රුසියාවට එකතුවීමට සැරසෙන කොකේසස් කඳුකර ප්‍රදේශය​

May 30, 2022

එළඹෙන 2022 ජූලි 17 වනදා දකුණු අසේතියාවේ (South Ossetia) ජනමතවිචාරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ජනතාවගෙන් විමසනු ලැබෙන්නේ ඔවුන් රුසියාව සමග ඒකාබද්ධ වීමට එකඟ වන්නේද යන්නයි. මෙහිදී ඊට පක්ෂව වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබේයැ යි විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත් එය ජාත්‍යන්තරයේ වැඩි පිළිගැනීමකට ලක් නොවනු ඇති.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරයේ බොහෝ රටවල් දකුණු අසේතියාව ජෝර්ජියාවේ කොටසක් ලෙස පිළිගන්නා අතර එම ප්‍රදේශය 2008 දී ස්වාධීනත්වය ප්‍රකාශ කළ පසු එය පිළිගත්තේ රටවල් පහක් පමණයි. රුසියාව​, සිරියාව​, නිකරාගුවාව​, වෙනෙසුවේලාව සහ නාවුරු එම රටවල් පහයි. මෙසේ දකුණු අසේතියාව ස්වාධීනත්වය ප්‍රකාශ කළේ රුසියාව සහ ජෝර්ජියාව අතර ඇතිවූ යුද්ධයෙන් අනතුරුවයි.


දකුණු අසේතියාව

දකුණු අසේතියාව සහ ජෝර්ජියාව අතර අර්බුදය සියවසක් පමණ අතීතයට දිවෙනවා. ඔවුන් අතර ජනවාර්ගික සහ සංස්කෘතික වෙනස ඊටත් වඩා ඈතයි. අසේතියානුවන්ගේ මුතුන් මිත්තන් සිතියානුවන් සහ වෙනත් මධ්‍යම ආසියාවෙන් පැමිණි ගෝත්‍ර බවයි විශ්වාස කෙරෙන්නේ. අසේතියානු භාෂාව ද ඉරානියානු භාෂාවක්. වර්තමාන අසේතියානුවන් අලානියානුවන් වෙතින් පැවතෙන බව සැලකෙනවා.

අලානියානුවන් වාසය කරන්නේ දකුණුදිග රුසියාවේ යි. අසේතියානුවන් බහුතර ජන කොට්ඨාශය වන ප්‍රදේශ දෙකක් වන අතර ඒවා උතුරු අසේතියාව සහ දකුණු අසේතියාවයි.

@elearninglk

උතුරු අසේතියාව 715,000 ක පමණ ජනගහනයක් වසන රුසියාවට අයත් ප්‍රදේශයක් වන අතර එහි ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ අසේතියානුවන් වනවා. දකුණු අසේතියාව 50,000 ක් පමණ ජනගහනයක් වාසය කරන කුඩා ප්‍රදේශයක්. එහි අති බහුතරයක් දෙනා අසේතියානුවන්.

අතීතයේදී ජෝර්ජියානුවන් විසින් අසේතියානුවන්ව සලකන ලද්දේ නොදියුණු, ම්ලේච්ඡ​ පිරිසක් ලෙසයි. කාලයක් ගතවනවිට එයින් කොටසක් ජෝර්ජියානු සංස්කෘතිය සමග අනුගත වුණා. නමුත් අනෙක් පිරිස සිය ස්වාධීනත්වය සහ අනන්‍යතාව ආරක්ෂා කරගැනීමට වෙහෙසුණා.


දකුණු අසේතියාව කඳුකර ප්‍රදේශයක්

සෝවියට් පාලනය ජෝර්ජියාවේ ස්ථාපිත වූ පසු දකුණු අසේතියාව මුලින් සෝවියට් ට්‍රාන්ස්කොකේසියාවටත් පසුව සෝවියට් ජෝර්ජියාවටත් අයත් වුණා. (මුලදී ජෝර්ජියාව​, අසර්බයිජානය සහ ආර්මේනියාව ඇතුලත්ව සෝවියට් ට්‍රාන්ස්කොකේසියාව ස්ථාපිත කෙරුණ අතර පසුව ඒවා වෙනම සමූහාණ්ඩු තුනක් බවට පත්වුණා).

