මම කවුද?
මගෙන් ස්වායත්ත වූ විශ්වයක් පවතීද? “මම” ගැනවත් දන්නේ නැතුව “මගෙන්” යන යෙදුම අර්ථාන්විතද? මම මුලින්ම තර්කනයේ පහසුව තකා “මම” යයි හැඳින්වෙන භූතාර්ථයක් පවතින බව උපකල්පනය කරන්නම්.
මට මගෙන් තොර විශ්වයක් ඇති බව දැනෙන්නේ කෙලෙසද? ඉතා සරලව කිවහොත් සංවේදක පංචෙන්ද්‍රියයන්ගෙන් (five sensors) ලැබෙන සංඥා ඇසුරෙනි. මෙහිදී මනස processor එකකට අමතරව sensor එකක් ලෙසද කටයුතු කරනවාදැයි මට ස්ථිරවම කිව නොහැක.
මේ පිළිබඳව දන්නේ උපතේ සිටම පංචෙන්ද්‍රියම අක්‍රිය වූ පුද්ගලයෙකු පමණි. එහෙත් එවැනි අයෙකුගෙන් තම දැනීම පිටතට ලබා ගන්නේ කෙසේදැයි යන්න ගැටලුවකි. මගේ පෞද්ගලික වැටහීම නම් පංචෙන්ද්‍රියයෙන් ලැබෙන සංඥා වලින් ස්වායත්තව මනසට යම් සංවේදනයක් ලබා ගත නොහැකි බවයි.
මෙහිදී මම “මායා” නමින් ඉදිරිපත් කල ලිපියෙහි (දිගුව පහත ඇත) ඇස-ස්නායු-මොළය ආශ්‍රිතව දෘෂ්ඨිය ඇතිවන ආකාරය පැහැදිලිව විස්තර කලෙමි. ඉතා කෙටියෙන් එය නැවත ඉදිරිපත් කළහොත් යම් වස්තුවකින් නිකුත්වන ආලෝක තරංග ඇසේ ඉදිරි කොටසින් වර්තනය වීමෙන් දෘෂ්ටි විතානය මත එම වස්තුවේ ප්‍රතිබිම්බයක් සෑදේ.
මෙහි ඇති ඡායාරූප ප්‍රතිග්‍රාහක සෛල (photoreceptors) මගින් මෙම ආලෝක ස්පන්ද විද්‍යුත් සංඥා බවට පත්කර දෘශ්‍ය ස්නායු (optic nerve) දිගේ මොළය කරා ගෙන යයි. මොලයේදී මෙම සංඥා මතකයේ ගබඩා වී ඇති දත්ත සමග සංසන්දනය කර පෙර දන්නා භූතාර්ථයක් ලෙස හෝ අලුත්ම දැනුමක් ලෙස හඳුනා ගැනෙයි.
කතාව මෙතනින් ඉවර නැත. එහෙත් මේ දක්වා සියල්ලම සිදුවන්නේ “මම” නම් භූතාර්ථයෙන් ස්වායත්තවය.
@elearninglk
මම මායා ලිපියේ පෙන්වා දුන් පරිදි මෙම දැකීම නම් සංසිද්ධිය සඳහා දකින වස්තුව භෞතිකව පැවතිය යුතු නැත. ඒ වෙනුවට එම වස්තුව මගින් රෙටිනාව මත සාදන ආලෝක ස්පන්දයට සමාන රුපයක් සෑදීම පමණක් වුවද සංවේදනය සඳහා සෑහේ. මේ වන විට AR/VR උපකරණවලින් කෙරෙන්නේ මෙයයි.
ඉදිරියේදී මේ සඳහා කෙලින්ම අදාළ විද්‍යුත් සංඥාව මොළයේ අදාළ ස්ථානයේ උත්පාදනය කිරීමට සමත් උපකරණ බිහිවනු ඇත. එවිට දෑස ක්‍රියා නොකරන (අන්ධ) හෝ දෘෂ්ඨි ස්නායුව පවා ක්‍රියා නොකරන පුද්ගලයෙකුට වුවද පෙනීම ලැබෙනු ඇත.
