දලයි ලාමා පිළිබඳ ඇමරිකාවේ සම්මත කළ පනත

December 30, 2020

ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභාවේ සම්මත වූ ටිබෙටය සම්බන්ධ පනතක් පිළිබඳ පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍යවල කතාබහට ලක්වනු දකින්න ලැබුණා.

TPSA හෙවත් Tibetan Policy and Support Act (ටිබෙට් ප්‍රතිපත්ති සහ සහයෝගීතා පනත) ලෙස නම් තබන ලද මෙම පනත සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙසැම්බර් 28 වනදා සිය අත්සන තැබුවා.

මෙය 2002 දී සම්මත කරන ලද පනතක වඩා වැඩිදියුණු අවස්ථාවක් වනවා. දලයි ලාමා වැනි ටිබෙට් ආගමික නායකයන් පත්කරගැනීම චීනයේ අතපෙවීම් රහිතව ටිබෙට් බෞද්ධයන් විසින් සිදුකළ යුතු යයි එම පනත දක්වනවා. යම් හෙයකින් එවන් අතපෙවීමක් සිදු කළහොත් ඊට සම්බන්ධ චීන නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීම සඳහා ඇමරිකාවට අවස්ථාව සැලසෙනවා.

වර්තමානයේදී ටිබෙටය පාලනය කරන්නේ මහජන චීනය විසින්. ටිබෙටය එහි එක් ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශයක් වනවා. සත්‍ය වශයෙන්ම එහි බලය ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයටයි. චීන පාලනය යටතේ ටිබෙට් බෞද්ධ ක්‍රම යටපත් කරනු ලැබුණා. කෙසේ වෙතත් දලයි ලාමා චීනයෙන් පිටුවහල්ව සිටීම චීනයට හිසරදයක් වනවා.


ටිබෙට් ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශය​

1959 සිට ටිබෙටයෙන් පිටුවහල්ව සිටින දලයි ලාමා ටිබෙට් බෞද්ධයන්ගේ ආගමික නායකයායි. එමෙන්ම නිදහස් ටිබෙටයෙහි රාජ්‍ය නායකයා වූයේ ද ඔහුයි. වර්තමානයේ ද පිටුවහල්ව සිටින ටිබෙට් රජය විසින් සිය ආගමික නායකයා ලෙස සලකන්නේ දලයි ලාමා යි. මෑතක් වනතුරු ඔහු පිටුවහල් ටිබෙට් රජයෙහි රාජ්‍ය නායකයා වූ නමුත්, මීට දශකයකට පමණ පෙර ඔහු විසින්ම ආරම්භ කළ ප්‍රතිසංස්කරණ අනුව මේ වනවිට මෙම රජයට ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තුවක් ද වෙනම පවතිනවා.

ටිබෙට් වැසියන් පුනරුත්පත්තිය විශ්වාස කරන අතර දලයි ලාමා ද පුනරුත්පත්තිය ලබන බව ඔවුන් විශ්වාස කරනවා. මේ අනුව දලයි ලාමා මියගොස් වසර කිහිපයකට පසු පුනරුත්පත්තිය ලද දලයි ලාමා සොයාගැනීමට ටිබෙට් නිලධාරීන් කටයුතු කරනවා. ඒ අනුව, වර්තමාන දලයි ලාමාවරයා හෙවත් 14 වන දලයි ලාමා එම තනතුරට පත්වූයේ 13 වන දලයි ලාමා මියගොස් වසර කිහිපයකට පසුවයි. ටිබෙට් බෞද්ධයන්ගේ දෙවැනි වැදගත්ම ආධ්‍යාත්මික නායකයා වන පන්චන් ලාමා ද පත්වන්නේ එම අයුරින්.