දකුණු අසේතියාව ස්වතන්ත්‍ර පළාතක් (ස්වතන්ත්‍ර ඕබ්ලස්තයක්) ලෙස යම් ස්වතන්ත්‍ර පාලන බලයක් සහිත ප්‍රදේශයක් බවට පත් කරුණා.

මෙම ප්‍රදේශය රුසියාවට අයත් වූ උතුරු අසේතියාව හා ඒකාබද්ධ කිරීමේ යෝජනාවක් ද එකළ මතුවූ නමුත් ස්ටාලින් ඊට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහු විශ්වාස කළේ අසේතියානුවන්ට ජෝර්ජියානු සංස්කෘතිය හා මුහුවීම මිස අන් විකල්පයක් නොමැති බවයි. (ස්ටාලින්ගේ සීයා, එනම් පියාගේ පියා, අසේතියානුවකු වූ අතර ස්ටාලින් ජෝර්ජියානු සංස්කෘතිය හා මිශ්‍ර වූ අයෙක්).

කෙසේ වෙතත් ස්ටාලින්ගේ පියා වූ බෙසෝ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කරන අවස්ථාවල ඔහුගේ නම ඇතුලත් කරන ලද්දේ අසේතියානුවකු වශයෙන් බව ඉතිහාසකරුවන් පෙන්වා දෙනවා).



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

දකුණු අසේතියාව වෙන්වෙයි
සෝවියට් සමයේ ස්වතන්ත්‍ර පළාතක් ලෙස පැවති දකුණු අසේතියාව, සෝවියට් දේශය කඩාවැටෙන සමයෙහි සිය අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයකට මුහුණදුන්නා. ජෝර්ජියාව දකුණු අසේතියාවේ ස්වතන්ත්‍ර පාලනය පිළිගන්නට සූදානම් වූයේ නැහැ. මේ අතර දකුණු අසේතියාව තුළ සිය ප්‍රදේශය ස්වතන්ත්‍ර සමූහාණ්ඩුවක් බවට පත්කරන ලෙස ඉල්ලීම් මතුවුණා. ජෝර්ජියාව විසින් දකුණු අසේතියාවේ ස්වතන්ත්‍ර පළාත අහෝසි කිරීම සමග දකුණු අසේතියාව ස්වාධීනත්වය ප්‍රකාශ කළා.

ජෝර්ජියාව දකුණු අසේතියාවේ සිය බලය ස්ථාපිත කරගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ. මේ අවස්ථාව වනවිට ජෝර්ජියාවේ ශක්තිමත් හමුදාවක් නොසිටීම මෙන්ම එරට තුළ වූ දේශපාලන අස්ථාවරත්වයත් ඊට හේතු වුණා. මේ අතර උතුරු කොකේසස් ප්‍රදේශවලින් පැමිණි ස්වේච්ඡා සටන්කාමීන් දකුණු අසේතියාවට විශාල සහයක් ලබාදුන්නා. රුසියානු හමුදා සාමාජිකයන් ද දකුණු අසේතියාව වෙනුවෙන් සටන් කළේයැ යි ජෝර්ජියාව චෝදනා කරනවා.


උතුරු අසේතියාව සහ දකුණු අසේතියාව​

1992 දී දෙපාර්ශවය අතර සටන් විරාමයක් අත්සන් කෙරුණු අතර ඒ අනුව දකුණු අසේතියාවේ ඇතැම් ප්‍රදේශ ජෝර්ජියාවේ පාලනය යටතේත් ඇතැම් ප්‍රදේශ බෙදුම්වාදී දකුණු අසේතියානු පාලනය යටතේත් පැවැතුණා.

මේ තත්ත්වය වෙනස් කිරීමට ජෝර්ජියාව සෑමවිටම අපේක්ෂා කළා. 2004 දී ජෝර්ජියාවේ ජනාධිපති ලෙස පත්වූ මිහායිල් සකාශ්විලි මේ පිළිබඳ කටයුතු කිරීමේ දැඩි අපේක්ෂාවෙන් පසුවුණා. 2008 දී රුසියාව සමග යුද්ධයකට මාර්ගය විවර වූයේ ඒ අනුවයි. ජෝර්ජියාව දකුණු අසේතියාවේ සිය බලය තහවුරු කිරීමට උත්සාහ කළ අතර රුසියාව ඊට ප්‍රතිචාර දක්වමින් ජෝර්ජියානුවන්ට පහර දුන්නා. එම සටන් දින කිහිපයක් තුළ අවසන් වූයේ දකුණු අසේතියාව ජෝර්ජියාවට අහිමි කරමින්. ඉන් අනතුරුව එම ප්‍රදේශය පූර්ණ ස්වාධීනත්වය ප්‍රකාශයට පත්කළා.

