ආම් ආද්මි පක්ෂයේ අනාගතය

March 17, 2022

ඉන්දියාවේ 2022 පෙබරවාරියේ පැවති පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයේදී ආම් ආද්මි පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ අනුව මේ වනවිට​ දිල්ලියේ මෙන්ම පන්ජාබ් ප්‍රාන්තයේ ද බලය එම පක්ෂයට හිමිව තිබෙනවා. මෙය ආම් ආද්මි පක්ෂයේ සාර්ථකත්වය මෙන්ම එහි අනාගතය පිළිබඳව ද සාකච්ඡාවක් නිර්මාණය වීමට හේතු වුණා.

මැතිවරණයට පෙර සිටම පන්ජාබයේ ජයග්‍රහණය පිළිබඳ ආම් ආද්මි පක්ෂය විශාල බලාපොරොත්තු තබා තිබුණා. 2022 පෙබරවාරි 15 වනදා සමග සාකච්ඡාවකට එක්වූ පක්ෂ නායක අර්වින් ද් කෙජ්රිවාල් සඳහන් කළේ එවකට මහ ඇමති වූ චරන්ජීත් සිං චන්නි තමන් ඉදිරිපත් වන ආසන දෙකෙන්ම පරාජය වන බවයි. ඔහු ඒ පිළිබඳ කෙතරම් විශ්වාසය පළ කළේද යත් තම අත් අකුරින්ම එම අනාවැකිය සටහන් කර අත්සන් කර දෙන්නට ද පසුබට වූයේ නැහැ.

පන්ජාබයේදී කොන්ග්‍රස් පක්ෂය කඩාවැටීම එතරම්ම පුදුමයක් වූයේ නැහැ. නමුත් ආම් ආද්මි පක්ෂය හැරුණු විට අන් සියළු ප්‍රධාන පක්ෂවල ප්‍රබලයින් පරාජය වීම තුළ එම පක්ෂය කෙතරම් විශාල ජයග්‍රහණයක් ලබාගත්තේ ද යන්න පැහැදිලියි. ප්‍රාන්ත සභාවේ ආසන 117 න් 92 ක බලය ඔවුන් වෙත හිමිවුණා.

විපක්ෂ දේශපාලන බලවේගයක්
ආම් ආද්මි පක්ෂයේ සාර්ථකත්වය මෙන්ම කොන්ග්‍රස් පක්ෂයේ කඩාවැටීම හේතුවෙන් අනාගතයේදී භාරතීය ජනතා පක්ෂයට අභියෝග කළහැකි විපක්ෂ බලවේගය ලෙස ආම් ආද්මි පක්ෂය මතුවිය හැකි බවට අදහසක් සාකච්ඡා වෙමින් පවතිනවා. කොන්ග්‍රස් පක්ෂය හැරුණු විට අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂ බොහොමයක් ප්‍රාදේශීය හෝ ආගමික හෝ කුල පදනම් මත මූලික වූ ජන පදනමක් ගොඩනගාගෙන ඇති හෙයින් ඒවාට ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ බවට පත්වීමේ නොහැකියාවක් තිබෙනවා.

විපක්ෂයේ සිටින පක්ෂ අතුරින් ජාතික මට්ටමේ ව්‍යාප්තියක් ඇත්තේ කොන්ග්‍රස් පක්ෂයට පමණයි. එහෙත් ගාන්ධිවරුන් ගේ නායකත්වය යටතේ කොන්ග්‍රස් පක්ෂයට විකල්පයක් අවශ්‍ය බව නැවත නැවතත් පැහැදිලි වෙද්දී එම විකල්පය කොයි දෙසින් මතුවේදැයි යන අවිනිශ්චිතතාවය පවතිනවා. ආම් ආද්මි පක්ෂය ඒ සඳහා හොඳ විකල්පයක් වනු ඇති.


ආම් ආද්මි පක්ෂ ආධාරකරුවන් පිරිසක්

ආම් ආද්මි පක්ෂය ප්‍රාදේශීය​, ආගමික හෝ කුල පසුබිමකින් එන පක්ෂයක් නොවේ. එය පිහිටුවන අවස්ථාවේ එහි මූලික අදහස වූයේ දූෂණ විරෝධයයි. එමෙන්ම එය සුබසාධනවාදී පක්ෂයක් වනවා. සහනදායී මිලට විදුලිය සහ ජලය සැපයීම වැනි කරුණුවල සිට සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කෙරෙන සුබසාධන කටයුතු හේතුවෙන් දිල්ලියේ එම පක්ෂය බෙහෙවින් ශක්තිමත් තැනක සිටිනවා.

