රුවන්වැලි මහා සෑ සංකීර්ණය – පළමු කොටස

මීට වසර කිහිපයකට පෙර අපි ජේතවනාරාම ආරාම සංකීර්ණය ගැන, මිහින්තලා ආරාම සංකීර්ණය ගැන, අභයගිරි ආරාම සංකීර්ණය ගැන, ථූපාරාම ආරාම සංකීර්ණය ගැන, බටහිරාරාම ආරාම සංකීර්ණය ගැන ලිපි මාලාවක් අරගෙන ආවා ඔයාලට මතක ඇති. අද ලිපියෙන් අපි අරගෙන එන්නේ රුවන්වැලි මහා සෑ ආරාම සංකීර්ණය ගැන විස්තර ටිකක්.
අනුරාධපුර රාජධානි සමයේ එක්තරා කාලසීමාවකට එනකොට අපි දන්නවා අනුරාධපුරේ තිබ්බ බොහෝමයක් ආරාම ප්‍රධාන වශයෙන් මහාවිහාර, අභයගිරි, ජේතවනාරාම යන ප්‍රධාන ආයතන තුන යටතේ පාලනය වෙන්න ගත්තා.
අපි පසුගිය ලිපිවලින් කතා කරපු ථූපාරාම ආරාම සංකීර්ණය, මිහින්තලා ආරාම සංකීර්ණය වගේ ස්ථාන වගේම මේ ලිපියෙන් කතා කරන රුවන්වැලි මහා සෑ ආරාම සංකීර්ණයත් අයිති වෙන්නේ මහා විහාරයටයි.
ඒත් මේ සියල්ලක්ම මහා විහාරය යටතට ඇතුළත් කළාම අපිට වර්ගීකරණය කර ගැනීමේ අපහසුවක් තිබෙන නිසා තමයි මහාවිහාරය යටතේ තිබෙන ආරාම සංකීර්ණයන් වෙන් වෙන් වශයෙන් අරගෙන අපි කතා කරන්න ගත්තේ.

පසුගිය ලිපිවල වගේම මේ ලිපියෙත් අපි ආරම්භයේදීම මතක් කරන්න ඕන දෙයක් තමයි, අනෙකුත් ආරාම සංකීර්ණ වගේම රුවන්වැලි මහා සෑ ආරාම සංකීර්ණය ගැනත් අනුරාධපුරයේ සංචාරය කරන බොහෝමයක් අයගේ අවධානයට ලක්වෙන්නේ නෑ. ඒකට හේතුව වෙන්නේ තවමත් බහුතරයක් දෙනා සාම්ප්‍රදායික අටමස්ථාන වන්දනාවට කොටුවෙලා සිටීමත්, ඒ අදාළ ස්ථානයේ ස්තූපය පමණක් දැකබලා වන්දනාමාන කර ගැනීමත් කියන කරුණු නිසයි.
ඒ වගේම සමහරක් අය අවට පරිසරය ගැන සහ වටපිටාව බලාගෙන සංචාරය කරන්න හුරුවෙලා නෑ. එතනිනුත් බහුතරයක් අය අනුරාධපුරයට පැමිණෙන්නේ විනෝද චාරිකා ස්වරූපයෙන්. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ නොදන්න අයගේ දැන ගැනීම වෙනුවෙන් රුවන්වැලි මහා සෑය අවට තියෙන අංගයන් ගැන සාකච්ඡා කරන්න.
01. දුටුගැමුණු ශිලා ස්ථම්භය
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී දේවානම්පියතිස්ස රජතුමා, මහින්ද මහරහතන් වහන්සේ සහ භික්ෂූන් වහන්සේලා උදෙසා මහමෙව්නා උයන පූජා කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ මහින්ද මහරහතන් වහන්සේ ඒ භූමිය පුරා ඇවිදිමින් ඒ භූමියේ ගොඩනැගිලි සහ අංග නිර්මාණය කළ යුතු ස්ථාන සහ ඒවායේ සීමාමායිම් ලකුණු කළා කියලා කියවෙනවා.
ඒ අවස්ථාවේදී වර්තමානයේ රුවන්වැලි මහා සෑය තිබෙන ස්ථානයට වැඩම කරලා… මේ මහා භද්‍ර කල්පයේ මෙතෙක් පහළ වූ බුදුරජාණන් වහන්සේලා සතර නමක් මෙම ස්ථානයට වැඩම කර තිබෙන බවත්, අනාගතයේ පහළ වන බුදුරජාණන් වහන්සේත් මේ ස්ථානයට වඩින බවත්, අනාගතයේ මතුයම් දවසක දේවානම්පියතිස්ස රජතුමාගේම මුනුබුරෙක් රාජ්‍යත්වයට පත් වෙලා, මේ ස්ථානයේ ගෝතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතූන් වහන්සේලා තැන්පත් කර, අතිවිශාල ස්තූපයක් නිර්මාණය කරන බවත් පවසන අතරවාරයේ රුවන්වැලි මහා සෑය නිර්මාණය කිරීමට අවශ්‍ය සීමාවන් ලකුණු කරලා තිබෙනවා.

