ගල් විහාර හිටි පිළිමය
පොළොන්නරු යුගයේ බුද්ධ ප්‍රතිමා කියලා කිව්වම අපිට මුලින්ම මතක් වෙන ස්ථානයක් තමයි පොළොන්නරු ගල් විහාරය නොහොත් උත්තරාරාමය කියලා කියන්නෙ. අද ලිපියෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ පොළොන්නරු ගල් විහාරයේ තියෙන පිළිම අතරින් හිටි පිළිමය ගැනයි.
පොළොන්නරු ගල් විහාරයේ සංක්ෂිප්ත ඉතිහාසය
පොළොන්නරු ගල් විහාරය නිර්මාණය කරලා තියෙන්නෙ ක්‍රි.ව 12 වන සියවසේදියි. ඒ, පොළොන්නරු රාජධානියේ රාජ්‍ය පාලනය කරපු මහා පරාක්‍රමබාහු රජතුමාගේ මූලිකත්වයෙන්.
ගල් විහාර භූමියේ අපිට ගලින් කැටයම් කරපු බුද්ධ ප්‍රතිමා හතරක් දැකගන්න පුලුවන්. ඒ තමයි,
01. හිටි පිළිමය
02. විශාල ඉදි පිළිමය
03. කුඩා ඉදි පිළිමය (විජ්ජාධර ගුහාව තුළ)
04. පරිණිර්වාන පිළිමය
කුඩා ඉදි පිළිමය කැටයම් කරලා තියෙන විජ්ජාධර ගුහාව ඇතුළෙ අදටත් පොළොන්නරු යුගයේ සිතුවම් කරපු බිතු සිතුවම් වලින් කොටසක් ආරක්ෂා වෙලා තියෙනවා.
ඒ වගේම පිටත බිත්තියේ කැටයම් කරලා තියෙනවා ගල් විහාර සෙල්ලිපිය (පොළොන්නරු කතිකාවත). අනුරාධපුර රාජධානි සමයේ ථේරවාද, මහායාන, සාගලික ආදී වශයෙන් තුන් නිකායක් විදිහට බෙදිලා හිටපු භික්ෂූන් වහන්සේලා අතරේ සංඝ සාමග්‍රීය ඇති කරලා, නිකායන් තුනම, මහා පරාක්‍රමබාහු රජතුමා විසින් එක් නිකායක් විදිහට සමගි කරවපු විස්තරය තමයි මේ සෙල්ලිපියේ තියෙන්නෙ.
@elearninglk
හිටි පිළිමයේ ඉතිහාසය
පොළොන්නරු ගල් විහාරයේ ඉදි බුද්ධ ප්‍රතිමා දෙක සහ පරිනිර්වාන ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නෙ මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය පාලන සමයේදි කියලා ඓතිහාසික මූලාශ්‍ර වල තිබුණත්, හිටි පිළිමය ගැන කිසිම සඳහනක් නෑ. ඒ නිසා තවමත් මේ හිටි පිළිමය කවුරුන් විසින්, කොයි කාලෙක නිර්මාණය කළාද කියලා කියන්න පුලුවන්කමක් නෑ. ඒ නිසා දැනට ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් සැක කරනවා, මේ ප්‍රතිමාව මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයෙන් පස්සෙ, ඒත් පොළොන්නරුවේ රජකම් කරපු වෙනත් රජ කෙනෙක්ගේ මූලිකත්වයෙන් නිර්මාණය වෙන්න ඇති කියලා.
මේ විදිහට පස්සෙ කාලයක ප්‍රතිමාව කැටයම් කිරීමේ අරමුණ විදිහට දැනට තියෙන මතය තමයි, විජ්ජාධර ගුහාව සහ පරිණිර්වාන පිළිමය අතරේ තියෙන හිඩැස පිරවීම කියන අරමුණ.
ත්‍රිභංග ඉරියව්ව
උසින් අඩි 22ක් සහ අගල් 9ක් වන ගල් විහාර හිටි පිළිමයේ විශේෂත්වයන් අතරින් එක් විශේෂත්වයක් තමයි පිළිමයේ ඉරියව්ව. අපේ රටේ ප්‍රතිමා නෙළීමේ කලාවේ හිටි පිළිම කැටයම් කිරීම අභංග, සමභංග, ත්‍රිභංග ආදී වශයෙන් වර්ගීකරණයකට ලක් කරලා තියෙනවා.
