ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය පුපුරා යයිද​?

January 8, 2023

ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වසර ගණනාවකින් නුදුටු නාටකයකින් අනතුරුව එහි කතානායක ලෙස රිපබ්ලිකන් පක්ෂයේ කෙවින් මැකාර්ති තෝරාගැනීමට සමත් වුණා. ඒ සඳහා පහළොස් වතාවක් ඡන්දය විමසීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සිදුවුණා. එමෙන්ම කතානායක ලෙස පත්වන මැකාර්ති බෙහෙවින් අස්ථාවර තත්ත්වයක පවතින බවයි පෙනී යන්නේ.

පසුගිය මැතිවරණයෙන් තේරී පත්වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි රිපබ්ලිකන් පක්ෂයේ බහුතරය 222-212 ක් ලෙස පවතිනවා. මෙය මැතිවරණයට පෙර බොහෝ විශ්ලේෂකයන් සහ සමීක්ෂණ වාර්තා අනුව අපේක්ෂා කළාට වඩා අඩු බහුතරයක්.

@elearninglk

විශේෂයෙන්ම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහය හිමිවූ අන්ත දක්ෂිනාංශික අපේක්ෂකයන් කිහිපදෙනකුටම මැතිවරණයෙන් ජයගැනීමට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් මෙම සුළු බහුතරය හේතුවෙන් සිදුවූයේ අන්ත දක්ෂිනාංශය දුර්වල වීමටත් වඩා ඔවුන්ට කේවල් කිරීමේ බලයක් ලැබීමයි.

කතානායකවරයා පිළිබඳ​ අර්බුදයට හේතු වූයේ රිපබ්ලිකන් පක්ෂයේ අන්ත දක්ෂිනාංශික කඳවුරට අයත් මන්ත්‍රීන් 20 ක් දෙනකු කතානායකවරයා පත්කිරීම සඳහා වූ ඡන්ද විමසීමේදී මැකාර්තිට සහය පළ නොකිරීමයි. ඔවුන් ඒ වෙනුවට විකල්ප අපේක්ෂකයකු සඳහා ඡන්දය ලබාදුන්නා.


මැකාර්ති කණස්සල්ලෙන්

මේ අනුව කතානායකවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම්වලදී ඉදිරියෙන්ම සිටීමට ඩිමොක්‍රටික් පක්ෂයේ හකීම් ජෙෆ්‍රීස් සමත් වුණා. ඔහුට ඔහුගේ මන්ත්‍රීන් 212 ම ඡන්දය ලබාදීම ඊට හේතුවයි.

මැකාර්තිට මුල් ඡන්ද විමසීම්වලදී ලැබුණේ ඡන්ද 202 ක් පමණයි. කතානායක ලෙස පත්වීමට නම් ඡන්දය දෙන මන්ත්‍රීන්ගෙන් අඩකට වඩා එම අපේක්ෂකයාට සිය ඡන්දය ලබාදිය යුතුයි.

රිපබ්ලිකන් පක්ෂයේ ඉතිරි මන්ත්‍රීන් ඡන්දය භාවිතා නොකළේ නම් ජෙෆ්‍රීස් ජයගන්නා නමුත් ඔවුන් විකල්ප අපේක්ෂකයකුට ඡන්දය ලබා දුන්නා. මේ අනුව ජෙෆ්‍රීස් ඉදිරියෙන්ම සිටියත් සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් ඉක්මවා යන්නට ඔහුට නොහැකි වුණා.


Click on the Image

තුන්වන ඡන්ද විමසීම අසාර්ථක වීමෙන් අනතුරුව​ ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය සහය මැකාර්ති වෙත පළ කළා. එහෙත් එමගින් ද අන්ත දක්ෂිනාංශික ඡන්ද ඔහු වෙත ලැබුණේ නැහැ.

මෙම තත්ත්වය මත කතානායකවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම් නැවත නැවත පවත්වන්නට සිදුවුණා. ඒවායෙන් ද කිසිවකු තෝරාගැනුණේ නැහැ. අන්ත දක්ෂිනාංශික රිපබ්ලිකන් මන්ත්‍රීන් සුළු පිරිසක් විසින් සම්පූර්ණ ක්‍රියාවලියම ඇණහිටුවන්නට සමත් වුණා. ඒ අනුව ඉදිරි පියවර සඳහා විකල්ප කිහිපයක් විවරව තිබුණා.


Click on the Image

තෝරාගත් විකල්පය​​​
පළමුවැන්න නම් අන්ත දක්ෂිනාංශික මන්ත්‍රීන්ගේ ඉල්ලීම්වලට කන් දෙමින් ඔවුන්ගේ සහය ලබාගැනීමට මැකාර්ති කටයුතු කිරීමයි. දෙවැන්න නම් රිපබ්ලිකන් පක්ෂයෙන් වෙනත් විකල්ප අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමයි. තුන්වන විකල්පය වූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ එකඟත්වය සහිතව විකල්ප අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමයි.

මෙයින් තුන්වන විකල්පය කිසිසේත් සිදුවේ යයි අපේක්ෂා කළ හැකි වූයේ නැහැ. දෙවැනි විකල්පය ද ක්‍රියාත්මක කිරීම පිළිබඳ එතරම් බලාපොරොත්තු තිබුණේ නැහැ. අවසානයේ සිදුවූයේ මැකාර්ති අන්ත දක්ෂිනාංශික මන්ත්‍රීන්ට හිස නැමීමයි.