මේ අනාවැකිය අහලා සතුටට පත්වුණු දේවානම්පියතිස්ස රජතුමා රුවන්වැලි සෑය නිර්මාණය කිරීමට අදාළ භූමිය තහවුරු කිරීමක් වශයෙන් විශාල ගල් කණුවක් ඒ භූමියේ ස්ථාපනය කරනවා. බොහෝමයක් අය විශ්වාස කරනවා මේ තිබෙන්නේ ඒ ගල්කණුව කියලා.
නමුත් මේ ගල් කණුව ගැන තවත් කතාවක් තියෙනවා. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙන් පසුව අනුරාධපුර රාජධානියට විටින් විට එල්ල වුනු සතුරු ආක්‍රමණ නිසා දේවානම්පියතිස්ස රජතුමා විසින් ස්ථාපනය කරපු ගල් කණුව විනාශ වුණා කියලත්, පසුකාලයක මේ අනාවැකිය ගැන මහරහතන් වහන්සේලාගෙන් දැනගත්ත කාවන්තිස්ස රජතුමා නැවතත් එම ස්ථානයේ ගල්කණුවක් තැන්පත් කළා කියලත්, වර්තමානයේ අපිට දකින්න ලැබෙන්නේ ඒ ගල්කණුව කියලා මතයක් තියෙනවා.

කොහොම නමුත් දුටුගැමුණු රජතුමාගේ යුගයට එනකොට, දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහා සෑයේ නිර්මාණය කළ යුතුව තිබෙන ස්ථානයේ ස්ථාපනය කරලා තිබෙන මේ ගල්කණුව එතනින් ඉවත් කරලා, ඒ ස්ථානයේ රුවන්වැලි මහා සෑය නිර්මාණය කරලා, වර්තමානයේ මේ ගල් කණුව ස්ථාපනය කර තිබෙන ස්ථානයේ තැන්පත් කළා කියලා කියවෙනවා.
රුවන්වැලි මහා සෑයේ උතුරු පිවිසුමෙන් එනකොට තිබෙන උද්‍යානයෙන් ඔයාලට මේ ශිලා ස්ථම්බය දැකබලා ගන්න පුළුවන්. ශිලා ස්ථම්භයේ අක්ෂර කිසිවක් නොතිබුණත්, පැරැණි රජ කාලයේ මේ ශිලා ස්ථම්භයේ අක්ෂර තිබෙන්න ඇති කියලත්… අව්, වැසි, සුළං වගේ පාරිසරික තත්වයන් මත ඒ අක්ෂර පසු කාලයේදී මැකෙන්න ඇති කියලත් පුරාවිද්‍යාඥයන් සැක පහළ කරනවා.
02. ඇත් පවුර
රුවන්වැලි මහා සෑයට යන එන කාගෙත් අවධානයට පාත්‍රවෙන අංගයක් තමයි සලපතල මළුවේ පිටත සතර පැත්තෙන් නිර්මාණය කරලා තිබෙන ඇත් පවුර. රුවන්වැලි මහා සෑය ඈතින් බලන කෙනෙකුට ඇතුන් සමූහයක් විසින් රුවන්වැලි මහා සෑය උස්සාගෙන සිටිනවා වගේ දර්ශනයක් මේ නිසා දැක බලා ගන්න පුළුවන්. කළු වර්ණයෙන් වර්ණාලේපිත කරලා තිබෙන මේ ඇතුන් වර්තමානයේ නිර්මාණය කරපු මූර්තීන්.