ඉහත සංසිද්ධිය අනෙකුත් සංවේදක ඉන්ද්‍රිය 4 ටද වලංගු වේ. මේ අනුව අප තේරුම් ගත යුත්තේ පංචෙන්ද්‍රියට සංවේදී වූ පමණින් අපෙන් තොර විශ්වයක් අපිට දැනෙන ආකාරයෙන්ම පැවතිය යුතු නැති බවයි. අපට විශ්වය ලෙස හැඟෙන්නේ අපගේ මොලය විසින් විශ්ලේෂණය කර හඳුනාගන්නා දත්ත සමුහයකටය. තවත් ආකාරයකට පැවසුවහොත් අපට සංවේදනය වන මුළු විශ්වයම අප තුල ඇතිවන විද්‍යුත් ස්පන්දන රාශියකි.
සංවේදක ඉන්ද්‍රියයකින් පැමිණෙන සංඥාවක් හඳුනාගත් පසු (හෝ හඳුනා නොගත් පසු) මොළය විසින් අදාළ සියළු ප්‍රතිදාන ආයතන (output institutes) වෙත විද්‍යුත් සංඥා (දත්ත ඇතුලත්) නිකුත් කරනු ලැබේ. ඇස, නාසය, කට, කණ, සම සහ මාංශ, සහ මනස මෙම ආයතන හයයි. මේ ආයතන හය සඳහා සංඥා නිකුත් කිරීමට විශේෂයෙන් වෙන් වූ අංශ මොළයේ සෙලිබ්‍රියම් (cerebrum) නම් කොටසේ ඇත.
මෙතැනදී අපි ගන්න initial reactions කිසිවක් ලැබෙන්නේ මනස යන ආයතනය හරහා නොවෙයි. උදාහරණ විදියට අපි ඉදිරියට රෞද්‍ර සතෙක් පැමිණෙනවා දුටුවහොත් අපි දුවන්නේ, තිත්ත යමක් දිව ගැටුණු කල එය ඉවත් කරන්නේ, ලිස්සන විට ළඟ ඇති යමක් අල්ලා ගන්නේ හෝ ගිනි පුපුරක් මත අත තැබුණු විට වහා ඉවතට ගන්නේ සිතා මතා නොවෙයි.
එය මතකයේ ඇති දත්ත (අතීත අත්දැකීම්) සමග පංචෙන්ද්‍රිය වෙතින් පැමිණෙන සංඥා සංසන්දනය කිරීම මත පමණක් පදනම්ව මොළය විසින් ගන්නා තීරණයක ප්‍රතිඵලයකි. මෙලෙස ගන්නා ක්‍රියාමාර්ගද නැවතත් මතු භාවිතයට ගන්නා දත්ත ලෙස මතකයේ තැම්පත්වෙයි.
හදිසි කෝපය නිසා කල වරදකට නීතිය වුවද යම් සහනයක් දෙන්නේ මේ නිසාය. ඒ “මම” එබඳු ක්‍රියාවකට මැදිහත් නොවන බැවිනි. එසේම සිරුර තුල සිදුවන බිලියන ගණනක් වූ ක්‍රියාවලින්ගෙන් අති බහුතරයක් “මම” ගෙන් ස්වායත්තව සිදුවෙයි. “මම” පවතිනවාද නැද්ද යන්න ඒ ක්‍රියාවලියන්ට අදාළ නැත.
වෙනත් විදියකින් පැවසුවහොත් මෙතෙක් සාකච්චා කල කිසිම සංසිද්ධියකට “මම” සම්බන්ධ නැත. එසේම “මම” නම් භූතාර්ථයට මෙම සංසිද්ධි කිසිවක් ඍජුවම වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට නොහැක.
Process වෙච්ච සංඥා celebrium එකේම කොටසක ක්‍රියාත්මක වන මනස නැමැති ආයතනයට ගිය විට ඒවා තවදුරටත් analyse වෙන්න ගනියි. මෙන්න මෙතැනදී මේ analyse කරන භූතාර්ථය හෙවත් processor එක “මම”ය කියා මම හඳුනාගනිමි. අනෙක් ආයතන පහටම අදාළ celebrium කොටස් වලදී මෙම analysis එක සිදුවුනත් එතන processor එකක් (කෙනෙක්) identify වෙන්නේ නැත.
