දෙදරා ගිය තුන්ගුස්කාව

මේ උදෑසන කාලයයි. සයිබීරියාවේ පිටිසරබද ප්‍රදේශයකි. මහා ජල කඳක් උසුලා ගත් තුන්ගුස්කා ගංගාව නිහඬව ගලා බසිනු පෙනේ. ගංගාවට එපිටින් ඇත්තේ විශාල වනාන්තරයකි. මෙපිටින් සාරවත් ලෙස තිරිඟු වගා කළ ගොවිබිමකි. ගොවියන් කිහිපදෙනෙකු යුහුසුළුව යම්කිසි කාර්යයක නිරතව සිටිනු දිස් වේ. කාලය ගත වෙයි. එක්වරම සුළං කපාගෙන යන ශබ්දයක් ඇසේ.

තම වැඩකටයුතු මදකට නතර කරන ගොවීහු විමතියෙන් වටපිට බලති. තත්පර කිහිපයක් නිහඬවම ගෙවී යයි. ඊළඟ මොහොතේ ඇසෙන්නේ අතිවිශාල වූත්, බිහිසුණු වූත් පිපුරුම් ශබ්දයකි! මහපොළොව දෙදරා යයි. අධි පීඩන තරංග දසත පැතිරේ. ඇති වන පීඩනය දරා ගත නොහැකිව සමබරතාව ගිලිහෙන ගොවීන් කිහිපදෙනා පුළුන් කැබලි මෙන් ඈතට විසි වී යනු දර්ශනය වෙයි.

ඉහත සඳහන් වූයේ හොලිවුඩ් චිත්‍රපටයක දර්ශනයක් නොවේ. මීට වර්ෂ ගණනාවකට පෙර 1908 වසරේ ජූනි මස 30 වන දින සයිබීරියාවේ තුන්ගුස්කා ගඟ අසබඩ පොඩ්කමෙන්නයා ප්‍රදේශයේදී සැබෑ ලෙසම සිදු වූ සිදුවීමකි.


Photo Credits – www.universetoday.com

කුමක් හෝ අතිවිශාල වස්තුවක් ඉහළ අහසේ සිට තුන්ගුස්කා වනයට කඩා වැටුණු අතර හිරෝෂිමා පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයක (TNT මෙගා ටොන් 30 ක්) ශක්තියක් නිදහස් කළ මෙම ඝට්ටනය හේතුවෙන් වනයේ වර්ග කිලෝමීටර 2150 ක ප්‍රදේශයක් ගස් මිලියන 80 ක්ද සමග සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. පිපුරුම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 100 ක් දක්වා ඈතට කම්පන තරංග පැතිරුණි.

රිච්ටර් මාපකයේ 5.0 අගය ගත් කම්පනයක් නිකුත් කළ මෙම පිපිරීම මෑත ඉතිහාසයේ පෘථිවිය මත ඇති වූ ප්‍රබලම පිපුරුම ලෙස වාර්තා වේ. පර්යේෂණයන්හිදී අනාවරණය වූයේ මෙම ආකාශ වස්තුව පොළොව සමග ඝට්ටනය වීමට පෙරාතුව පුපුරා ගිය වගයි. සැබැවින්ම රිච්ටර් 5.0 ක පිපිරීමක් පොළොව මත සිදු වූයේ නම් මීට වඩා සෑහෙන දරුණු ව්‍යසනයක් සිදු වීමට ඉඩ තිබුණි.


Photo Credits – www.phys.org

1908 වසරේ සිට මේ දක්වා තුන්ගුස්කා සිදුවීම පිළිබඳව පර්යේෂණ පත්‍රිකා දහසක් පමණ එළි දක්වා තිබේ. ආසන්නතම වාර්තාව නිකුත් වූයේ 2013 වසරේදී ය. මෙම පර්යේෂණයන් සමස්තයක් ලෙස විමසා බැලීමේදී තුන්ගුස්කා පිපිරීම පිළිබඳව නිශ්චිත නිගමනයක් මෙතෙක් ඉදිරිපත් කෙරී නැති බව පෙනී යයි. මෙලෙස කඩා වැටුණේ ග්‍රහකයක් බව සමහරුන් පවසද්දී තවත් අය පවසන්නේ එය පිටසක්වළ යානාවක් බවයි.