එමෙන්ම තවත් පාර්ශවයකින් ආම් ආද්මි පක්ෂය සුවිශේෂී තැනක් ගන්නවා. එය ජාතිකවාදී ස්ථාවරයක් ගන්නා පක්ෂයක්. ඉන්දු-පාකිස්ථාන උණුසුම් තත්ත්වයන් නිර්මාණය වෙද්දී මෙන්ම වෙනත් ආන්දෝලනාත්මක කරුණුවලදී එම පක්ෂය ජාතිකවාදී ස්ථාවරයක් හෝ නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු දකින්න ලැබෙනවා.

තවද එම පක්ෂය භාරතීය ජනතා පක්ෂය මෙන් දැඩි හින් දුත්වවාදී පක්ෂයක් නොවුණත් හින්දු ආගමට බෙහෙවින් අනුග්‍රහ දක්වන අයුරු දිස්වනවා. පක්ෂ නායකයා මෙන්ම දිල්ලි මහ ඇමති ද වන අර්වින්ද් කෙජ්රිවාල් හින්දු ආගමික ස්ථාන වන්දනාමාන කිරීම සාමාන්‍ය දෙයක්. එමෙන්ම දිල්ලියේ වැඩිහිටි ජනතාවට නොමිලේ වන්දනා ගමන් යා හැකි වැඩපිළිවෙලක් ද ඔහු විසින් ක්‍රියාවට නංවනු ලැබුණා. එහිදී ද වැඩි අවධානය යොමුව ඇත්තේ හින්දු ආගමික ස්ථාන වෙතයි.

මේ ආකාරයෙන් එක් පසෙකින් භාරතීය ජනතා පක්ෂයට විරුද්ධ කඳවුරේ සිටගන්නා ගමන් ප්‍රධාන කරුණු කිහිපයකදීම ආම් ආද්මි පක්ෂයට භාරතීය ජනතා පක්ෂය සමග සමානකම් තිබෙනවා.

අන් විපක්ෂ කණ්ඩායම් වෙත භාරතීය ජනතා පක්ෂය විසින් එල්ල කරන මුස්ලිම් ප්‍රජාවට වැඩියෙන් සැලකීම​, ඉහළ පැළැන්තියේ රදළ දේශපාලනයේ යෙදීම​, හින්දු විරෝධී බව ආදී සත්‍ය සහ ව්‍යාජ චෝදනා ආම් ආද්මි පක්ෂය වෙත එල්ල කිරීම එතරම් පහසු නැහැ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

කෙජ්රිවාල්ට එරෙහිව විවිධ අවස්ථාවල භාරතීය ජනතා පක්ෂය විසින් ත්‍රස්තවාදී චෝදනා එල්ල කරන්නට උත්සාහ කර තිබෙනවා. කලක් ඔහු නැක්සල්වාදියකු යයි චෝදනා කෙරුණු අතර පන්ජාබ් මැතිවරණය අතරතුර ඔහු කාලිස්ථානවාදියකු යයි චෝදනා නැගුණා.

කෙසේ වෙතත් කෙජ්රිවාල් මෙම චෝදනාවලට කෙලින්ම මුහුණ දී ඒවා බිඳ දැමීමට උත්සාහ කිරීමේ ක්‍රමවේදයක් භාවිතා කරනවා. එමෙන්ම ඔහු මාධ්‍ය ඉදිරියේද ඉතා ශූර ලෙස හැසිරෙන්නට සමත් අයෙක් බව පෙන්වා තිබෙනවා.

දක්ෂ​ නායකත්වය
භාරතීය ජනතා පක්ෂය අන් කිසිදු කලකට වඩා සාර්ථක දේශපාලන බලවේගයක් බවට පත්වීමට පටන් ගත්තේ නරේන්ද්‍ර මෝදි එහි නායකත්වයට පත්වීමත් සමග බව නොරහසක්. එමෙන්ම ඔහු අසළින්ම එහි ප්‍රධානම සංවිධායකයා සහ මැතිවරණ උපක්‍රම සකසන්නා වන අමිත් ෂා සිටිනවා. භාරතීය ජනතා පක්ෂයට ඉන්දියාවේ ප්‍රබල බලවේගයක් වීමට හැකියාව ලැබුණේ මෝදිගේ ප්‍රතිරූපය සහ අමිත් ෂාගේ සංවිධාන ශක්තිය එක්වීමෙන් බව සුපැහැදිලියි.


