතිවන්නේ මේ විසිරෙන සමූහය ඒක තැන් කොට තබා ගැනීමටයි.

සමූහ පැවැත්මක් තිරසාරව පවත්වා ගැනීමට දැඩි අණ කිරීම්, අවවාද කිරීම්, බිය ගැන්වීම්, දඩුවම් පැමිණවීම් ආදී කර්කශ ක්‍රියාවන් උපයෝගී කරගැනීමට නායකත්වයට සිදුවෙයි. මානවයා තුල සහජයෙන්ම තවත් මානවයකුගේ බලපෑමට යටත් වීමේ අකමැත්තක් ඇත. එය මොළයේ ක්‍රියාකාරිත්වය මත ඇතිවන තත්වයකි. මේ නිසා මානව පාලනය සඳහා මිනිස් බලය ඉක්මවා ගිය සුපිරි බලයක අවශ්‍යතාවය පැන නගී. මිනිසාට නොතේරෙන, නොහැඟෙන බලවේගයක ආධාර උපකාර නායකත්වයට ලබා ගැනීමට සිදුවන්නේ මේ පසුතලය තුලයි.

කඳු, පර්වත, ගංගා, දියඇලි, විශාල වෘක්‍ෂ, ඉර හඳ ආදී තමාට වඩා බෙහෙවින් ප්‍රමාණාත්මකව විශාල හෝ ආලෝකය ගෙන එන වස්තූන් කෙරේ බිය මුසු ගෞරවයක් ඇතිවීම මානවයා තුල 21 වෙනි ශතවර්ෂයේදී පවා දැකිය හැක. ඔවුන් එම වස්තුන්ගෙන් ආරක්ෂාව යැදීම සහ යස ඉසුරු පැතීම අදත් සිදුවේ. එසේ නම් මීට වසර 80,000 කට පෙරද තත්වය එසේම පවතින්නට ඇත. මෙම මානව විශ්වාසයන් ආගම් ලෙස හැඳින්විය නොහැක.

අදින් වසර 20,000ට පමණ පෙර ශිෂ්ඨාචාරයන් ස්ථාපිත වීමත් සමගම නායකත්වයට සමූහ පරිපාලනය සඳහා ඉහත මානව විශ්වාසයන් ඉතා ප්‍රයෝජනවත් වන්නට ඇත. මේ අනුව සමූහයේ ඇදහීම්වල නාමයෙන් නායකත්වය ඔවුන්ට අණ දෙන්නට ඇත. උදාහරණයක් ලෙස “හපී” නමින් හැඳින්වුන නයිල් නදී දෙවියාගේ නාමයෙන් පාරාවෝ මිසර වැසියන් වගා කල යුතු ආකාරය පිළිබඳව අණ පණත් ඉදිරිපත් කලෝය.

මෙලෙස ගාම්භීරත්වයට ඔසවන ලද යම් වස්තුවක් හෝ නොපෙනෙන, නොහැඟෙන බලවේගයක් කරන කොටගෙන ශිෂ්ඨාචාරය ස්ථායිකරණය කරගැනීමට ඉවහල්වන සේ ගොඩනගා ගන්නා සංකල්පය අපට ආගමක් ලෙස අර්ථ දැක්විය හැක.