ඒත් බොහෝමයක් අය නොදන්න කරුණ තමයි රුවන්වැලි මහා සෑයේ මුල් ඇත් පවුරේ කොටසක් රුවන්වැලි මහා සෑයේ බටහිර සලපතල මළුවට පිවිසෙන ස්ථානය දෙපස දැකගන්න පුළුවන් බව.
එම කොටස් දෙකෙන් වම්පස කොටසේ ඇතුන්ගේ රූප එතරම්ම පැහැදිලිව පෙනෙන්නේ නෑ. හොඬවැල් පමණක් සුළුවෙන් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. දකුණු පස කොටසේ ඇති ඇත් රූපවල තරමක් දුරට හොඬවැල්, කන් සහ කුම්බස්තලය දැකගැනීමේ හැකියාව තිබෙනවා. මේ පැරණි ඇත් පවුර දුටුගැමුණු රජතුමාගේ මරණයෙන් පසුව, සද්ධාතිස්ස රජතුමා විසින් නිර්මාණය කරපු කොටසක්.

03. නිශ්ශංකමල්ල පුවරු ලිපිය
රුවන්වැලි මහා සෑයේ සලපතල මළුවේ නැගෙනහිර දිශාවේ පිහිටලා තියෙන පුවරු ලිපිය නිශ්ශංකමල්ල පුවරු ලිපිය කියලා හඳුන්වනවා. අපි මීට කලිනුත් නිශ්ශංකමාල්ල රජතුමා ගැන සාකච්ඡා කළා. එතනදී අපි මතක් කළා නිශ්ශංක මල්ල රජතුමා කියන්නේ යන යන තැන සෙල්ලිපි පිහිටුවීමට පුරුදු වෙලා හිටපු රජ කෙනෙක් කියලත්, ඒ වගේම ලංකාවේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටවපු රජතුමා කියලාත්.
නිශ්ශංකමල්ල රජතුමා විසින් පිහිටවපු පේළි 35ක් සහිත මේ පුවරු ලිපිය, නිශ්ශංකමල්ල රජතුමාගේ හතරවෙනි රාජ්‍ය වර්ෂයේදී ඔහු රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීමට පැමිණි අවස්ථාවක පිහිටවපු සෙල්ලිපියක්. සෙල්ලිපියේ නිශ්ශංකමල්ල රජතුමා විසින් රුවන්වැලි මහා සෑය සහ ඒ අවට ඇති අනෙකුත් වෙහෙර විහාරස්ථාන වන්දනාමාන කළ ආකාරයත්, රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් සහ රත්තරන් ලබාදුන් ආකාරයත් දැක්වෙනවා.

4) වැලි මලුවේ පුරාවස්තු
රුවන්වැලි මහා සෑය ආශ්‍රිතව සිදු කරපු කැණීම්වලින් සොයාගෙන තිබෙන බොහෝමයක් බුදුපිළිම, කැසිකිලිගල්, මුරගල්, බහිරව රූප, වජ්‍රාසන, සිංහ රූප, කොරවක්ගල්, ගල් කණු, පඩිපෙල්, පද්මාසන, සිංහ රූප වගේ සොයා ගැනීම් ගණනාවක් රුවන්වැලි මහා සෑයට උතුරින් පිහිටි වැලිමළුවේ තැන්පත් කරලා තිබෙනවා දැක ගන්න පුලුවන්.
5) ශිලා ස්තූපය
රුවන්වැලි මහා සෑයේ සලපතල මළුවේ දකුණු දිශාවේ ඉතාමත් කුඩා ශෛලමය ස්තූපයක් අපිට දැක ගන්න ලැබෙනවා. ශෛලමය වේදිකාවක නිර්මාණය කරපු මේ ශෛලමය ස්තූපය බැලූ බැල්මට රුවන්වැලි මහා සෑයේ ආකෘතියක් විදිහට තමයි පේන්න තියෙන්නෙ. සමහරක් ඉතිහාසඥයන් මේ නිර්මාණය රුවන්වැලි මහා සෑය නිර්මාණය කිරීමේදී දුටුගැමුණු රජතුමා යොදාගත්ත ආකෘතිය කියලා විශ්වාස කරනවා.
එනමුත් නිශ්ශංකමල්ල රජතුමාත් මේ වගේම ආකෘතිය නිර්මාණය කළ බවට සාහිත්‍ය මූලාශ්‍රවල ඇතුළත් වෙනවා. ඒ නිසා බහුතරයක් ඉතිහාසඥයන් පවසන ආකාරය අනුව මේ කුඩා ශෛලමය ස්තූපය නිශ්ශංකමල්ල රජතුමා රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීමට පැමිණි අවස්ථාවේදී රුවන්වැලි මහා සෑයට පූජා කරන ලද ස්තූපයක්.