ත්‍රිභංග කියලා කියන්නේ ශරීරයේ කොටස් තුනක් නැමී තිබීමයි. ගල් විහාර හිටි පිළිමය කියන්නේ ත්‍රිභංග ප්‍රතිමාවක්. පිළිමය දිහා සූක්ෂමව බැලුවොත්, මේ පිළිමයේ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශය ටිකක් නැමිලා තියෙනවා දකින්න පුලුවන්. ඒ වගේම ඉන ප්‍රදේශය නැමිලා තියෙනවා. ඊටත් අමතරව මේ ප්‍රතිමාවේ වම් පාදය, වම් දණහිසෙන් නැමිලා තියෙනවා.
හස්ථ මුද්‍රාව
මේ ප්‍රතිමාවේ අත් දෙක පපුවට ටිකක් තද වෙන්න, පපුව හරහා බැදගෙන ඉන්න විදිහට තමයි කැටයම් කරලා තියෙන්නෙ. මේ වගේ හස්ථ මුද්‍රාවක් තියෙන ප්‍රතිමා අපේ රටෙන් හොයාගෙන තියෙන්නෙ 10කටත් වඩා අඩු ප්‍රමාණයක්.
මේ හස්ථ මුද්‍රාවේ නම සහ සංඛේතවත් වෙන්නෙ මොකක්ද කියන එක අදටත් විවාදත්පන්න මාතෘකාවක්. ඒත් අද වෙනකොට ගොඩක් ඉතිහාසඥයන් පිළිගන්නෙ මේ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව කියලයි. ඒකෙන් සංඛේතවත් වෙන්නෙ බුදුන් වහන්සේ ලෝකය දෙස මහා කරුණාවෙන් බලන ආකාරයයි.
ඊට අමතරව සමහරක් ඉතිහාසඥයන් මත පල කරනවා මේ බුදුන් වහන්සේ අභිධර්මය මෙනෙහි කරන අවස්ථාව පිළිඹිබු වෙන අභිධර්ම මුද්‍රාව කියලා.
තවත් සමහර ඉතිහාසඥයන් මත පල කරනවා මේ අනීමිසලෝචන මුද්‍රාව කියලා. ඒ කියන්නෙ බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවට පස්සෙ දෙවෙනි සතියේ තමන්ට පිට දුන් ඇසතු වෘක්ෂය දිහා බලාගෙන, ඇසි පිය නොගසා, නොසෙල්වී කෘතගුණ දැක්වීමේ අවස්ථාව කියලා. මේකටත් හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ හස්ථ මුද්‍රාව සහිතව මේ අවස්ථාව ඉදිරිපත් කෙරෙන මහ නුවර යුගයේ බිතු සිතුවම් හමුවෙලා තියෙනවා. අනිත් කාරණය තමයි, මේ පිළිමය ඉස්සරහත් බෝධියක් රෝපණය කරලා තිබුණු බවට සාධක හමුවෙලා තියෙනවා.
ඒ හැරුණුකොට මේ මුද්‍රාවට ස්වස්තික මුද්‍රාව, රතනඝර මුද්‍රාව, අවධාන මුද්‍රාව, වජ්‍රහුංකාර මුද්‍රාව වගේ තවත් නම් විවිධ මත විදිහට යෝජනා වෙලා තියෙනවා.
මේ, ආනන්ද හාමුදුරුවන්ද?
මේ ප්‍රතිමාවෙන් නිරූපණය වෙන්නෙ බුදු හාමුදුරුවන් කියලා ගොඩක් ඉතිහාසඥයන් මත පල කරනකොට, සමහරක් ඉතිහාසඥයන් එකහෙලාම කියා සිටියේ මේ ප්‍රතිමාවෙන් නිරූපණය වෙන්නෙ ආනන්ද හාමුදුරුවන් කියලයි. මේ මත ගැටුමට ප්‍රධාන සාධකය වුණේ මේ ප්‍රතිමාව, පරිණිර්වාන ප්‍රතිමාව ළගින්ම කැටයම් කර තිබීමයි.
ඒ නිසා මේ ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රතිමාවක් කියන ඉතිහාසඥයන් කිව්වෙ බුද්ධ චරිතය අනුව බුදුන් වහන්සේ පිරිණිවන්පාන මොහොතේදී ආනන්ද හාමුදුරුවන්, බුදුන් වහන්සේ ළග ඉදගෙන හඩා වැළපුනා. මේ ප්‍රතිමාවේ මුහුණේ සංවේගයෙන් ඉන්න ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ වගේම මේ ප්‍රතිමාව පරිණිර්වාන ප්‍රතිමාව ළගින්ම කැටයම් කරලත් තියෙනවා. ඒ නිසා මේ ආනන්ද හාමුදුරුවන්ගේ පිළිමයක් කියලයි.