පන්චන් ලාමා පැහැරගැනීම
ටිබෙටයෙහි 10 වන පන්චන් ලාමා 1989 දී මියගියා. 1995 දී එවකට හය හැවිරිදි වූ ගෙදුන් චොක්යි න්යිමා නම් වූ සය හැවිරිදි දරුවා 11 වන පන්චන් ලාමා ලෙස දලයි ලාමා විසින් පිළිගනු ලැබුණා. එයින් ස්වල්ප දිනක් තුළ චීන බලධාරීන් විසින් ඔහුත් ඔහුගේ පවුලේ සාමාජිකයනුත් පැහැර ගනු ලැබුණ අතර අදටත් ඔවුන්ට සිදුවූ දේ අභිරහසක්. මාස කිහිපයකට පසු චීනය විසින් 11 වන පන්චන් ලාමා ලෙස ග්යායින්කයින් නොර්බු නම් කරනු ලැබුණා. කෙසේ වෙතත් පිටුවහල්ව සිටින ටිබෙට් රජය විසින් මෙම පත්කිරීම පිළිගනු ලබන්නේ නැහැ.


පැහැරගන්නා ලද 11 වන පන්චන් ලාමා (tsemrinpoche.com)​

චීන පාලනයට එරෙහි ටිබෙට් ජාතිකයන් විශ්වාසය පළ කරන්නේ වර්තමාන දලයි ලාමා මියගිය පසුද චීනය තමන්ට අවශ්‍ය අයකු දලයි ලාමා ලෙස නම් කරනු ඇති බවයි. එසේ කළහොත් ටිබෙටයේ තම පාලනයට අමතර නෛතිකභාවයක් ලබාදීමට චීනයට හැකි වනවා.

TPSA
ටිබෙටය පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්තිය පාදක වූයේ 2002 දී සම්මත කළ ටිබෙට් ප්‍රතිපත්ති පනත මතයි. එහිදී ටිබෙටයේ ආගමික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන සිරකරුවන් පිළිබඳ කරුණු ඇතුලත් වුණා. එමෙන්ම චීනය සහ දලයි ලාමා අතර සාකච්ඡා සිදුකිරීම දිරිමත් කිරීම ද ප්‍රතිපත්තියක් ලෙස ඇතුලත් වුණා. කෙසේ වෙතත් චීනය එම යෝජනාව කිසිදු අවස්ථාවක පිළිගත්තේ නැහැ.

මේ අතර ඇමරිකානු පාලනය ද චීනය වෙත බරපතල පීඩනයක් එල්ල කළේ නැහැ. එකළ ඇමරිකානු – චීන වෙළෙඳාම වැනි කරුණු වඩා වැදගත් වුණා.

එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුර කාලයේ දෙවන භාගයට පිවිසෙන විට චීනය සහ ඇමරිකාව අතර විශාල ඝට්ටනයක් නිර්මාණය වුණා. TPSA නම් නව පනත කොන්ග්‍රස් සභාව වෙත ඉදිරිපත් වන්නේ එම පසුබිමේයි.

මෙම නව පනත අනුව ටිබෙට් නායකයින් තෝරාගැනීමට බලපෑම් කරන චීන නිලධාරීන්ට එරෙහිව ඇමරිකානු සම්බාධක පැනවීමට හැකියාව තිබෙනවා.

TPSA පනත සඳහා ට්‍රම්ප් අත්සන් තැබීම චීනයට රිදවීමේ අදහස සහිතව සිදුවූවක් බව පැහැදිලි වන කරුණක්. මෑතකාලීනව ඇමරිකාව චීනයට ප්‍රතිවිරුද්ධ රටවල් දිරිමත් කරන ආකාරය දිස්වූ අතර ටිබෙට් ප්‍රශ්නය ද එවැනි ක්‍රියාමාර්ගයක දිගුවක් බවයි පෙනී යන්නේ.


ලොබ්සෑං සංගේ සහ දලයි ලාමා 2012 දී (Wikimedia Commons)​

පිටුවහල් ටිබෙට් ආණ්ඩුවේ ජනාධිපති ලොබ්සෑං සංගේ මෙම පනත සම්මත කරන දිනවල සිටියේ ඇමරිකාවේ යි. මේ පිළිබඳ ඔහු සිය ප්‍රසාදය දක්වා තිබුණා.

කෙසේ වෙතත් චීන රජය මේ පිළිබඳ සිය දැඩි විරෝධය දක්වා ඇති අතර ඊට පිළිතුරු දෙන බවට ද තර්ජනය කරනවා.

මූලාශ්‍ර​
01. U.S. congress passes landmark bill in support of Tibet (WION)
02. Trump signs bill on Tibet to block China’s interference in Dalai Lama’s succession (The Print)

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.