ඔන්න එහෙනං අපි, “අපි නොදන්න ඇමරිකා” ලිපි මාලාවේ දෙවෙනි කොටසටත් ආවා. මේ කොටසින් අපි පළවෙනි කොටසෙ වගේම ඇමරිකාවේ තවත් අංශ ගණනාවක් ගැනම තොරතුරු ගෙන එනවා. හොදයි එහෙනං. අපි දැන් දෙවෙනි කොටස කියවමු. හැබැයි ඔයාලා තවමත් පළවෙනි කොටස කියවලා නැත්නම්, ඔයාලට සිද්ධ වෙනවා  මුලින්ම පළවෙනි කොටස කියවලා ඉන්න.

19. එන්න එන්න, අපෙනුත් ගන්න

” ඇමරිකාවෙ ව්‍යාපාර අතරේ, සමාගම් අතරේ ලොකූ තරගයක් තියෙනවා. ඒ තරගය නිසාම ඇමරිකාවේ පාරිභෝගික සේවාව 100%ක්ම හොදයි. අපේ රටේ නම් ලංකා විදුලි බල මණ්ඩලය වගේ ඒවා ලංකාවටම තියෙන්නෙ එකයි. ඒත් ඇමරිකාවෙ නම් ගොඩාක් තියෙනවා. ලංකාවෙ ඒකාධිකාරියක් පවත්වන්න පුලුවන් වුණත්, ඇමරිකාවෙ ගොඩක් තරගකාරයො ඉන්න නිසා එහෙම කරන්න බෑ. ​ඉතින් එයාලා පාරිභෝගිකයො ගැන ගොඩක් සැළකිලිමත් වෙනවා. පොඩි වැරැද්දක්වත් වෙන්නෙ නැති විදිහට තමයි සේවාව සපයන්නෙ. පොඩි වැරැද්දක් වුණත් ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා සමාව අරගෙන, ඒ වෙනුවට වට්ටමක් දෙනවා. එහෙමත් නැත්නම් සේවා ගාස්තු අඩු කරනවා. ​ඒ හැම දෙයක්ම කරන්නෙ තමන්ගෙ පාරිභෝගිකයන්ව, තමන්ගෙ ළගින්ම තියා ගන්න. ඒ වගේම තරගකරුවන්ගෙ පාරිභෝගිකයන්වත් කඩා ගන්න ගොඩක් උපක්‍රම පාවිච්චි කරනවා. අපි හිතමු එක ආයතනයකින් සේවා ගාස්තුව 40%කින් පහළ දැම්මා කියලා. එහෙනන් අනිත් අය බලනවා කොහොම හරි තමන්ගෙ සේවා ගාස්තුව 50%කින්වත් පහළට අරගන්න.

​මෙහේ තියෙනවා Walmart කියලා සමාගමක්. එයාලට තියෙනවා මුළු ඇමරිකාව පුරාම සුපිරි වෙළදසැල් ජාලාවක්. ඉදිකට්ටෙ ඉදලා, හෙලිකොප්ටරේ එන්ජිම වෙනකන් ඕන දෙයක් මේකෙ තියෙනවා. එයාලා හදලා තියෙනවා App එකක්. පාරිභෝගිකයින්ට පුලුවන් එකෙන් බඩු අරගෙන, බඩු ගත්තම හම්බවෙන බිලේ පින්තූරයක් අරගෙන, ඒ App එකට දාන්න. ඒ App එකෙන් ඒ බිල Scan කරලා, තරගකාරයොන්ගෙ වෙළදසැල්වල සහ එකේ විකුණන බඩුවල මිළ ගණන් සංසන්දනය කරලා බලනවා. එහෙම බලලා, එයාලා වෙනම ලැයිස්තුවක් ගන්නවා, එයාලගෙ විකුණුම් මිළට වඩා අඩුවෙන් විකුණුම් මිළක් තියෙන, එයාලගෙ තරගකාරයොන්ගෙ භාණ්ඩවල. ඊට පස්සෙ එයාලා වැඩියෙන් අරගෙන තියෙන ගාණ, ඒ පාරිභෝගිකයා ඊළගට බඩු ගන්න එනකොට වට්ටමක් විදිහට දෙනවා. ​උදාහරණයක් විදිහට අපි හිතමු Walmart එකේ පාන් ගෙඩියක් ඩොලර් 2.00යි කියලා. වෙන කඩයක පාන් ගෙඩියක් ඩොලර් 1.00යි නම්, Walmart එකෙන් ඒ පාරිභෝගිකයාගෙන් වැඩිපුර අරගත්ත ඩොලර් 1.00, ඒ පාරිභෝගිකයා ඊළග පාර බඩු ගන්න එනකොට වට්ටමක් විදිහට දෙනවා. ඔන්න ඔය වගේ උපක්‍රම තමයි පාරිභෝගිකයින්ව අද්ද ගන්න කරන්නෙ. ලංකාවෙ නම් හැමෝම කියන්නෙ ‘අඩුවටම බඩු දෙන්නෙ අපේ විතරයි. අනිත් අයගෙ ගොඩක් ගණන්’ කියලනෙ. හැබැයි ඇමරිකාවෙ Walmart වගේ ආයතන, මේ වැඩෙන් පාරිභෝගිකයන්ට ඒත්තු ගන්වනවා, ‘අපිටත් වඩා අඩුවට බඩු දෙන තවත් තැන් තියෙන බව අපි පිළිගන්නවා’ කියලා. ඒ හරහා එයාලා ‘බොරු කියන්නෙ නෑ’ කියලා, පාරිභෝගිකයින්ගේ විශ්වාසය අරගන්නවා. අනිත් අතට පාරිභෝගිකයන්ගෙන් ගසාගෙන කන්නෙත් නෑ.

​අපේ රටේ නම් මොකක් හරි සමාගමක පාරිභෝගික සේවාවකට ඇමතුමක් ගත්තම, මුලින්ම ගන්නෙ එක්කෙනෙක්. ඊට පස්සෙ එයා ඒ ඇමතුම වෙන කෙනෙක්ට යවනවා. ඒ ගන්න කෙනා තව කෙනෙක්ට යවනවා. ඔහොම ඔහොම වටේ ගිහින් තමයි හරි කෙනාට යන්නෙ. සමහරක් වෙලාවට පැය ගාණක් අල්ලගෙන ඉන්න ඕන. සමහර වෙලාවට අහන දේට නෙවේ උත්තර හම්බවෙන්නෙ. එහෙන් දාලා ඉන්න අයටවත් හරියට උත්තරයක් දෙන්න දැනුමක් නෑ. හැබැයි ඇමරිකාවෙ නම් අපි මොකක් හරි සමාගමක පාරිභෝගික සේවාවට කතා කළොත්, අපේ ඇමතුම ගන්න කෙනාම තමයි දිගටම කතා කරගෙන යන්නෙ. එක එක්කෙනාට යවන්නෙ නෑ. මොකද එයාව හොදටම පුහුණු කරලා තියෙනවා, අහන හැම ප්‍රශ්නයකටම හොදට උත්තර දෙන්න. ඒ වගේම එයාගෙ ආයතනයෙන් සපයන සේවාව ගැන, ඒවා සම්බන්ධව එන ප්‍රශ්න සහ ඒවා හරි ගස්සගන්න විදිහ ගැන, එයා සම්පූර්ණයෙන්ම දැනුවත් වෙලා ඉන්නෙ.

ඇමරිකාවේ ඒකාධිකාරී දේවල් අඩුයි. විකල්ප වැඩියි. ඉතින් තරගය වැඩියි. එක ව්‍යාපාරයකින් හරියට සේවාව සැපයුවෙ නැත්නම්, මිනිස්සු එව්වා ඒ වෙලාවෙම ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ ව්‍යාපාර බල්ලො බළල්ලු වගේ අතු ගෑවිලා යනවා. උදාහරණයක් විදිහට ලංකාවේ විදුලි බල මණ්ඩල තියෙන්නෙ එකයි. එයාලා හරියට සේවාව සැපයුවෙ නැතත්, අපිට විදුලීය ප්‍රතික්ෂේප කරන්න බෑ. එයාලගෙන්ම අරගන්න වෙනවා. හැබැයි ඇමරිකාවේ තියෙනවා එහෙම එව්වා 10ක් විතර. ඒ නිසා සේවාව ප්‍රශංසනීය විදිහට සැපයුවෙ නැත්නම්, ඇමරිකාවෙ මිනිස්සු වෙන එකකට මාරු වෙනවා. ”

20. ලාස්සන ගෑණු ළමයි

” ඇමරිකාවෙ ගෑණු ළමයින්ගෙ ආඩම්බර නෑ. කතාව හරි කෙලින්. කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. ඇතුළෙ එකක්, එළියෙ එකක් නෑ. ඇමරිකාවෙ ගැහැණු පිරිමි භේද නෑ. ඒ අයට සීමා වෙන් කරලා නෑ. ‘පිරිමි අයට කරන්න පුලුවන් හැම වැඩක්ම, ගැහැණු අයටත් කරන්න පුලුවන්’ කියන අදහස තමයි ඇමරිකාවෙ තියෙන්නෙ. ඇමරිකාවෙ ආරක්ෂක අංශවලට එහෙම හරියට ගැහැණු අය බැදෙනවා.