ඉර හඳ හැරෙන්නට අනෙක් සියළුම භෞතික වස්තූන් කාලයත් සමග හෝ මානවයාගේ ක්‍රියාකාරිත්වය මත වෙනස් වීමට හැකියාව ඇත. මෙය එම වස්තූන්ගේ ගාම්භීරත්වයට අභියෝගයක් විය. මේ නිසා බොහෝ බලවත් ශිෂ්ඨාචාර බිහිවීමත් සමගම ආගමික සංකල්පයේ කේන්ද්‍රය නොපෙනෙන බලවේගයක් බවට පත්වන්නට ඇත. මේ අනුව මැදපෙරදිගින් සොරෝස්ට්‍රියම් (සරතෘශ්‍ය වාදය), දකුණු-මධ්‍යම ආසියාවෙන් හින්දු සහ ඈත පෙරදිගින් ශාමනිස්සම් (shamanism) ආදී ආගම් බිහිවන්නට විය. මේ සියල්ලේම කේන්ද්‍රගත සංකල්පය නොපෙනෙනා බලවේගයකින් (දෙවියෙක් හෝ දෙවිවරු, භූතාත්ම ආදිය) පිහිට පැතීමයි. මුලින්ම පාලකයා නොපෙනෙන බලවේගය සහ පාලිත සමුහය අතර සම්බන්ධිකාරක විය. එනම් රජවරු දේව අණ ලබාගෙන සමුහය මත අණ පනත් පනවන්න විය. පසු කාලයක පාලකයාගේ පහසුව සඳහා මේ සම්බන්ධීකරණය තවත් ස්ථරයකට මාරුවිය. එනම් පුජක පක්ෂයයි. දෙවියන් පුජකයන් සමග ගනුදෙනු කල අතර පුජකයා පාලකයා සමග ගනුදෙනු කළේය. මේ ආකාරයෙන් පාලකයාට මානව සීමා ඉක්මවා ගිය සුපිරි බලයකින් තම යටත් වැසි සමුහය පාලනය කරගත හැකි විය. බොහෝ විට දෙවියන්ගේ අණ වන්නට ඇත්තේ පාලකයාගේ සහ පුජකයාගේ අවශ්‍යතාවයයි. පසු කලෙක ආගම් බවට පත් වූ, ස්වභාව ධර්මයේ ස්වභාවය සොයා ගිය ශාස්තෘවරුන්ගේ දහම් ඉදිරියට ගෙනයාමට පිහිටවා ගත් “පුජ්‍ය” පක්ෂයද මේ පූජකයාගේ කර්තව්‍යයම වෙනත් විවිධ ආකාරයෙන් සිදුකරමින් පවතී.

මේ නොපෙනෙන සුපිරි බලවේගය – පුජකයා – පාලකයා – පාලිතයා දාමය අද දක්වාම ලෝකයේ 95% රාජ්‍යයන්හි බලපැවැත්වෙයි. වෙනත් විදියකින් පැවසුවහොත් අද දක්වාම ශිෂ්ඨාචාරයේ මූලික මෙහෙයුම් කේන්ද්‍රය ආගමයි. ආගමෙන් ස්වායත්තව, තාර්කිකව සිතමින් ශිෂ්ඨාචාරය පවත්වා ගැනීමට හැකි මට්ටමට මානව බුද්ධිය වර්ධනය වීමට තව වසර 2000ක් වත් යා යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි.

පසුගිය වසර 200 ක පමණ කාලයක සිට ආගමින් යම් තරමකට ස්වායත්ත වූ බල කේන්ද්‍රයක් බිහිවිය. එය “නීතිය” නම් වෙයි. නමුත් මේ නීතියේ පවා අද දක්වාම ආගමික නෂ්ඨාවශේෂ දක්නට ලැබේ.

ආගමකින් තොරව ශිෂ්ඨාචාරය ස්ථායිව පවත්වාගෙන යාමට තරම් බුද්ධි මට්ටමකට මානවයා එළඹීමට තව සහශ්‍ර දෙකක්වත් යා යුතුය.

බෞද්ධ නොවන බොහෝ දෙනා මගෙන් බුදු දහම යනු කුමක්දැයි ඇසු විට මම දෙන කෙටි පිළිතුරක් ඇත.

“It is the study of the nature of nature” (එය ස්වභාවයේ ස්වභාවය අධ්‍යනයයි).

මෙහි පළමු ස්වභාවය යනු “ස්වාභාවධර්මයයි”. දෙවන ස්වභාවය යනු “හැටි” හෝ “විදිය” යන්නයි.

