අපේ රාජාවලියේ ලොකුම ටොම් පචයා?

අද ලිපියෙන් අපි කතා කරන්නෙ නිශ්ශංකමල්ල රජතුමා ගැනයි. පොඩි පන්ති වලදි නම් නිශ්ශංකමල්ල රජතුමා කියන්නෙ හොඳ පාලකයෙක් කියලා අපි ඉගෙන ගත්තට, වැඩි වියට පත්වෙලා, ඉතිහාසය ගැන තව තවත් දේවල් ගැඹුරින් හදාරනකොට ඒක එහෙමද කියලා ප්‍රශ්නයක් අපිට එනවා.

නිශ්ශංකමල්ල රජතුමා කළ කී දේවල් බැලුවම, නිශ්ශංකමල්ල රජතුමා කියන්නෙ, එක්තරා ආකාරයක ටොම් පචයෙක්ද කියලා සාධාරණ සැකයක් මතු වෙනවා. ඒ වගේම හරියට බුද්ධිය භාවිතා කරලා තීන්දු තීරණ ගත්තද කියලත් හිතෙනවා.

නිශ්ශංකමල්ල රජතුමාගේ සම්භවය
නිශ්ශංකමල්ල රජතුමා කියන්නෙ පොළොන්නරු රාජධානියේ අවසාන කාලයේ රාජ්‍යත්වයට පත් වුණු පාලකයෙක්.

ක්‍රි.ව 1157දී උත්පත්තිය ලබන නිශ්ශංකමල්ල කුමාරයා, 2 වෙනි විජයබාහු රජතුමාගේ ආරාධනයෙන් අපේ රටේ රාජ්‍යත්වයට පත් වෙන්න, තරුණ කාලයේම අපේ රටට එන්නෙ ඉන්දියාවේ කලිංග දේශයෙන්. නිශ්ශංකමල්ල රජතුමා අපේ රටේ සිංහාසනයට පත් වෙන්නෙ මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුප්‍රාප්තිකයෙක් විදිහටයි.

@elearninglk

මුහුණ දුන් අභියෝග
අපේ බහුතරයක් ඉතිහාසඥයන් කියන විදිහට නිශ්ශංකමල්ල​ රජතුමා කියන්නේ, ලංකාවේ රජවරුන් අතරින් වැඩිම දේශපාලනික අභියෝග ගණනාවකට මුහුණ දීපු රජතුමයි. අපි මුලින්ම ඒ මොනවද කියලා බලමු.

01. බලය ලබා ගැනීම
පොළොන්නරු රාජධානියේ මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ එතුමාගේ බෑණා වුණු 2 වෙනි විජයබාහු රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා. 2 වෙනි විජයබාහු රජතුමාව සැළකෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ සිත් දිනාගෙන හිටපු, බොහොම ජනහිතකාමී පාලකයෙක් කියලයි. කොහොම හරි 2 වෙනි විජයබාහු රජතුමාව ඝාතනය කරලා 6 වෙනි මිහිදු කියන කෙනා රාජ්‍යත්වයට පත් වෙනවා. ඊට පස්සෙ 2 වෙනි විජයබාහු රජතුමාගේ යුව රජ වුණු, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ලයන්ට සිද්ධ වෙනවා 6 වෙනි මිහිදු රජතුමා එක්ක සටන් කරලා, තමන්ට හිමි රජකම ලබා ගන්න.

02. විජාතිකයෙකු වීම
විජාතිකයෙක් වීම තමයි නිශ්ශංකමල්ල රජතුමා මුහුණ දීපු ප්‍රබලතම දේශපාලනික අභියෝගය. මොකද මේ සිංහල රටේ රජකම ලැබෙන්නෙ සිංහලයන්ට විතරයි. ඉතින් කාලිංග වාංශිකයෙක් වෙන නිශ්ශංකමල්ල රජතුමා, කාලිංග වාංශිකයන්ටත් අපේ රටේ රාජ්‍ය උරුමයක් තියෙනවා කියලා පෙන්නන්න උත්සාහ කළා. මේ රජතුමාගේ සෙල්ලිපිවලින් වැඩි හරියක්ම වෙන් කරලා තියෙන්නෙත් කාලිංග වාංශිකයගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

03. බෞද්ධයෙකු නොවීම
අපේ රටේ සිංහාසනය ලබා ගන්න නිශ්ශංකමල්ල​ රජතුමා බුදු දහම වැළද ගන්නවා. ඒ, රටේ මිනිස්සුන්ගෙ හිත් දිනා ගන්න. බුදු දහම වැළද ගත්ත රජතුමා, ඒ පාර කාලිංග වාංශිකයෝ බෞද්ධයෝ කියලා පෙන්නන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවේ “අපේ රටේ පාලකයා අනිවාර්යෙන්ම බෞද්ධයෙක්” වෙන්න ඕන කියලත් නීතියක් ගේනවා.