එහෙත් එම මතයන් 2ම පෝෂණය කිරීමට සමත් සාක්ෂි අදාළ පිපිරුම් ස්ථානයෙන් හමු වීම මෙම අබිරහස තව තවත් තීව්‍ර කර තිබේ. ග්‍රහකයක යැයි සැලකිය හැකි පාෂාණමය සුන්බුන් රැසක් මෙම ස්ථානයේ තිබී විද්‍යාඥයන්ට හමු වී ඇති අතර කුමන වස්තුවකට අයත් වූයේදැයි සිතා ගත නොහැකි අත්භූත ආකාරයේ ලෝහ කැබලි ද හමු වී තිබේ. 70 දශකයේදී හමු වූ මෙවැනි ලෝහ කැබැල්ලක සීසියම් (Cs), ලැන්තනම් (La) හා නයෝබියම් (Nb) යන මූලද්‍රව්‍යයන් විශාල වශයෙන් ගැබ් වී ඇති බව සොයා ගන්නා ලදී. මෙම මූලද්‍රව්‍යයන් 3ම පෘථිවිය මතදී අතිශය දුර්ලභ ය.අදාළ ලෝහ කැබැල්ල කැඩී ගොස් ඇත්තේ විශාල ගෝලාකාර වස්තුවකින් බවද හඳුනා ගැනිණ.


Photo Credits – www.sciencesource.com

තුන්ගුස්කාවේදී පුපුරා ගියේ ග්‍රහකයක් හෝ පිටසක්වළ යානාවක් හෝ වෙනත් කුමක් හෝ වුවද එම පිපිරීමේදී අධික විකිරණ ශක්තියක් අවට පරිසරයට මුදා හැරුණු බව විද්‍යාඥයෝ විශ්වාස කරති. ඊට හේතුව වන්නේ පිපිරීමෙන් වසර 106 කට පසු වර්තමානයේද අදාළ ප්‍රදේශයේ හට ගන්නා සමහර ශාක අසාමාන්‍ය ලක්ෂණ දැක්වීම හා කෘමීන් ආදී සතුන් විකෘති ශරීර ඇතිව බිහි වීමයි.

කෙසේ හෝ 2009 දී තුන්ගුස්කාව පිළිබඳව පර්යේෂණ වාර්තාවක් එළි දැක්වූ රුසියානු විද්‍යාඥ යූරි ලව්බින් ඉන් ඉදිරිපත් කළ නිගමනය ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුණි. අදටද “Tunguska” නමින් අන්තර්ජාලයේ සෙවුමක් කළ විට මුලින්ම දිස් වන්නේ ඔහු විසින් ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාව අඩංගු වෙබ් අඩවි ය.

ලව්බින් විසින් පිපිරීම සිදු වූ ස්ථානයේ තිබී අසාමාන්‍ය ආකාරයේ ක්වාට්ස් (තිරිවානා) ස්ඵටික කිහිපයක් සොයා ගන්නා ලදී. මින් ස්ඵටික 10 ක පමණ මධ්‍යයේ ක්‍රමානුකූල ලෙස නිමැවුණු වෘත්තාකාර සිදුරු තිබුණු අතර සෑම ස්ඵටිකයකම පාහේ විවිධාකාර රූප සටහන් දක්නට ලැබිණි.

පෘථිවියේ ඇති කිසිදු උපකරණයකින් ක්වාට්ස් ස්ඵටික මත එවැනි නිර්මාණයන් කළ නොහැකි බව අවධාරණය කරන යූරි ලව්බින්, සිදුරු සහිත ස්ඵටික දම්වැලක ආකාරයට එකිනෙක අමුණා තිබෙන්නට ඇති බවද උපකල්පනය කරයි. එමෙන්ම පෘථිවියේදී කිසිම අයුරකින් නිපදවිය නොහැකි ෆෙරම් සිලිකේට නම් ඛනිජමය සංයෝගයක්ද මෙම ක්වාට්ස් ස්ඵටික ආශ්‍රිතව තිබී ඔහු විසින් සොයා ගෙන ඇති බව වාර්තාවේ සඳහන් කොට තිබේ.