ආදර සම්බන්ධතා හරිම ශක්තිමත්. ඒකට ප්‍රධානම හේතුවක් තමයි සම්බන්ධය පටන් ගන්නකොටම සමහරක් සමහරක් ප්‍රශ්න විවෘතව කතා බහ කරන එක. ඒ නිසා දික්කසාද වෙන්න තියෙන අවස්ථාව අඩුයි. හැබැයි විවාහ වෙලා කාලයක් යනකොට තේරුනොත්, දෙන්නට දෙන්නා ගැළපෙන්නෙ නෑ කියලා, ඒ වෙලාවෙම කතා බහ කරලා, කෙලින් තීරණයක් අරගන්නවා දික්කසාද වෙන්න.

​කලින් කිව්වා වගේම ආදර සම්බන්ධතාව පටන් ගන්න කලින් ඕනම ප්‍රශ්නයක් විවෘතව අහනවා. ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්න වුණත්….. මොකද ලංකාවේ වගේ නෙවේ. මෙහේ ළමයි පුංචි කාලෙදිම, එයාලට ලිංගිකත්වය ගැන උගන්වනවා. ඉතින් ඒක එයාලට ලැජ්ජාවක්වත්, මැජික් එකක්වත් නෙවේ. හංගන්නෙත් නෑ. පුංචි ළමයෙක් ඇහුවොත්, ‘කොහොමද මම ඉපදුනේ?’ කියලා, ‘රෝස කැළෙන් අරගෙන ආවා’ කියන්නෙ නැතුව, ඒ දේ හරියටම කියලා දෙනවා. මෙහේ එළිමහන් උද්‍යානවල එහෙම සමලිංගික අය ඕන තරම් ඉන්නවා. එහෙමයි කියලා අනිත් අය එයාලට ගල් ගහන්නවත්, තහංචි දාන්නවත්, කොන් කරන්නවත්, දොස් කියන්නවත් යන්නෙ නෑ. මොකද ඒ, එයාලා තෝර ගත්තු මාර්ගය. එයාලත් මිනිස්සු. එයාලගෙත් ආසාවල් තියෙනවා. එයාලටත් නිදහසක් තියෙනවා.

​ඇමරිකාවෙ සමහරක් ගැහැණු ළමයි පුංචි කාලෙදිම සටන් ක්‍රම පුරුදු වෙනවා. තව සමහරක් අය පිස්තෝල පාවිච්චියට නැඹුරු වෙනවා. එහෙම නැත්නම් කරන්ට් එකක් එන උපකරණ පාවිච්චි කරනවා. ඒත් නැත්නම් අර ගම්මිරිස් විදින එකක් හරි පාවිච්චි කරනවා. ඉතින් පාරෙ යනකොට හොරෙක් ආවත්, මෙයාලා ඔය කියන ඒවා බය නැතුව කෙලින්ම පාවිච්චියට ගන්නවා.

​ඇමරිකාවෙ ගැහැණු ළමයි, එයාලට කැමති ඕනම ඇදුමක් අදිනවා. මොකද එයාලට නීති දාන්න අය නෑ. ඇග පේන්න ඇදුමක් ඇන්දත්, ඒකෙ පින්තූර අරගෙන සමාජ ජාලවල දාන්නයි, සායවල්වල දිග පළල ගැන විචාර දෙන්නයි, සදාචාරය ගැන දේශන පවත්වන්නයි මෙහේ අයට වෙලාවක් නෑ. මොකද ඇමරිකානුවන් කියන්නෙ හරිම අභිමානවත් ජාතියක්. මෙයාලගෙ සිතුවිල්ලක් තියෙනවා, ‘ගැහැණු කෙනෙක් යට ඇදුමක් විතරක් ඇදගෙන හිටියත්, ඒකෙන් ඇමරිකානු සංස්කෘතිය බිදින්න බෑ. ඇමරිකානු සංස්කෘතිය ශක්තිමත්’ කියලා. අපේ ඒකෙ අනිත් පැත්ත. එක ගැහැණු කෙනෙක් ඇග පේන්න ඇදුමක් ඇන්දොත් අපේ අය හිතනවා ‘අපේ 2500 සංස්කෘතිය නැති වෙනවා’ කියලා.

ඉතින් ගෑණු ළමයෙක් බිකිනියක් ඇදගෙන හිටියත් එයාගෙ පින්තූර අරන් දාන්නයි, ඇගේ ඇතිල්ලෙන්නයි, කෙළ හල හල ඉන්නයි මෙහේ අය පෙළඹෙන්නෙ නෑ. මොකද මෙහේ, ඒවා සාමාන්‍ය දේවල් නිසා. ලංකාවෙ පාවිච්චි වෙනවා වගේ ‘ජැක් ගහනවා’ කියන වචනය, මෙහේ ශබ්දකෝෂවල ඇතුළත් වෙලත් නෑ.”

21. ආසාවටයි මුල් තැන

” ලංකාවෙ දෙමාපියො කරන වැරැද්දක් තමයි පුංචි කාලෙම ළමයින්ට කියනවා ‘ඔයා ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙන්න ඕන. ඔයා ලොකු වුණාම අනිවාර්යෙන්ම ඉංජිනේරුවෙක් වෙන්න ඕන’ කියලා. ඒ කියන්නෙ දෙමාපියන් කැමති දේ තමයි ළමයා අකමැති වුණත් අනිවාර්යෙන්ම කරන්න ඕන. ඇමරිකාවෙ නම් ළමයින්ට නිදහස තියෙනවා තමන් ආස කරන දේ කරන්න. ගෙවල්වලින් බලපෑමක්වත්, දෙමාපියන් අතරේ තරගයක්වත් නෑ.

මෙහේ ආකල්පවලට සහ ආසාවට තමයි මුල් තැන. ආකල්ප ගැන දෙන්න පුලුවන් හොදම උදාහරණය තමයි ඇමරිකාවෙ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙනකොට තියන විභාගය (MCAT). ​ඒකෙදි සම්මුඛ පරීක්ෂණයකුත් තියනවා. එතනදි ලකුණුවලට වඩා බලන්නෙ ආකල්පයි. කොච්චර ඉහළ ලකුණු තිබ්බත් වැඩක් තියෙනවද ඒ කෙනා අමානුෂික, රළු, කරුණාවක් නැති කෙනෙක් නම්? අපි හිතමු විභාගයකදි එක්කෙනෙක් ලකුණු 100%ක් ගන්නවා. තව කෙනෙක් ලකුණු 60%ක් ගන්නවා. 100% ගත්ත කෙනාට ඉහළ ලකුණු තියෙනවා. හැබැයි වෛද්‍යවරයෙක් වෙන්න සුදුසු ගුණාංග නෑ. 60% ගත්ත කෙනාට තියෙන්නෙ අඩු ලකුණු. හැබැයි වෛද්‍යවරයෙක් වෙන්න සුදුසු ගුණාංග තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම 60% ගත්ත කෙනා සමත්වෙලා, 100% ගත්ත කෙනාව අසමත් කරන්න පුලුවන්. මොකද මෙහේ අය හිතන්නෙ ‘ආකල්ප කියන දේ හිතෙන්ම එන දෙයක්. දැනුම කියන දේ පස්සෙ වුණත් අරගන්න පුලුවන්’ කියලා.

