ජල අර්බුදය හේතුවෙන් සිරියාවේ සහ ඉරාකයේ විශාල ව්‍යසනයක්?

September 1, 2021

මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක අවධානය යොමුව ඇත්තේ ඇෆ්ඝනිස්ථානය දෙසටයි. මේ අතර මැදපෙරදිග අර්බුද පිළිබඳ ද ඉඳහිට සාකච්ඡා කෙරෙනු අසන්නට පුළුවන්. කෙසේ වෙතත් වැඩිපුර අවධානයක් යොමු නොවුණත් විශාල ප්‍රදේශයකට ව්‍යසනයක් ගෙන ආ හැකි තවත් අර්බුදයක් පිළිබඳ සිරියාවෙන් සහ ඉරාකයෙන් වාර්තා වනවා. ඒ ජල ප්‍රශ්නයයි.

මීට සතියකට පමණ පෙර සහනාධාර ආයතන 13 ක එකතුවක් විසින් පළ කරන ලද වාර්තාවකින් කියැවුණේ සිරියාවේ සහ ඉරාකයේ මිලියන 12 ක පමණ ජනතාවට ජලය, ආහාර සහ විදුලි බලය ලැබීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතුව තිබෙන බව යි. මතුවෙමින් තිබෙන ජල අර්බුදයට කඩිනම් පිළිතුරු සෙවීම අවශ්‍ය බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

නෝර්වේ සරණාගත කවුන්සිලය, ඩෙන්මාර්ක සරණාගත කවුන්සිලය, CARE, සාගින්නට එරෙහි ක්‍රියාකාරී සංවිධානය (Action Against Hunger) යනාදී ආයතන මෙම වාර්තාව සැකසීමට එක්ව සිටියා.

මෙම ජල අර්බුදයට බලපාන කරුණු දේශගුණ විපර්යාසය හා බැඳී තිබෙනවා. ඉහළ යන පාරිසරික උෂණත්වය, පහළ යන වර්ෂාපතනය සහ නියඟය විසින් මෙම තත්ත්වය ඇතිකරනු ලැබ තිබෙනවා.

මේ වනවිට සිරියාවට වසර 70 කින් බලපා ඇති දරුණුම නියඟය පැමිණ තිබෙනවා. වැසි වැටීම හේතුවෙන් ජල විදුලි බලාගාර ද අක්‍රිය වන තැනට කටයුතු සැලසෙමින් තිබෙන අතර එහෙයින් රෝහල් වැනි ආයතන හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් සෞඛ්‍ය ප්‍රශ්න තවත් ඉහළ යෑමේ අවදානමක් මතුව තිබෙනවා.


අධික උෂ්ණත්වය සහ වර්ෂාපතනය අඩුවීම නියඟයට හේතුවී තිබෙනවා (AFP)

කලාපයේ පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් මෙම තත්ත්වය තවත් බරපතල වී තිබෙනවා. දෙරටෙහිම විශාල ජනතාවක් අවතැන්ව සිටින අතර ත්‍රස්තවාදී කණ්ඩායම් ද සම්පූර්ණයෙන් පරාජයට පත්ව නැහැ. එහෙයින් ජනතාවට පහසුකම් සැලසීමේ ගැටළු බෙහෙවින් ඉස්මතුව තිබෙනවා.

මේ සියළු අර්බුද අතර කෝවිඩ්-19 වසංගතය විසින් තත්ත්වය තවත් බරපතල බවට පත්කර තිබෙනවා. එක් අතකින් සමාජ දුරස්ථභාවය වැනි අවශ්‍යතා සහ අනෙක් අතින් සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සමගම ජලය සහ ආහාර හිඟ වීම වැනි කරුණු සියල්ල එක්ව ඉතා බරපතල අභියෝගයක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා.

තුර්කියෙන් ලැබෙන ජලය
තත්ත්වය වඩාත් බරපතල අතට හැරෙන්නට තවත් හේතුවක් වන්නේ තුර්කියෙන් යුප්‍රටීස් නදිය දිගේ පහළට පැමිණෙන ජල ප්‍රමාණය සැලකියයුතු පමණකින් අඩුවීමයි. ජනවාරියේදී තුර්කියෙන් සිරියාවට ලැබුණු ජල ප්‍රමාණය තත්ත්පරයකට ඝන මීටර් 500 ක් වූ අතර ජූනි මාසය වනවිට එය තත්ත්පරයකට ඝන මීටර් 214 තෙක් අඩුව තිබෙනවා.