අපේ රටේ පාලකයෝ රාජ්‍ය පාලනය කරනකොට, බෞද්ධ සංකල්ප වලටත් අවධානය යොමු කළා. ඒ නිසා එක එක යුගවලදී එක එක බෞද්ධ සංකල්ප වලට අනුව දේශපාලනය කරන්න ගත්තා. කාලයක් රජතුමා බෝසත්වරයෙක් වගේ වෙන්න ඕන කියලා සංකල්පයක් ආවා. ඒ කියන්නෙ බෝධිසත්වයෙක් සතු උතුම් ගුණාංග වලින් යුක්ත වෙන්න ඕන කියන එක. තවත් කාලයක සංකල්පයක් තිබුණා, රටේ රජතුමා අනිවාර්යෙන්ම බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්න ඕන කියලත්. මේ, ඒකෙ එක තෝතැන්නක්.

මහ නුවර යුගයේ අන්තිම කාලයේ රජ වුණු නායක්කාර් වාංශික රජවරු පවා මේ නීතියට අවනත වුණා. එයාලා හින්දු අය වුණත් බුදු දහම වැළදගෙන, බුදු දහම වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරනවා. නිශ්ශංකමල්ල රජතුමා ඒ කරපු ප්‍රකාශය කොච්චර වැදගත්ද කියනවා නම්, අද වෙනකොටත්අ පේ රටේ බහුතරයක් දෙනාගේ සිත් වල තියෙන්නෙ, අපේ රටට පත්වෙන්න ඕන සිංහල බෞද්ධ පාලකයෙක් කියන එකයි. නමුත් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ වුණු පරිහානිය, බිඳ වැටීම සහ දේශපාලනික වෙනස් වීම් අනුව ඒ සිතුවිල්ල කොපමණ දුරට වලංගුද කියන එකත් විවාදත්පන්න මාතෘකාවක්.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

04. ගොවි කුල වංශිකයන්ගේ විරෝධතා සහ 05. ප්‍රත්‍යන්ත ජනපද වල විරෝධතා
නිශ්ශංකමල්ල රජතුමාගේ සමහරක් සෙල්ලිපි වල ගොවි කුල වංශිකයන්ට අවවාද දීලා තියෙනවා. ඒ වගේම සමහරක් සෙල්ලිපි වල තර්ජනාත්මක ප්‍රකාශ කොටලා තියෙනවා. ඒ නිසා මේ කාලයේ ගොවි කුල වංශිකයන් එක්ක රජතුමා මොකක් හරි ප්‍රශ්නයක් ඇති කර ගෙන හිටියා කියලත් හිතන්න පුලුවන්.

06. දේශීය කුමාරවරුන්ගේ තර්ජන, 07. විදේශීය කුමාරවරුන්ගේ තර්ජන සහ 08. සෙන්පතිවරුන්ගේ තර්ජන
සිංහාසනයට ඇහැ ගහගෙන හිටපු බල සම්පන්න සෙන්පතිවරුන්ගේ, දේශීය සහ විදේශීය කුමාරවරුන්ගේ බලපෑම්ම ර්ධනය කරන්නත් නිශ්ශංකමල්ල රජතුමාට සිද්ධ වෙනවා.

09. පරාක්‍රමබාහු රජතුමාගේ ශ්‍රේෂ්ඨත්වය ඉක්මවීමට සිදු වීම
පොළොන්නරු යුගයේ රජවරු බොහෝ පිරිසක් රජකම් කළත්, ඒ අතරින් රටට සහ ආගම දහමට දැනෙන්න වැඩක් කරපු රජවරු ඉන්නෙ තුන්දෙනයි. එක රජ කෙනෙක් තමයි පොළොන්නරු රාජධානියේ ආරම්භක පාලකයා නොහොත් මහා විජයබාහු රජතුමා. තවත් කෙනෙක් තමයි මහා පරාක්‍රමබාහු රජතුමා. අවසාන කෙනා විදිහට අපට දක්වන්න පුලුවන්කම ලැබෙන්නෙ නිශ්ශංකමල්ල රජතුමයි.