ඇමරිකාවෙ කෙනෙක් දොස්තර කෙනෙක් වෙන්නෙ එයාට තියෙන ආසාව නිසා. නැතුව සිවිල් බලයක් ගොඩ නගා ගන්න, පිළිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වෙන්න, සල්ලි හම්බකරන්න පුලුවන්කම තියෙන නිසා නෙවේ. මෙහේ විශ්වවිද්‍යාලවල ඕනම විෂයක් ඉගෙන ගන්න පුලුවන්. අපි හිතමු ඉතිහාසයට ආසාවක් තියෙන, තාක්ෂණික උපාධියක් හදාරන කෙනෙක් ඉන්නවා කියලා. එහෙනන් එයාට පුලුවන් තාක්ෂණික උපාධිය කරන ගමන් ඉතිහාසයත් ඉගෙන ගන්න. මොකද ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල මතය තමයි ‘ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ’ කියන මතය. දක්ෂතාවය ගණිතය විෂයට තිබුණත්, එයාගෙ ආසාව තියෙන්නෙ සංගීතයට නම්, එයා අනිවාර්යෙන්ම සංගීතය තෝර ගන්නවා. ”

22. ඔක්කොම එකයි

” ඇමරිකාවෙ හැමෝම සම්මත ක්‍රමයට අනුව තමයි වැඩ කරන්නෙ. අපි හිතමු ගෙදරක වයර් අදින වැඩක් කරනවා කියලා. ලංකාවෙ නම් විදුලි කාර්මිකයො දහ දෙනක් ගත්තොත්, දහ දෙනා දහ විදිහකට තමයි වැඩේ කරන්නෙ. මොකද එක එක තැන්වලින් එක එක විදිහට තමයි එයාලා ඉගෙනගෙන තියෙන්නෙ. ඒ අතරේ අත්දැකීමෙන් වැඩ කරන අයත් ඉන්නවා. ඒත් ඇමරිකාවෙ විදුලි කාර්මිකයො දහ දෙනෙක් ගත්තොත්, ඒ දහ දෙනා වැඩ කරන්නෙ එකම එක ක්‍රමයකටයි. ඒ තමයි සම්මත ක්‍රමය.

අපි හිතමු ගෙදරක වැඩ කර කර ඉදලා, එයා එක පාරටම යන්න ගියා කියලා. ඊට පස්සෙ වෙන විදුලි කාර්මිකයෙක් එනවා ඉතුරු වැඩ ටික කරන්න. ලංකාවෙ නම් එතනදි ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද පරණ කෙනා කරපු ක්‍රමයට නෙවේ, අලුතින් ආපු කෙනා වැඩ කරන්නෙ. එතකොට අලුතින් ආපු කෙනාට තේරෙන්නෙ නෑ, පරණ කෙනා කරලා තියෙන වැඩ. හැබැයි ඇමරිකාවෙ නම් අලුත් කෙනාට තේරෙනවා පරණ කෙනා කරපු වැඩ ටික. ඉතින් එයා නැවතිලා තියෙන තැන ඉදන් වැඩේ කරන්න පටන් ගන්නවා. මොකද එයා ඉගෙනගෙන තියෙන්නෙත්, පරණ කෙනා ඉගෙනගෙන තියෙන ටිකම තමයි.

​අනිත් ප්‍රධානම දේ තමයි ලේඛනය. මෙහේ මොන දේ කළත්, එයාලා ඒක ලොග් පොතක ලියලා තියෙනවා. එතකොට කවදාවත් ඒ කරලා තියෙන දේවල් ගැන අමතක වෙන්නෙ නෑ. අලුතින් කෙනෙක් ආවත්, එයාට ඒ වැඩේ ඉතිහාසය ගැන හරිම ලේසියෙන්, අර පොතෙන් බලාගන්න පුලුවන්. ”

23. දෙවෙනි ඉනිම

” මෙහේ ඕනම කෙනෙක්ට දෙවෙනි අවස්ථාවක් තියෙනවා. අපි හිතමු හෙදියක් ඉන්නවා කියලා. එයාට හිතෙනවා දොස්තර කෙනෙක් වෙන්න. එහෙනං එයාට පුලුවන් හෙදියක් විදිහට ඉන්න ගමන්, හොදට ඉගෙනගෙන, නියමිත අවුරුදු ගණන ඉවර වුණාට පස්සෙ දොස්තර කෙනෙක් වෙන්න. හෙදියන්ට විතරක් නෙවේ, සුළු සේවකයින්ට වුණත් ඒ අවස්ථාව තියෙනවා. මේ දෙවෙනි අවස්ථාව, තමන්ට හොදයි කියලා හිතෙන ඕනෑම කාලයක අරගන්න පුලුවන්.

ලංකාවෙ අයගෙ තියෙන වැරදි මතයක් තමයි ‘ඇමරිකාවේ ඉගෙන ගන්න නම් අනිවාර්යෙන්ම සල්ලි ඕන’ කියන මතය. ඒත් ඒක වැරදියි. දුප්පත් කෙනෙක් වුණත්, එයාට ඉගෙන ගන්න පුලුවන්. එයා ඔප්පු කළොත් එයා දක්ෂයෙක් කියලා, ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවලින් ලෑස්තියි එයාට ශිෂ්‍යත්ව දෙන්න. ඇමරිකාවෙ රජයෙන් ලෑස්තියි එයාට ආධාර දෙන්න. අඩු පොලියට අධ්‍යාපනික ණයක් දෙන්න. මෙහේ සල්ලි නැති අය, අවුරුදු 5ද, අවුරුදු 10ද කියලා නෑ, පුලුවන් තරම් කාලයක් රස්සාවක් කරලා, ඒකෙන් ඉගෙනගන්න ඕන කරන සල්ලි ටික හම්බ කර ගන්නවා. ඊට පස්සෙ ඉගෙන ගන්නවා. මොකද ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න වයස් සීමාවක් නෑ. ඕනිම වයසෙ කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන්. ”

24. හත්පොලේ ගාගන්නෙ නෑ

” ළගදි දවසක අපේ පාරෙ Main Sewer Line එක (පාර යටින් නිර්මාණය කරලා තියෙන ප්‍රධාන කුණු කාණුව) සුද්ධ කළා. අපේ පාර ගොඩාක් දිගයි. එතනදි වුණේ මෙන්න මේ වගේ දෙයක්. කුණු කාණුව සුද්ධ කරන්න වාහන දෙකකින් මිනිස්සු දෙන්නෙක් ආවා. එක්කෙනෙක් පාරෙ එහා කෙළවරේ කාණුවේ විවරය ළගටත්, අනිත් කෙනා පාරෙ මෙහා කෙළවරේ කාණුවේ විවරය ළගටත් ගියා. එක්කෙනෙක් කාණුවට බැස්සුවා පුංචි රොබෝ කෙනෙක්. මෙයා කරන්නෙ බටයක් අරගෙන කාණුව දිගේ ගිහින් කාණුවේ අන්තිම කෙළවරේ තියෙන විවරයෙන් මතුවෙන එක. බටය අරගෙන යන ගමන්, කාණුවේ තියෙන ගද නැති කරන්න රසායනික කැට වගයක් ඉහිනවා. ඊට පස්සෙ දුම් ගහනවා. මේ අතරේ තවත් රොබෝ කෙනෙක්ව බස්සනවා. එයා කාණුව දිගේ යන ගමන්, අර බටය අකුලගෙන යනවා. ඊටත් පස්සෙ තවත් රොබෝ කෙනෙක් බස්සනවා. එයා කරන්නෙ කාණුවේ යන ගමන් කැඩිලා ගිහිල්ලා තියෙන තැන් ප්‍රතිසංස්කරණය කරනවා. මේ ඔක්කොම කරන්න මෙයාලට ගියේ පැය කිහිපයයි. තවත් විශේෂ දෙයක් කියන්න ඕන. මේ කොන්ත්‍රාත්තුව භාර ගත්ත සමාගමෙන්, අපේ පාරෙ තියෙන හැම ගෙදරකටම ලියුමක් එව්වා. ඒ ලියුමෙ තිබුණෙ ඒ සුද්ධ කිරීම කරගෙන යන කාලය අතරතුර ජීවන කටයුතුවලට බාධාවක් වුණා නම්, ඒකට කණගාටුව ප්‍රකාශ කිරීමක් සහ සමාව ඉල්ලීමක්.

​එතකොට මුළු පාරටම තියෙන කුණු කාණුව සුද්ධ කරන්න ආවෙ දෙන්නයි. අපේ රටේ නම් කොහොමද? අඩුම ගාණෙ මිනිස්සු 50ක්වත් එනවා නේද? අධීක්ෂණයටත් වෙනමම කට්ටියක් එනවා. ඊට පස්සෙ මාර්ග බාධක දාලා, පාරෙ වාහනත් නවත්තගෙන, ලොකූ මාර්ග තද බධයක් ඇති කරගෙන, යසට තියෙන කාර්පට් පාර කඩනවා. දවස් ගාණක් තිස්සෙ වැඩ. එතකොට ලොකූ මුදලක් වැය වෙනවා, මෙයාලට සංග්‍රහ කටයුතු කරන්නත්. ඊට පස්සෙ ආයිත් පාර හදන්න ඕන තිබ්බ විදිහටම. මේ වැඩේට දවස් කිහිපයක්ම ගත වෙනවා.

