රුසියාවේ රොක් සංගීත තාරකාව – වික්තර් ත්සෝයි

සෝවියට් දේශයේ අන්තිම කාලෙ එරට අතිශයින්ම ජනප්‍රිය වූ ගායකයකු සිටියා. ඔහු නමින් වික්තර් ත්සෝයි.

ත්සෝයිගේ ගීත එකල තරුණ ජනතාවගේ සිතුම් පැතුම් සමග එකට පෑහුණා.ඔහු ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වුණා. 1990 දී අකාලයේ මියයනවිට ත්සෝයිගේ වයස අවුරුදු 28 ක් පමණයි. එහෙත් අදටත් ත්සෝයි රුසියාවේ ඉතා ජනප්‍රිය ගායකයකු වනවා.

ත්සෝයි උපන්නේ 1962 දි. ඔහුගේ පියා කොරියානු දෙමාපියන්ගේ දරුවෙක්. ත්සෝයිගෙ මව රුසියානු කාන්තාවක්. කුඩා කාලයේ ත්සෝයි චිත්‍ර ඇඳීමට දක්ෂයි. ඉතින් ඔහු ජනප්‍රිය විදෙස් රොක් සංගීතකරුවන්ගේ චිත්‍ර ඇඳ විකුණා මුදලක් සොයාගත්තා.

මෙකළ රොක් සංගීතය සෝවියට් දේශයේ තහනම්. ඊට හේතුව වුණේ රොක් සංගීතය බටහිරින් එන අයහපත් සංස්කෘතික අංගයක් ලෙස සෝවියට් ආණ්ඩුව විසින් සලකනු ලැබීමයි. ඒ නිසා ත්සෝයිගෙ චිත්‍ර ව්‍යාපාරය කළේ හොරෙන්.


Click on the Image

පසුව ඔහු ගිටාරයක් මිලට ගත්‍තා. ඉන් පස්සෙ ගීත ලිවීමත්, ගායනයත් පටන්ගත්තා. ඒ කාලෙ රොක් සංගීතය තහනම් නිසා මේ ගීත යටිබිම්ගතව තමයි පැතිරුණේ.

ත්සෝයි ඔහුගේ මිතුරන් කිහිපදෙනෙක් සමග එකතු වෙලා කීනෝ නමින් සංගීත කණ්ඩායමක් ද පිහිටුවාගත්තා. ත්සෝයිට එළිපිට ගී ගයන්න ලැබුණේ පෙරෙස්ත්‍රොයිකා ප්‍රතිසංස්කරණ සමගයි.

ඒ අතරෙම ඔහු චිත්‍රපට කිහිපයකද රඟපෑවා. 1987 දි සර්ගේයි සොලොව්යොෆ් අධ්‍යක්ෂණය කළ “අස්යා” චිත්‍රපටය අවසානයේ කීනෝ කණ්ඩායමේ ගීයක් ඇතුලත් වුණා. ඒ තමයි මි ස්ද්යෝම් පෙරෙමෙන් ගීතය. එහි අර්ථය “අපට වෙනසක් ඕනෑ” යන්නයි.

මෙය පෙරෙස්ත්‍රොයිකා සමයේ තරුණයන්ගේ ගීතය බවට පත්වුණා කියන්න පුළුවනි. අදටත් ඇතැම් උද්ඝෝෂණවලදි මේ ගීතය ගයනවා අසන්න ලැබෙනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

කීනෝ කණ්ඩායම 1988 දී පළකළ ගෘප්පා ක්‍රෝවි (Gruppa Krovi) ඇල්බම් එකත් බොහොම ජනප්‍රිය වුණා.

ත්සෝයිගෙ සංගීතය තුළ වූ ඉලෙක්ට්‍රික් ගිටාර් වැනි භාණ්ඩ සහ ඒවායේ රිද්මය සමග එම ගීතවල වචන එකල තරුණයින්ගේ සිත් බැඳගත්තා.

ඔහු සංගීතය ඉතා බැරෑරුම්ව සැලකූ අයෙක්. තමා ගී ගයන්නේ කොහිද යන්න තමාට අදාල නැති බවයි ඔහුගේ මතය වුණේ. නිවසේ තනිව ගැයුවත්, ප්‍රසංගයක ගැයුවත්, කුඩා සමාජ ශාලාවක ගැයුවත් තමා එම ගායනය උපරිමයෙන් කරන බවත් ඔහු පවසා තිබෙනවා.

ත්සෝයි 1990 දී රිය අනතුරකින් මියගියා. නමුත් ඔහුගේ ගීත අදත් රුසියානුවන් සමහරුන්ට ඉතා සමීපයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.