අනෙක් ප්‍රතිදාන ආයතන පහ සඳහා විධානයන් ලබාදීමට වගේම මනස නම් සයවන ප්‍රතිදාන ආයතනය සඳහා විධානය දීමටද සංඥා celebrium හි කොටසකට ලැබෙයි. එවිට එම සංඥා ද්විතික ප්‍රතික්‍රියා ලබාදීම සඳහා තවදුරටත් process වීම ඇරඹේ.
මෙහිදී මූලික processing එකට භාජනය වූ සංඥාව පරාමිති රාශියක් සමග process විය යුතුය (process වීම යනු එම පරාමිති සංඥාවට අදාළද, අදාළ නම් එය සිදුවිය යුත්තේ කෙසේද යන්න). මේ පරාමිති අපි හැඟීම් යනුවෙන් හඳුන්වමු; සතුට, ශෝකය, කෝපය, වේදනාව, ඊර්ෂ්‍යාව, වෛරය, බුද්ධිය, තර්ක ඥානය, බිය, සංකාව ආදිය. මේ සියල්ල මනසේ ඇතිවන විද්‍යුත් සංඥා හෝ යම් රසායනික ප්‍රතික්‍රියාවක් නිසා ඇතිවන chemicals මත පදනම් වේ.
ඉහත කතාව මම සාරාංශ කරන්නම්.
පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංඥා මුලික විශ්ලේෂණය සිදුකර ක්‍රියාමාර්ග ගැනීමට බාහිර ප්‍රතිදාන ආයතන පහට (මනස හැර) විධාන නිකුත් කිරීමට “මම” සම්බන්ධ වන්නේ නැත. එය සම්පුර්ණයෙන්ම සිදුවන්නේ පංචෙන්ද්‍රියෙන් ලැබෙන සංඥා මතකයේ ඇති දත්ත සමග විශ්ලේෂණය කිරීමෙන් පමණි. මේ කාරණය අප ඊළඟට කතාකරන “කර්මය” නම් සංසිද්ධියට ඉතා වැදගත්ය.
ඉන් අනතුරුව මෙම පංචෙන්ද්‍රියයෙන් ලැබී මුලික විශ්ලේෂණයට භාජනය වූ සංඥා වැඩිදුර process කර ද්විතික විධාන ලබා දීම සඳහා මනස නම් හයවන ආයතනයට යැවෙයි. මෙහිදී එම සංඥා ඉතා සංකීර්ණ විශ්ලේෂණයකට භාජනය වේ. මෙහිදී අප හැඟීම් යයි අර්ථ දක්වන පරාමිති රාශියක් සමග සංඥා විශ්ලේෂණය කෙරෙයි. මෙය සිදුකරන processor එක “මම” ලෙස මම විසින් වටහා ගැනෙයි. මේ විශ්ලේෂණයෙන් අනතුරුව වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා විධාන සලායතන වෙත නිකුත් කෙරෙයි.
ඉහත කතාවේ තරමක් ගැටළුකාරී ස්වභාවයක් ඇත්තේ මනසට ඇති බහුවිද හැකියාව නිසාය. එය processor එකක් ලෙසද ප්‍රදාන ආයතනයක් (input) ලෙසද ප්‍රතිදාන ආයතනයක් (output) ලෙසද ක්‍රියාත්මක වෙයි.
දැන් මම “මම කවුද” කියා අසන පැනයද ගැටළු සහගතය. මෙය processor එක විසින් prossesor එකෙන් processor එක කුමක්දැයි අසනවා වැනි පැනයකි. එය processor එක ව්‍යාකූල කරයි. ඒ සඳහා processor එක program කර නැති බව මගේ හැඟීමයි.
මම දැන් මීට කලකට පෙර ඉදිරිපත් කල උපමේයයක් නැවත කියන්නම්.
එක්තරා මාතෘ රෝහලක ඉපදෙන දරුවන්ගෙන් යම් ප්‍රතිශතයක් උපතේදීම මිය යයි. තවත් කොටසක් ඉපදී දින කිහිපයකින් මිය යයි. මේ ආකාරයට මේ උපදින දරුවන්ගෙන් ළමා, තරුණ, මැදි විය, මහළු ආදී අවදීන් වල මිය යන යම් යම් ප්‍රතිශතයන් ඇත. සමහර දරුවන් අංගවිකලය. සමහර දරුවන් පිරිපුන්ය. සමහර දරුවන් ඉතා ඉහල IQ අගයකට අයත් වෙති. ඉඳහිට දරුවෙක් මන්ද බුද්ධික තත්වයේය.
