අනුරපුර ඇතුළු නුවර ඇවිදිමු
විජයාවතරණයෙන් පස්සෙ ලංකාවේ පළවෙනි රාජධානිය නිර්මාණය කරන්නෙ පණ්ඩුකාභය රජතුමයි. ඒ තමයි අනුරාධපුර රාජධානිය. මේ රාජධානියේ ඇතුළත ප්‍රදේශය (ඇතුළු නුවර ) පස්සෙ කාලයේ එක එක රජවරු සංවර්ධනය කරනවා. ඒ අතරින් කුටකන්නතිස්ස, වසභ වගේ රජවරු ප්‍රධානයි. බලකොටුවක් විදිහටත් භාවිතා වුණු මේ ඇතුළු නුවර ප්‍රදේශය දිය අගල් සහ උස ප්‍රාකාර වලින් වටවෙලා තමයි ඉස්සර තිබිලා තියෙන්නෙ. අද වෙන කොට මේ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වශයෙන් අපට වැදගත් වෙන නටබුන් ස්ථාන හතරක් ඉතුරු වෙලා තියෙනවා.
ඒ තමයි විජයබා රජ මාළිගාව, දළදා මාළිගාව, මහා පාලි දාන ශාලාව සහ ගෙඩිගේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඇතුළු නුවර නටබුන්, අනුරාධපුරයේ සාම්ප්‍රදායික අටමස්ථාන වන්දනාවේ යන අයගෙ නම් අවධානය දිනා ගන්න සමත් වෙලා නෑ. ඒත් පුරාවිද්‍යාව සහ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අයට නම් මේ ස්ථාන ගැන අපි කියන්න යන තොරතුරු වැදගත් වෙයි.
01. අනුරාධපුර දළදා මාළිගාව
වර්තමානයේ මහ නුවර දළදා මාළිගාවේ වැඩ සිටින වම් දළදා වහන්සේව, අනුරාධපුර යුගයේ තැන්පත් කරලා තිබිලා තියෙන්නේ මේ දළදා මාළිගාව තුළයි. අනුරාධපුර දළදා මාළිගාව පිහිටලා තියෙන භූමිය අයිති වෙන්නෙ ඇතුලු නුවරටයි. ඇතුලු නුවර පුරාවිද්‍යා කැණීම් කරන භූමිය පිටිපස්සට වෙන්න තමයි දළදා මාළිගාව තියෙන්නෙ.
ඒ කියන්නෙ රුවන්වැලි සෑය ඉස්සරහා ඉදලා කුට්ටම් පොකුණට යන පාරෙ. දළදා මාළිගාව ධාතුසේන, 1 වන අග්ගබෝධි, 4 වන මිහිදු වගේ රජවරුන්ගේ කාලවල් වලදී ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවා. මේ අතර කාලයේදී දළදා මාළිගාව ගින්නකින් විනාශ වුණා කියලත් සදහන් වෙනවා.
දළදා මාළිගාවට පිවිසෙන්න ස්ථාන දෙකක් තියෙනවා. මේ ස්ථාන දෙකේම පියගැට පෙළ දෙපැත්තෙ කැටයම් නොකරපු ප්‍රාථමික මට්ටමේ මුරගල්, සදකඩ පහණ් සහ කොරවක්ගල් තියෙනවා. ගලින් නිර්මාණය කරලා තියෙන මාළිගාවේ ජනේල සහ වාහල්කඩවල් අදටත් සුරක්ෂිතයි.
මාළිගාව මැද්දෙ දළදා වහන්සේව තැන්පත් කරලා තිබුණු හතරැස් ආසනය දැක ගන්න පුලුවන්. මාළිගාව වටේට තවත් ගොඩනැගිලි කිහිපයක ගල් කණු සහ ඒ ඇතුළත තිබුණු කොටස් දැක ගන්න හැකියාව තියෙනවා.
