චීනය හා ගැටෙන ක්වොඩ් රටවල පළමු නායක හමුව

March 23, 2021

ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සමන්විත චතුර් පාර්ශවික ආරක්ෂක සංවාදය (Qadrilateral Security Dialogue) හෙවත් ක්වොඩ් (Quad) එකමුතුවෙහි පළමු රාජ්‍ය නායක හමුව අන්තර්ජාලය ඔස්සේ 2021 මාර්තු මස 12 වනදා පවත්වනු ලැබුණා.

මේ සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ජපන් අගමැති යොෂිහිදේ සුගා සහ ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සහභාගී වුණා.


පළමු Quad රාජ්‍ය නායක හමුවේ සහභාගීත්වය

මෙම රාජ්‍ය නායක හමුව ඉතා වැදගත් කරුණක් මත මෙම එකමුතුවෙහි සන්ධිස්ථානයක් සනිටුහන් කළා. මෙය එම එකමුතුවේ පළමු රාජ්‍ය නායක හමුව වීම ද වැදගත් අවස්ථාවක් වුවද, ඊටත් වඩා වැදගත් කරුණ වූයේ පෙරදී දක්නට ලැබුණාට වඩා පැහැදිලි ඒකාබද්ධතාවක් මෙම රාජ්‍ය නායක හමුව තුළ පෙන්නුම් කිරීමයි.


ක්වොඩ් සාමාජික රටවල් (Wikimedia Commons)

ක්වොඩ් රටවල විදේශ අමාත්‍යවරුන් මෙයට පෙර අවස්ථා තුනකදී මුණගැසී ඇතත් ඔවුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේ නැහැ. නමුත් රාජ්‍ය නායක හමුවෙන් පසු එවැනි නිවේදනයක් නිකුත් වුණා. මෙය විශේෂයෙන් චීනයේ නැගීම හමුවේ ඉන්දු-පැසිෆික් කලාපය තුළ තම කටයුතු සැලසුම් කරගැනීමේදී මෙම රටවල් හතරට වැදගත් වනවා.

චීනයේ තර්ජනය
චීනය සමග ක්වොඩ් සාමාජික රටවල් හතරටම විසඳාගතයුතු අර්බුද තිබෙනවා. ජපානය සහ චීනය අතර සෙන්කාකු දූපත් අරබයා ඇති අර්බුදය කරලියට පැමිණ දශකයට ද වඩා වැඩි කලක් ගතව තිබෙනවා. ඉන්දියාව සහ චීනය අතර පසුගිය වසරේ දේශසීමාවේ ඇතිවූ ගැටුම් ආකාරයේ බරපතල සිද්ධීන් එම දේශසීමාවෙහි වාර්තා වූයේ අඩසියවසකට පසුවයි.

ඇමරිකාව සහ චීනය අතර වසර කිහිපයක් මුළුල්ලේ තීරුබදු සහ වෙළෙඳාම පිළිබඳ ගැටළු පවතිනවා. ඔස්ට්‍රේලියාව කෙරෙහි චීනය ආර්ථික සහ ආරක්ෂක අර්ථයෙන් විවිධ අනවශ්‍ය බලපෑම් කරන බව ප්‍රකට කරුණක්. මීට මාස කිහිපයකට පෙර චීනය විසින් ඔස්ට්‍රේලියාව වෙත ඉදිරිපත් කළ කරුණු විසි එකකින් සමන්විත වූ ලිපිය එය ඉතා පැහැදිලිව පෙන්නුම් කළ අවස්ථාවක් වුණා.


සෙන්කාකු දූපත් (Kyodo)

මේ අතර චීනය විසින් ඔස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කරගෙන හැකර් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ ද චෝදනා පවතිනවා.

චීනයේ ආර්ථික වර්ධනය සහ කොරෝනා වෛරසය සමග ඇතිව පවතින නව තත්ත්වයන් හේතුවෙන් අන් රටවල ආර්ථික තත්ත්වය අඩපණ වීම හේතුවෙන් වසර 2028 වනවිට ලොව විශාලම ආර්ථිකය බවට පත්වීමේ ඉඩක් ඇති බවට පසුගිය දෙසැම්බරයේදී ආර්ථික සහ ව්‍යාපාර පර්යේෂණ මධ්‍යස්ථානය නම් පරපර්යේෂණ ආයතනය අනාවැකි පළ කළා.

ක්වොඩ් හමුවේ මූලික කරුණු තුන
ක්වොඩ් හමුව පවත්වන ලද්දේ මෙම පසුබිම තුළයි. මෙයට මූලිකත්වය ගන්නා ලද්දේ ඇමරිකා එක්සත් ජනපදයයි. ජෝ බයිඩන් පාලනය යටතේ ඇමරිකානු රජය සිය මිතුරන් සමග පෙරට වඩා එකමුතුව කටයුතු කිරීමේ දක්වන නැඹුරුවට මෙය උදාහරණයක් ලෙස ගත හැකියි. මෙතෙක් කල් ක්වොඩ් එකමුතුව වෙත නොවූ දේශපාලනික දැක්මක් ඉදිරියේදී එතුළින් පෙනෙන්නට හැකි බවට මෙම හමුව වැදගත් අනාවැකියක් වුණා.