මෙලෙස දරුවන් විවිධ ඉරණම් වලට ගොදුරුවීමට හේතුව මම සමාජයෙන් ඇසුවහොත් ලැබෙන ප්‍රතිචාර බොහෝ විට පිළිතුරු දෙන්නාගේ ආගමික මතවාද අනුව වෙනස් වෙයි. පෙරකළ පව්-පිං නිසා, කර්මය නිසා, දෙවියන්වහන්සේගේ කැමැත්ත නිසා ආදී පිළිතුරු කිහිපයක් එහි තිබෙනු ඇත.
මෙම රෝහල පැවතුනේ දහ අටවන ශතවර්ෂයේ පැරිසියේදී නම් මෙම දරුවන්ගෙන් 50% වඩා ළමා විය වන විට මිය යන සම්භාවිතාවයක් තිබුණි.. එම රෝහලම අද පැරිසියේ තිබෙනවා නම් මේ ප්‍රතිශතය 0.01% වඩා අඩු අගයක් ගනු ඇත. මේ වෙනස්කම ඇතිවන්නේ කෙසේද?
මිනිසුන් මෑතකදී සිට වැඩිපුර පිං කරන නිසාද? ඔවුන්ගේ නරක කර්ම නිශේධනය වන නිසාද? නැත්නම් දෙවියන්වහන්සේගේ කැමැත්ත වෙනස් වී ඇති නිසාද? ඔබ ඔබගෙන්ම තාර්කිකව අසන්න.
දැන් ඔබ පොල් මලක් සිතේ මවා ගන්න. පොල් මල විවර වද්දී එහි තිබූ මලිති විශාල ප්‍රමාණයක් බිමට වැටේ. ගෙවෙන හැම දවසකම මෙම මලිති යම් ප්‍රමාණයක් බිම වැටේ. සමහර මලිති ලොකුවී කුරුම්බැට්ටි ප්‍රමාණයේදී වැටෙයි. සමහර ඒවා ගොබළු අවස්ථාවේද, කලටි අවස්ථාවේද, සමහර විට හොඳින් පැසුණු පසුද බිමට වැටේ. සමහර ගෙඩි පුහුය. සමහර ගෙඩිවල ප්‍රමාණය කුඩාය. සමහර ඒවා හොඳින් මනාව වැඩී ඇත.
මේ පොල් මලේ ඇතිවන වෙනස්කම් වලට හේතුව කුමක්ද? පව්-පිං, කර්මය, දේව කැමැත්ත? මේ කිසිවක් ප්‍රඥා ගෝචර නැත. බොහෝ විට තාර්කික පිළිතුර මේ සංසිද්ධි අහඹු සිදුවීම් බවය. එසේ නම් දරුවන් ගැනත් කියන්න ඇත්තේ මෙයම නොවේද?
ලොව පැවති ශිෂ්ඨාචාර සහ ඒවාට අනුයුක්ත වූ ආගම්-ධර්ම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන අයෙකුට පැහැදිලිවම පෙනෙන කාරණයක් ඇත. එනම් මානව සමුහය විසින් හොඳ-නරක අර්ථ දක්වා ගන්නේ අදාළ කාල-අවකාශ රාමුවට අනුකුලව බවයි. මේ ගැන මම කලින් ලිපියක දීර්ඝව සඳහන් කලෙමි. එය සාරාංශ කල හොත් ‘යම් සමාජයක හොඳ-නරක තීරණය වන්නේ එම සමාජයේ පැවැත්ම සවිමත් කරගැනීම උදෙසාය’. යම් ආගමකට අයත් පිරිස් දේශාටනය කරන විට (අවකාශය වෙනස් වීමේදී) ඒ ඒ භූ රාමුව තුල ඇති conditions මත හොඳ-නරක සකස් කරගනියි.
එසේම එකම අවකාශයක වුවත් කාලයත් සමග ඇතිවන වෙනස්කම් වලට අනුරූපව ඔවුන් තම හොඳ-නරක modify කරගනියි. අද ලෝකයේ සමහර ආගම් අදහන්නන් දැඩි පීඩනයකට ලක්වන්නේ මෙන්ම ඔවුන් නිසා සෙසු පිරිස අපහසුතාවයට පත්වන්නේද මේ යථාර්තය තේරුම් නොගෙන සහශ්‍රයකටත් පෙර කාල-අවකාශ රාමුවකට අදාළ වූ හොඳ-නරක ඒ ආකාරයෙන්ම වර්තමාන කාල-අවකාශ රාමු තුලට ආදේශ කරන්න යාම නිසාය. මේ සඳහා උදාහරණ ගණනාවක් ඇත. ඒ ගැන අපි වෙනත් ලිපියකින් කතා කරමු.
