ඇෆ්ඝනිස්ථාන් චෙස් අතෙහි ඊළඟ පියවර කාගෙද?

July 30, 2021

ඇමරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වීම 2021 අගෝස්තු 1 වනදා නිල වශයෙන් සම්පූර්ණ වනවා. ඇත්තෙන්ම ගත්තොත් මේ වනවිට ද ඔවුන් බොහෝදුරට එරටින් ඉවත්වගොස් අවසන්. කෙසේ වෙතත් අගෝස්තු 1 වනදා දිනය සන්ධිස්ථානයක් ලෙස ගෙන අපට ඇෆ්ඝනිස්ථානයේ අනාගත නැඹුරුව පිළිබඳ සිතන්නට අවස්ථාව තිබෙනවා.

ඇමරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්ව යාමත් සමග ඊළඟ වැදගත් සාධකය චීනය වනබව මතුපිටින් නොපෙනුණ ද ඉතා පැහැදිලිව දකින්න තිබුණා. මෑතකදි චීන විදේශ ඇමති වෑන් යී බැහැදකින්නට තලේබාන් දූත පිරිසක් එරටට සංචාරය කිරීමත් සමග මෙය ඉතා පැහැදිලි කරුණක් බවට පත්වුණා.


තලේබාන් සංවිධානයේ දූත පිරිස චීන විදේශ ඇමති හමුවී (Chinese Foreign Ministry)

ඉතින් මේ අවස්ථාවේ ඇෆ්ඝනිස්ථානයේ ඊළඟ පියවර චීනයේ වන බවට අනාවැකි පහළ වන්නේ නිතැතින්මයි. චීනය පසුගිය දිනවල ඇෆ්ඝන් රජය සමග ද සබඳතා පවත්වාගෙන ගියබව අප දන්නවා. ඔවුන් ඇෆ්ඝනිස්ථානය වෙත කෝවිඩ්-19 එන්නත් තොගයක් ද ප්‍රදානය කළා.

තලේබාන් සංවිධානය පිළිබඳ ද චීනය නිල වශයෙන්පවසන මතය වන්නේ එම සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ ප්‍රතිසන්ධානය සහ ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් සාධකයක් වන බවයි. එමෙන්ම නැගෙනහිර ටර්කිස්ථාන් ඉස්ලාමීය ව්‍යාපාරය මර්ධනය කිරීම සඳහා තලේබාන්වරුන්ගේ සහය ලැබෙතැයි විශ්වාස කරන බව චීනය පවසා තිබුණා.

පාකිස්ථානය හරහා දිවෙන චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ (CPEC) කටයුතු මේ දිනවල අවසානය කරා ගමන් කරමින් තිබෙනවා. එවිට මලක්කා සමුද්‍ර සන්ධිය මගහැර මැදපෙරදිග සිට තම රට වෙත මාර්ගයක් නිර්මාණය කරගැනීමට චීනයට අවකාශය ලැබෙනවා.

ඊළඟ අරමුණ විය හැක්කේ මෙම CPEC මාර්ගය කන්දහාර් හෝ කාබුල් හෝ වැනි ප්‍රදේශයක් හා යා කිරීමයි. පාකිස්ථානයේ ක්වෙටා ප්‍රදේශයේ සිට ඇෆ්ඝනිස්ථානයේ කන්දහාර් දක්වා මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ සලකා බැලෙන බව සඳහන්.

තලේබාන් පාලනයක්
අනාගතයේදී ඇෆ්ඝනිස්ථානය සම්පූර්ණයෙන් තලේබාන් පාලනයට යටත් වේදැයි යන සාකච්ඡාව මේ වනවිට මතුවී තිබෙනවා. තලේබාන් සංවිධානය නොබෝදා පවසා තිබුණේ රටේ භූමි ප්‍රදේශයෙන් සියයට 85 ක් ඔවුන් අත පවතින බව.

මෙම ප්‍රකාශය සාවද්‍ය බවයි පෙනී යන්නේ. ඇෆ්ඝනිස්ථානයේ ප්‍රාන්ත 34 න් එකකවත් අගනගර ඔවුන් අතට පත්ව නැහැ. එමෙන්ම ඔවුන් අල්ලාගත් ඇතැම් දිස්ත්‍රික්ක ආපසු රජය යටතට පත්වූ බව සඳහන් වුණා. නමුත් පිටිසරබද ප්‍රදේශ ගණනාවක් තලේබාන් පාලනය යටතට පත්ව ඇතිබව පැහැදිලි කරුණක්.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

තලේබාන් සංවිධානයට සමස්ථ ඇෆ්ඝනිස්ථානයේ ම බලය අල්ලාගැනීමට විශාල අභියෝගයක් පසුකළ යුතු වනවා. රජයේ හමුදා පිටිසරබද ප්‍රදේශයන්ගෙන් පසුබා ගිය ද නාගරික ප්‍රදේශයන් හි ඔවුන්ට තවම සැලකිය යුතු බලයක් තිබෙනවා.

මීට අමතරව ඇෆ්ඝනිස්ථානයේ කාලයක් තිස්සේ යම් බලයක් ගොඩනගාගෙන සිටින යුධ නායකයින් කිහිප දෙනෙක් ද මේ අවස්ථාව වනවිට තලේබාන් සංවිධානයට එරෙහිව පෙළගැසී සිටිනවා. පශ්තුන්වරුන් නොවන ජනතාව අතර තලේබාන්වරුන්ට එතරම් ප්‍රසාදයක් නොමැති හෙයින් ඔවුන්ට සමස්ථ රටෙහිම බලය අල්ලාගැනීම පහසු වන්නේ නැහැ.

