ටිග්‍රේ යුද්ධය නැවත හැරවූ ඩ්‍රෝන

December 31, 2021

ඉතියෝපියාවේ ටිග්‍රේ ප්‍රදේශයේ මතුවූ යුද්ධය නැවත වරක් රජයේ පක්ෂයට වාසිදායක වන බවක් මෑත සති කිහිපයේ පෙන්නුම් කළා. මීට ප්‍රධානම හේතුව වන්නේ ඩ්‍රෝන භාවිතය බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරනවා.

2020 නොවැම්බර් 4 වනදා ආරම්භ වූ ටිග්‍රේ යුද්ධය වැඩි දිනක් ගතවීමට මත්තෙන් වාසිදායක තැනකට ගෙන ඒමට රජයට හැකිවුණා. ටිග්‍රේ පළාතේ අගනුවර වූ මෙකෙල්ලේ නගරය ද රජයේ හමුදා අතට පත්වීමට ගතවූයේ සති කිහිපයක් පමණයි. කෙසේ වෙතත් ජයග්‍රහණය සැමරීමට රජයට හැකිවුණේ මාස කිහිපයක් පමණයි.

2021 ජූනි මාසයේදී ටිග්‍රේ මහජන විමුක්ති හමුදාව විසින් යුද්ධය කණපිට හැරවූයේ ටිග්‍රේ පළාතේ බොහෝ ප්‍රදේශ තමන් අතට නැවත ගනිමින් සහ යාබද අෆාර් හා අම්හාරා පළාත්වලට ද පහරදෙමින්.

ඉන්පසු ඔවුන් සහ ඔරෝමෝ විමුක්ති හමුදාව දෙපසකින් අඩිස් අබාබා අගනුවරට ද තර්ජනය කරන්නට වුණා. ඉතියෝපියානු අගමැති අබියි අහමඩ් රටේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කළා.


ටිග්‍රේ යුද්ධය නැවත උණුසුම් වුණා (Reuters)

එක්තරා අවස්ථාවක අඩිස් අබාබා දෙසට එල්ල වූ තර්ජනය ආපසු හරවන්නට මේ වෙද්දී ඉතියෝපියානු රජයට හැකිව තිබෙනවා. තවමත් ඔවුන්ට තීරණාත්මක ජයක් ලැබී නැතත් මෙම වෙනස වැදගත් තත්ත්වයක්. මේ සඳහා බොහෝ සෙයින් උපකාර වූයේ ඉතියෝපියානු රජය විසින් භාවිතා කළ ඩ්‍රෝන බවට විශ්වාසයක් පවතිනවා. මෙය යුධ පෙරමුණේදී ලාභදායී සහ කාර්යක්ෂම ඩ්‍රෝනවල වැදගත්කම යළි පෙන්නුම් කෙරෙන අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකියි.

ඉතියෝපියානු ගුවන් හමුදාව එතරම් විශාල නැහැ. කඳුකර ප්‍රදේශයන්හි දී සටන් කිරීමේදී නිරීක්ෂණ කටයුතු හා ප්‍රහාරක කටයුතු සඳහා ගුවන් බලය ඉතා වැදගත්. සම්ප්‍රදායික ගුවන් බලය ප්‍රමාණවත් නොවුණත් එම අඩුව ඩ්‍රෝන මගින් සපුරාලීමට ඉතියෝපියාවට අවකාශය ලැබී තිබෙන බවයි පෙනී යන්නේ.

නිල වශයෙන් තහවුරු කරගැනීම අපහසු වුවද ඉතියෝපියානු රජයට තුර්කියෙන්, චීනයෙන් සහ ඉරානයෙන් ඩ්‍රෝන ලැබී ඇති බව සැක කෙරෙනවා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මතුර්කි බයිරක්තාර් TB2 ඩ්‍රෝන
සන්නද්ධ ගැටුම්වලදී ඩ්‍රෝන භාවිතය පිළිබඳ වැඩිම අත්දැකීම් ඇතිබව සැලකෙන්නේ තුර්කියටයි. එරට නිපදවෙන බයිරක්තාර් TB2 ඩ්‍රෝන ඉතියෝපියාව වෙත ලැබී ඇති බවට විශ්වාස කෙරෙනවා. මේවාට එතරම් වේගයෙන් පියාසර කරන්නට බැහැ. එමෙන්ම දිගු දුරක් ගමන් කරන්නත් බැහැ. නමුත් ඒවායේ අඩු වේගය නිසාවෙන් පහළ භූමිය වඩා හොඳින් නිරීක්ෂණය කිරීමට එයට හැකියාව තිබෙනවා. එමෙන්ම එයට යම් ප්‍රදේශයකට ඉහළින් ගුවනේ සැරිසරමින් රැඳී සිටිය හැකියි. එමෙන්ම ඒවා එතරම් ඈතට ගමන් නොකරන හෙයින් නැවත අවිවලින් සන්නද්ධ කිරීමට ඉක්මණින් කඳවුරට අමිණිය හැකියි.