02. අනුරාධපුර ගෙඩිගේ
මේ ගොඩනැගිල්ල තියෙන්නෙ දළදා මාළිගාව පිටිපස්සෙ. අනුරාධපුර යුගයේ ධාතුඝරයක් විදිහට තියෙන්න ඇති කියලා අනුමාන කරන මේ ගොඩනැගිල්ලේ දොරවල සහ ජනේල සංඛ්‍යාව ගණනින් අප්‍රමාණයි. 1969 අවුරුද්දෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගෙඩිගේ ආශ්‍රිතව සිද්ධ කරපු කැණීම් වලදී වසර 7000කට පෙර පැවති මානව ජනාවාසයක් ගැනත් තොරතුරු හම්බ වෙලා තියෙනවා.
03. මහාපාලි දාන ශාලාව
අනුරාධපුර දළදා මාළිගාවට එහා පැත්තෙන් නිර්මාණය කරලා තියෙන මේ දාන ශාලාව, දෙවනපෑතිස් රජතුමා විසින් ක්‍රි.පූ 3 වන සියවසේ නිර්මාණය කරවපු එකක් කියලා තමයි සදහන් වෙන්නෙ. මේ දාන ශාලාවට භික්ෂූන් වහන්සේලා 800ක් විතර දානය වළදන්න ඇවිත් තියෙනවා.
භික්ෂූන් වහන්සේලා එක පෙළකට ආපු නිසා තමයි “මහාපාලි” කියන නම වැටිලා තියෙන්නෙ. මේ දාන ශාලාවෙන් බෙදා හරින දානය පිළියෙල කරලා තියෙන්නෙ රාජකීය මුළුතැන්ගෙයින්.
මේ දාන ශාලාව 1 වන උපතිස්ස, 1 වන අග්ගබෝධි, 2 වන අග්ගබෝධි, මහානාග, ශිලා මේඝවර්ණ, 4 වන අග්ගබෝධි, 2 වන දප්පුල, 4 වන මිහිදු කියන රජවරුන්ගේ කාල වකවානු වලදී ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවා. මහාපාලි දාන ශාලාවේ නටබුන් විශාල භූමි ප්‍රදේශයක විසිරිලා පැතිරිලා තියෙනවා දකින්න පුලුවන්.
අද වෙනකොට දාන ශාලාවේ ඉතුරු වෙලා තියෙන ශෛලමය බත් ඔරුවේ දිග අඩි 21කට වැඩියි. පළල අඩි 5යි. මහාපාලි දාන ශාලාවේ දිග අඩි 120ක් සහ පළල අඩි 128 වෙලා තියෙනවා.
04. විජයබා මාළිගාව
ථූපාරාමය ළග තියෙන මහාබෝධි විද්‍යාලය ළග තමයි මේ මාළිගාව දකින්න තියෙන්නෙ. 1 වන විජයබාහු රජතුමා තමයි 5 වන මහින්ද රජතුමාගේ කාලයේ අපේ රටට එල්ල වුණු දරුණු චෝල ආක්‍රමණයෙන් අපේ රට මුදවා ගත්තේ. පොළොන්නරු රාජධානියේ ආරම්භක පාලකයා විදිහට සැළකෙන්නෙත් මේ රජතුමාම තමයි.
චෝල පාලනයෙන් අපේ රට මුදා ගත්ත 1 වන විජයබාහු රජතුමා තමන්ගේ රාජාභිෂේකය සිද්ධ කළේ මේ මාළිගාවේ ඉදන්. දෙමහල් ගොඩනැගිල්ලක් විදිහට තිබුණු මේ මාළිගාව අතාරින රජතුමා අභිෂේකයෙන් පස්සෙ පොළොන්නරුවට යනවා.
මේ නිර්මාණය පොළොන්නරු යුගයේ රජමාලිගා සැලසුම් සම්ප්‍රදායට සමානකම් පෙන්වනවා. මාළිගාවේ ඉදිරිපස වගේම පිටුපසිනුත් දොරටුවක් තියෙනවා. සෑම දොරටුවක් දෙපැත්තෙම සංඛනිධි සහ පද්මනිධි ඉන්න මුරගල් ද්විත්වයක් දකින්න පුලුවන්.
මාළිගාවේ අත්තිවාරම පරික්ෂා කළාම, කුටි ගණනාවක් තිබිලා තියෙනවා කියලා නිගමනයකට එළඹෙන්න පුලුවන්. මාළිගාව මැද්දෙ තියෙන බිත්තියේ අතරින්පතර බිතු සිතුවම් දැක ගන්න පුලුවන්.