බුදුන් හෝ යම් සමුහයක් විසින් ගොඩ නගන ලද බුදු දහම නම් තර්කනය කට වචනයෙන් සහ ඉන්පසු ලිඛිත මාධ්‍යයෙන් කාල තරණය කරද්දී කෙතරම් වෙනස්කම් වලට භාජනය වුවාදැයි අප දන්නේ නැත. එහෙත් දැනට අපට කියවීමට ලැබෙන අභිධර්මයේ මූලික හරය අධ්‍යනය කළහොත් මට හැඟෙන්නේ මෙවැනි අදහසකි.

අපට විශ්වය සංවේදනය වන්නේ ශරීරයේ ඇති සංවේදක (sensors) පහ සහ එමගින් ජනිතවන සංඥා (අද අපේ දැනුම අනුව විද්‍යුත් ස්පන්දන) මනස ඇතුළත් සංකීර්ණ සැකසුම් ඒකකයකට (processing unit) ගමන් කිරීමෙන් අනතුරුව ඇතිවන ක්‍රියාදාමයක් හේතුවෙනි. මෙම සැකසුම් ඒකකය හදවත ලෙස මුලින්ම හෝ පසු කලෙක හඳුන්වාගෙන ඇති බවක් පෙනෙයි. ඒ වෙනුවට මොළය ආදේශ කළහොත් මෙය 21වන සියවසේ දැනට පවතින දැනුම තුල 100%ම සාර්ථකව විග්‍රහ කල හැක.

ඉන් පසු ලද සංඥාවන් මතකයේ ඇති ප්‍රතිරූප සමග සංසන්දනය කිරීමෙන් හඳුනාගැනීමත්, ඒ හා සමගම ඇතිවන හැඟීම් සමග සැකසුම් ඒකකය මගින් ප්‍රතිදානයක් (output) ලබා දීමත් අභිධර්මයේ මැනවින් විග්‍රහ වෙයි. මේ වන විට ඇති දැනුම තුල මේ ක්‍රියාවන් සිදුවන මොළයේ කොටස් පිළිබඳව සෑහෙන ගැඹුරු තොරතුරු ප්‍රමාණයක් විද්‍යාව සතුව ඇත. පිටතින් ලැබෙන සංඥාවකට සැකසුම් පද්ධතිය තුල සිදුවන ක්‍රියාවලිය සහ ඉන් අනතුරුව ලබා දෙන ප්‍රතිදාන, ප්‍රතිපෝෂණ තොරතුරු (feedback information) ලෙස මතකයෙහි තැන්පත් වෙයි. ඊළඟ වර කලින් පිටතින් ලැබුණු සංඥාවම හෝ ඊට ආසන්න සංඥාවක් ලැබුණු විට සැකසුම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මේ යාවත්කාලීන වූ තොරතුරු මතය. කර්මය ලෙස බුදුදහමේ (හින්දු/ජෛන දහම්වල සඳහන් කර්මය නොවේ) සඳහන්වන්නේ මේ feedback loop එක බව මගේ හැඟීමයි.

බුදු දහමේ ඉදිරිපත්කරන මූලික හරය ලෙස මා දකින්නේ අපට සංවේදී වන මුළු විශ්වයම සැකසුම් පද්ධතියේ ඇතිවන සංඥා සමුහයක් බව අවබෝධකර ගැනීමයි. මේ මගින් අපට ලැබෙන සංඥා මතකයේ ගැබ්වූ ප්‍රතිරූපයන් සමග සැසඳීමෙන් පසු ඇතිවන ද්විතීක ක්‍රියාවලිය පාලනය කරගත හැක.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ පිටතින් ලැබෙන විද්‍යුත් සංඥා වලට අනුරූපී වන නාම-රූප (entities pertinent to the external signals) උපාදානය නොකරගනිමයි. එනම් එම නාම-රූප වෙත නොඇලීමයි. එම නාම-රූප සංඥා පමණක්ම බව අවබෝධකරගැනීමෙන් මේ උපාදානය සෑහෙන්න අඩු කරගත හැක. එය සතුටින් සැනසුමෙන් ජීවත්වීමේ මූලික පදනමයි. බුදුන් දෙසු දහම මා අවබෝධකරගත් ආකාරය තුලින් ලබාගත් ප්‍රයෝගික ලාභය එයයි. මම අද ඉතා තෘප්තිමත් සහ සැනසීමට පැමිණි පුද්ගලයෙකි.