මෙම ඩ්‍රෝන සාපේක්ෂව මිලෙන් අඩුයි. එහෙයින් එයින් කිහිපයක් කිසියම් ප්‍රදේශයකට යවා එය මනාව ආවරණය කළ හැකියි. එහෙයින් විශාල ප්‍රදේශයක් ආවරණ කිරීමට මේවා ඉතා අගනා උපකාරයක් වනවා. මේවා ලිබියාවේ සහ සිරියාවේ ද නගර්නෝ-කරබාක් අර්බුදයේදී ද අසර්බයිජානය විසින් භාවිතා කෙරුණා.

විංග් ලූන් 2
චීනයේ විංග් ලූන් 2 සන්නද්ධ ඩ්‍රෝනය ද ඉතියෝපියානුවන් විඓන් යොදාගෙන ඇති බව විශ්වාස කෙරෙනවා. මෙය බයිරක්තාර් ඩ්‍රෝනයට වඩා දිගු පරාසයකට ගමන් කළ හැකි ඩ්‍රෝනයක් වන අතර වැඩි ආයුධ ප්‍රමාණයක් ද ගෙනයන්නට ඊට හැකියි. එමෙන්ම එයට වැසි උසකට ද ළඟාවීමට හැකියාව තිබෙනවා.


විංග් ලූන් 2 සන්නද්ධ ඩ්‍රෝනය

මෙම ඩ්‍රෝනයෙහි මිසයිල හා බෝම්බ රැගෙන යා හැකියි. සතුරු පෙරමුණෙන් පිටිපස දක්නට ඇති යුධමය මර්මස්ථාන ඉලක්ක කරගැනීමට එය වඩා සුදුසු ඩ්‍රෝනයක්. ඒ වගේම එයට චීනයේ නිෂ්පාදිත කෙටිදුර මිසයිල සඳහා ඉලක්කය සලකුණු කරදෙන්නක් ලෙස ද ක්‍රියාකළ හැකි බවයි සඳහන් වන්නේ.

මෙම ඩ්‍රෝනවලට අමතරව ඉරානයෙන් ද ඉතියෝපියාව ඩ්‍රෝන ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

තීරණාත්මක සාධකයක්
ඩ්‍රෝනවලට සටන් පෙරමුණෙන් ඇතුලට ගිස් හමුදා ඉලක්ක වෙත පහරදීමට හැකියාව තිබෙන අතර එය පාලනය කෙරෙන්නේ මූල කඳවුරේ සිටින්නකු විසින්. ඩ්‍රෝනය විසින් ඉතා හොඳ තත්ත්වයේ ඡායාරූප ද මූලස්ථානය වෙත එවනු ලබනවා. එහෙයින් සතුරු පිරිසෙහි සැකැම ආදිය ගැන ද අදහස් ගත හැකියි.

ටිග්‍රේ හමුදාවන්ට මෙම වාසිය නොලැබී යනවා. දැනට අනුමාන කෙරෙන පරිදි ඔවුන්ට ඩ්‍රෝන ද නැහැ. මේ අනුව ඉතියෝපියානු හමුදා සටනේ වාසිය හරවාගන්නට සමත් වුණා.’

වියදම් අඩු සහ කාර්යක්ෂමතාව අතින් ඉහළ ඩ්‍රෝන අනාගත යුද්ධවලදී විශාල වශයෙන් වැදගත් සාධකයක් වන බව පෙනීගොස් තිබෙන අතර ඉතියෝපියාව ද ඊට සාක්ෂි සපයනවා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.