අර්වින්ද් කෙජ්රිවාල්

අර්වින්ද් කෙජ්රිවාල්ගේ දේශපාලනය දෙස නිරීක්ෂණය කිරීමේදී ආම් ආද්මි පක්ෂයට ද ප්‍රබල​, ශූර නායකත්වයක් සිටින බව පැහැදිලියි. මෙය එම පක්ෂයට ද සැලකියයුතු වාසියක් වනු ඇති. කෙසේ වෙතත් ඒ සමගම එම පක්ෂයේ සංවිධාන ශක්තිය වැඩිදියුණු කරගැනීමට තව බොහෝ දුරක් යා යුතු බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

අනෙක් අතට​, තවමත් නව පක්ෂයක් නිසාවෙන් ආම් ආද්මි පක්ෂයේ සංවිධාන ශක්තිය වැඩිදියුණු කරගන්නා අතරම දෙවන පෙළ නායකත්වයක් ද පැහැදිලිව ගොඩනගාගත යුතුයි. එක් නායකයකු මත රඳා පවතින දේශපාලන ව්‍යාපාරයකට ඕනෑම මොහොතක අභාග්‍යසම්පන්න කඩාවැටීමකට මුහුණදීමේ අවදානම තිබෙනවා. එහෙයින් අනෙකුත් නායකයන් කිහිප දෙනෙක් ද වඩ වඩා කරලියට ගැනීම අවශ්‍ය වනවා.

අනාගත ව්‍යාප්තිය
ආම් ආද්මි පක්ෂයට මේ වනවිටත් ස්ථාවර ලෙස පවතින ප්‍රාදේශීය විපක්ෂ දේශපාලන පක්ෂ තිබෙන ප්‍රාන්තවලදී සැලකියයුතු බලයක් ගොඩනගාගැනීමට හැකිවේ යයි සිතීම අපහසුයි. ඔවුන් 2021 බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයට තරග කිරීමටවත් ඉදිරිපත් නොවීම ඊට එක් උදාහරණයක්. එහෙයින් ආම් ආද්මි පක්ෂය වැඩි අවධානය යොමු කරනු ඇත්තේ කොන්ග්‍රස් පක්ෂය හැර වෙනත් ප්‍රබල විපක්ෂ කණ්ඩායම් නොමැති ප්‍රාන්ත කෙරෙහියි.

එහිදීද ආම් ආද්මි පක්ෂයට කොන්ග්‍රස් පක්ෂය වෙත අභියෝග කර විපක් ෂයේ ප්‍රබලයා වීමේ හැකියාව ඇතිදැයි නිශ්චිතව කිව නොහැකියි. මෙවර ප්‍රාන්ත සභා මැතිවරණවලදී එවැනි එක් ප්‍රාන්තයක් වූ උත්තරාඛන්ද් හි එම පක්ෂය තරග වැදුණ ද කිසිදු ආසනයක් දිනාගැනීමට ඔවුන් අසමත් වුණා.

මෙම වසර අවසානයේදී ගුජරාටයේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිත අතර එය ආම් ආද්මි පක්ෂයට ඉතා වැදගත් වනු ඇති. මීට කලකට පෙර පැවති ගුජරාට් ප්‍රාදේශීය මැතිවරණවලදී සූරත් ප්‍රදේශයේදී ආම් ආද්මි පක්ෂය හොඳ ප්‍රතිඵල පෙන්වන්නට සමත් වුණා. එහෙයින් අනාගත ප්‍රාන්ත මැතිවරණයේදී ගුජරාට් ප්‍රාන්තයේදී ආසන කිහිපයක් හෝ දිනාගැනීමට එම පක්ෂය අපේක්ෂා කරනු ඇති.

ආම් ආද්මි පක්ෂයට තනිව ඉන්දියාවේ බලයට පැමිණීමට හැකිවේ යයි සිතීමට අපහසුයි. කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂයට විරුද්ධ කඳවුරේ බලවේග ඒකරාශී කළ හැකි කේන්ද්‍රයක් ගොඩනැගීම එම පක්ෂයේ අරමුණ වනු ඇති. වර්තමානයේදී එවන් හැකියාවක් ඇති එකම පක්ෂය කොන්ග්‍රස් පක්ෂය වුවද එම පක්ෂය තමන්වම විනාශ කරගැනීමේ කාර් යයේ නිරත වෙමින් සිටින බැවින් විපක්ෂ දේශපාලන පක්ෂ ඔවුන් සමග පුළුල් සන් ධානයකට යනු ඇතැයි සිතීමට අපහසුයි. එමෙන්ම වෙනත් විපක්ෂ බලවේගයකට ද ජාතික මට්ටමේ කේන්ද්‍රයක් වීමට හැකියාවක් ඇතැයි සිතන්නට ද බැහැ. ආම් ආද්මි පක්ෂයට ද නුදුරේදී එවැනි හැකියාවක් ඇති යයි සිතීම අපහසු වුනත් තවත් වසර හත අටක් තුළ එවන් තැනකට ගමන් කිරීමේ හැකියාවක් ඊට තිබෙන බව කිව හැකියි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.