හොඳ-නරක කාල-අවකාශ රාමුවකට සාපේක්ෂ නම්, අප කරන අර්ථ දක්වා ගත් හොඳ-නරක සඳහා බාහිර පාර්ශවයක් (සර්වබලධාරී දිව්‍ය භූතාර්ථයක් හෝ කර්මය නම් බලවේගයක් වැනි) විසින් විනිශ්චයක් ලබා දීම තර්ක ගෝචර නැත. නමුත් සමාජය යම් threshold බුද්ධි මට්ටමක් ඉක්මවා යන තෙක් හොඳ-නරක සඳහා විනිශ්චය ලබා දෙන බාහිර බලවේගයක් ඇතැයි යන සංකල්පය අත්‍යවශ්‍යය. නොඑසේ නම් මුළු සමාජ සංස්ථාවම වේගයෙන් කඩා වැටෙයි. යථාර්තය හැම විටම යථාවාදී නැත.
අපි දැන් සම්මත හොඳ-නරක විග්‍රහය පසෙක තබා යම් ක්‍රියාවක් කිරීම හෝ පංචෙන්ද්‍රියට ගෝචර වීම අනාගත ක්‍රියාවන්ට බලපාන අයුරු වටහා ගන්න උත්සහ කරමු.
උදාහරණයක් ලෙස යම් කිසි අයෙකු විසින් ගවයෙකු මරනවා අපේ පංචෙන්ද්‍රියට ගෝචර වෙන බව සිතමු. මරණය දැකීම, සතාගේ මරණීය කෑගැසීම ඇසීම, ලේ මස් සුවද දැනීම හා සමහර විට ඉතා ආසන්නයේ සිටිය හොත් මරණ සතාගේ ලේ සහ අනෙකුත් අවයව කොටස් තමාගේ ඇඟෙහි ස්පර්ශ වීම මේ සංසිද්ධිය ගෝචර වන සංවේදන මාර්ග වෙයි.
මේ සංසිද්ධියට අදාළ සංඥා මොලය වෙත පැමිණීමෙන් අනතුරුව ඒවා කිහිප වරක් විශ්ලේෂණය භාජනය වෙයි. ජිවිතයේ ප්‍රථම වතාවට මෙවන් සතෙක් මරණ ස්ථානයක සිටින අයෙක් සතා මරණ බව දැනුනු විගසම සිය ඇස් කන් වසාගෙන එතනින් ඉවත්විය හැක. මෙය සිදුවන්නේ “මම” සම්බන්ධ නොවී ප්‍රාථමික සංඥා විශ්ලේෂණය තුලිනි. ඒ සඳහා අතීත දත්ත යොදා ගැනෙයි.
සතා මරණ සංසිද්ධිය පංචෙන්ද්‍රියට ගෝචර වූ පසු “මම” නමැති processor එක විසින් සිදු කරන විශ්ලේෂණයට කලින් පැවති දත්ත මත පදනම්ව celebrium හි විවිධ කොටස්වල ඇතිවන නොයෙකුත් සංඥා පාදක වෙයි. එහි ප්‍රතිඵල තවත් සංඥා රාශියකි. ඒවා අප තුල පහළවන හැඟීම් ලෙස අප වටහා ගමු. මෙම හැඟීම් විවිධාකාරය. ඒවා කලින් ගබඩා වී ඇති දත්ත මෙන්ම සංසිද්ධියට අදාළ පරිසරය සහ මෙම සංසිද්ධියට තමාගේ ඇති සම්බන්ධය අනුව වෙනස් වෙයි. පිළිකුල, අප්‍රසන්න බව, කෝපය, සංවේගය ආදී එක් අන්තයක සිට සතුට, ආශාව (මාංශයට දක්වන), වීරත්වය, භක්තිය ආදී අනෙක් අන්තය දක්වා මෙම හැඟීම් විවිධාකාර විය හැක.