මෙහේ අය හත්පොලේ ගාගන්නෙ නෑ. කරන්න තියෙන වැඩේ හොද සැලසුමක් අනුව, එක පාරින්ම කරනවා. හැමතිස්සෙම බලන්නෙ වෙනසක් නොකර, වැඩේ කරගන්න. බිත්තියක් ඇතුළෙ තියෙන දෙයක් බලන්න ඕන නම්, අපේ වගේ බිත්තිය කඩන්නෙ නෑ. බිත්තිය ඇතුළ විනිවිද බලාගන්න පුලුවන් උපකරණයකින්, පරීක්ෂා කරලා බලනවා. ”

25. අවදානමට පෙර සූදානම

” ​ඇමරිකාවෙ මිනිස්සු හැම දෙයක් ගැනම දැනුවත් වෙලයි ඉන්නෙ. ඒ වගේම හැම දෙයක් වෙනුවෙන්ම සූදානම් වෙලයි ඉන්නෙ. ඒ නිසා අනපේක්ෂිත අනතුරක් වුණොත්, එයාලට ඉක්මනට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන්. සුළි සුළං, නාය යෑම්, ගිනි කදු, ගං වතුර වගේ ස්වභාවික විපත්වලදි සූදානම් පිට තමයි ඉන්නෙ. ​දැන් උතුරු කොරියාව වගේ රටකින් රසායනික අවි ප්‍රහාරයක්, එහෙමත් නැත්නම් න්‍යෂ්ඨික බෝම්බයක් එල්ල වුණත්, ඒ හැමදේටම සූදානම් වෙලා තමයි ඉන්නෙ. ‘ගහයිද? ගහන එකක් නැති වෙයිද?’ කියලා හිත හිතා ඉන්නෙ නෑ. ‘අනිවාර්යෙන්ම වෙන්න තියෙන නරකම දේ වෙයි’ කියලා හිතලා, ඒ වෙනුවෙන් ලෑස්ති පිට ඉන්නෙ. මේ වගේ අනතුරු සහ ආපදා ගැන මෙයාලව දැනුවත් කරන්නෙ විශ්වවිද්‍යාලවලින්, පාසල්වලින්, රෝහල්වලින්, නගර සභාවලින්, පල්ලිවලින්, මාධ්‍යවලින්, නියෝජිත ආයතනවලින්.

ඇමරිකාවේ කාළගුණික දත්ත 80%ක් නිවැරදියි. ඒ, ඇමරිකාවේ චන්ද්‍රිකා තාක්ෂණය ගොඩක් දියුණු නිසා. ඉතින් හදිස්සියේ ඇති වුණොත් ඇරෙන්න, ලොකු ටෝර්නාඩෝ එකක් වගේ එනවා නම්, මෙයාලා මාස ගාණකට කලින් ඉදලම, අනතුරු ඇගවීම් නිකුත් කරනවා. ​එතකොට මිනිස්සු ඒ මාස කිහිපය ඇතුළත කෑම ගබඩා කරලා, බැටරි ලෑස්ති කරලා, ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ නිසා අත්දැකීම් නැති වුණත්, අර සූදානම නිසා, මෙයාලට බේරෙන්න පුලුවන්. ඒ නිසා ආපදා කළමණාකරණය කියලා එකක් විශේෂයෙන් අවශ්‍ය වෙන්නෙ නෑ. ලංකාවේ ගොඩක් අනතුරු සහ ආපදාවලින් වෙන විනාශයන් වළක්වන්න පුලුවන්, අපේ මිනිස්සුත් ගොඩක් දැනුවත් වෙලා තිබ්බා නම්. 2004 අවුරුද්දෙ සුනාමිය ආපු වෙලාවෙ කී දෙනෙක් මාළු ඇහිදින්න, මුහුද මැද්දට ගියාද? කලින් දැනුවත් කරලා තිබ්බා නම්, ඒ හැම ජීවිතයක්ම බේරගන්න තිබ්බා. ​ලංකාවේ අපරාදයක් වුණාම, මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසාම සාක්ෂි නැති වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා නේද?

අපි හිතමු කවුරු හරි කෙනෙක් වාහනයකට හැප්පිලා, කොන්ද කඩා ගත්තා. අපේ මිනිස්සු කරන්නෙ ඒ අයගෙ තියෙන මනුස්සකමට, හිත හොදකමට, ඒ කෙනාව ඉක්මනට උස්සලා, ත්‍රීවීල් එකක දාගෙන ඉස්පිරිතාලෙ ගෙනියනවා. හැබැයි ඇමරිකාවෙ මිනිස්සු එහෙම කරන්නෙ නෑ. එයාලා වෛද්‍යය කණ්ඩායමක් එනකන් බලාගෙන ඉන්නවා. මොකද ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු දැනුවත් නැති වුණාට, ඇමරිකාවෙ සාමාන්‍ය මිනිස්සු දැනුවත්. කොන්ද කැඩුනු මනුස්සයෙක්ව උස්සනවා නම්, ඒකට නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඉස්සුවෙ නැත්නම්, සමහරක්විට ඒ කෙනා මැරෙනකන්ම ඒ තත්වයෙන්ම ඉන්න පුලුවන්. මොකද එහෙම උස්සන්න නිවැරදි පුහුණුවක් ඕන. ඒ නිසා ඇමරිකාවෙ මිනිස්සුන්ට මොකක් හරි කරදරයක්, ආපදාවක්, අනතුරක් වුණාම, ඒ දේවල් තවත් සංකීර්ණ කරගන්න යන්නෙ නෑ. කොටින්ම කිව්වොත් හත්පොලේ ගාගන්නෙ නෑ. ”

26. පෙරකදෝරු මහත්තුරු

” ඇමරිකාවේ උසාවිවල තියන නඩු, දවසෙන් දෙකෙන් ඉවර කරනවා. ලංකාවේ වගේ අවුරුදු ගණන් කල් දාන්නෙ නෑ. ඇමරිකාවේ හොද යාන්ත්‍රණයක් හදලා තියෙනවා මේ වෙනුවෙන්. නීතීඥයින්ගෙන් පිහිට පතන්න, අඩුම අඩු ආදායමක් ලබන, මොකක් හරි අසාධාරණයකට ලක්වෙලා ඉන්න දුප්පත් සහ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන්, ඇමරිකාවෙ ආණ්ඩුවෙන් ලොකු මෙහෙවරක් කරනවා. එයාලා කරන්නෙ ඒ වගේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් නොමිළේ නීතීඥවරු දෙනවා. එහෙම දෙන්නෙත් හොද දක්ෂම දක්ෂ අය. ඊට පස්සෙ නීතීඥවරයාගේ ගාස්තුව ආණ්ඩුවෙන් ගෙවනවා. ඉතින් දුප්පත් මිනිහෙක්ට වුණත් පුලුවන්, අසාධාරණයක් වුණා නම් Microsoft වගේ ලොකු ආයතනයක් එක්ක වුණත්, තරගෙට නඩු කියන්න.

ඇමරිකාවෙ ගොඩක් නීතීඥයො කැමති, සාමාන්‍ය මිනිස්සුන්ට නොමිළේ සේවාව සපයන්න. ඒක එයාගෙ ප්‍රතිරූපයට හොදයි. අනිත් අතට නොමිළේ සේවාව සපයලා, Microsoft වගේ ලොකු ආයතනයක් එක්ක නඩු කියලා, ඒ නඩුව දින්නොත්, එයාට ගොඩක් ප්‍රතිලාභ හම්බවෙනවා. සේවාදායකයින්ගේ ඉල්ලුම 500%කින් විතර ඉහළ යනවා. රට වටේ ප්‍රසිද්ධ වෙනවා. වෘත්තිය අතින් ගොඩක් ඉහළට යන්න පුලුවන්. රජයෙන් වුණත් තනතුරක් දෙන්න පුලුවන්.

