ඈත ප්‍රාන්තයක මැතිවරණය ඉන්දියාවට වැදගත් වන්නේ කෙසේද​?

February 20, 2023

ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයෙහි පිහිටි ප්‍රාන්තයක් වන ත්‍රිපුරයෙහි ප්‍රාන්ත සභා මැතිවරණය 2023 පෙබරවාරි 16 වනදා පැවැත්වුණා. එහි ප්‍රතිඵල නිකුත් වීම සිදුවනු ඇත්තේ මාර්තු 2 වනදායි.

මෙම මැතිවරණය සඳහා ප්‍රධාන කඳවුරු හතරක් තරග වදිනු දකින්නට ලැබුණා. එමෙන්ම කුඩා ප්‍රාන්තයක් වුණත් එහි ප්‍රතිඵලය එම කඳවුරු සියල්ලටම ඉතා වැදගත් වන බව ද පෙනෙන්නට තිබුණා.

ත්‍රිපුර ප්‍රාන්තය ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයෙහි පිහිටි වර්ග කිලෝමීටර් 10,491 ක විශාලත්වයකින් යුක්ත ප්‍රාන්තයක්. එහි ජනගහනය මිලියන 3.67 ක් වනවා. එසේත් නැතිනම් ලක්ෂ 36.7 ක්.

නැගෙනහිරින් අසාම් සහ මිසෝරාම් ප්‍රාන්තවලට මායිම් වුණත්, ත්‍රිපුරයෙහි මායිමෙන් වැඩි කොටස පිහිටා ඇත්තේ බංග්ලාදේශයට යාබදවයි. ත්‍රිපුරයේ ද සියයට 70 කට ආසන්න ජනගහනයක් බෙංගාලි වැසියන් වන අතර ඉතිරි කොටස ස්වදේශීය ගෝත්‍රිකයන්, නැතහොත් ආදිවාසීන් වනවා.


ත්‍රිපුර ප්‍රාන්තයේ පිහිටීම​

ත්‍රිපුර ප්‍රාන්තයේ බිම් ප්‍රදේශයෙන් තුනෙන් දෙකක් පමණ අයත්වන ස්වතන්ත්‍ර කලාපයක් වනවා. එය ත්‍රිපුර ගෝත්‍රික ප්‍රදේශ ස්වතන්ත්‍ර දිස්ත්‍රික් කවුන්සිලය යි. මෙහි ත්‍රිපුරයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ජීවත් වනවා.

2018 වනතෙක් වසර 25 ක් මුළුල්ලේ ත්‍රිපුර ප්‍රාන්තය පාලනය කළේ ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය ප්‍රධාන වාමාංශික පක්ෂයි. එකළ එහි අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂය වූයේ කොන්ග්‍රස් පක්ෂයයි.

@elearninglk

අනෙකුත් දේශපාලන පක්ෂ එහි එතරම් වැදගත් වූයේ නැහැ. කෙසේ වෙතත් 2018 දී භාරතීය ජනතා පක්ෂය විසින් වසර විසිපහක කොමියුනිස්ට් පාලනය අවසන් කරනු ලැබුණා. එමෙන්ම මේ වනවිට භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්තයේ වැදගත් දේශපාලන බලවේගයක් බවට පත්ව තිබෙනවා.

ආදිවාසී දේශපාලනය​
භාරතීය ජනතා පක්ෂයට 2018 මැතිවරණ ජයග්‍රහණය ලබාගැනීම සඳහා සහයෝගය ලැබුණේ ත්‍රිපුරයේ ආදිවාසී මහජන පෙරමුණෙන්. නමුත් මේ වනවිට එම පක්ෂය තරමක් පසුබැස තිබෙන අතර ආදිවාසී ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන පක්ෂය බවට තිප්‍රා මෝතා පක්ෂය පත්ව තිබෙනවා. මෙහි තිප්‍රා (TIPRA) යනු ත්‍රිපුර ආදිවාසී ප්‍රගතිශීලී ප්‍රාදේශීය සන්ධානය යන්නයි.

ත්‍රිපුරයෙහි ආදිවාසී ජනතාව කලක පටන් වඩා වැඩි ස්වයං පාලන අයිතීන් ඉල්ලා සිටිනවා. බෙංගාලි ජනතාව විසින් ඔවුන්ගේ අයිතීන් කප්පාදු කිරීම සහ ඔවුන්ට ආර්ථික අවස්ථා අඩු කිරීම සිදුකෙරෙන බවයි ආදිවාසීන් චෝදනා කරන්නේ. ත්‍රිපුරයේ බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායම් ද ක්‍රියාත්මකව පැවතුණ නමුත් ඒවා එතරම් ප්‍රබල සංවිධාන වූයේ නැහැ. නමුත් ආදිවාසීන් සඳහා වෙනම ප්‍රාන්තයක් හෝ අවම වශයෙන් පුළුල් ස්වයංපාලන බලතල හෝ තිබිය යුතු බව විශාල පිරිසක් තුළ මතයක් වනවා.


බික්‍රම් මාණික්‍ය දේබ් බර්මන්

මේ මතය නැවත පණගැන්වෙන බවක් පෙනී යන්නේ තිප්‍රා මෝතා පක්ෂයෙහි සාර්ථකත්වය සමගයි. ත්‍රිපුරයේ පැරණි රජපවුලෙහි වත්මන් ප්‍රධානියා වන බික්‍රම් මාණික්‍ය දේබ් බර්මා විසින් මෙහෙයවන එම පක්ෂය 2021 ත්‍රිපුර ගෝත්‍රික ප්‍රදේශීය ස්වතන්ත්‍ර දිස්ත්‍රික් කවුන්සිලය සඳහා වූ මැතිවරණය ජයගත්තා. 2023 ප්‍රාන්ත මැතිවරණයේදී ද තිප්‍රා මෝතා පක්ෂය ත්‍රිපුරයේ ආසන 60 න් 42 ක් සඳහා තරග කළා.