නිශ්ශංකමල්ල රජතුමා රාජ්‍යත්වයට පත් වෙන්න කලින් අපේ රටට දැනෙන්න වැඩක් කරපු අන්තිම පාලකයා තමයි මහා පරාක්‍රමබාහු රජතුමා. මහා පරාක්‍රමබාහු රජතුමා කියන්නෙ බොහෝම ප්‍රතාපවත් රජ කෙනෙක්. ඒ වගේම අභිමානවත් චරිතයක්. ඒ නිසා මිනිස්සුන්ගෙ ආදරය, ගෞරවය සහ පක්ෂපාතීත්වය කියන තුනම පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට ලැබුණා. ඉතින් නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ට ඕන වුණා පරාක්‍රමබාහු රජතුමාගේ ශ්‍රේෂ්ඨත්වය ඉක්මවා යන්න කටයුතු කරන්න.

මොකද පරාක්‍රමබාහු රජතුමා තරම්වත් ශ්‍රේෂ්ඨ චරිතයක් වුණේ නැත්නම්, මිනිස්සු තමාව පිළිගන්න එකක් නෑ කියලා රජතුමාට හිතුණා. ඉතින් ඒ අභියෝගයත් රජතුමාට ජය ගන්න හැකි වුණා. මොකද පරාක්‍රමබාහු රජතුමාගේ සංකේන්ද්‍රගත පාලන ක්‍රමය, නිශ්ශංකමල්ල රජතුමා තවත් ශක්තිමත් කළා. පොළොන්නරු රාජධානියේ බලය තව තවත් වර්ධනය කළා. ඒත් නිශ්ශංකමල්ල රජතුමාගෙන් පස්සෙ ආපු පාලකයන්ට ඒ දේවල් හරියාකාරව කර ගන්න බැරි වුණා. ඒ නිසා රාජධානිය ටිකෙන් ටික බිද වැටෙන්න ගන්නවා. නිශ්ශංකමල්ල රජතුමාගෙන් පස්සෙ ආපු පාලකයන්ට නිශ්ශංකමල්ල රජතුමා තරම්වත් හරියාකාරව රාජධානිය ගොඩ නගන්න, පාලනය කරන්න බැරි වීමම, රජතුමාගේ ශ්‍රේෂ්ඨත්වය ගැන ප්‍රකාශ කරන්න ඇති නේද..???? (වැඩිදුර අධ්‍යනය සඳහා – පොළොන්නරු පරිහානිය, බිඳ වැටීම සහ රාජධානිය විතැන් වීම)

සමාජ සේවා කටයුතු
රජතුමා අවුරුදු 5කට අපේ රටේ ජනතාවගෙන් බදු අය කරන එක නැවැත්තුවා. සමහරක් බදු වර්ග අහක් කළා. තවත් සමහරක් බදු වර්ග වල අය කරන ප්‍රතිශතය අඩු කළා.

මිනිස්සුන්ට විතරක් නෙවේ සතා සිව්පාවුන්ට හිටන් කරුණාවන්ත වුණා. අපේ රටේ සියලුම සත්වයින්ට අභය දානය දෙනවා. රට පුරා දාන ශාලා හදනවා. ධර්ම යාත්‍රා පවත්වනවා. අවුරුද්දකට පස් වතාවක් තුලාභර දාන දෙනවා.

එතකොට රජතුමා මේ වගේ දේවල් කළේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම පිළිබඳව නොදැනුවත්කම නිසාද, එහෙමත් නැත්නම් ඒ කාලයේ අපේ රටේ රාජ්‍ය භාණ්ඩාගාරය පිරී ඉතිරිලා තිබ්බද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා.


Click on the Image

මෝඩ තීරණ
ඒ වගේම සමහරක් තීන්දු තීරණ වල මෝඩ බවක් තියෙනවා. උදාහරණ විදිහට කලින් රජවරු සිරගත කරපු සිරකරුවන් නිදහස් කිරීම සහ රාජසන්තක කරපු දේපල ආයිත් එයාලටම ලබා දීම, සොරකම් නැවැත්වීමට සොරකමේ යෙදෙන අයට ධනය ලබා දීම වගේ දේවල් නම් කරන්න පුලුවන්.