​මේ නිසා ඇමරිකාවෙ ගොඩක් මිනිස්සු, පොඩි පොඩි දේවල්වලටත් නඩු කියනවා. අද කාත් එක්ක හරි ප්‍රශ්නයක් ඇති කරගත්තොත්, පහුවෙනිදට උසාවියෙන් සිතාසියක් එනවා. ඒ, උසාවිවල තියෙන කාර්යක්ෂමතාවය, සාධාරණත්වය සහ දුප්පත් මිනිස්සුන්ට වුණත් ඒ අවස්ථාව දීලා තියෙන නිසා. පගාවට වැඩ කරන නීතීඥයො ඉන්නවා. හැබැයි සෑහෙන්න අඩුයි. මොකද නීති තදයි. එහෙම කරලා අහු වුණොත්, කෙලින්ම හිරේ දානවා. ඒ දාන්නෙත් සාමාන්‍ය හිරකාරයො එක්කමයි. අපේ වගේ ඉස්පිරිතාලවලට යවලා, සතියක් දෙකක් ගියාම, නිදහස් කරන්නෙ නෑ. ”

27. ​මම ටැක්සිකාරයා

” ඇමරිකාවෙ ටැක්සි එළවන මිනිස්සු බොහොම හොදයි. මනුස්සකම තියෙන අයත් ගොඩක් ඉන්නවා. දවසක් මායි යාලුවෙකුයි ටැක්සියක ගියා. ගමන ඉවරවෙනකොට එයා ගත්තෙ එක්කෙනෙක්ගෙ ගාණ මිස, දෙන්නෙක්ගෙ ගාණ නෙවේ. තව සමහරු අපෙන් සල්ලි ගන්නෙම නෑ. මේ පැත්තෙ එක ටැක්සි සමාගමක් තියෙනවා. එයාලා හවස 4.00 ඉදලා පහුවදා පාන්දර 2.00 වෙනකන්, විශ්වවිද්‍යාලවල ළමයින්ට නොමිළේ ප්‍රවාහන සේවාව සපයනවා. මොකද අපි ඉන්නෙ විශ්වවිද්‍යාලයේ ළමයි වැඩියෙන් ඉන්න පළාතක. අනික අපි පිටරටකින් ආපු අය. ඒ මිනිස්සු දන්නවා, ළමයි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නෙ හරිම අමාරුවෙන් කියලා සහ ගොඩක් සල්ලි වැය වෙනවා කියලා. ඉතින් ඒ වගේ සහන දෙන හොද මිනිස්සු ඉන්නවා.

​කතා බහත් බොහොම හොදයි. අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න කැමති නෑ. ඒකට ප්‍රධානතම හේතුව තමයි, අර මම කලින් කිව්වා වගේ උසාවිවල තියෙන කාර්යක්ෂමතාවය. ඒවා කරදර වෙන්න වෙන වැඩ. වාහනේ එළවන්නෙත් බොහොම පරිස්සමෙන්. මොකද මෙහේ ලකුණු දෙන ක්‍රමයක් තියෙනවා. රියදුරන්ගෙ අතින් වැරදි වෙන්න වෙන්න, එයාගෙ ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා. මේක ප්‍රාන්ත අනුව වෙනස් වෙනවා. මම ඉන්න South Dakotaවල නම් රතු එළියෙදි ගියොත්, ලකුණු 3ක් හම්බවෙනවා. අධික වේගයෙන් ගියොත්, ලකුණු 6ක් හම්බවෙනවා. බීලා ගියොත්, ලකුණු 10ක් හම්බවෙනවා. ඔන්න ඔය වගේ. 22 තමයි උපරිම ලකුණු ගාණ. ඒක පැන්නුවොත්, බලපත්‍රය අවලංගු කරනවා. ආයිත් ඒක ගන්න නම්, මාස ගාණක් බලාගෙන ඉන්න ඕන. ඒකත් කරදර වැඩක්. වේගයෙන් ගිහින් වාහනේ හප්පගෙන, ඇතුළෙ යන කෙනාට ජීවිතාන්තය තෙක්ම නැගිටින්න බැරුව, එක්තැන් වුණොත්, රියදුරාට සිද්ධ වෙනවා, ඒ කෙනා මැරෙනකන්ම එයාගෙ සෞඛ්‍යය සහ රෝහල් ගාස්තු ගෙවන්න. ඉතින් නීතියෙන්ම, මෙහේ රියදුරන්ගෙ විනය හදලා තියෙනවා. ”

28. උඩින් එවන පීසා

” ​ඇමරිකාවේ ගොඩක් පීසා සමාගම්වලින් මේ දවස්වල ලොකු අත්හදා බැලීමක් කරනවා. මේක වර්ධනය වෙමින් තියෙන තාක්ෂණයක්. ඒ තමයි ඩ්‍රෝනවලින් පීසා බෙදන ක්‍රමයක්. මුලදි මේ ක්‍රමය සාර්ථක වුණේ නෑ. මොකද උඩින් කෑම ටික පහළට දානකොට, හුළග වැඩි වුණු ගමන්, ඒවා වෙන පැත්තකට වැටෙන්න පුලුවන්. පහළට දැම්මම ගෙදර ඉන්න බල්ලො, පූසොන්ට අහුවෙන්න පුලුවන්. හැබැයි තාක්ෂණයේ දියුණුවත් එක්ක, මොන හුළගක් ආවත්, පාර්සලය ඒ තැනටම වැටෙන විදිහේ ක්‍රමයක් හොයාගෙන තියෙනවා. සත්තුන්ගෙන් වෙන හානිය වළක්වන එකටත් විසදුමක් දැන් තියෙනවා. විසදුම තමයි, කෑම එක ඇනවුම් කරන කෙනාටම තීරණය කරන්න දෙනවා, කෑම එක දාන්න, බාධාවක් නැති මොකක් හරි තැනක්. මේ ක්‍රමය දැනටමත් සාර්ථකයි. ගොඩාක් සාර්ථක වුණොත්, ඇමරිකාවේ කෑම බෙදන මිනිස්සුන්ට (Food Delivery Drivers) රස්සාවල් නැති වෙනවා. මොකද මේක කාර්යක්ෂම සහ අඩු වියදමක් තියෙන ක්‍රමයක් නිසා. ”

29. අපි වෙනුවෙන් අපි

” ​ඇමරිකාවෙ සුපිරි වෙළදසැල්වල බඩු තෝරනකොට, අපි වගේම තවත් බඩු ගන්න එන අය, අපිට ඒවා අරගන්න උදව් කරනවා. ඒක මෙහේ දකින්න සහ අත්විදින්න තියෙන සුලභ දෙයක්. දවසක් අපි හැදි වගයක් තෝර තෝර ඉන්නකොට, එක ගෑණු කෙනෙක් කිව්වා ‘ඔව්වා ගන්න එපා. ඔව්වා ගොඩක් බාලයි. මම අරගත්තු ඒවා ඔක්කොම කැඩුණා. ඔයිට වඩා මේ ජාතියේ හැදි හොදයි. ගාණත් අඩුයි’ කියලා. මේ එකක් විතරයි. ගොඩක් අය මේ විදිහට අනිත් අයට බඩු තෝරන්න උදව් කරනවා. ඒවා ගැන තියෙන අත්දැකීම්, වාසි අවාසි කියනවා. ඒ තරම් මිනිස්සු හිතවත්. මිතුරුයි. මොකද එයාලා හැමතිස්සෙම හිතනවා ‘මම කලින් වැරදි දෙයක් තෝරගෙන අමාරුවෙ වැටුනා. ඒ නිසා වෙන කෙනෙක් නොදන්නකමට, ඒ දේම තෝරගෙන අමාරුවෙ වැටෙන්න දෙන්න හොද නෑ’ කියලා.

​මෙහේ ඇදුම් කඩවල Discount Cards හම්බවෙනවා. හැබැයි ඒ වට්ටම තියෙන්නෙ දවස් තුනකට විතරයි. අපි හිතමු කෙනෙක් ඇදුම් 50ක් ගන්නවා කියලා. එහෙනන් එයාට 80%ක වට්ටමක් තියෙන Discount එකක් හම්බවෙනවා. හැබැයි දවස් තුනයි වලංගු වෙන්නෙ. අද ඇදුම් 50ක් ගත්ත කෙනාට, දවස් තුනක් ඇතුළත තව ඇදුම් ගන්න ඕන වෙන්නෙ නෑ නෙහ්. ඉතින් එයාට Discount එකෙන් වැඩක් නෑ. එයා කරන්නෙ කඩෙන් එළියට යනකොට, දොර ළගදි හම්බවෙන, කඩයට ඇතුල් වෙන ඊළග එක්කෙනාට ‘Hey you want this? Have fun’ කියලා Discount Card එක දීලා යනවා. මොකද එයාලා හිතනවා ‘තමන්ට ඒකෙන් වැඩක් නැති වුණත්, අනිත් අය හරි ඒකෙන් වැඩක් ගනීවි’ කියලා. ඒ හම්බවෙන කෙනා කවුද කින්ද මන්ද කියලා දන්නෙත් නෑ. ආයිත් කවදා කොහේ කොතනක හම්බවෙයිද දන්නෙත් නෑ. ඒත් කිසිම ගාණක් නැතුව, ඔහේ ඒක දීලා යනවා. ඒක නම් මෙහේ නිතරම දකින්න තියෙන දෙයක්. එහෙම නැත්නම් ඒ Discount Card එක ඉස්සරහා මේසයකින් හරි තියලා යනවා, ඕන කෙනෙක්ට අරගන්න පුලුවන් වෙන විදිහට. “​