ජාත්‍යන්තර කලාපීය සාධක
ජාත්‍යන්තර වශයෙන් සලකන කල පාකිස්ථානය නොමැතිව ඇෆ්ඝනිස්ථානයේ අනාගතය පිළිබඳ සැලකිය නොහැකියි. තලේබාන් සංවිධානයට ද නැවත මේ සා බලයක් ගොඩනැගීමට ඉවහල් වූයේ පාකිස්ථානය යි.

එහෙත් පාකිස්ථානය ද තමන්ගෙන් ස්වාධීනව ප්‍රබල ලෙස නැගී සිටිය හැකි තලේබාන් සංවිධානයක් අපේක්ෂා කරන්නේ නැහැ. එහෙයින් තලේබාන්වරුන්ට විශාල බලයක් ගොඩනැගෙන්නේ නම් ඒ පිළිබඳ පාකිස්ථානය අවධානය යොමු කරනු නිසැකයි. එහෙත් අනෙක් අතට ඇෆ්ඝනිස්ථානය දිගටම අස්ථාවරව පැවතීම ද පාකිස්ථානයට එතරම් යහපත් වන්නේ නැහැ.

ඇෆ්ඝනිස්ථානයේ අස්ථාවරත්වය පැවතීම් මෙන්ම එහි ඉස්ලාමීය අන්තවාදය පැතිර යාම කෙරෙහි තජිකිස්ථානය සහ උස්බෙකිස්ථානය ආදී මධ්‍යම ආසියාතික රටවල අවධානය යොමුව තිබෙනවා. එවන් තත්ත්වයකදී තම රටවල ද ඉස්ලාමීය අන්තවාදය හිස ඔසවනු ඇතැයි යන බිය ඔවුන්ට තිබෙනව. රුසියාව ද මේ පිළිබඳ සිටින්නේ අවධානයෙන්.

මේ හේතුව නිසාවෙන්ම රුසියාව, තජිකිස්ථානය සහ උස්බෙකිස්ථානය අගෝස්තු මුලදී තජිකිස්ථානයේ ඇෆ්ඝන් දේශසීමාව ආසන්න ප්‍රදේශයක ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් සඳහා ද සූදානම් වනවා.


තලේබාන් විරෝධී සටන්කාමීන් (Reuters)

සුන්නි මුස්ලිම් සංවිධානයක් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගැනීම පිළිබඳ ඉරානය ද සිටින්නේ විමසිල්ලෙන්. එක් අතකින් එය ඔවුන්ගේ නැගෙනහිර දේශසීමාව දෙසට තර්ජනයක්. අනෙක් අතින් එය ඇෆ්ඝනිස්ථානයේ ශියා මුස්ලිම්වරුන්ට තර්ජනයක්. එහෙයින් ඒ පිළිබඳ ඉරානයේ අවධානය යොමුවීම ස්වාභාවිකයි.

මේ අතර ඇමරිකාව ද ඇෆ්ඝනිස්ථානය සහමුලින් අමතක කරදමා පළාගියේය යන අපකීර්තියෙන් ගැලවීමට මං සොයනවා. එහෙයින් එක් අතකින් ඔවුන් ද තජිකිස්ථානය ස්හ උස්බෙකිස්ථානය සමග යම් යම් සාකච්ඡාවන් හි යෙදී සිටිනවා. අනෙක් අතට පාකිස්ථානය සමග ද ඇමරිකානුවන්ගේ කතාබහ යම් ප්‍රමාණයකට සිදුවනවා. අනෙක් කලාපීය වැදගත්කමකින් යුතු ඉන්දියාව සමග ද ඇමරිකානු කතාබහ සිදුවන බවට ප්‍රධාන සාධකය වූයේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ ඉන්දීය සංචාරය යි.

මෙහිදී බ්ලින්කන් සහ ඉන්දීය විදේශ ලේකම් සුබ්‍රමනියම් ජායිශංකර් යන දෙදෙනාම ඇෆ්ඝනිස්ථානයේ ප්‍රචණ්ඩකාරී බල හුවමාරුවක් ප්‍රතික්ෂේප කළා. නමුත් එහිදී ද පාකිස්ථානය පිළිබඳ දෙදෙනාගෙන් මතුවූයේ වෙනස් අදහසක්. ඇෆ්ඝනිස්ථානයේ ස්වෛරීභාවය සඳහා අයහපත් විදෙස් බලපෑම්වලින් එරට නිදහස් වියයුතු බව ජායිශංකර් පැවසූයේ පාකිස්ථානය අරමුණු කරගෙන බව පැහැදිලියි. නමුත් බ්ලින්කන් ඒ පිළිබඳ අදහස් දැක්වීමක් සිදුකළේ නැහැ.

ඇෆ්ඝනිස්ථානයේ සිද්ධීන් පිළිබඳ කළයුතු දෙයක් වේද, එසේ නම් එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉන්දියාව තවමත් ව්‍යාකූල තත්ත්වයක සිටින බව මේ වනවිට ද පැහැදිලිව දිස්වන කරුණක්. සමස්ථ ඇෆ්ඝන් අර්බුදයේදීම ඉන්දියාව පසෙකට තල්ලු වී තිබෙන බවක් පෙනී යනවා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.