මේ සැනසිලිදායක දිවි පෙවෙතට, බොහෝ බෞද්ධයන් සහ හින්දු/ජෛන භක්තිකයන් සිතමින් වෙහෙසෙන බොහෝ දේ අදාළ නැත. දෙවියන් ඇද්ද නැද්ද, මරණින් මතු හෝ මරණයට පෙර පැවැත්මක් ඇද්ද නැද්ද, බාහිර බලවේගයකින් ක්‍රියාත්මක වන කර්ම ඵල ඇද්ද නැද්ද යනු ඉන් කිහිපයකි. යථාර්තය නම් අප කිසිවෙක් මේ ගැන දන්නේ නැති බවයි. ඕනෑම කෙනෙක්ට මේ ගැන ඕනෑම දෙයක් කිව හැක. අපට හැක්කේ එය පිළිගනිම හෝ නොපිළිගැනීමයි. බොහෝ දෙනෙකු කරන්නේ ඒ ගැන සිතමින් බිය, සැක, වේදනාව ආදී ඍණාත්මක හැඟීම් සමග අසහනකාරී ජිවිත ගත කිරීමයි.

————————————————-

ස්වභාවයේ ස්වභාවය සොයා ගිය එකම තැනැත්තා සිද්ධාර්ථ ගෞතම පමණක් විය නොහැක. බෞද්ධ සහ ජෛන සාහිත්‍යයේ පමණක් යන්තම් සඳහන් වන සිද්ධාර්ථයන්ගේ මුල් ගුරුවරුන් වූ උද්දකරාම පුත්ත, ආලාරකාලාම ආදීන් කිහිප දෙනෙක් සොයාගියේද මේ ස්වභාවයයි. සමහර විට ලොව පුරා මේ ආකාරයේ බුද්ධිමය දේශාටනයේ යෙදුනු පුද්ගලයන් ගණනාවක් සිටින්නට ඇත. ඔවුන් අතරින් සිද්ධාර්ථ ගෞතම සහ ජෛන මහාවීර දේශනා කල දහම් පමණක් චිරාත් කාලයක් පැවතීමට හේතුව කුමක්ද?

එයට කෙටිම පිළිතුර නම් ඔවුන්ගේ සංකල්ප පසු කලෙක ‘ආගම්’ බවට පත්වීමයි.

යම් දහමක් දීර්ඝ කාලයක් පැවතීමට නම් එයට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුමය. දහමකට රාජ්‍ය අනුග්‍රහය ලැබීමට නම් එය ශිෂ්ඨාචාරයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා රාජ්‍ය තන්ත්‍රයට උපකාරී විය යුතුය. මෙලෙස රාජ්‍ය පැවැත්මට උපකාරී වන්නේ එම දහම තුල මානව හැකියාවන් ඉක්මවා යන සුපිරි බලවේග සහ මරණින් මතු/පෙර පැවැත්ම සඳහන් වේ නම් පමණි. මේ නිසා එම සංකල්ප දහම තුල තහවුරු විය යුතුය. එය සිදුවෙන විට දහම ආගමක් බවට පත්වෙයි.

