ජපානයට නව අගමැතිවරයෙක්

September 30, 2021

ජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වයට හිටපු විදේශ අමාත්‍ය ෆුමියෝ කිෂිදා පත්වුණා. පක්ෂයේ නායකත්වය සඳහා පවත්වන ලද තරගයේදී ඡන්ද 257 ක් ලබාගනිමින් මෙම ජයග්‍රහණය තහවුරු කරගැනීමත් සමග ඔහු ජපානයේ මීළඟ අගමැති ලෙසට පත්වීම ද තහවුරු වුණා.

කිෂිදා සමග තරග කළ ප්‍රධාන අපේක්ෂකයා වූයේ තාරෝ කෝනෝ යි. කෝනෝ ඡන්ද 170 ක් ලබාගන්නට සමත් වුණා. මීට අමතරව කාන්තාවන් දෙදෙනකු ද තරගයට ඉදිරිපත් වූ නමුත් ඔවුන් දෙදෙනා පළමු වටයෙන් පසු තරගයෙන් ඉවත් වුණා.

අගමැති යොෂිහිදේ සුගා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙසේ නව නායකයකු අවශ්‍ය වුණා. සුගා සිය තනතුරෙන් ඉවත් වූයේ වසරක් වැනි කෙටි කාලයක් එම ධුරය දැරීමෙන් අනතුරුවයි.

විශේෂයෙන්ම කෝවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට අපොහොසත්වීම සුගාගේ ඉල්ලා අස්වීමට බලපෑ බව පැවසෙනවා.

පාලක පැලැන්තියේ දිගුවක්
කිෂිදා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයා බවට පත්වීම එතරම්ම පුදුමයට කරුණක් වූයේ නැහැ. එමෙන්ම ඔහු බලයට පැමිණීමෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති බරපතල වෙනසකට භාජනය වේ යයි සිතිය නොහැකියි. ඔහු සාමාන්‍යයෙන් තරමක් ලිබරල් අදහස් ඇත්තකු වුණ ද සමරිසි විවාහ වැනි කරුණුවලදි සම්ප්‍රදායික මතයක සිටින්නෙක්. එමෙන්ම පොදුවේ ගත්කළ ජපන් පාලක පැලැන්තියේ නියෝජනයක් ලෙස ඔහු සලකන්නට හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ කෝනෝ ඊට වඩා වෙනස් අදහස් දරන්නෙක්.


කිෂිදා සහ සුගා, කිෂිදාගේ ජයග්‍රහණයෙන් අනතුරුව​

මේ අනුව කිෂිදාගේ ජයග්‍රහණය, වෙනසක් වෙනුවට පැවති මතවාදය තවදුරටත් පවත්වාගැනීම පිළිබඳ තීරණයක් ලෙස ද සැලකිය හැකියි.

ජපානයේ මහමැතිවරණය මාස කිහිපයක් ඇතුලත පැවැත්වීමට නියමිතයි. මේ අනුව කිෂිදාට ඉතා කෙටි කලක් තුළ මැතිවරණයකට මුහුණදීමට සිදුවනු ඇති. නමුත් මෙහිදී ඔහුට විශාල අභියෝගයක් එල්ල වේ යයි සිතීමට අපහසුයි. ජපානයේ විපක්ෂය දුර්වලව සහ බෙදී සිටින තාක්කල් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට විශේෂ අභියෝගයක් වේ යයි සිතන්නට නොහැකියි.


තාරෝ කෝනෝ සහ ෆුමියෝ කිෂිදා (Japan Times)

ජපානයේ මෑත ඉතිහාසයෙහි වැඩි කාලයක් එරට පාලනය කළේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ජපන් නායකයන්ට වැඩිම අභියෝගයක් එල්ල වූයේ එම පක්ෂයට පිටතින් නොව පක්ෂය තුලින්මයි. පක්ෂය තුළ සිටින විවිධ කණ්ඩායම් එක්ව තබාගැනීම මෙම නායකයන් මුහුණ දුන් ප්‍රධානම අභියෝගය ලෙස ගත හැකියි. කිෂිදා ද සිය අමාත්‍යවරුන් තෝරාගනිද්දී මෙම කණ්ඩායම් අතර සමතුලිතතාව පවත්වාගැනීම පිළිබඳ කල්පනා කරනු ඇති.