මැකාර්ති සතුටින්

මැකාර්ති කතානායක පදවියට පත්වූයේ ඡන්ද 216-212 ලෙස වැඩි ඡන්ද හතරක් ලබාගනිමින්. එමෙන්ම තවත් රිපබ්ලිකන් මන්ත්‍රීන් සය දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටියා. තවද​, එක් මන්ත්‍රීවරයකුට වුවද ඔහුට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ද ලබාදීමට ඔහු කැමැත්ත පළකර ඇති බවයි වාර්තා වූයේ.

එමෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැදගත්ම කමිටුවක් වන රීති කමිටුවෙහි සාමාජිකත්වයෙන් තුනෙන් එකක් රිපබ්ලිකන් පක්ෂයේ කොන්සර්වේටිව් කඳවුරට හිමිවනු ඇති. මන්ත්‍රී මණ්ඩලයේ විවාදයට ගනු ලබන පනත් කෙටුම්පත් පිළිබඳව තීරණ ගන්නා ලදන්නේ එම කමිටුව විසින් වීම හේතුවෙන් එහි සාමාජිකත්වයෙන් විශාල කොටසක් තමන්ට ලැබීම කොන්සර්වේටිව් රිපබ්ලිකානුවන්ට විශාල වාසියක් සලසනු ඇති.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මැකාර්ති කතානායක පදවියට පත්වන්නේ ඇමරිකාවෙහි අර්බුදකාරී සමයක් එළඹෙන බවට ඉඟි පළවෙමින් තිබෙන පසුබිමකයි. එක් අතකින් ආර්ථික තත්ත්වය අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කරන ලකුණු පෙනී යන අතරවාරයේදී යුක්‍රේන අර්බුදය ද ඇදෙමින් පවතිනවා. සමරිසි අයිතීන්, ගබ්සාව ආදී කරුණු පිළිබඳ ඇමරිකාව තුළ වන විවාදය ද උත්සන්න වෙමින් තිබෙනවා.

මේ අතරවාරයේ ජනාධිපති ජෝ බයිඩන්ට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර සහය අහිමිව තිබෙන අතර එහිදී ද කොන්සර්වේටිව්, දක්ෂිනාංශික කඳවුර එම මන්ත්‍රී මණ්ඩලය අඩපණ කළහැකි ආකාරයේ බලයක් වර්ධනය කරගෙන තිබෙනවා. මේ අනුව රාජ්‍ය වියදම් සඳහා අනුමැතිය ලබාදීම ප්‍රමාද කිරීම තුළින් රජය අඩපණ කිරීම වැනි පියවර ද ඔවුන් විසින් සිදුකරනු ඇතැයි බියක් මතුව තිබෙනවා. තවද​, ජෝ බයිඩන් සහ විශේෂයෙන්ම ඔහුගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන්ගේ කටයුතු පිළිබඳ පරීක්ෂණ දියත් කිරීම​, කෝවිඩ්-19 ප්‍රතිපත්ති පිළිබඳ වෛද්‍ය ඇන්තනි ෆවුචි ප්‍රශ්න කිරීම ආදී කටයුතු සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යොමුවිය හැකියි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සාධකය​
පසුගිය නොවැම්බරයේදී පැවති මැතිවරණයෙන් අනතුරුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසියම් පසුබැස්මකට ලක්වූ නමුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩල නාටකයේදී ඔහු වැදගත්ම සාධකයක් වූ බවට කිසිදු සැකයක් නැහැ.

තුන්වන ඡන්ද විමසීමෙන් අනතුරුව ට්‍රම්ප් මැකාර්තිට සහය පළ කළ ද ඔහුගේ අනුගාමිකයන් මැකාර්ති වෙත ඡන්දය ලබා දීමට කටයුතු කළේ නැහැ. ඇතැම්විට ට්‍රම්ප් ප්‍රසිද්ධියේ මැකාර්ති වෙත සහය පළ කර තිරය පිටුපස සිට සිය අනුගාමිකයන් උසිගැන්වූයේ යැයි සැක කළ හැකියි.


ට්‍රම්ප් තවමත් පක්ෂයේ වැදගත් චරිතයක්

ට්‍රම්ප් පසුගිය මැතිවරණයේදී පසුබැසීමකට ලක් වුවද රිපබ්ලිකන් පක්ෂය තුළ ඔහුට තවමත් විශාල සහයක් පවතිනවා. පක්ෂයේ සාමාජිකත්වය අතර ඔහු සැලකියයුතු ජනප්‍රියත්වයක් තවමත් උසුලන බවයි කලක් කොන්සර්වේටිව් රිපබ්ලිකානුවකු වුව ද පසුව ට්‍රම්ප් විරෝධියකු වූ හිටපු කොන්ග්‍රස් සභික ජෝ වොල්‍ෂ් වැනි ඇතැම් විචාරකයන් පවසන්නේ. එහෙයින් රිපබ්ලිකන් පක්ෂය පුපුරා හැලෙන ලකුණු පෙන්නුම් කරන අතර එහිදී ට්‍රම්ප්ගේ පාර්ශවය විශාල වැදගත්කමක් ඇති බවත් විචාරකයන් සමහරෙක් පවසනවා. ජෝ වොල්‍ෂ් තර්ක කරන්නේ ට්‍රම්ප්වාදී කණ්ඩායම කොන්ග්‍රස් සභිකයන් විසි දෙනකු පමණක් වේ යයි පසුගියදා සිදුවූ කතානායක ජවනිකාවෙන් වැරදි වැටහීමක් ඇතිවිය හැකි නමුත් ඊට වඩා වැඩි පිරිසක් ට්‍රම්ප් සමග සිටින බවයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.