සෙල්ලිපි
​අපේ රටේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටුවීමේ වාර්තාවට හිමිකම් කියන්නෙත් නිශ්ශංකමල්ල​ රජතුමා. මේ රජතුමාගේ සෙල්ලිපි හම්බ වුණේ නැති තැනක් හොයා ගන්නත් නැති තරම්. ඒ සෙල්ලිපිවල ගොඩක්ම සදහන් කරලා තියෙන්නෙ රජතුමා කරපු පිං අතේ වැඩ ගැන. එහෙමත් නැත්නම් රජතුමාගේ සමාජ සේවා කටයුතු ගැන. ඒත් ඒ සෙල්ලිපිවල සදහන් වෙන ගොඩක් කරුණු අතිශ්‍යෝක්තියට බර දේවල්. ඒ කියන්නෙ රජතුමා, තමන් නොකළ වැඩත් කරපු වැඩ විදිහට පෙන්නලා තියෙනවා.

පොළොන්නරුවේ තියෙන ගල්පොත ලිපියත් නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල්ලිපියක්. අපේ රටෙන් හොයා ගත්ත සෙල්ලිපි අතරින් ලොකුම සෙල්ලිපිය කියලත් කියනවා. කොටස් 3කට වෙන් කරලා තියෙන මේ ලිපිය, පිටු 3ක් විදිහට සම්පාදනය කරලා තියෙනවා.

අනුරාධපුරේ මිහින්තලය පැත්තෙ නිර්මාණය කරලා, එහේ ඉදන් මෙහාට අලි ඇත්තු ලවා ඇදගෙන ආවා කියලා තමයි ඉතිහාසයේ තියෙන්නෙ.

​පොළොන්නරුව ඇරුණම නිශ්ශංකමල්ලයන්ගේ සෙල්ලිපි දඹුල්ල, පඩුවස් නුවර, දෙවුන්දර, කතරගම වගේ ප්‍රදේශවලිනුත් හොයා ගෙන තියෙනවා.

ආගමික සේවා
රජතුමාගේ විනෝදාංශය තමයි බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කර ගන්න යන එක. මේ නිසා ගොඩක් බෞද්ධ වෙහෙර විහාර රජතුමා ප්‍රතිසංස්කරණය කරනවා. දඹුල්ල රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා 72කට රන් ආලේප කළා කියලා සෙල්ලිපිවල තියෙනවා. ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරන්න යන අයට මාර්ග පහසුකම් නිර්මාණය කරනවා.

නිශ්ශංකමල්ල​ රජතුමාගේ අනුග්‍රහය ඇතිව නිර්මාණය වුණු විශාලම ඉදි කිරීම තමයි රන්කොත් වෙහෙර. මේක පොළොන්නරුවේ තියෙන ලොකුම චෛත්‍යයි.

උසින් අඩි 180ක් වෙන මේ චෛත්‍යය ලංකාවේ මෑත කාලීන ඉතිහාසය වන තෙක් ලංකාවේ විශාලතම ස්තූප අතරින් ජේතවනාරාමය, අභයගිරිය සහ රුවන්වැලි සෑයට පසුව, හතර වන ස්ථානයේ තිබුණත්…. 2021 වසරේ සඳහිරු සෑය විවෘත කිරීමත් සමඟම, අද වෙනකොට විශාලත්වය අතින් පස් වන ස්ථානයේ පසු වෙනවා.

බේගල් 01
ඒත් සමහරක් තැන්වල තියෙනවා රන්කොත් වෙහෙර කියන්නෙ මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් කියලත්. පරාක්‍රමබාහු රජතුමා ආරම්භ කරපු චෛත්‍යයේ වැඩ, නිශ්ශංකමල්ල රජතුමා ඉවර කරපු නිසා චෛත්‍යය නිශ්ශංකමල්ල රජතුමා හැදුවා කියලත් කියනවා.

පොළොන්නරුවේ තියෙන නටබුන් අතරින් ආගමික අංශය යටතට ගැනෙන ගොඩනැගිලි 90%ක්ම නිර්මාණය කරලා තියෙන්නෙ නිශ්ශංකමල්ල රජතුමා. ඒත් අපි අර කලින් සදහන් කළා වගේ රජතුමාගේ සෙල්ලිපිවල තියෙන කරුණු කාරණා අතිශ්‍යෝක්තියට බර ඒවා. ඒ නිසා නිශ්ශංකමල්ල රජතුමා අනුන්ගෙ නිර්මාණත්, තමන් කරපු නිර්මාණ ගොඩට දාගෙන තියෙනවා. නිශ්ශංකමල්ල රජතුමා හිටියේ අවුරුදු 9යි. අවුරුදු 9ක් වගේ සුළු කාලයකින් මේ වගේ වැඩ කොටසක් කරන්න බෑ කියන එක තමයි අද ඉතිහාසඥයන්ගේ අදහස.