එමනිසා, සෛද්ධාන්තිකව ගතහොත් තිප්‍රා මෝතා හි ප්‍රධානියාට අනාගත මහ ඇමති වීමේ හැකියාව තිබෙනවා. ඔහු මහ ඇමති වුණත්, නොවුණත්, ඊළඟ ත්‍රිපුර ආණ්ඩුව නිර්මාණය කිරීමේ වැදගත්ම සාධකයක් බවට තිප්‍රා මෝතා පක්ෂය පත්වනු ඇතැයි අනුමාන කෙරෙනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

බික්‍රම් මාණික්‍ය දේබ් බර්මා පවසා ඇත්තේ තමන් තම ජනතාවගේ අයිතීන් රැකගැනීමට කටයුතු කරන්නට සූදානම් ඕනෑම පක්ෂයක් සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට අකමැති නොවන බවයි. මේ අතර භාරතීය ජනතා පක්ෂය සහ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය ද තිප්‍රා මෝතා පක්ෂය සමග ආණ්ඩු පිහිටුවීමට විවෘත බව පෙනීගොස් තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයකු වන අසාම් ප්‍රාන්ත මහ ඇමති හේමන්ත බිස්වා සර්මා වරෙක කියා සිටියේ ආදිවාසීන් සඳහා වෙනමම ප්‍රාන්තයක් ලබාදීමට සිය පක්ෂය එකඟ නොවෙතත් ආදිවාසීන්ට ගැටළු ඇති බව තමන් පිළිගන්නා බවයි. එමෙන්ම ත්‍රිපුර මැර්තිවරණය සඳහා වූ බීජේපී ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ආදිවාසී ජනතාව වෙත පුළුල් ස්වයං පාලන බලතල හා අරමුදල් ලබාදෙන බව ද ඔවුන් කියා සිටියා.


බීජේපී ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම​

බීජේපී – කොමියුනිස්ට් සටන​
භාරතීය ජනතා පක්ෂය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධ වීම තුලින් පෙනී යන්නේ එම දෙපාර්ශවයටම ත්‍රිපුර ප්‍රාන්ත මැතිවරණය වැදගත් වූ බවයි.

සම්ප්‍රදායිකව ඊසානදිග ප්‍රදේශයන් හි වැදගත් පක්ෂයක් නොවූ බීජේපී ය පසුගිය දශකය තුළ කෙමෙන් කෙමෙන් එම ප්‍රදේශයන් හි වැදගත්ම පක්ෂය බවට පත්ව තිබීම ඓතිහාසික කරුණක් වනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

එය කෙතෙක් ද යත් වර්තමානය වනවිට ඊසානදිග ප්‍රාන්ත හතේම තිබෙන්නේ තනිව හෝ තවත් පක්ෂ සමග සම්බන්ධ වී හෝ බීජේපී ය සහභාගී වන ආණ්ඩු යි. මෙම තත්ත්වය දිගටම පවත්වාගැනීම සඳහා 2018 දී ත්‍රිපුරයේ සිදුවූ ජයග්‍රහණය වැරදීමක් නොවන බව නැවත තහවුරු කළ යුතු වනවා. එහෙයින් ත්‍රිපුර ඡන්ද සටන පක්ෂයට වැදගත් වුණා.

බීජේපී නායක අගමැති නරේන්ද්‍ර මෝදි සහ පක්ෂයේ සංවිධාන කටයුතුවල මහමොළකරු ලෙස සැලකෙන අමිත් ෂා ද ත්‍රිපුරයට පැමිණ මැතිවරණ කටයුතුවල නිරත වීමෙන්ම එම පක්ෂය මෙම මැතිවරණය කෙරෙහි දැක්වූ අවධානය පෙනී යනවා.


වසර 20 ක් ත්‍රිපුර මහ ඇමති ලෙස කටයුතු කළ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ මණික් සර්කාර්

මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය ද මෙම තරගය සඳහා විශාල වැදගත්කමක් ලබාදෙන බව එම පක්ෂයේ මහ ලේකම් සීතාරම් යෙචූරි ද මැතිවරණ ප්‍රචාරක වැඩසටහන් සඳහා සම්බන්ධ වීම මගින් පෙන්නුම් කෙරුණා. පස් වසරකට පෙර සිදුවූ පරාජයේ අපකීර්තිය මගහරවාගෙන යළි ත්‍රිපුරයේ බලය ලබාගැනීම එම පක්ෂයේ අපේක්ෂාවයි.

එමෙන්ම මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය මෙවර තරග වදින්නේ කොන්ග්‍රස් පක්ෂය සමග එක්වයි. ඉන්දියාවේ ඓහික (secular) වටිනාකම්වලට බීජේපීය වෙතින් තර්ජනයක් එල්ල වී ඇති හෙයින් සියළු ඓහික දේශපාලන ව්‍යාපාර එක්ව ඊට එරෙහිව සටන්වැදිය යුතු බව එම පක්ෂයේ මතය වනවා.


Click on the Image

ත්‍රිපුර මැතිවරණයේදී කොන්ග්‍රස් පක්ෂය ආසන 60 න් 16 ක් සඳහා තරග කළා.

ත්‍රිපුර මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ විවිධ පාර්ශවවල අවධානය යොමුවන බව මේ අනුව පැහැදිලි වනවා. මාර්තු 2 වනදා මේ පාර්ශව අතුරින් කවරක බලාපොරොත්තු ඉටුවේද යයි තවම පැහැදිලි නැහැ.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.