ගිම්හාන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරගාවලිය

August 9, 2021

වර්තමානයේ අප කවුරුත් දන්නා පරිදී ගිම්හාන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාවක් අන්තර්ගතව නැත. එනමුත් අතීතයේ තත්වය වෙනස්‍ ය.

පුරාණ ග්‍රීක ලියැවිලි වලින් හෙළිදරව් වන පරිදී, පුරාණ ඔලිම්පික් ක්‍රීඩා ග්‍රීසියේ ඔලිම්පියා හිදී, පෞර රාජ්‍යයන් අතර තරග වලින් සමන්විතව පවත්වා ඇති අතර, සියුස් දෙවියන්ට උපහාර පිණිස ඒවා පවත්වා තිබේ. ක්‍රි.පූ 776 දී පුරාණ ඔලිම්පික් ක්‍රීඩා ඇරඹුණු බවට සැලැකෙන අතර සෑම වසර 4 කටම වරක් තරග පවත්වා තිබේ. ග්‍රීසිය හතරවන සියවසේදී රෝමයට යටත් වන තෙක් මේ ඔලිම්පික් තරගාවලි පවත්වා තිබේ.

නූතනයේ Baron Pierre de Coubertin මහතා 1894 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවක් පිහිටවූ අතර, ඔවුන්ගේ සංවිධානය යටතේ 1896 දී මුල්ම නූතන ඔලිම්පික් උළෙල ග්‍රීසියේ ඇතන්ස් හිදී පවත්වා තිබේ.

මේ 1896 තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමේ සූදානමක් තිබුණත් එය සිදු වූයේ නැත.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

එනමුත් ඉන්පසුව 1900 දී ප්‍රංශයේ පැරිස් නුවර පැවතී ගිම්හාන ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව ඊට ඇතුළත් කෙරුණු අතර, ඊට සහභාගී වී ඇත්තේ එංගලන්තයේ (මහා බ්‍රිතාන්‍යයේ) සහ ප්‍රංශයේ ක්‍රිකට් කණ්ඩායම් පමණි.

ප්‍රංශ කණ්ඩායම බොහෝ දුරට ප්‍රංශයේ වාසය කරන ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් සමන්විතව ඇති අතර ඉංග්‍රීසි කණ්ඩායමේ Devon & Somerset Wanderers Cricket Club හි ක්‍රීඩකයන් සහභාගී වී ඇත. Montagu Toller, Alfred Bowerman වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන් එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කොට තිබේ.

කණ්ඩායම් දෙක අතර තරගය දින දෙකක (අගෝස්තු 19-20) ටෙස්ට් තරගයක් ලෙස පවත්වා තිබේ. කණ්ඩායමක ක්‍රීඩකයන් 12 ක් ක්‍රීඩා කොට තිබේ. දෙවන දිනයේ ප්‍රංශය තවත් විනාඩි පහක් අල්ලාගෙන සිටියේ නම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමට ඉඩක් තිබී ඇත. අවසානයේ එංගලන්තය තරගය ලකුණු 158 කින් ජයග්‍රහණය කොට රන් පදක්කම දිනාගෙන තිබේ.

මේ තරගය පිළිබඳ මතකය ගිලිහී යන්නට ඉඩක් තිබූ නමුදු ජයග්‍රාහක එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක ජෝන් සිම්ස් තරගයේ ලකුණු විස්තරය අත් අකුරින් ලියා තිබූ හෙයින් එය එසේ වූයේ නැත.

1904 ඇමරිකා එක්සත් ජනපදයේ St. Louis, Missouri හි පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලටද ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදමින් තිබුනද පසුව එය අහෝසි වී එතැන් සිට ඔලිම්පික් තරග වලින් ක්‍රිකට් ක්‍රීඩාව ඉවත් වී තිබේ. නැවතත් ක්‍රිකට් ඔලිම්පික් උළෙලට ඇතුළත් කර ගැනීමට මෑත කාලීනව ඇතැම් පාර්ශ්ව උත්සාහ දරමින් සිටිති.

ප්‍රංශයේ ජාතික කණ්ඩායමක් මෙසේ අතීතයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී ඇති මුත් පසුකාලීනව එය අභාවයට ගොස් තිබේ. වර්තමාන ප්‍රංශ ක්‍රිකට් මණ්ඩලය ඇරඹෙන්නේ 1987 දීය. තවමත් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රංශයේ දියුණු මට්ටමක නැත. වර්තමාන ICC ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රංශ කණ්ඩායම T 20 : 48 වන ස්ථානයේ සිටී.

එනමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය පිළිබඳ ඇතැම් මත වලට අනුව පුරාණයේ මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වී ඇත්තේ එංගලන්තයේ නොව ප්‍රංශයේය. ප්‍රංශයේ පුරාණ 1478 ලියමනක (French manuscript) බැට් සහ බෝල වලින් Pas-de-Calais නම් ගම්මානයේදී සිදු කළ “criquet” නම් ක්‍රීඩාවක් පිළිබඳව සඳහන්ය. “criquet” යන වදන පැරණි ප්‍රංශ භාෂාවෙන් කණුව හෝ විකට්ටුව හඟවන වචනයකි.

14 වන 15 වන සියවස් වලදී එංගලන්ත හමුදා ප්‍රංශය ආක්‍රමණය කොට සිය අවුරුදු යුද්ධය ඇවිලී තිබුණි. මේ හේතුවෙන් ප්‍රංශයේ මෙසේ අතීතයේ ක්‍රිකට් ක්‍රීඩා කෙරී ඇත්තේ ඉංග්‍රීසින්ගේ බලපෑමෙන් වීමටද ඉඩ තිබේ. එසේම ප්‍රංශයේ කෙරුණු ක්‍රිකට් ක්‍රීඩාව, ආක්‍රමණික ඉංග්‍රීසින් උගත්තා විය හැකිය.

අතීත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Robert Walpole ගේ පුත්‍රයා වූ Horace Walpole 1766 දී ප්‍රංශයේ ක්‍රිකට් ක්‍රීඩා වූ අවස්තාවක් දැක ඒ පිළිබඳ ලියා තිබේ.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.