හැටදාගෙටත් වෙලා තියෙන්නෙ මේ වැඩේමයි. හැටදාගේ කියන්නේ දළදා වහන්සේ තැන්පත් කරන්න ඉදි වුණු ගොඩනැගිල්ලට. හැටදාගේ නිර්මාණය කරන්න කලින් දළදා වහන්සේ තැන්පත් කළේ මහා විජයබාහු රජතුමා නිර්මාණය කරපු අටදාගේ. හැටදාගේ දෙවෙනි දළදා මන්දිරය. නිශ්ශංකමල්ල​ රජතුමා හැටදාගේ නිර්මාණය කළා කියලා අද පිළිගත්තට, හැටදාගේ නිර්මාණය කළේ නිශ්ශංකමල්ල රජතුමා නෙවේ කියලා අප්‍රසිද්ධ මතයක් අද ගොඩනැගෙමින් පවතිනවා.

මොකද දන්ත ධාතුන් වහන්සේව ලබා ගන්න, දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් පරාක්‍රමබාහු රජතුමා සෑහෙන්න වැඩ කොටසක් කරපු නිසා, දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරන්න නිර්මාණය කරපු හැටදාගේ, පරාක්‍රමබාහු රජතුමාගේ ඉදි කිරීමක් කියලා ඒ අය පිළිගන්නවා.

​මේ කරුණු ඇත්ත නම් නිශ්ශංකමල්ල​ රජතුමාගෙයි, අද දේශපාලඥයන්ගෙයි අතර කිසිම වෙනසක් නෑ. මේ කරුණු දිහා බලන කොට නිශ්ශංකමල්ල රජතුමා බොරුවෙන්ම ජීවත් වුණු රජ කෙනෙක්ද කියලත් හිතෙනවා. වටදාගෙය, කිරි වෙහෙර මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණ කියලා පිළිගන්න පුලුවන් ප්‍රබල සාක්ෂි තියෙද්දිත්, නිශ්ශංකමල්ල රජතුමා ඒ දෙකත් තමන්ගේ නිර්මාණ කියලා සෙල්ලිපි වල කොටනවා.

වෙනත් නිර්මාණ
සත්මහල් ප්‍රාසාදයත් නිශ්ශංකමල්ල රජතුමා නිර්මාණය කළා කියලා තමයි දැනට තියෙන පිළිගැනීම. මේක ගොඩනැගිල්ලකට සමාන චෛත්‍යයක්. මේ වගේ චෛත්‍යයක් ලංකාවේ වෙන කිසිම තැනකින් අපිට හම්බ වෙන්නෙ නෑ.

සමහරක් අය විශ්වාස කරනවා මේක අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් විදිහට තියෙන්න ඇති කියලා. මොකද මේ ආකෘතියේ ගොඩනැගිලි ඇස්ටෙක්ස්, මායන්, ඉන්කා ශිෂ්ටාචාර වලින් සොයාගෙන තියෙන නිසා.

පොළොන්නරුවේ තියෙන නටබුන් අතරින් නිශ්ශංක ලතා මණ්ඩපය හැමෝගෙම අවධානයට ලක් වෙන නිර්මාණයක්. මේ ගොඩනැගිල්ලෙ ඉදගෙන නිශ්ශංකමල්ල රජතුමා පිරිත් සහ ධර්මය ශ්‍රවණය කළා කියලා සදහන් වෙනවා. මේ මණ්ඩපයේ තියෙන ගල් කණුවල තියෙන සමහරක් කැටයම් මේ කාල වකවානුවට විතරක් ආවේණික වුණු ඒවා වීම විශේෂත්වයක්.​

ලෞකික ගොඩනැගිලි ඝනයට අයිති වෙන නිශ්ශංක රාජ සභා මණ්ඩපය, නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ සභාව පවත්වපු තැන කියලා සදහන් වෙනවා. මේකේ ආකෘතිය, නිශ්ශංක ලතා මණ්ඩපයේ ආකෘතියට ටිකක් සමානයි. සමාන මිනුම් අනුව දෙපැත්තෙ තියෙන කුළුණු යට තියෙන ආසනවල එක එක තනතුරුවල නම් කොටලා තියෙනවා.