ඉන්දියානු දේශසීමා ආරක්ෂක බලකායේ සෙබළුන් ලදාක් ප්‍රදේශයේ (AFP)

ක්වොඩ් රාජ්‍ය නායක හමුවේදී මූලික කරුණු තුනක් ඔස්සේ සාකච්ඡා කෙරුණා. එනම් ඉන්දු-පැසිෆික් කලාපය වෙත නිදහස් සහ විවෘත ප්‍රවේශය, කෝවිඩ්-19 එන්නත් සැපයීම සහ විරල පාංශු ලෝහ ආදී වැදගත් සම්පත්වල සැපයුම් දාමයන් හි චීන පංගුව අඩු කිරීම එම කරුණුයි.

චීනය යනු දීර්ඝ කාලීනව තම රටවල ආරක්ෂාවට බලපාන ප්‍රධානම තර්ජනය බව මෙම රටවල් අතර අවබෝධයක් පවතිනවා.

ඉන්දු-පැසිෆික් කලාපයේ ආර්ථික කටයුතු නිදහස්ව පවත්වාගැනීම සහ සිය රටවල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කරගැනීම පිළිබඳ නායකයින් මෙහිදී අදහස් දැක්වූවා. කෙසේ වෙතත්, විශේෂයෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිළිබඳ දැක්වූ අදහස් එරට විපක්ෂයේ දැඩි උපහාසයට ලක්වූ බවද සඳහන් කළ යුතුයි.


චීනය ආරක්ෂාවට බරපතලම තර්ජනය ලෙස ක්වොඩ් රටවල් දකිනවා (Pic – Xinhua)

කෝවිඩ්-19 එන්නත් සැපයීමේදී ද චීනයට ඇති හැකියාව සමග තරග කිරීමේ අවශ්‍යතාව ක්වොඩ් රටවල් අවධාරණය කළා. එහිදී ද ප්‍රධානම කාර්යයභාරයක් ඉටු වන්නේ ඉන්දියාව අතින්. එන්නත් නිෂ්පාදනය සඳහා ඉන්දියාවට ඇති ශක්තිය සහ ධාරිතාව ප්‍රයෝජනයට ගැනීම සඳහා එරටට මූල්‍යමය සහය ලබාදීමට අන් රටවල එකඟතාවයක් මතුවුණා.

විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවලට තම එන්නත යැවීම උදෙසා චීනය කරන සැලසුම් ක්‍රියාවට නැගීමට පෙර ඉන්දියාව ක්‍රියාත්මක විය යුතුව පවතිනවා. චීනයේ නිෂ්පාදිත එන්නත්වල කාර්යක්ෂමතාවය පිළිබඳ තවමත් පැහැදිලි ගැටළු පවතින හෙයින් ඔවුන්ට තම සැලසුම් ක්‍රියාවට නැගීම අපහසු වී තිබෙනවා. මෙය ක්වොඩ් රටවලට වාසියක් ලෙස ක්‍රියා කරනු ලබනවා.

ක්වොඩ් රටවල් සාකච්ඡා කළ තුන්වන කරුණ වන්නේ විරල පාංශු ලෝහ සැපයුම් දාම පිළිබඳ කරුණයි. මෙම ලෝහ මේ වනවිට ලෝකයේ ගමනාගමන ක්ෂේත්‍රයේ, ආරක්ෂක ක්ෂේත්‍රයේ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ නැතිවම බැරි සම්පතක් වනවා. විදුලියෙන් දුවන වාහන, නවීන මිසයිල පද්ධති, නවීන ප්‍රහාරක යානා, ජංගම දුරකථන ආදිය නිෂ්පාදනයේදී මෙම ලෝහ අතිශයින්ම වැදගත් වනවා.

චීනය මෙම විරල පාංශු ලෝහවලින් සියයට 60 ක් පමණ නිපදවන අතර සැපයුම් දාමයන් ද බොහොමයක් ඔවුන් අත පවතිනවා. මීට බලපා ඇති හේතු වෙනමම සාකච්ඡා කළ යුතු කරුණු වනවා. අපට පැහැදිලිව පෙන්වා දිය හැකි කරුණ නම් එක් රටක් මෙතරම් විශාල පංගුවක් පාලනය කිරීම මගින් ආර්ථිකයට සහ විශේෂයෙන්ම ආරක්ෂාවට ඇතිවන බලපෑම අවම කිරීම ක්වොඩ් රටවල අපේක්ෂාව වන බවයි. යම් රටක් විරල පාංශු ලෝහ නිෂ්පාදනය සහ සැපයුම පාලනය කරන තරමට අනාගතයේ තාක්ෂණය පාලනය කිරීමේ හැකියාව එම රටට ලැබෙනවා. එය එක් රටක එකාධිකාරයක් බවට පත්වීම බරපතල කරුණක් බව ක්වොඩ් රටවල් හඳුනාගෙන ඇත්තේ මේ නිසයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.