මෙහි වැදගත්ම කොටස පැමිණෙන්නේ මෙතනින් පසුවය. මෙම සිතේ ඇතිවන හැඟීම් දත්ත ලෙස නැවත මතකයෙහි ගබඩා වෙයි. අනාගතයේදී ඇතිවන තවත් ක්‍රියාවකදී ක්ෂණිකව (“මම” ගෙන් ස්වායත්තව) ගන්නා පියවර මෙන්ම මම විසින් ගන්න පියවර සඳහාද මෙම දත්ත බලපායි. මා දකින කර්මය මෙයයි.
ගැඹුරු ඉතිහාස හැදෑරීමකදී අපට පැහැදිලිව පෙනෙන කාරණයක් නම් තම නිවසේ සතුන් ඇති කර මරා මාංශ ලබා ගන්නා සමාජ සංස්ථා තුල වැඩි වශයෙන් ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් පැවතී ඇති බවය. බොහෝ රටවල මාංශ සැපයීම යම් වැසුණු සමාජ ව්‍යුහයකට සීමා වීමත් සමගම මෙම සමාජ ප්‍රචණ්ඩත්වය අඩු වූ බව පෙනෙයි (සමාජ ප්‍රචණ්ඩත්වයට තවත් කාරණා කිහිපයක් පාදක වන බව සලකන්න). වර්තමානයේ පවා පුරුද්දක් ලෙස තම නිවසේ සත්ව ඝාතනය කරන මෙන්ම මුහුදු කරයේ මසුන් මැරීමේ කර්මාන්තයෙහි යෙදී සිටින ප්‍රජාවන් තුල යම් ඉහල ප්‍රචණ්ඩත්වයක් දැකිය හැක.
මම මෙහිදී කිසිවක් හරි-වැරදි ලෙස විනිශ්චය නොකරන බවත් මට පෙනෙන කරුණු පමණක් ඉදිරිපත් කරන බවත් නැවතත් අවධාරණය කරමි.
අපට යම් සංසිද්ධියක් පංචෙන්ද්‍රිය ගෝචර නොවන තෙක් එහි කිසිඳු බලපෑමක් නැත. උදාහරණයක් ලෙස මා උදෑසන වහනය පදවද්දී බලු පැටවකු එයට හසුවී මිය යාම හෝ මටත් නොතේරී මගේ සාක්කුවෙන් වැටුණු මුදලකින් දුප්පත් දරුවෙක් ආහාරයක් ගෙන කුසගිනි නිවා ගැනීම මගේ කර්මයක් බවට පත්වන්නේ නැත. මන්ද ඒ පිළිබඳව කිසිඳු දත්ත සටහනක් මගේ මතකයේ තැන්පත් නොවීමයි.
අනෙක් අතට මා කිසිඳු ආකාරයකින් සම්බන්ධ නොවන සංසිද්ධියක් චිත්‍රපටයක දැකීම, ප්‍රවෘතියක් ලෙස කියවීම හෝ කෙනෙකු විස්තර කරනවා අසා සිටීම පවා කර්මගත වෙයි. එනම් ඒ පිළිබඳව අපගේ දත්ත-ගබඩාව දැනුවත් වන අතර එම දත්ත පසුකාලීනව අපගේ සිතුවිලි සහ ක්‍රියාවන්ට බලපායි.
මේ අනුව සියළුම ආගම් පාහේ සිදුකර ඇත්තේ යම් කාල-අවකාශ රාමුවකදී අදාළ සමාජයේ පැවැත්මට හානිකරවූ ක්‍රියාවන් අවම කිරීමටත් පැවැත්මට රුකුල් දෙන්නාවූ ක්‍රියාවන් උපරිම කිරීමටත් දායක වන පරිදි අණ පනත් සකස් කිරීමයි. මේවා පිං-පව් හෝ හොඳ-නරක ලෙස ලේබල් ගත කර ඇත. එක් සමාජ රාමුවක වූ පිං-පව් තවත් රාමුවකදී පව්-පිං බවට පත්විය හැක්කේ මේ නිසාය.