30. මිනිස්සුන්ට මතකයි

” ඇමරිකාවෙ මිනිස්සු ඡන්දය දෙනකොට හරිම බුද්ධිමත් විදිහට, හොදට කල්පනා කරලා බලලා තමයි දෙන්නෙ. එයාලා හැමතිස්සෙම විචාර පූර්වකව කල්පනා කරනවා. ඒ ඒ අපේක්ෂකයාගේ අතීතය ගැන කල්පනා කරනවා. ලංකාවෙ අය නම් ගොඩක් වෙලාවට බොරු ඡන්ද පොරොන්දුවලට රැවටිලා දෙනවා. පොරොන්දු ඉටු කළේ නැතත්, ඒ මනුස්සයටම ඊළග ඡන්දෙත් කතිරෙ ගහනවා, අලුත් බොරු පොරොන්දු නිසා. තව සමහරු ටකරංවලට, බඩු මල්ලට රැවටිලා ඡන්දය දෙනවා. හැබැයි ඇමරිකාවෙ මිනිස්සු, ඒ අපේක්ෂකයගෙ අතීතය ගැන හිතනවා. ගියපාර පොරොන්දු ඉෂ්ඨ කරලා නැත්නම්, මේ පාර එයාට ඡන්දය දෙන්නෙ නෑ. ඉතින් ඡන්ද පොරොන්දු ඉටු නොකරන දේශපාලඥයන්ට, ඇමරිකාවෙ මිනිස්සුන්ගෙන් කිසිම සමාවක් ලැබෙන්නෙ නෑ.

2016 ජනාධිපතිවරණයේදි ගොඩක් මිනිස්සු හිලරිට ඡන්දෙ නොදුන්නෙ, බිල් ක්ලින්ටන් නිසා. බිල් ක්ලින්ටන් ජනාධිපති වෙලා ඉන්න කාලේ ඇමරිකාවේ ආර්ථිකය පහළට වැටුනා. ඉතින් මිනිස්සු බය වුණා, හිලරි ජනාධිපති වෙනවට. හිලරි ජනාධිපති වුණොත්, හිලරිගෙ මාර්ගයෙන් බිල් ක්ලින්ටන් ඇමරිකාවෙ පාලනයට ඇතුල් වෙන්න ඉඩ තිබුණා. ”

31. Office එක ගෙදර වගේ

” ​ඇමරිකාවෙ Officeවල බල්ලො බළල්ලු වගේ මරව මරව වැඩ ගන්නෙ නෑ. සේවකයින්ට හොදට සළකනවා. Officeවල වෙනමම තැන් වෙන් කරලා තියෙනවා නිදාගන්න. ඕන තරම් කෝපි බොන්න පුලුවන්. සමහර ඒවායෙ නම් උදේ, දවල්, රෑ කෑම හිටන් දෙනවා. ඇතුළෙ සහ එළියෙ ටෙනිස්, බැඩ්මින්ටන් වගේ ක්‍රීඩා උපකරණ තියෙනවා. Video Games කරන්න පුලුවන්. කැරම් වගේ දේවල් සෙල්ලම් කරන්න පුලුවන්. ඒ තැන්වල එහෙම ඒවා දීලා තියෙන්නෙ, වැඩ කරන අය වෙනුවෙන්ම තමයි. මොකද ලොකු ව්‍යාපෘතිවල දිගට හරහට වැඩ කරනකොට, ලොකු මහන්සියක් සහ ආතතියක් එනවා. ඒ දේවල් මග අරින්න පුලුවන් ක්‍රම විදිහට තමයි, අර වගේ පහසුකම් දීලා තියෙන්නෙ. ඉතින් ඒ දේවල්වලින් පොඩි විවේකයක් අරගෙන, මහන්සිය සහ ආතතිය නැති කරලා, ඒ අයට ආයිත් වැඩ පටන් ගන්න පුලුවන්.

හැබැයි ඒ අය, ඒ ඒ දේවල්වලින් අයුතු ප්‍රයෝජන ගන්නෙ නෑ. ඔක්කොම වැඩ නවත්තලා දාලා, දවස පුරාම ඒවා කර කර ඉන්නෙ නෑ. මේ ක්‍රමය නිසා සේවකයො ගෙදරට වඩා, රස්සාව කරන තැනට කැමතියි. රස්සාව කරන තැනට ගොඩක් ආදරෙයි. හරිම සන්තෝසෙන් වැඩ කරන්නෙ. සමහරක් අය ඉන්නවා, එයාලා රස්සාව කරන තැන Current එකෙන් Laptop එක, Phone එකවත් Charge කරන්නෙ නෑ. එයාලා ඒ තරමටම ඒ තැන් ගැන හිතනවා. ආයතන ප්‍රධානීන් වුණත් ගොඩක් නම්‍යශීලී. ඒ අයගෙ අතින් වැරැද්දක් වුණොත්, සමාව ගන්න දෙපාරක් හිතන්නෙ නෑ. ඒ අය තමන්ට පුලුවන් විදිහට, තමන්ගෙ සේවකයින්ට වැටුප්, වරප්‍රසාද වැඩි කර කර දෙනවා. සමහරක් අයට මුළු ජීවිත කාලෙටම සෞඛ්‍ය රක්ෂණ ආවරණ දෙනවා.

වැඩ කරන තැන අඩුපාඩුවක් නිසා, සේවකයෙක් අනතුරකට පත් වුණොත්, එයා මැරෙනකන්ම රෝහල් සහ සෞඛ්‍යය වියදම්, ඒ ආයතනයෙන් දරන්න ඕන. නැත්නම් ගිවිස ගත්ත මාස ගණනක්, අවුරුදු ගණනක් යනකන්, එයාගෙ පවුලෙ අයට මුදලක් දෙන්න ඕන. මොකද එයා අනතුරට පත් වුණේ, ඒ ආයතනයේ අඩුපාඩුවක් නිසා. උදාහරණයක් විදිහට, කැඩුණු පඩිපෙළකින් වැටිලා වෙන්න පුලුවන්. ”

32. රාජ්‍යාධීකාරීවරු

” ඇමරිකාවේ විශ්වවිද්‍යාල පාලනය කරන්නෙ Board of Regents ​කියලා මණ්ඩලයකින්. ලංකාවෙ නම් හරියට උසස් අධ්‍යාපනය අමාත්‍යාංශයට ටිකක් සමානයි. හැබැයි ලොකු වෙනසක් තියෙනවා. මේ මණ්ඩලයේ ඉන්නෙ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු, මහාචාර්යවරු, කථිකාචාර්යවරු, උපකුලපතිවරු, උපාධිකරුවෝ, ගුරුවරු වගේ අය. ඇමරිකාවේ හැම ප්‍රාන්තයකටම, මේ වගේ එක මණ්ඩලයක් තියෙනවා. ඒ ඒ මණ්ඩලවල අය, ඒ ඒ ප්‍රාන්තවල විශ්වවිද්‍යාලවලට අදාළව තීන්දු තීරණ ගන්නවා. ඒ ඒ ප්‍රාන්තවල පරිසරය සහ අවශ්‍යතා අනුව විෂය නිර්දේශ හදනවා. උදාහරණයක් විදිහට New York University එකේ ඉන්නෙ ගොඩක් විදේශීය ශිෂ්‍යයො. ඒ නිසා New Yorkවල Board of Regents එකෙන් එහේ ඉගෙන ගන්න හැම ශිෂ්‍යයෙක්ම උනන්දු කරනවා / දැනුවත් කරනවා චීන, හින්දි, ප්‍රංශ වගේ අමතර භාෂාවකුත් ඉගෙන ගන්න එක ප්‍රයෝජනවත් කියලා. South Dakota University එකේ විදේශීය ශිෂ්‍යයින් ගොඩක් අඩුයි. ඒ නිසා ඒ පැත්තෙ මණ්ඩලයෙන් තීරණය කරලා තියෙනවා, විදේශීය භාෂාවක් ඉගෙන ගන්න, ළමයින්ව උනන්දු කළ යුතු නෑ කියලා.

හැබැයි මේ මණ්ඩලවලින් ගන්න තීන්දු සහ තීරණ, රජයේ නීති රීතිවලට යටත් වෙනවා. ඒ අයට සමහරක් තැන්වලදි සීමාවන් තියෙනවා. එයාලට බෑ විභාගවල ගුණාත්මක තත්වය අඩු කරන්න. එයාලට බෑ විශ්වවිද්‍යාලවල උගන්වන විෂයවල් ගාණ අඩු කරන්න. ඊට අමතරව විශ්වවිද්‍යාලවල වියදම් සම්බන්ධවත් මෙයාලා තීරණ ගන්නවා. ”

33. ​ප්‍රශ්නයක් නෑ !