6) භාතිකාභය රජතුමාගේ ප්‍රතිමාව
රුවන්වැලි මහා සෑයේ සලපතල මළුවේ දකුණු දිශාවේ නිර්මාණය කරලා තිබෙන තවත් අංගයක් තමයි භාතිකාභය රජතුමාගේ ප්‍රතිමාව. ඒ බව ඒ අසල ඇති සෙල්ලිපියකින් තහවුරු වෙලා තියෙනවා. භාතිකාභය රජතුමා ප්‍රසිද්ධත්වයට පත්වෙන්නේ අපේ රටේ ප්‍රථම වතාවට ගව ඝාතනය තහනම් කළ රජතුමා විදිහටයි. ඒ වගේම රුවන්වැලි මහා සෑයට ගොඩක් පූජා පවත්වපු, රාජ්‍ය අනුග්‍රහය ලබාදීපු, සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු කරපු රජ කෙනෙක් විදිහට තමයි සැලකෙන්නේ.

මේ ප්‍රතිමාව, රුවන්වැලි මහා සෑ පූජා භූමියෙන් සොයාගත්ත ප්‍රතිමා අතරින් පැරණිම ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නෙ භාතිකාභය රජතුමා රුවන්වැලි මහා සෑය දෙසට හැරී වන්දනාමාන කරමින් සිටින ආකාරයටවීම විශේෂත්වයක්. මේ වන විට මේ ප්‍රතිමාව ගොඩක් ක්ෂයවෙලා තියෙනවා දැකගන්න පුලුවන්. බහුතරයක් දෙනා මේ භාතිකාභය රජතුමාගේ ප්‍රතිමාවක් කියලා සඳහන් කළත් සමහරක් පුරාවිද්‍යාඥයන් මේ කාවන්තිස්ස රජතුමාගේ ප්‍රතිමාවක් කියලත්, තවත් සමහරක් පුරාවිද්‍යාඥයන් මේ කනිට්ඨතිස්ස රජතුමාගේ ප්‍රතිමාවක් කියලත් මත පල කරලා තියෙනවා.
7) ජන්තාඝර පොකුණ
ජන්තාඝරයක් කියන්නේ මොකක්ද කියලා අපි පසුගිය ලිපි වලිනුත් සාකච්ඡා කළා. ජන්තාඝරයක් කියලා කියන්නේ අතීතයේ භික්ෂූන් වහන්සේලාගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කෙරුණු ස්ථානයකටයි. මේ ස්ථනාවලින් උණු වතුර සහ ඖෂධ වතුර තැන්පත් කළ ශෛලමය හෝ මැටි බදුන්, බෙහෙත් ඔරු සහ පොකුණු දැකගන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලාගේ ශරීරයන්වල ඒ ඖෂධ ආලේප කරලා, උණු වතුරෙන් හෝ ඖෂධ වතුරෙන් සේදීම හෝ ස්නානය කිරීම වැනි කටයුතු මේ ස්ථානයන් වලදී සිදු වෙලා තිබෙනවා.

රුවන්වැලි මහා සෑයේ සීමාවට අයත් මෙම ජන්තාඝර පොකුණ අපිට හමුවෙන්නේ රුවන්වැලි මහා සෑයේ බටහිර වැලිමළුවේ ඉහළට ඇති පඩිපෙළ නැගලා ටික දුරක් ඉදිරියට ගියාමයි. සෘජුකෝණාශ්‍රාකාර පොකුණක් විදිහට නිර්මාණය කරලා තිබෙන මේ පොකුණේ එක් දිශාවකට පමණක් නිර්මාණය වුණු පඩිපෙළක් දැකගන්න පුළුවන්.
8) මහාවිහාර පධානඝරය
රුවන්වැලි මහා සෑයේ සීමාවට අයිති පිටත උද්‍යානයේ වයඹ දිශාවේ පිහිටලා තිබෙන ගොඩනැගිලි සංකීර්ණය මහාවිහාරයේ පධානඝරය ලෙස හඳුනාගෙන තිබෙනවා. මීට පෙර ලියපු ලිපිවල සාකච්ඡා කළා වගේම පධානඝර කියන්නේ භාවනායෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට භාවනා කටයුතු සිදු කිරීම උදෙසා නිර්මාණය කරන ගොඩනැගිලි සමූහයකටයි.