පිං-පව් quantify කල හැක්කේ ඒ තුලින් කුමන මට්ටමකට අනාගතයට බලපෑ හැකි දත්ත මනස තුල ගබඩා වෙනවාද යන්න මතය. අපට යමෙක් සිදුකරන ප්‍රකාශයකට ඇතිවන හැඟීම විශ්ලේෂණය කර බලන්න. “ඔයාගේ මුහුණ හරිම කැතයි” කියා කාන්තාවන් පස් දෙනෙකුට පවසන්න. බොහෝ විට එම පස් දෙනාගේ ප්‍රතිචාර වෙනස් විය හැක. ඒ සියල්ල සිදුවන්නේ ඔවුන්ගේ අතීත මතක දත්ත විශ්ලේෂණයට අනුවය. කෙනෙකු එය විහිළුවක් ලෙස සලකන්නත්, තවත් අයෙකු දුක් වන්නත්, තව කෙනෙක් ඔබට දොස් නගන්නත්, තව කෙනෙකු ඔබට පහරදීමටත් හැකියාව ඇත.
මෙසේ පහර දීමට පැමිණෙන කාන්තාව බොහෝ විට ඊට කලින් මෙවැනි වාතාවරණයකදී තවත් අයෙක් මේ ආකාරයටම පහර දෙනවා දැක තිබෙන්නට ඇත (සැබෑවටම නොවුණත් චිත්‍රපටයක හෝ). එසේ ඇය ඔබට පහර දුන හොත් මෙම සංසිද්ධිය ඇයගේ මෙන්ම එය පංචෙන්ද්‍රිය ගෝචර වන සියළු දෙනාගේ මතක දත්ත බවට පත්වෙයි. ඊළඟට ඇතිවන මෙවැනි සිදුවීමකදී අර කාන්තාව නැවතත් පහර දීමකට පෙළඹීමට වැඩි ඉඩකඩක් ඇත. එපමණක් නොව එම සංසිද්ධිය ගෝචර කරගන්න අන් අය තුලද එවැනි ප්‍රතිචාරයකට ඇති ඉඩකඩ වැඩි වෙයි.
බොහෝ සමාජ රාමු තුල මෙවැනි ප්‍රවණතාවයක් එහි පැවැත්මට අහිතකරය. එබැවින් ඔබගේ ප්‍රකශය මෙන්ම ඇයගේ ප්‍රතිචාරයද සිදු නොවන ආකාරයෙන් සමාජය තුල ආගමිකව හෝ සාමාජීයව යම් වට කඩුළු නිර්මාණය කරගනියි.
අනෙක් අතට සතුරු ආක්‍රමණ හේතුවෙන් තද බල ලෙස පාගා දැමූ ජන සමූහයක් එයට එරෙහිව නගා සිටුවීමේදී තවත් කාල-අවකාශ රාමුවක පව්-පිං ලෙස ලේබල් ගතකරන ක්‍රියා පිං-පව් ලෙස අර්ථ දැක්වීමට සිදුවෙනු ඇත. මෙවන් සමාජයක් ගොඩ නැංවීමේදී ලේ දැකීමට, වර්ගයා බෝ කිරීමට, කිසිඳු ප්‍රශ්ණ කිරීමකින් තොරව විධාන පිළිපැදීමට තම පිරිස හුරු කිරීම අත්‍යවශ්‍ය වෙයි. මේ අනුව ඒ සමාජ රාමුවේ හොඳ-නරක තීරණය වෙයි.
“හොඳ-නරක සියල්ලටම මුල් වන්නේ සිතයි” යම් ආගමක මෙසේ කියා ඇත. එය දැන් වටහා ගන්න උත්සහ කරන්න. එලෙසම පිං රැස් කිරීම, පිනට දායක වීම පිං අනුමෝදනා වීම ආදී යම් දහමක ඇති යෙදුම් ගැන අලුතින් හිතන්න.
වසර දෙදහස් පන්සියයකට පමණ පෙර නුවණැත්තෙක් මේ සංසිද්ධිය පියවර 12ට බෙදා එදා පැවති භාෂාවට සහ දැනුම් සම්භාරයට අනුකූලව විස්තර කර ඇති බව මගේ වැටහීමයි. ඔහුගේ පසුකාලීන ශ්‍රාවකයන් හතර අතට පටලවා ජංජාලයක් කර ඇති මේ නූල ඔබ හෙමින් සීරුවේ දිග හැරගන්න උත්සහ කරන්න.
මායා සඳහා දිගුව: https://chandimagomes.blogspot.com/2020/08/blog-post_12.html