යෝගිගේ ජය ඉන්දියාවට සහ කලාපයට කෙසේ බලපායිද?
2022 පෙබරවාරි – මාර්තු මාසවල ඉන්දියාවේ ප්‍රාන්ත පහක පවත්වන ලද මැතිවරණවල ප්‍රතිඵල නිකුත් වූයේ මාර්තු 10 වනදා යි. එහිදී ප්‍රාන්ත හතරකම ජයග්‍රහණ භාරතීය ජනතා පක් ෂය විසින් වාර්තා කෙරුණු අතර පන් ජාබයේ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේ ආම් ආද්මි පක්ෂයයි. මෙම ප්‍රාන්ත පහෙන් ද උත්තර් ප්‍රදේශ් පිළිබඳ විශේෂ අවධානයක් යොමුවූ අතර මහ ඇමති යෝගි අදිත්‍යනාත් එහිදී පැහැදිලි ජයග්‍රහණයක් වාර්තා කළා.
ආම් ආද්මි පක්ෂය පන්ජාබය ජයගැනීම ද වැදගත් කරුණක් වන අතර ඒ පිළිබඳව අප පසු අවස්ථාවක සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. අද අපේ අවධානය යොමුවන්නේ යෝගි අදිත්යනාත්ගේ සහ පොදුවේ භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණ සමග අනාගත ඉන්දියාව සහ කලාපය කෙසේ වනු ඇතිදැයි යම් යම් කරුණු කිහිපයක් ඔස්සේ සාකච්ඡා කිරීම කෙරෙහියි.
බීජේපී අනාගතය
පළමු වැදගත් කරුණ වනුයේ භාරතීය ජනතා පක්ෂයේ අනාගත නායකත්වය සඳහා යෝගි අදිත්‍යනාත් පැහැදිලි මාවතක් හෙළි පෙහෙළි කරගෙන සිටින බවයි. යෝගි අදිත්‍යනාත් පක්ෂයේ දැඩිමතධාරී කඳවුර නියෝජනය කරන්නකු වනවා මෙන්ම සාපේක්ෂව තරුණ නායකයෙක්. සත්‍ය වශයෙන් ම රාහුල් ගාන්ධි, මමතා බැනර්ජි, අර්වින්ද් කෙජ්රිවාල් වැනි වෙනත් පක්ෂවල ප්‍රබලයින් සමග සැසඳීමේදී ද යෝගි අදිත්‍යනාත් යනු ලාබාල නායකයෙක්.
එහෙයින් ඔහුට තව කාලය ඕනෑතරම් තිබෙනවා. එමෙන්ම ඔහුගේ ජයග්‍රහණයත් සමග පක්ෂය තුළ ඔහු වඩ වඩාත් ජනප්‍රිය අයකු බවට පත්ව තිබෙනවා. මේ කරුණු මත, යම් දිනෙක නරේන්ද්‍ර මෝදි දේශපාලනයෙහි නොමැති කලෙක පක්ෂයේ නායකයා ලෙස මතුවීමට යෝගි අදිත්‍යනාත් මාවත විවර කරගෙන තිබෙනවා.
භාරතීය ජනතා පක්ෂය යනු විවිධ ආකාරයේ දේශපාලකයන්ගෙන් සැදුම්ලත් පක්ෂයක්. එම පක්ෂය තුළ අභ්‍යන්තර මතභේද නැතිවා නොවේ. නරේන්ද්‍ර මෝදි සහ අමිත් ෂා යන දෙපළ වටා පක්ෂය ඒකරාශී වීම තුළින් එහි භේදයන් බොහෝදුරට සමනය වී තිබෙනවා. මෝදි සහ ෂා යන දෙදෙනගෙන් පසු අවධියක පක්ෂය යම් දෙදරීමකට භාජනය වේ යයි බියක් වූයේ නම්, මේ වනවිට එයට විකල්පය ලෙස යෝගි අදිත්‍යනාත් මතුවීමේ ඉඩක් නිර්මාණය වී තිබෙනවා.
ඉන්දීය දේශපාලනයෙහි මුල් දශක කිහිපය රඳා පැවතුණේ නේරුවාදී ඓහික, සමාජවාදී මාවතක් ඔස්සේ යි. භාරතීය ජනතා පක්ෂයේ නැග්ම සහ කොන්ග්රස් පක්ෂයේ බැස්ම සමග මෙම පරිසරය දැන් වෙනස් වී තිබෙනවා. දැන් ඉන්දියාවේ දේශපාලන පරිසරය හින්දු ජාතිකවාදය සහ සුබසාධනය ඒකාබද්ධ වූ පදනමක් කරා මාරුවෙමින් තිබෙනවා. මේ තුළ භාරතීය ජනතා පක්ෂයේ සලකුණ අනාගතයටත් පැළපදියම් වීමේ අවස්ථාවක් ලෙස යෝගි අදිත්යනාත්ගේ ජයග්‍රහණය හඳුන්වන්නට පුළුවන්.