Photo Credits – Unknown

මේ සියල්ල පිළිබඳව තම වාර්තාව හරහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන මෙම රුසියානු විද්‍යාඥයා අවසානයේ සිත් සසල කරවන, විශ්මයජනක නිගමනයක් ඉදිරිපත් කර තිබේ. එම නිගමනයෙන් ලිපිය අවසන් කරමු. බොහෝවිට ඔහු සම්පූර්ණයෙන්ම වැරදි විය හැකිය. (මෙය විශ්වාස කිරීමට ඉතා අපහසු මතයකි.) එහෙත් සමහරවිට ඔහු නිවැරදි වීමටද හැක. ඔහු නිවැරදි නම්…?


www.thesun.co.uk

“තුන්ගුස්කාවේදී සිදු වී ඇත්තේ ආශ්චර්යමත් සිදුවීමක්. මුලදී මමත් එය විශ්වාස කිරීමට පැකිළුණා. එහෙත් දැන් මටත් එය පිළි ගැනීමට සිදු වෙලා තිබෙනවා. ඔබලා සමහරෙක් පවසනවා ග්‍රහකයක් කඩා වැටුණු බව. සමහරෙක් පවසනවා පිටසක්වළ යානාවක් කඩා වැටුණු බව. මම කිව්වොත් මේ සිදුවීම් දෙකම තුන්ගුස්කාවෙදී සිදු වුණා කියා? ඔබ පිළි ගන්නවාද? ඔව්. මෙහිදී කඩා වැටුණේ විශාල ග්‍රහකයක්. නමුත් එය පොළොවේ ගැටීමට ඔන්න මෙන්න තිබියදී යම් අත්භූත යානාවක් ඒ සමග ගැටුණා. පොළොව මත සිදු වීමට නියමිත වූ පිපිරීම පොළොවෙන් ඉහළදී සිදු වූයේ ඒ නිසයි. මා ඇතුළු මගේ කණ්ඩායම සොයා ගත් පාෂාණමය දම්වැල සහ අනෙකුත් නිරීක්ෂණ මගින් පැහැදිලි වෙනවා එම යානාව හිතාමතාම ග්‍රහකයේ ගැටීමට සැලැස්වූ බව. සමහරවිට එහි ජීවීන් සිටියා විය හැකියි. නැතහොත් දුරස්ථව මෙහෙයවූවක්ද විය හැකියි. ඒ කුමක් වුවත්….. ඔවුන් මිනිස් වර්ගයා මහා විනාශයකින් ගලවා ගත්තා!” -යූරි ලව්බින්

පසු සටහන: මෙම ලිපිය මගින් කෙරෙනුයේ අදාල සිදුවීමේ එක් පැතිකඩක් වාර්තා කිරීම පමණි. ඒ හැර යූරි ලව්බින්ගේ අදහස සත්‍ය යැයි පැවසීමක් කිසිසේත් සිදු නොකෙරේ. ලොව පුරා අතිමහත් බහුතරයක් විද්‍යාඥයන් මෙම අදහසට එකහෙළා විරුද්ධ වන බවද වර්තමානයේදීත් තුන්ගුස්කා සිදුවීම උල්කාපාත ඝට්ටනයක් ලෙස අර්ථ දැක්වෙන බවද සඳහන් කළ යුතුමය.

තවත් තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ ලිපි සඳහා : මණ්දාකිනියෙන් ඔබ්බට – www.beyond-the-galaxy.blogspot.com

2013 වසරේ සිට "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොග් අඩවිය ලියූ අශාන් ද කොස්තා මහතා, සම්මානිත තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා බ්ලොග් රචකයෙකි. වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන ඔහු චක්‍රායුධ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා සහ පද රචකයා වශයෙන්ද කටයුතු කරයි.