රුසියාවට ඒකාබද්ධ වීම
දකුණු අසේතියාව ජෝර්ජියාවෙන් වෙන්ව වෙනමම ඒකකයක් ලෙස පවතින අතර එහි ජනාධිපතිවරණ​, පාර්ලිමේන්තු මැතිවරණ ආදිය ද පැවැත්වෙනවා. ඒවා නිල වශයෙන් පිළිගනු ලබන්නේ දකුණු අසේතියාවට නෛතික පිළිගැනීමක් ලබාදුන් රාජ්‍යයන් පමණයි. 2022 ජනාධිපතිවරණය අප්‍රේල් 10 වනදා පැවැත්වීමට නියමිතව තිබූ අතර ඊට ප්‍රථමයෙන් හිටපු ජනාධිපති අනතෝලි බිබීලෆ් කියා සිටියේ රුසියාව සමග ඒකාබද්ධ වීම පිළිබඳ ජනමත විචාරණයක් ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී බිබීලෆ් පරාජය කරමින් අලාන් ගග්ලොයේෆ් ජයග්‍රහණය කළා. ඒ අනුව ජනමත විමසුම පිළිබඳ යම් අස්ථාවරත්වයක් මතුවුණා. නමුත් ගග්ලොයේෆ් ද එම ජනමතවිචාරණය පැවැත්වියයුතු යයි ප්‍රකාශයක් කර තිබුණා.

රුසියාව සමග සම්බන්ධ වීම පිළිබඳ ජනමතවිචාරණයක් පිළිබඳ කතාබහ ඇතිවූ පළමු අවස්ථාව මෙය නොවේ. 2012-2017 සමයේ දකුණු අසේතියානු ජනාධිපති ලෙස කටයුතු කළ ලියොනිද් තිබීලෆ් ද මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් එය එම අවස්ථාවේ යෝජනාවකින් ඔබ්බට ගියේ නැහැ.


අනතෝලි බිබීලෆ්

දකුණු අසේතියාව රුසියාව සමග ඒකාබද්ධ වීමෙන් අනතුරුව උතුරු අසේතියාව ද ඇතුලත්ව ඒකාබද්ධ අසේතියා ප්‍රදේශයක් ස්ථාපිත කිරීමේ අභිලාෂයක් ද තිබෙනවා. මේ පිළිබඳ උතුරු අසේතියානු දේශපාලකයන් තුළ ද දැඩි උද්‍යෝගයක් වේ යයි පෙනීගොස් තිබෙනවා. රුසියාව නිල වශයෙන් දකුණු අසේතියාව ඈඳාගැනීම හෝ ඒකාබද්ධ අසේතියාවක් පිහිටුවීම පිළිබඳ ඍජු සඳහනක් කර නැහැ. නමුත් එවැන්නක් කරා යොමුවීමේ සම් භාවිතාව ඉහළ බව පෙනී යනවා.

ජෝර්ජියාව මෙවැනි පියවරකට කිසිසේත්ම කැමැත්ත්ක දක්වන්නේ නැහැ. මේ හේතුවෙන් රුසියාව සහ ජෝර්ජියාව අතර අර්බුදකාරී තත්ත්වයක් යළි වර්ධනය වීම නොවැළැක්විය හැකියි.


Click on the Image

යුක්‍රේනයේ යුද්ධයක පැටලී සිටින රුසියාව එවැනි පියවරකට යනු ඇතිද යන්න ගැටළුවක්. නමුත් ජෝර්ජියානු ජනාධිපති සලෝමි සුරබිශ්විලි පසුගියදා පැහැදිලි ලෙසම කියා සිටියේ ජෝර්ජියාවට රුසියාව සමග යුද්ධයක් මගින් ජය ලැබිය නොහැකි බව යි.

ජෝර්ජියාවේ ආරක්ෂාව සඳහා ඇති විශ්වාසනීයම මාර්ගය යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට එක්වීම බව ඇය පෙන්වා දෙනවා.


Click on the Image

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.