තුර්කිය විසින් චේතාන්විතව මෙසේ ජලය සැපයුම අඩු කරන්නේ යයි සිරියාව චෝදනා කළත් තුර්කිය එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. කෙසේ වෙතත් මෙම ජල සැපයුම අඩුවීම හේතුවෙන් ජලාශවල ජලය අඩුවීමත් එහෙයින් විදුලි බල උත්පාදනය අඩුවීමත් එක් පසෙකින් බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන අතර ගංගාවල ජලය අඩුවීමෙන් වගා පාළු වීම තවත් ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.


යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා (Wikimedia Commons)

පසුගිය වසරේ යුප්‍රටීස් ගඟ අසළ වූ ඇතැම් ස්ථාන දැන් ඇත්තේ ගඟෙන් මීටර් සිය ගණනක් ඈතින්. මේ තත්ත්වය යටතේ ඇතැම් වැසියන්ට සිය ගම්බිම් අතැර යාමට සිදුව තිබෙනවා. ඔවුන් පවසන්නේ තවත් ටික දිනකින් ඔවුන් වාසය කළ ප්‍රදේශ ගරාවැටී තිබෙනු ඇති බවයි. මේ අතර තවත් සමහරෙක් පසුගිය වසරේ ගඟට යටවී තිබී දැන් මතුව තිබෙන ප්‍රදේශවල යම් යම් වගාවන් සිදුකරන්නට උත්සාහ ගන්නවා.

මේ සමගම ජලය හේතුවෙන් බෝ වන රෝග ද වැඩිපුර පැතිරීමේ අවදානමක් මතුව තිබෙනවා. එය තත්ත්වය තවත් නරක අතට හරවනු පෙනෙන්නට පුළුවන්.

ඉරාකයට බලපෑම තවත් දරුණුයි
ජල අර්බුදයෙන් බැටකන සිරියානුවන් පිරිස මිලියන පහක් පමණ වන්නේ යයි සහනාධාර කණ්ඩායම් 13 මගින් පළ කළ වාර්තාව කියා සිටිනවා. ඉරාකයේදී එහි බලපෑම මිලියන හතක් පමණ දෙනාට දැනී ඇති බවයි එහි තවදුරටත් සඳහන් වන්නේ.

නැවත වරක් ගොවිතැන් සහ ධීවර කර්මාන්තය ද ජල විදුලිය නිපදවීම ද පානීය ජල පහසුකම් ද මෙම ගැටළුව හේතුවෙන් තර්ජනයට ලක්ව තිබෙනවා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

නිනවේ පළාතේ මෙන්ම ඉරාක කුර්දිස්ථානයේ තිරිඟු නිෂ්පාදනයට මෙවර නියඟය නිසා බරපතල පහරක් එල්ලවනු ඇතැයි අනුමාන කෙරෙනවා. නිනවේහි සියයට 70 කින් සහ ඉරාක කුර්දිස්ථානයේ සියයට 50 කින් තිරිඟු නිෂ්පාදනය පහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

දේශපාලන අර්බුද
ජලය අරභයා මතුවන අර්බුද වැඩිවත්ම ඒ පිළිබඳ ගැටුම් ද ඉහළ යනු ඇතැයි ඩෙන්මාර්ක සරණාගත කවුන්සිලයේ මැද පෙරදිග අධ්‍යක්ෂක ජෙරී ගාර්වි පවසනවා. ජලය හේතුවෙන් අතීතයේ පටන් යුද්ධ ඇතිවී ඇති බව නොරහසක්.

කෙසේ වෙතත් මෙම කලාපයේ පවතින ගැටළු ජලය බෙදාගැනීමේ අර්බුද හේතුවෙන් උත්සන්න වියහැකියි.

ගාර්වි පවසන්නේ තවදුරටත් කල්මැරීම කිසිසේත් නුසුදුසු බවයි. කාලය ගතවනවිට අර්බුද තවත් උත්සන්න වීමේ අවදානම ඉතා ඉහළ තත්ත්වයක පවතිනවා. නියඟය සහ සාගත ද ඉන්පසු මතුවන මානුෂීය අර්බුද ද දේශපාලන කලකෝලාහල සහ අවි ගැටුම් ද මෙම කලාපයේ නුදුරු අනාගතයේ ලක්ෂණ වීමේ ඉඩක් තිබෙනවා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.