ෆුමියෝ කිෂිදා කලක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රතිපත්ති සැලසුම් ප්‍රධානියකු ලෙස කටයුතු කළ අතර 2012 සිට 2017 දක්වා ජපානයේ විදේශ ඇමති ලෙස කටයුතු කළා. එකල රුසියාව සහ දකුණු කොරියාව සමග ද ඔහු යහපත් සබඳතා ගොඩනගාගන්නට යුහුසුළු වුණා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

විශේෂයෙන්ම මෙම දෙරට සහ ජපානය අතර විවිධ හේතූන් මත මතභේදයන් පවතින හෙයින් එම අංශයෙන් කිෂිදාගේ කාර්යයභාරය සාර්ථක වූයේ යයි සැලකිය හැකි වනවා.

එමෙන්ම න්‍යෂ්ටික අවි හරණය ඔහුගේ ප්‍රධානම අරමුණක් බව කිෂිදා ප්‍රකාශ කරනවා. 2016 දී එවකට ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ හිරෝෂිමා සංචාරය සංවිධානය කිරීමේදී ද කිෂිදා ප්‍රධාන කාර්යයභාරයක් සිදුකළා.

චීන අභියෝගය
චීනය නැගෙනහිර ආසියාවේ බලය පැතිරවීමත් සමග ජපානය ඒ පිළිබඳ විමසිලිමත් වීම වැඩිවී තිබෙනවා. කිෂිදා ද සිය රටේ මිලිටරි සූදානම වර්ධනය කිරීම පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා.

විශේෂයෙන්ම ජපානයේ වෙරළාරක්ෂක බලකාය ශක්තිමත් කිරීම කෙරෙහි කිෂිදා සිය අවධානය යොමු කරන බව පවසා තිබෙනවා. මේ අතර චීනය විසින් කෙරෙන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සහ විශේෂයෙන්ම උයිගුර් ජනතාවට එරෙහිව කෙරෙන ප්‍රජා පීඩනය කෙරෙහි ජපානය අවධානය යොමු කරන බව සඳහන් වනවා.

ඇමරිකා එක්සත් ජනපදය සමග වන ආරක්ෂක සබඳතා වැඩිදියුණු කිරීම කෙරෙහි මෙන්ම ක්වොඩ් රටවල් සමග වන සබඳතා ශක්තිමත්ව පවත්වාගැනීම කෙරෙහි ද කිෂිදා තවදුරටත් අවධානය යොමු කරනු ඇති.

කෙසේ වෙතත් මෙම සියළු කරුණු අතරතුර චීනය සමග වන ආර්ථික සබඳතා ද අනතුරට හෙළීමට ඔහුට හැකියාවක් නැහැ. ඒ අනුව ඔහුගේ එක් අභියෝගයක් වනු ඇත්තේ ආරක්ෂාව සහ ආර්ථික අවශ්‍යතා අතර සමතුලිතය පවත්වා ගැනීමයි.


අර්බුදයට තුඩු දී ඇති සෙන්කාකු දූපත් අසළදී ජපන් සහ චීන වෙරළාරක් ෂක නැව් හමුවූ අවස්ථාවක් (Kyodo)

මීට අමතරව කලාපයේ තවත් කල් පවතින අර්බුදයක් වන කොරියානු ගැටළුවට ද කිෂිදාට මුහුණ දෙන්නට සිදුවනු ඇති. උතුරු කොරියාව මෑතකදී ද බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම් කිහිපයක් සිදුකළ අතර ජපානයට නව නායකයකු පත්වීමට සූදානමින් තිබියදී එසේ සිදුකිරීම කොරියානු අර්බුදය පිළිබඳ ජපානයට නැවත සිහි කැඳවීමක් ලෙස ද ගිණිය හැකියි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.