කුඩා සිංහාසනය යුව රජතුමාට වෙන් කරලා තියෙනවා. කැටයම් කරපු සිංහයාගේ පිට උඩ නැගලා රජතුමා සභාව මෙහෙයුවා කියලත් මතයක් තියෙනවා. මේ නිර්මාණයෙන් අපේ පැරණි රජ දරුවෝ, රට ගැන තීරණ ගත්තේ කොහොමද කියලා සුළුවෙන් හරි අධ්‍යනය කරන්න පුලුවන්.

වාරි ව්‍යාපෘති
රජතුමා කෘෂි කර්මාන්තය දියුණු කරන්නත් පියවර ගත්තා කියලා එතුමාගේ සෙල්ලිපිවල තියෙනවා. එතුමා වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළා වගේම, අලුතෙන් වැව් 10කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කළා කියලා ගල්පොත සෙල්ලිපියේ සඳහන් වෙනවා.

නිශ්ශංකමල්ල රජතුමා, “නිශ්ශංක සමුද්‍රය” කියලා ලොකු වැවක් නිර්මාණය කළා කියලා ගල්පොත ලිපියේ තියෙනවා. ඒත් ඒ වැව තාමත් නිශ්චිත වශයෙන් අදුර ගෙන නෑ.

බේගල් 02
ඒත් අපේ පුරාවිද්‍යාඥයන් පරාක්‍රම සමුද්‍රය ළග කැනීම් කරගෙන යටට හාරගෙන යන කොට, මේ වැව නිශ්ශංකමල්ල රජතුමා හැදුවා කියලා සෙල්ලිපියක් හම්බ වෙනවා. තවත් යටට හාරගෙන යනකොට, මේක පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් කියලා තියෙන තවත් සෙල්ලිපියක් හම්බ වෙනවා. බැලින්නම් පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් වෙන පරාක්‍රම සමුද්‍රයේ සෙල්ලිපිය ගලවලා, ඒක නිශ්ශංකමල්ල රජතුමා කළා කියලා, නිශ්ශංකමල්ල​ රජතුමා සෙල්ලිපියක් ගහලා. සමහරක් විට ඒ නිසා පරාක්‍රම සමුද්‍රය, එතුමාගේ කාලයේ නිශ්ශංක සමුද්‍රය කියලා හැදින්නුවද දන්නෙත් නෑ.


Click on the Image

විදේශීය ප්‍රතිපත්ති
රජතුමා උතුරු සහ දකුණු ඉන්දියාවේ ඔරිස්සා, වංග, කර්ණාට, ආන්ද්‍රා, ගුජරාට් වගේ ප්‍රදේශ එක්කත්, කාම්බෝජය, බුරුමය, ශ්‍රී විජය වගේ රාජ්‍යන් එක්කත් විදේශීය සම්බන්ධතා පවත්වලා තියෙනවා. චෝළ සහ පාණ්ඩ්‍ය රාජධානි වලින් කප්පම් (Tax) එකතු කළා කියලත් රජතුමාගේ සෙල්ලිපිවල සදහන් වුණත්, එව්වායේ සත්‍යතාවයක් නම් පේන තෙක් මානයකවත් නෑ.

නිශ්ශංකමල්ල රජතුමාගෙන් පසුව
අවුරුදු 9ක් මේ විදිහට රාජ්‍ය පාලනයක නිරත වෙලා 1196 වර්ෂයේ අභාවප්‍රාප්ත වෙන නිශ්ශංකමල්ල රජතුමාගෙන් පස්සෙ එතුමාගේ පුත්‍රයා වුණු වීරබාහු කුමාරයා රජ වෙනවා. හැබැයි තමන්ගේ පියා වගේ වැඩි කාලයක් සිංහාසනයේ ඉන්න වීරබාහු රජතුමා වාසනාවන්ත වෙන්නෙ නෑ. රජ වුණු දවසේ රාත්‍රියේම වීරබාහු රජතුමාව, සෙන්පතියෙක් විසින් ඝාතනය කරනවා.

විශේෂ ස්තූතිය
01. නිමල් රණසිංහ මහතා – උසස් පෙළ ඉතිහාසය විෂයභාර, හිටපු ආචාර්යය, කොළඹ ආනන්ද විද්‍යාලය
02. වරුණ කමලවංශ මහතා – මධ්‍යම සංස්කෘතික අරමුදල (2009 – 2010)
03. හසිත ගුණසිංහ මහතා – කථිකාචාර්ය, ඉතිහාස අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.