ආගම යනු රාජ්‍ය තන්ත්‍රය පවවාගෙන යාමට අත්‍යවශ්‍ය උපකරණයකි. මේ නිසා රාජත්වය ආගම ආරක්ෂා කරයි. යටත් වැසියා දිවිහිමියෙන් ආගම රැකගැනීමට අවි ආයුධ පවා අතට ගනියි. මෙය ශිෂ්ඨාචාරයේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය වෙන අතරම දහම තුලින් අරමුණු වූ මානසික සුවය මානවයා තුලින් වියැකී යාමටද හේතු වෙයි.

ජෛන මහාවීරගෙන් පසු වසර 150ක් පමණ කාලයක් තුල චන්ද්‍ර ගුප්ත මෞර්ය අධිරාජ්‍යයා එයට අනුග්‍රහය ලබා දුන්නේ නැත්නම් ජෛන දහම ගැන අද කිසිවෙක් කතා නොකරනු ඇත. ගෞතම බුද්ධයන්ගෙන් වසර 200ක් ඇතුලත අශෝක අධිරාජ්‍යයා එයට අනුග්‍රහය නොදුන්නේ නම් සිද්ධාර්ථ ගෞතමගේ සොයාගැනිම්ද කාලයේ වැලි තලා අතර වැළලී යන්නට තිබුණි. චන්ද්‍රගුප්ත මෞර්යට වඩා අශෝක අධිරාජ්‍යයා බලවත් වූ බැවින් බුද්ධාගම ජෛනාගමට වඩා වපසරියක ලොව පුරා ව්‍යාප්ත විය.

ශිෂ්ඨාචාරයේ පැවැත්ම කරනකොට ගෙනම බිහි වූ ඒබ්‍රහමික ආගම් ලොව පුරා පැතිරෙන්නේද ඒවා රාජ්‍ය තන්ත්‍රයට මනා ලෙස උපකාරී වන අයුරින් ආරම්භයේදී මෙන්ම පසුකාලයකදීද සැකසෙන බැවිනි. මේ සඳහා උදාහරණ බොහෝ ඇත.

ආගම් සම්බන්ධයෙන් මානවයාට ඇත්තේ රැකවරණය ආශ්‍රිත වූ හැඟීමකි. එය රජුන් විසින් තම (සහ තම සමුහයේ) පැවැත්ම උදෙසා මානව මනස මත පැටවූ ආකල්පමය බලහත්කාරයකි. වර්තමානය දක්වා බොහෝ මානවයන්ගේ හැඟීම නම් ආගම විසින් තම සමුහය රැකගන්නා බවයි. මේ සඳහා සමුහය විසින් ආගම රැකගත යුතුය. මේ සඳහා ඔවුන් නොයෙකුත් ආකාරයෙන් ආගම හා සම්බන්ධ සංකල්ප අති උත්කර්ෂයට නංවයි. එයට එරෙහිවන්නන්ට එදිරිව යුද්ධ ප්‍රකාශ කරයි. බොහෝ විට අතාර්කික සහ අබුද්ධිමත් වන මේ ක්‍රියාදාම තුන්වන පාර්ශ්වයකට විසුලුරූපී වුවත් අදාළ කුලකයට එය ජීවිතයත්-මරණයත් අතර සටනක් වන අවස්ථා එමටය.

ඉහත ආකාරයෙන් ආගම වෙනුවෙන් මරණයට වුවත් සුදානම් බොහෝ දෙනාට එම ආගම හා අදාළ මූලික දහම පිළිබඳව මෙලෝ අවබෝධයක් හෝ හැඟීමක් නැත. ඔවුන්ගේ එකම අභිලාශය ආගම රැකගැනීම තුලින් තමන් රැකීමයි. සියවස් ගණනක් යම් ආගමක් වෙනුවෙන් සටන් කල සමුහයක් බලහත්කාරයෙන් වෙනත් ආගමකට යොමු කල විට ඔවුන් නව ආගම වෙනුවෙන් පෙර ආකාරයෙන්ම මරාගන්නේ මේ නිසාය.

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.