” ​ලංකාවෙ නම් බොන අය මැද්දෙ, නොබොන කෙනෙක්ට ඉන්න අමාරුයි. බොන අය ටික එකතුවෙලා කොහොම හරි, නොබොන කෙනාට බලෙන් පොවන්නම තමයි බලන්නෙ. එහෙම නැත්නම්, එයාට අනවශ්‍ය විදිහට විහිළු කරනවා. මස් මාළු නොකන කෙනෙක් නම් ඒත් එහෙමයි. එක්කො බලෙන් කවන්න හදනවා. නැත්නම් කට්ටියම එකතුවෙලා එයාට විහිළු කරනවා. ඒත් ඇමරිකාවෙ නම් ඒ ප්‍රශ්නය නෑ.​නොබොන කෙනාව බීමට පොළඹවන්නෙ නෑ. මුලින්ම අහනවා ‘You wanna drink?’ කියලා. ඒ කියන්නෙ ‘ඔයාට බීම එකක් ඕනද?’ කියලා. එපා කිව්වම කියනවා ‘No problem. It’s your belief’ කියලා. ඒ කියන්නෙ ‘අවුලක් නෑ. ඒක ඔයාගෙ විශ්වාසය’ කියලා.

ඇමරිකාවෙ මිනිස්සු හරියට, අනිත් ජාතීන්ගෙ සහ අනිත් මිනිස්සුන්ගෙ විශ්වාසවලට ගරු කරනවා. අනිත් අතට ඇමරිකාවෙ ඉන්න බහුතරයක් දෙනා, ආර්ය ජාතියකින් එන අය නෙවේ. හැමෝම වගේ කලවම් වුණු අය. ​එක්කො පළවෙනි පරම්පරාව ඉතාලියෙ. දෙවෙනි පරම්පරාව ග්‍රීසියේ. තුන්වෙනි පරම්පරාව ඇමරිකාවෙ. එහෙම නැත්නම් පළවෙනි පරම්පරාව චීනයෙ. දෙවෙනි පරම්පරාව ජර්මනියෙ. තුන්වෙනි පරම්පරාව ග්‍රීසියෙ. එහෙම නැත්නම් තාත්තා හංගේරියානු. අම්මා ඕස්ට්‍රේලියානු. ඔන්න ඔය වගේ…. මිශ්‍ර සංස්කෘතියක්. ඒ නිසා ඇමරිකාවෙ ඉන්න බහුතරයක් දෙනාට, අනිත් ජාතීන් සහ ඒ ඒ ජාතීන්වල සංස්කෘතීන් ගැන හොද දැනුමක් සහ අත්දැකීමක් තියෙනවා. ඒ නිසා එයාලා ඒ හැම ජාතියකටම, හැම සංස්කෘතියකටම සහ හැම විශ්වාසයකටම ගරු කරනවා. ”

34. පංචිකාවතු නෑ !

” ඇමරිකාවෙ කවුරු හරි කඩයක් දැම්මොත්, ඊට අල්ලපු ඉඩමෙ තවත් කෙනෙක් කඩයක් දානවා නම්, එයා දාන්නෙ වෙනස්ම කඩයක්. උදාහරණයක් විදිහට අපි හිතමු කවුරු හරි කෙනෙක් සපත්තු කඩයක් දැම්මා කියලා. එහෙනං ඊට අල්ලපු ඉඩමෙ කඩයක් දාන කෙනා, ඒ කඩේ වෙළදාම් කරන්නෙ මේස් කුට්ටම්. තව කෙනෙක් එතන අලුත් කඩයක් දැම්මොත්, එයා වෙළදාම් කරන්නෙ සපත්තු පොලිෂ්. එතකොට ඊළගට එන කෙනා එතන ලේස් කඩයක් දානවා. ඔන්න ඔය විදිහෙ ක්‍රමයක් තමයි එහේ තියෙන්නෙ.

අපේ නම් ඒකෙ අනිත් පැත්ත. එක්කෙනෙක් කඩයක් දැම්මොත්, ඒ විදිහෙම කඩයක් තමයි අලුතෙන් එන කෙනා දාන්නෙත්. ඊළගට එන කෙනත් ඒකමයි කරන්නෙ. එක්කෙනෙක් පළතුරු කඩයක් දැම්මොත්, අනිත් පැත්තෙ කෙනත් පළතුරුම විකුණනවා. ඊට එහා පැත්තෙ ඉන්න කෙනත් පළතුරුමයි විකුණන්නෙ. අලුතෙන් කෙනෙක් ආවොත්, ඔන්න එයත් පළතුරු විකුණන්න ගන්නවා. ඒත් ඇමරිකාවෙ ක්‍රමය තමයි මම ඉස්සෙල්ලා කිව්වෙ. එතකොට සපත්තු ගන්න එන කෙනාට, කොහොමත් පොලිෂ් ඕන. මේස් ඕන. ඉතින් එයාට පුලුවන් වෙනවා, ඒ පැත්තෙ තියෙන ඔක්කොම කඩවල්වලින් ගණුදෙනු කරන්න. එයාට අවශ්‍ය ඔක්කොම දේවල්, එකම කඩ සාප්පු පේළියකින් අරගන්න පුලුවන්. ඒක කඩහිමියන්ට වගේම පාරිභෝගිකයින්ටත් වාසි. ඒ ඒ අය අතරේ සහයෝගය ගොඩනැගෙනවා. ​

​එකම ජාතියෙ කඩ දාන අවස්ථාත් තියෙනවා. හැබැයි ඒත් වෙනස් කරලා තමයි දාන්නෙ. උදාහරණයක් විදිහට චීන හෝටලයක් තියෙන ඉඩමකට එහා පැත්තෙ, තවත් චීන හෝටලයක් දානවා. හෝටල් දෙකම චීන වුණාට, හෝටල් දෙකේ කෑම වට්ටෝරු වෙනස්. ”

35. ජඩමාධ්‍යයට තිත

” ඇමරිකාවෙ, ජනමාධ්‍ය හදුන්වන්නෙ ‘රජයේ හතරවෙනි කොටස’ කියලයි. ඒ තරම් ලොකු තැනක් ඇමරිකාවෙ, ජනමාධ්‍යවලට දීලා තියෙනවා. ලංකාවේ ජනාධිපතිගෙ බලතල එක්ක බැලුවම, ඇමරිකාවේ ජනාධිපති කියන්නෙ හරිම දුර්වල කෙනෙක්. ඇමරිකාවේ ජනමාධ්‍ය, ජනාධිපතිව වුණත් විවේචනය කරන්න පැකිලෙන්නෙ නෑ. කියන්න තියෙන දේවල් කෙලින්ම කියනවා. අපේ නම් ජනාධිපති කියලා කියන්නෙ නෑනෙ. අපේ අය කියන්නෙ අතිගරු / His Excellency / Honorable කියලා. ඒත් ඇමරිකාවේ මාධ්‍යවේදීන්, ඇමරිකාවෙ ජනාධිපතිට කියන්නෙ Mr.President කියලා. අපේ කියනවා වගේ නමට ඉස්සරහින් දිග හෑලි දාන්නෙ නෑ. මොකද ඇමරිකාවෙ මාධ්‍යවේදීන්ට, ඇමරිකාවෙ ජනාධිපති කියන්නෙ, තවත් එකම එක රාජ්‍ය නිළධාරියෙක් විතරයි. ​ජනාධිපතිට බෑ ඒ විවේචනවලට ගහන්න. මාධ්‍යවේදියො අතුරුදහන් කරන්න. මාධ්‍යත් එක්ක හැප්පෙන්න. හොරෙන් කළත්, ජනාධිපතිකමෙන් අයින් වුණු කාලෙක අහු වුණොත්, හිරේ යන්න වෙනවා.

රජය මාධ්‍ය ගැන අවධානයෙන් ඉන්නෙ. නම්‍යශීලී. රජයේ විතරක් නෙවේ අනිත් දේවල්වලත් වැරදි දේවල් බය නැතුව හෙළි කරනවා. ඇමරිකාවෙ රජයෙන් යුධ අපරාධයක් කළොත්, ඒ ගැන අනිවාර්යෙන්ම ලෝකයට හෙළි කරනවා. මොකද ඇත්ත දෙයක් නිසා. ඒවා බලන / කියවන මිනිස්සු, ඒවාට පක්ෂව හරි විපක්ෂව හරි තම තමන්ගෙ මත පල කරනවා. විවේචන කරනවා. ඒත් වැදගත් විදිහට. නැතුව එහෙමයි කියලා ඒ මිනිස්සුන්ට ගල් ගහන්නවත්, මරණ තර්ජන කරන්නවත්, දේශද්‍රෝහී ලේබලය අලවන්නවත්, ගහන්නවත් යන්නෙ නෑ. රජයෙනුත් මාධ්‍ය සධාචාරය ඇති කරන්න නීති දාලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙහෙත් අනතුරුවලින් මිනිස්සු මැරුණම, ඒ මිනිස්සුන්ගෙ පින්තූර එක එක තැන්වල දාන්න කරන්න තහනම්. එහෙම දාලා අහුවුණොත්, අවුරුදු ගාණකට හිරේ දානවා.