මේ සමගම ඉන්දීය දේශපාලනය හින්දු සහ හින්දු නොවන ප්‍රජාවන් අතර බෙදීම තවත් තීව්ර කරන තැනට පත්වනු ඇති. මෝදි ප්‍රසිද්ධියේ එවන් ප්‍රකාශ නොකළ ද යෝගි පැහැදිලි ලෙස එවන් ප්‍රකාශයන් කර තිබෙනවා. මෙවර ප්‍රාන්ත මැතිවරණයේදී ද ඔහු සඳහන් කළේ උත්තර් ප්‍රදේශ් මැතිවරණය සියයට 80 ත් සියයට 20 ත් අතර තරගයක් බව යි.
මෙහි සියයට 20 යනු උත්තර් ප්‍රදේශ් හි මුස්ලිම් ජනගහන ප්‍රතිශතයයි. අනාගතයේදී භාරතීය ජනතා පක්ෂය වඩ වඩාත් හින්දු ඡන්දවලින් බහුතරය දිනාගැනීමෙන් රටේ බලය අල්ලාගැනීම කෙරෙහි යොමුවන බව පෙනී යනවා.
කෙසේ වෙතත් මෙසේ ආගමික ධ්‍රැවීකරණය තීව්ර කිරීමෙන් පමණක් මැතිවරණ ජයගන්නට නොහැකි බව භාරතීය ජනතා පක්ෂය දැන සිටිනවා. ඔවුන් විශාල වශයෙන් සුබසාධන කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය ආදිය පිළිබඳ උනන්දු වන්නේ ද එබැවින් බව පෙන්වා දිය හැකියි. අනෙක් අතට, ඇතැම් ප්‍රාන්තවල මෙම ධ්‍රැවීකරණය කළ හැකි වුවද තවත් ප්‍රාන්තවල දේශපාලන සංස්කෘතිය තුළ එය අපහසුයි.
අනාගත ඉන්දියාව
ඉන්දියාවේ සිදුවෙමින් පවතින දේශපාලන පරිවර්තනයත් සමග එරට ජාතිකවාදය දෙසට වැඩියෙන් නැඹුරුවීමක් පෙන්නුම් කෙරෙන හෙයින් කලාපීය බලවතකු ලෙස වෙනදාටත් වඩා මතුවී සිටීමේ අභිලාශය එරටින් මතුවිය හැකියි.
එහෙයින් පාකිස්ථානය සමග වන අර්බුදය මෙන්ම චීනය සමග වන ගැටළු ද අනාගතයේදී කවරාකාරයෙන් ගමන් කරනු ඇතිදැයි විමසිලිමත්ව සිටීම වැදගත් වනු ඇති. එමෙන්ම චීනය සහ පාකිස්ථානය මෙන්ම කලාපයේ අනෙකුත් රටවල් ද වඩා ජතිකවාදී ඉන්දියාවක් සමග කාලයක් තිස්සේ ගනුදෙනු කළයුතු බව වටහාගෙන ක්‍රියා කළ යුතු වනවා.
ඉන්දියාවේ මෙම නව පරිවර්තනය දිස්වන තවත් එක් ප්‍රදේශයක් වන්නේ ඊසානදිග ඉන්දියාවයි. එහි ප්‍රාන්ත හත විවිධත්වයෙන් යුක්ත ප්‍රාන්ත හතක් වන අතර විවිධ ගෝත්‍රවලට අයත් ජනයා එහි විශාල ලෙස ජීවත් වනවා.
මෙහි ද චීනය සමග දේශසීමා අර්බුදයක් පවතිනවා. මෙහි ජනතාවගෙන් සැලකියයුතු කොටසක් ක්‍රිස්තියානි ආගමිකයන් වන අතර හැඩරුව අනුව ඔවුන් චීනයේ හෝ අග්නිදිග ආසියාවේ ජනතාවට වඩා සමීප වනවා.
මේ කරුණු සියල්ලම තිබියදී පසුගිය වසර කිහිපය තුළ භාරතීය ජනතා පක්ෂය මෙම ප්‍රදේශයේ සිය ව්‍යාප්තිය වර්ධනය කරගෙන තිබෙනවා. 2021 අසාම් ප්‍රාන්ත මැතිවරණය මෙන්ම 2022 මනිපූර් ප්‍රාන්ත මැතිවරණය ද එම පක්ෂය විසින් ජයගැනීම තුළින් ඒ බව පෙනී යනවා. එමෙන්ම අනෙකුත් ප්‍රාන්ත සමහරක ද බලය දැනට ඇත්තේ එම පක්ෂයටයි. කෙසේ වෙතත් මෙම නව තත්ත්වයත් සමග එම ප්‍රාන්ත සමහරක ඇතැම් ජනවර්ග අතර නොසන්සුන්තාවයන් ද වර්ධනය වනු පසුගිය සමයේ දක්නට ලැබුණා.
ඉන්දියාව වඩා ජාතිකවාදී වීමේ ලක්ෂණ මෙවර ප්‍රාන්ත මැතිවරණවලින් පෙන්නුම් කෙරුණ ද එම නිසාම අනාගතයේදී එරට තුළ අභ්‍යන්තර බෙදීම් වර්ධනය වීමේ ද අවදානමක් තිබෙනවා. එහෙයින් එම තත්ත්වය පිළිබඳ විමසිලිමත්ව රාජ්‍ය පාලනයේ යෙදීම අනාගත ඉන්දීය ආණ්ඩුවලට වැදගත් වනු ඇති.