මෙම ස්ථානයේ පධානඝර ගොඩනැගිලි ප්‍රධාන වශයෙන් තුනක් හඳුනාගෙන තිබෙනවා. ඒ සෑම ගොඩනැගිල්ලකම මුරගල්, සඳකඩපහන්, කොරවක්ගල්, අත්තිවාරම් කොටස්, උළුවහු, පඩිපෙල්, ගල් කණු දැකගැනීමේ අවස්ථාව සහ අධ්‍යයනය කිරීමේ අවස්ථාවේදී අපිට ලබා ගන්න පුළුවන්. සමහරක් පුරාවිද්‍යාඥයන් මත පල කරලා තිබෙනවා මේ ස්ථානය, මහාවංශයේ දැක්වෙන සමුද්‍රගිරි විහාරස්ථානය කියලා.
9) හඳුනානොගත් ස්මාරකය
රුවන්වැලි මහා සෑයේ පිටත උද්‍යානයේ බටහිර දිශාවේ පිහිටලා තිබෙන මේ ස්ථානය මොන වගේ ස්ථානයක්ද කියලා තවමත් හඳුනාගෙන නෑ. පොළොවෙන් උස් වුණු වේදිකාවක් මත තියෙන කන්දක් වගේ තිබෙන මේ ප්‍රදේශයේ උඩ කොටසේ ගල්කණු කිහිපයක් දැක ගන්න පුළුවන්. සමහරක් දෙනා මේ දුටුගැමුණු රජතුමාගේ හෝ වෙනයම් රජ කෙනෙක්ගේ ශරීරය මිහිදන් කරපු ස්ථානයක් වෙන්න ඇති කියලා සැක පහළ කරලා තියෙනවා.

10) පස් පිළිම
රුවන්වැලි මහා සෑ පරිශ්‍රයෙන් සොයාගත්ත අනුරාධපුර යුගයට අයත් ප්‍රතිමා පහක් මේ වනවිට රුවන්වැලි මහා සෑයේ බුදු මැදුරේ තැන්පත් කරලා තිබෙනවා. මේ ප්‍රතිමාවලින් නිරූපණය වන්නේ පිළිවෙලින් කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝණාගම බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, ගෝතම බුදුරජාණන් වහන්සේ සහ මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ කියලා පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබෙනවා.

මේ සියලුම ප්‍රතිමා එකම කාලයේ කැටයම් කරලා තියෙන බවත්, ඩොලමයිට් පාෂාණයෙන් නිමවා තියෙන බවත්, අඩි හතයි අගල් හතරත් – අඩි හතයි අගල් අටත් අතර උසකින් යුක්ත බවත්, ඒකාංශ පාරුපනය නොහොත් එක උරහිසක් විතරක් වැසෙන සේ පොරවා සිටින බවත්, චීවරයේ සියුම් රැළි තිබෙන බවත්, අඳනය සහ යට කොටස් සිවුර තුළින් ඉස්මතු කර ඇති බවත් අංග ලක්ෂණ විදිහට හඳුන්වන්න පුළුවන්.