බහුතරයක් මාධ්‍යවේදීන්ට, මාධ්‍යවේදියෙක් කියලා කියන්න පුලුවන් හොද උසස් මට්ටමේ පුහුණුවක් හරි උපාධියක් හරි තියෙනවා. ප්‍රතිශතයක් විදිහට ගත්තම, මාධ්‍ය හොද විදිහට පාවිච්චි කරන අය 60%ක් ඉන්නවා. මාධ්‍ය වල් බූරු විදිහට පාවිච්චි කරන අය 40%ක් ඉන්නවා. ඒ 40%ත් තව පිරිසක් ඉන්නවා ආණ්ඩුවට කඩේ යන. හැබැයි බහුතරයක් මාධ්‍ය හොද මට්ටමක තියෙනවා. රූපවාහිනී නාලිකා ගත්තම, ලොකු දැනුමක් ගන්න පුලුවන් නාලිකා ඕනතරම් තියෙනවා. එයාලා ටෙලිනාට්‍ය මාලා, වාර්තාමය වැඩසටහන් ගොඩක් රසවත් විදිහට නිෂ්පාදනය කරනවා.​ පත්තර ගත්තම හොදට වර්ගීකරණය කරලා තියෙනවා. වාර්තාමය අංශ තියෙනවා. ඒ වගේම මෙහේ සමහරක් පත්තර තියෙනවා වෘත්තිය අනුව වර්ග කරපු. ඒවා කියවන්න පුලුවන් සහ ඒවා ප්‍රයෝජනවත් වෙන්නෙ එක අංශයකට විතරයි. උදාහරණයක් විදිහට වෛද්‍යය විද්‍යාවට සම්බන්ධ තොරතුරු දාලා පත්තරයක් තියෙනවා. තව පත්තරයක් තියෙනවා, ඒකෙ තියෙන්නෙ ඉන්ජිනේරු අයට සම්බන්ධ දේවල් විතරයි. තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අයට වෙනම පත්තරයක් තියෙනවා. ඔන්න ඔය වගේ.​ ”

36. සුපිරිසිදු වැසිකිළි

” වැසිකිළි හදලා තියෙන්නෙ ජාත්‍යාන්තර ප්‍රමිතියට අනුවයි. කිසිම ගදක් නෑ. ආලෝකය, වාතාශ්‍රය, පිරිසිදුකම…. මේ ඔක්කොම හොදට නඩත්තු වෙනවා. වැසිකිළිය පාවිච්චි කරන අය වුණත්, තම තමන්ගෙ වැඩේ කළායින් පස්සෙ, එතනින් එහාට කරන්න අවශ්‍ය කරන දේවල් කරලා තමයි යන්නෙ. වෙන කෙනෙක්ට කරන්න ඉඩ තියෙන්නෙවත්, වෙන කෙනෙක්ව අපහසුතාවයට පත් වෙන දේවල් කරලා යන්නවත් පෙළඹෙන්නෙ නෑ. ගොඩක් තැන්වල Tapsවලට Sensors හයි කරලා තියෙන්නෙ. ඉතින් අත අල්ලනකොට ඉඹේම වතුර එනවා. අත අහකට ගන්නකොට වතුර එන එක නවතිනවා. ලංකාවෙ වෙනවා වගේ Taps වහන්න අමතකවෙලා, වතුර අපතේ යෑමක් වෙන්නෙ නෑ. ඒ වගේම හැම වැසිකිළියක් වගේම පවිත්‍ර කරන්නෙ රොබෝලා ආධාර කරගෙනයි (Cleaning Robots). ”

ඔන්න ඕකයි කතාව….. මේ ලිපිවලදි අපි ඇමරිකාව ගැනම කියන්නෙ නැතුව, ඇමරිකාව සහ ශ්‍රී ලංකාව සංසන්දනය කර කර ලිව්වෙ, එතකොට අපි ඉන්න තැන ගැන අවබෝධ කරගන්න පහසු වෙන නිසයි. ​ලිපිය කියවන කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපි ඇමරිකාවට කඩේ ගිහින් කියලා. ඒත් අපේ සමාජ ජාලා එක්ක දිගටම එකතු වෙලා හිටපු අය නම් දන්නවා eLearning.lk අපි කවදාවත් එහෙම කරන්නෙ නැති බව.

අපි මේ ලිපියෙ ලිව්වෙ ඇමරිකාවෙ හොද දේවල් ගැන. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඇමරිකාවෙ නරක දේවල් නෑ කියලා. නරක දේවල් එහෙමත් අනන්තවත් තියෙනවා. අපි කතා කරපු සමහරක් කරුණු පොදු වෙන්නෙ දකුණු ඩකෝටාවට විතරයි. දකුණු ඩකෝටාව කියන්නෙ ඇමරිකාව නෙවේ. ඇමරිකාවෙ පුංචි කොටසක් විතරයි. ඒත් නරක දේවල් ගැන කතා කරලා පලක් නෑ. ඒ නිසයි අපි ආදර්ශමත් දේවල් ගැන විතරක් සදහන් කළේ.

​අපිත් මේ ලිපියේ තියෙන කරුණු ආදර්ශයට අරගෙන ක්‍රියාත්මක වෙමු. ​සම්පත් ටික අමතක කළත් මිනිස්සුන්ගෙ ආකල්ප, අදහස් සහ සිතුවිලි අතින්වත් වෙනසක් කරන්න පුලුවන් නම්, අපි දැන් ඉන්න තත්වයේ හැටියට ඒකත් ගොඩාක් වටිනවා කියන එකයි අපේ අදහස.

මේ දේවල් හය හතර නොතේරෙන පුංචි දරුවගෙ ඉදලම පටන් ගන්න ඕන දේවල්. පුංචි ළමයින්ට පුංචි කාලෙදිම ඉගෙන ගන්න ලැබෙන දේවල් සහ ඇතිවෙන හුරු පුරුදු, ඒ අය වැඩිවියට ආවමත් ඒ විදිහටම තියෙනවා. ලේසියෙන් අතෑරෙන්නෙ නෑ. ඒ නිසා පුංචි දරුවන්ගෙ ඉදන්ම මේ වැඩපිළිවෙල පටන් ගත්තා නම්, ඒ අය තරුණවියට එන කාලෙක, අපේ රටටත් හොද කාලයක් ලබයි. ඒ නිසා ඒ අයව ප්‍රධාන ඉලක්කය කරගෙන, ඒ අයට හොද පුරුදු සහ මනුස්සකම කියන දේවල් උගන්වන්න ඕන.

අපිත් රජයෙන් කරනකන් ඉන්නෙ නැතුව, ශ්‍රී ලාංකීය පුරවැසියන් විදිහට එකට එකතු වෙලා අපි වැඩ කරමු! අපි රට හදමු!


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.shutterstock.com
* ඡායාරූපය 02 : www.shutterstock.com
* ඡායාරූපය 03 : www.picshunger.com
* ඡායාරූපය 04 : www.nbc.com
* ඡායාරූපය 05 : www.icytales.com
* ඡායාරූපය 06 : www.wanderlust.com
* ඡායාරූපය 07 : www.at.govt.nz
* ඡායාරූපය 08 : www.civildefenceagra.org
* ඡායාරූපය 09 : www.outsidethebeltway.com
* ඡායාරූපය 10 : www.businessinsider.com
* ඡායාරූපය 11 : www.thenypost.wordpress.com
* ඡායාරූපය 12 : www.parentingbydrrene.com
* ඡායාරූපය 13 : www.huffingtonpost.com
* ඡායාරූපය 14 : www.officelovin.com
* ඡායාරූපය 15 : www.regents.la.gov
* ඡායාරූපය 16 : www.alluremedia.com.au
* ඡායාරූපය 17 : www.chickenshop.com
* ඡායාරූපය 18 : www.cnncommentary.wordpress.com
* ඡායාරූපය 19 : www.businessinsider.com
* ඡායාරූපය 20 : www.aoc.gov

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.