හැබැයි මේ බුද්ධ ප්‍රතිමාවක් කියන ඉතිහාසඥයන්ගේ මතය වුණේ මේ ප්‍රතිමාවෙන් බුදුවරයෙක්ගේ ලක්ෂණ ඉස්මතු වෙනවාය කියන මතයයි. අපේ රටේ ප්‍රතිමා නෙළීමේ සම්ප්‍රදායේ එක නීතියක් තියෙනවා, නෙළුම් මලක් මත කැටයම් කරන්න පුලුවන් බුදු කෙනෙක් හෝ බෝධිසත්වවරයෙක් විතරයි කියලා. මේ ප්‍රතිමාව කැටයම් කරලා තියෙන්නෙත් නෙළුම් මලක් මත. ඒ වගේම මේ ප්‍රතිමාවේ චීවරයක් තියෙනවා. ඒ නිසා මේ බුද්ධ ප්‍රතිමාවක් කියලා පැහැදිලි වෙනවා.
ඒ වගේම මේ බුද්ධ ප්‍රතිමාවේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් කිහිපයක් ඉස්මතු වෙනවා. ඒ අතරේ එක සමාන ඇගිලි තිබෙන පාද, බොකුටු ස්වභාවයක් සහිත හිස කෙස් දක්ෂිණාවර්තව කැරකී තිබීම, උරහිස දක්වා තිබෙන දිගැටි කන් පෙති ආදීය උදාහරණ විදිහට දක්වන්න පුලුවන්.
ඒ විතරක් නෙවේ, බුදුන් වහන්සේ පිරිණිවන් පාන අවස්ථාවේදී ආනන්ද හිමියන් සිට තිබෙන්නෙ බුදුන් වහන්සේගේ පාද මූලය අසල මිසක් ශීර්ෂය අසල නෙවේ.
ඊටත් අමතරව බුද්ධ ප්‍රතිමා තුනක් තිබෙන ස්ථානයක, මේ ප්‍රතිමාව වෙනත් අයෙකුගේ ප්‍රතිමාවක් විදිහට කැටයම් කරන්නත් හේතුවක් නෑ.
වෙනත් කරුණු
ලිපිය අවසන් කරන්න කලින් තවත් කරුණු කිහිපයක් කියනවා නම්, මේ ප්‍රතිමාවේ එක් උරහිසක් විවෘතයි. සිවුර ශරීරයට ඇලුනු බවක් පෙන්නුම් කරනවා. ප්‍රතිමාව අවට අධ්‍යනය කළොත්, අතීතයේදී මේ ප්‍රතිමාව කුටියක් ඇතුළේ නිර්මාණය කරලා තිබුණු බවට, ප්‍රතිමාව වටේ තියෙන අත්තිවාරම් කොටස් වලින් තහවුරු වෙනවා.
ප්‍රතිමාව කැටයම් කරලා තියෙන ගල් පර්වතයේ තැනින් තැන කළු පාට වෛරම් තියෙනවා. මේ වෛරම් නිසා මේ ප්‍රතිමාවට අමුතුම විදිහේ කලාත්මක බවක් ස්වභාවිකව ලැබිලා තියෙනවා.
මූලාශ්‍ර
01. ලක්දිව සුපතල බුදු පිළිම (කෘතිය) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මාලිංග අමරසිංහ මහතා
02. පොළොන්නරුවේ ගල් විහාරය (ලිපි | පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව) – එන්.එච්.සමරසිංහ මහතා
03. සිරිලක බුදු පිළිමය (වාර්තාමය වැඩසටහන) – ජාතික රූපවාහිනිය
විශේෂ ස්තූතිය
01. වෛද්‍ය සදමාලි නාගහවත්ත මහත්මිය වෙත (කරාපිටිය ශික්ෂණ රෝහල) – ඡායාරූප ලබා දීම වෙනුවෙන්
02. වෛද්‍ය තරංග ප්‍රසාද් මහතා වෙත (කරාපිටිය ශික්ෂණ රෝහල) – ඡායාරූප ලබා දීම වෙනුවෙන්
03. චාමර සුමනපාල මහතා වෙත (විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක) – ඡායාරූප ලබා දීම වෙනුවෙන්