සමහරක් පිළිමවල මුද්‍රාව අභය මුද්‍රාවයි. ඒ නිසා සොයාගන්නාවිට දෑත් කැඩී ගිය අනෙකුත් පිළිමවල මුද්‍රාවනුත් පසු කාලයක අභය මුද්‍රාවෙන් නිර්මාණය කරලා තිබෙනවා. ඉතිරි වන ප්‍රතිමාව සොයා ගත් අවස්ථාවේදී ඒ ප්‍රතිමාව දුටුගැමුණු මහරජතුමාගේ ප්‍රතිමාවක් කියලා විනිශ්චය වුණත්, ප්‍රතිමාවේ නෙළුම් මලක් අතේ දරා සිටීම, පද්මාසනයක් මත සිටීම, මකුටයක් දරා සිටීම කියන අංග ලක්ෂණ නිසා මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක් කියලා පසුව තහවුරු වෙලා තියෙනවා.
11) දුටුගැමුණු ප්‍රතිමාව
රුවන්වැලි මහා සෑයේ ප්‍රධාන පිවිසුම නොහොත් නැගෙනහිර පිවිසුමේ සලපතල මළුවේ දෙපස දැකගන්න පුළුවන් ශෛලමය ප්‍රතිමා දෙකක් තමයි දුටුගැමුණු මහරජතුමාගේ සහ විහාරමහාදේවියගේ ප්‍රතිමා දෙක. රුවන්වැලි මහා සෑය අවටින් සොයා ගත් ප්‍රතිමා අතරින් උසම ප්‍රතිමාව දුටුගැමුණු රජතුමාගේ ප්‍රතිමාව කියලා තමයි පුරාවිද්‍යාඥයන් කියන්නෙ. ප්‍රතිමාවේ උස අඩි නවයයි අගල් හයක් වෙනවා.

සොයාගන්න අවස්ථාවේදී රුවන්වැලි මහා සෑයට වඩා තරමක් දුරින් සොයාගෙන තිබුණත්, ප්‍රතිමාවේ කැඩී බිඳී ගිය කොටස් ප්‍රතිසංස්කරණය කරලා, පසු කාලයකදී වර්තමාන ස්ථානයේ තැන්පත් කළා කියලා තමයි ඉතිහාස වාර්තා වල දැක්වෙන්නේ. මේ ප්‍රතිමාවේ තියෙන කැපීපෙනෙන විශේෂත්වයක් තමයි රජ කෙනෙක් දරා සිටින මාල, මුදු, වළලු ආදී සියලූම ආභරණ නිර්මාණය කරලා තිබීම. දුටුගැමුණු රජතුමාගේ ප්‍රතිමාවට යාබදව තැන්පත් කරලා තිබෙන විහාර මහා දේවියගේ ශෛලමය ප්‍රතිමාව පැරැණි ප්‍රතිමාවක් කියලා බොහෝමයක් දෙනා හිතුවත් ඒ ප්‍රතිමාව කොළඹ යුගයේ තැන්පත් කරපු ප්‍රතිමාවක්.
12) නැගෙනහිර ආරාම සංකීර්ණය
රුවන්වැලි මහා සෑයේ ප්‍රධාන පිවිසුම නොහොත් නැගෙනහිර පිවිසුමට එන ගමන් මාර්ගයේදී රුවන්වැලි මහා සෑයට අයත් නැගෙනහිර ආරාම සංකීර්ණය අපට දැක බලා ගන්න පුළුවන්. මේ ප්‍රදේශයේ විශාල භූමි භාගයක් විසිරී පැතිරී යන තෙක්ම භික්ෂූන් වහන්සේලාගේ වාසය වෙනුවෙන් නිර්මාණය කරන ලද කුටි සහ ඒ ආශ්‍රිත අත්තිවාරම් කොටස්, ගල් කණු, සිංහ රූප, සඳකඩ පහන්, මුරගල් යනාදී බොහෝමයක් නටබුන් දැක බලා ගැනීමේ අවස්ථාව ලැබෙනවා.
ඉතින් අපි හිතනවා මේ ලිපිය ඔස්සේ රුවන්වැලි මහා සෑ පූජා භූමියේ ඔයාලාගෙ ඇස් නොගැටෙන දේවල් ගැන ඔයාලා දැනගන්න ඇති කියලා. ඊළඟ වතාවේ රුවන්වැලි මහා සෑ පරිශ්‍රයට ගියාම ඔයාලාටත් පුලුවන් මේ ස්ථානත් දැක බලාගන්න.
රුවන්වැලි මහා සෑ පූජා භූමිය ගැන අපිට ලියන්න තියෙන දේවල් මෙතනින් ඉවර නෑ. තවත් ආරාම සංකීර්ණ, පොකුණු, රෝහල් සංකීර්ණ, භාවනා ස්ථාන, කැසිකිළි පද්ධති ආදී වශයෙන් ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා. ඒ ස්ථාන ගැන තවත් ලිපියක් අපි ඉදිරියේදී අරගෙන එනවා. රැඳී සිටින්න!















